#anurakumaradissanayake

  • උතුරේ ත්‍රස්තවාදින් ගෙන් දකුණේ ත්‍රස්තවාදින්ට ලොකු ගෞරවයක් තිබෙනවා - උදය ගම්මන්පිල

    උතුරේ ත්‍රස්තවාදින් සහ දකුණේ ත්‍රස්තවාදින් අතර තිබෙන්නේ සහෝදරාත්මක බැඳීමක් බැවින් උතුරේ ත්‍රස්තවාදින් ගෙන් දකුණේ ත්‍රස්තවාදින්ට ලොකු ගෞරවයක් තිබෙනවා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

  • ජනපති සහ නියෝජ්‍ය ඇමති වටගලගේ 'පරස්පර' ප්‍රකාශ ගැන පොලිසිය භාර ඇමති කියන කතාව ?

    රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

  • ජනපතිගේ පච සහන මල්ල: වෙන් කර ඇත්තෙ බිලියන 120 යි; ඒත් බිලියන 300ක් අවශ්‍යයයි

    ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳුවලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමණක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා. එහෙම කරනවා නම් ඒවා අහස පොළොව නුහුලන අපරාධයක්; හෙණ ගහන අපරාදයක්.

  • රාජ්‍ය රහස්! : ලංකාවට කවුරුත් නොදන්න ලොකු වාසියකුත් වෙන්නයි යන්නේ!

    *රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි!
    *IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි!

    *ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි!

    පසුගිය සතියේ ''රාජ්‍ය රහස්'' තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කොට ඇති බව අනාවරණ කළෙමු. එම හෙළිදරව්වෙන් පසු දේශපාලන පක්ෂ ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවැති ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි.


    JAFFNA, SRI LANKA - SEPTEMBER 21:  A sign directing voters to the polling station during the northern provincial council election on September 21, 2013 in Jaffna, Sri Lanka. Ethnic Tamil voters in Sri Lanka's war-ravaged north have gone to the polls on Saturday to form their first functioning provincial government since 1988 following 26-year long civil war that ended in the country in 2009..  (Photo by Buddhika Weerasinghe/Getty Images)
    එම අනාවරණයේදී අප ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළ හේතූන්ද එකින් එක සඳහන් කළෙමු. පිටින් සිට බලන බොහෝ දෙනා ආණ්ඩුව මේ වනවිට ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ ඉන්දියාවේ බලපෑම නිසා හෝ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළත් ඇත්ත කතාව එසේ නොවේ.

    ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත් තීරණය පසුපස ඇති කතාව සොයාගැනීමට රාජ්‍ය රහස් තීරය පසුගිය සතියේ ආණ්ඩුවේ අභ්‍යන්තරයටම ගොස් කරුණු සොයාබැලීමක නිරත විය. එහිදී අපට අනාවරණ වූයේ කිසිවකුට ඇති බයක් නිසා හෝ ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ නොව ආණ්ඩුව කිසියම් සැලැස්මකට අනුව මෙම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කොට ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානම් වන්නේ ඉතා ශක්තිමත් තුරුම්පු කිහිපයක් අතේ තබාගෙන බව අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.



    අප අවස්ථා කීපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි 2026 වසර සඳහා ආණ්ඩුව ලබන නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඉතා ජනප්‍රිය අයවැයකි. නැතහොත් ඡන්ද අයවැයකි. එහිදී අප අනාවරණ කර සිටියේ මෙම අයවැය හරහා ආණ්ඩුව ඉතා ශක්තිමත් බව රටට පෙන්වීම සඳහා ජනතාවාදී තීන්දු තීරණ රැසක් ගැනීමට සැලසුම් කර ඇති බවකි.




    බදු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙවර අයවැයෙන් අලුතින් කිසිදු බදු පැනවීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි. අප එම අනාවරණය කරද්දී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සිතාවත් තිබුණේ නැත. නමුත් මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නිසා තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා අයවැයෙන් අලුතින් බදු නොපැනවීම පමණක් නොව, පළමු වතාවට ජනතාව මත පටවා ඇති බදු අඩුකිරීමේ සැලසුමක සිටින බව ආරංචිය.

