පැලවත්තේ මහදැන මුත්තා බුදුන් සරණ ගිහින් තියෙනවා ය යන ආරංචිය කනින් කොණින් දේශපාලන ලෝකයේ හොල්මන් කරන්නට විය.
පැලවත්තේ මහදැන මුත්තා කියන්නේ ටිල්වින් උන්නැහේට ය. උන්දෑ මුලදී එළියට පහළියට බැස්සේම නැත. දැන් ටික ටික නායකයින් ගැවසෙන තැන්වල උන්දෑගේ මූණ දැක ගන්නට ලැබේ. මේ විපර්යාසය මොකක්දැයි විපක්ෂ කණ්ඩායම් අතරත් කසුකුසුවක් පැන නැගී තිබේ.
කාල් මාස්ටත් පොල්ල තැබූ වාමාංශිකයෝ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අනුර අගමැති ධුරයට පත් වී ටිල්වින් විධායක නොවන ජනපති ලෙස පත් කෙරෙනු ඇතැයි එලෙස පැතිරී ගිය එක් රාවයකි. ටිල්වින් මේ හොර ගල් අහුලන්නේ ඒකට තෝතැන්නක් හදාගන්නට ය. එහෙම නැතුව වල් සතා වගේ ගුහා ගත වී සිට එකපාරටම කළ එළි බසින්නට හැකියාවක් නැත. රනිල්ගේ පවුලේ පන්සලක් ලෙස හැඳින්වෙන ගංගාරාමයට ද ටිල්වින් උන්නැහේ ළඟ දී ගොස් වන්දනාමාන කරගෙන ඇත.
කොහොම වුනත් මිනිස්සු නම් කියන්නේ මේ උදවිය කාල් මාස්ටත් පොල්ල තැබූ වගකි.
මහවැලියේ ගසාගෙන ගිය ව්‍යාපාරිකයෝ
ජනාධිපති නිදහස් දින කතාව කරමින් රනිල් එදා අර්බුදයෙන් රට ගොඩනගන සමයේ කළ ඉල්ලීමක් නැවත ඉල්ලා සිටියේ ය. එනම් රට ගොඩනැගීමට සියලු ම දෙනාට එක්වන ලෙස ඉල්ලා සිටියේ ය. නමුත් ඔවුන් බලය ගන්නට පෙර කීවේ කිසිම කෙනෙකු ගේ සහාය නොගෙන ඔවුන් ගේ ම පිරිසිදු මිනිසුන් ගේ සහයෙන් ආණ්ඩුව කරන බවයි. ඔවුන් ගෙන් වියුක්ත වූ සෙසු බලවේග දූෂිතයින් බව ද අනුරලා එදා කීවේ ය. නමුත් දැන් මේ කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කතාවකි. මෙලෙස දිගු ගමන් යන්නට සියල්ලන්ට ම එකතු වෙන්නැයි ආරාධනා කරන අතර හිටපු ජනපති මෛත්‍රීලා ගෙන් පළිගන්නට හදන්නේ ඇයි දැයි විපක්ෂ මන්ත්‍රීවරු විමසති.
"එකතු වෙන යෝජනා කරන්න කලින් එයා ගේ හොඳ හිත පෙන්නන්න කියන්න. අනෙක අපි දැන් දන්නවා එයාට මේක කරගන්න බෑ කියලා. අයි.එම්.එෆ් එක්ක ගියත් දැන් රට හිරවෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා ව්‍යාපාරිකයන් දාලා රට ගොඩ ගන්නවා කිව්වා. දැන් මාස දෙකක් ගිහින්. ව්‍යාපාරිකයොත් නෑ. ගොඩගන්න එකත් නෑ. ව්‍යාපාරිකයොත් මහවැලි වතුර වගේ හේදීගෙන ගිහින්," යැයි පවතින තත්ත්වය ගැන රනිල් කෙටියෙන් අදහස් පළ කළේ එසේය.
"පැලවත්තේ ගමන අසාර්ථක වෙලා තියෙන්නේ. දැන් හරිණි ගෙ ගමන අත්හදා බලනවා වගේ," යැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක විමසුවේ සමාජ තත්ත්ව ගැන විමර්ශනාත්මකව බලමින් කළ විවේචනයකි.
දකුණේ මිනිස්සු අන්දන විදිය
"ඇත්තටම දැන් මේ මිනිස්සු බුද්ධාගම අදහන්න යන්නේ අපේ පන්සලට. ඒ කියන්නේ ගංගාරාමෙට. ඒක කාගේ පන්සල ද? තව එක පියවරයි තියෙන්නේ. ඒක තමයි සිරිකොතට යන එක," රනිල් කීවේ සියලු දෙනාගේ මුවඟට සිනා රැල්ලක් මතු කරමිනි.
අලුතින් බිහි වූ මේ බෞද්ධ මහෝපාසක පිරිස ගේ ඉලක්කය ආගම කර මතින් තබාගෙන දකුණේ මිනිස්සු අලුතින් ඇන්දීම බව පැහැදිලි ය. ඒ වගේම පැලවත්තේ එකම කල්ලිය විවිධ අවස්ථාවල දී හැසිරෙන වෙනස් විදි ගැන සමාජයේ කතාබහක් මතුව තිබේ. අනුර ජනාධිපති කියන දේට පරස්පර දෙයක් දිලීප පීරිස් කියයි. ශානි අබේසේකර තව එකක් කරයි.
"වේගෙන් යන්න පුළුවන් එකා වේගෙන් යන්න ඕන නේද? එදා ජේ.ආර් ජයවර්ධනට හයෙන් පහක බලයක් තිබුණා. කොච්චර වේගවත් ගමනක් දීලා ගියේ. ඒ වගේම ඒ ගමන දිගුයි," යැයි රනිල් කීවේ ය.
සජබ නායකයා කවුද...?
විපක්ෂයේ නායකයින් ඔක්කොම පාහේ එකතු වූ මංගල්‍යයක් ඉකුත් සතියේ කොළඹදී පැවැත්විණි. ඒ හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සමන් රත්නප්‍රිය ගේ දියණිය ගේ මංගල්‍යය යි. රනිල්, සජිත්, නාමල්, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු නායකයෝ එහි වූහ. සජබෙට හිතවත් ගොඩක් අය සජිත් මගහැර ගොස් ලක්ෂ්මන් ෆොන්සේකා සමග කතාබහ කරන අයුරු දුටු එජාපයේ බොහෝ අය මුහුණට මුහුණ බලා ගත්තේ සජබ නායකයා කවුදයි හිතා ගන්නට බැරිව ය.
සෙනසුරාදා ලංකාවට අලුත් ක්‍රීඩාවක් හඳුන්වා දුන්නේය. ඒ කික් බොක්සින් ක්‍රීඩාවයි. ඒ අවස්ථාවට දේශපාලනඥයෝ හතර දෙනෙක් සහභාගී වූහ. ඒ රනිල්, හරීන්, එජාප භාණ්ඩාගාරික ෆිරෝ සහ උප සභාපති තියඩෝර්ය. UNP එකත් දැන් ඩිජිටල්කරණය වී අලුත් කික් බොක්සින් ක්‍රීඩකයෙක් බවට පත්වෙමින් සිටින බව දේශපාලන විචාරකයින් ගේ මතය යි.

මැතිවරණ කොට්ඨාස සියල්ලට ඩිජිටල් ආවරණය
එජාපය ඩිජිටල් කරන උත්සවය නිදහස් දවසේ හවස නායක රනිල් ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූස්ථානයේ දී මහා ඉහළින් පැවැත්විණි. එජාප නායකයෝ සියල්ලෝම ඊට සහභාගී වූහ. මෙහි දී ශ්‍රී ලංකාව පුරා සියලු ම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ඇරැඹුණු අතර මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් දහසක් පත් කෙරිණි. ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව යු.එන්.පී ජංගම යෙදුම (UNP App) ඉදිරියේ දී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතව තිබේ.
මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයින්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සැපයීම අරමුණු කරයි. මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මුලස්ථානයේ ස්ටාර් ලින්ක් අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීම ද සිදු කෙරිණි.
මේ ඩිජිටල්කරණ වැඩසටහන අමතමින් නායක රනිල් කීවේ නව බුද්ධිමත් දේශපාලනය වැලඳ ගන්නා නව පරම්පරාවේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවයි. පක්ෂය සහ සමස්තයක් ලෙස ජාතිය අනාගතයේ දී නව පරම්පරාවේ තරුණයින්ට භාර දිය යුතු බවයි.
“මගේ වයස අවුරුදු 70 ට වැඩියි. මෙහි අවුරුදු 70 ට වැඩි අය ඉන්නවා, සමහරුන් අවුරුදු 60 ට වැඩියි, තවත් සමහරු අවුරුදු 50 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු බිහි වූ පරම්පරාව ගැන සිතීමට කාලය පැමිණ තිබෙනවා. ඒ පරම්පරාවේ අයට පක්ෂ සහ දේශපාලනය භාර දීමේ දී එක්සත් ජාතික පක්ෂයටත් නායකත්වය දීමට සිදුවනු ඇති,'' යනුවෙන් ද නායක රනිල් එහි දී පැවසීය.
පැලවත්තෙන් කොට්ට මාරුවක්
පැලවත්ත කටට අගුළු දමාගෙන ඉන්නට තීරණය කර ඇති බවට ආරංචියක් හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක රනිල්ගේ කනේ තිව්වේ ය. බයිට් කළත් මොනවා කිව්වත් ඒවායේ එල්ලෙන්නට නොයා ඉන්නට තීරණය කර තිබෙන බව ඒ තොරතුරේ සඳහන් ය. ඒ වගේම මෙච්චර කල් ආණ්ඩුව නියෝජනය කරමින් මත පළ කරන්නට වීඩියාවලට පැමිණි චරිත මාරු කරන්නට ද තීරණයක් ගෙන තිබෙන බව ආරංචි ය.
" මේ කතාව ඇසූ රනිල් කීවේ හිස රදයට කොට්ටේ මාරු කරනවාය කියන්නේ ඔය වගේ වැඩවලට කියා ය.
වන්දි ඉල්ලුම් කිරීමට පෙර පාඨමාලාවක්
වජිර ඉකුත් සතියේ අනුරාධපුරය බලා පිටත් වුණේ පී. හැරිසන් ගේ පියා වන අභාවප්‍රාප්ත පැලිස් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට යි. අවසන් ගෞරව දැක්වූ වජිර හැරිසන් සමග සුහද සාකච්ඡාවකට එක්වූ අතර ඒ අවස්ථාවේ දී නායක රනිල් තම දුරකතනය හරහා සම්බන්ධ කරගත්තේ ඔහුගේ ශෝකය ද හැරිසන් ඇතුළු පවුලේ සැම වෙත ප්‍රකාශ කිරීමට යි.

වජිර මළ ගෙදර පැමිණ සිටි අය සමග රට තොට විස්තර විමසන්නට විය. එහි දී ජනතාව සහ වජිර අතර ඇති වූයේ මෙවන් සංවාදයකි.
''වැඩක් නෑ සර් පසුගිය දවස්වල මේ පැත්තට හරියට වැස්සා. අපේ වගා විශාල වශයෙන් හානි වුණා. සමහර අයගේ කුඹුරු එහෙම සම්පුර්ණයෙන් ම විනාශ වුණා. ගන්න දෙයක් නැති තරමට.''
''ඒවට රජයෙන් වන්දි ගෙව්වා නේද?''
''මොන... සමහර අයට නම් හම්බෙලා තිබුණ කියලා දැනගන්න ලැබුණා. අපිට නම් තාම නෑ සර්. අනික වන්දි ගන්න එයාලා ඉල්ලන සුදුසුකම් හොයන්න අපි වෙනම පාඨමාලාවක් කරන්න වෙනවා. අපි දුප්පත් මිනිස්සු සර්.''
කතාව දිගට ගලා ගියේ ජනතාවගේ විශාල මැසිවිලි මැද ය.
කොහොම වුණත් අවසානයේ වජිර කිව්වේ “කොහෙද ඉතින් ඔයාලා මෙයාලා කිව්ව බොරු අහලා රනිල් මහත්තයවයි, අපිවයි සේරම පන්නලා දැම්මනේ...,'' යනුවෙනි.