     

    tax large

    ලංකාවේ මාධ්‍ය අතරින් මෙම තොරතුර වාර්තා කරන පළමු මාධ්‍යය වන්නේ ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා ඇති සුවිශේෂ ක්ෂේත්‍ර කිහිපයක බදු අඩුකිරීමක් සිදුකිරීමට මේ වනවිටත් තීරණය කොට අවසානය. එම බදු අඩුකිරීම ජනතාවගේ ජීවන තත්ත්වයට විශාල වශයෙන් බලපෑමක් කරන විශාල සහනයක් ලැබෙන එකක් බව පමණක් අපට මේ අවස්ථාවේ සඳහන් කිරීමට පුළුවන.

    මීට අමතරව අයවැයෙන් තවත් සහන කීපයක්ම ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කොට අවසානය. ආණ්ඩුවට එසේ කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ අනවශ්‍ය වියදම් කපාහරිමින්, දැවැන්ත ආයෝජන සිදු නොකරමින් අතිවිශාල මුදල් කන්දරාවක් මහා භාණ්ඩාගාරයට එකතු කරගැනීමට හැකිවීම නිසාය. ජනාධිපතිවරයාම වරෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වනවිට ට්‍රිලියන ගණනක මුදලක් භාණ්ඩාගාරය සතුව ඇතැයි කියාය. අපද පසුගිය සතියක විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් සිදු නොකිරීම හරහා සහ වෙනත් කරුණු මත ආණ්ඩුව දැවැන්ත මුදල් කන්දරාවක් ඉතිරිකොට ගෙන ඇති බවත්, ඉදිරි මැතිවරණයක් ඉලක්ක කොටගෙන එම මුදල් වියදම් කිරීමේ සැලසුමකින් සිටින බවත්ය.


    1679572139 SL IMF 6
    මේ අතර, පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ අනාවරණයක් කරමින් 6 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව ඉතා උණුසුම් වාදවිවාද සහිත එකක් වූ බව අනාවරණ කර සිටියෙමු. ජනාධිපතිවරයා සහ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙනදාට වඩා දැඩි බවකින් යුතුව ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.



    එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉදිරිපත් කළ ඇතැම් යෝජනාවන්ට සහ කොන්දේසිවලට පළමු වතාවට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කරමින් කරුණු පැහැදිලි කිරීම හේතුවෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡාව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරිපත් කළ කොන්දේසියක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.




    දේපොළ බද්ද අනුරට තද වෙයි


    උදාහරණයක් ලෙස සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉතා දැඩිව කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු මාසය වනවිට දේපළ බද්ද ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබුණත් මෙතෙක් එය ඉටුකොට නොමැති බවය. එහිදී දේපළ බද්ද වශයෙන් මූල්‍ය අරමුදල දැනුම්දී තිබුණේ කිසියම් අයකු ඉඩමක් හෝ නිවසක් හෝ වාහනයක් මිලදී ගතහොත් ඊට ප්‍රතිශතයක් වශයෙන් අලුත් බද්දක් අයකිරීමත්, දැනටමත් ඉඩමක්, නිවසක් හෝ වාහනයක් හිමි අයගෙන් තවත් බද්දක් අයකිරීමත්ය.

    එම බද්ද ඉකුත් මාර්තු මාසයේ සිට අයකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී තිබූ බවක් ඒ වනතුරුත් කිසිවකු දැන සිටියේ නැත. නමුත් මාර්තු වනවිට ඔහු බලයේ නොමැති වුවද අනුර විසින් එම පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබිණි.




    මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙන ආ මෙම යෝජනාවට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමය. ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ කිසිසේත්ම එම යෝජනාව ඉටුකිරීමට නොහැකි බවකි. එමෙන්ම එය අසාධාරණ බද්දක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.





    ‘අපිට ඒ බද්ද කිසිසේත්ම මේ වෙලාවේ පනවන්න බෑ. මොකද ඒක අසාධාරණ බද්දක්. මිනිස්සු සල්ලි දීලා ඉඩමක්, ගෙයක්, වාහනයක් ගන්නකොට අපි කොහොමද ඒකට අලුත් ටැක්ස් එකක් ගහන්නේ. දැනටමත් අපේ රටේ ජනතාව ඉඩකඩම්වලට, ගෙවල්වලට ආණ්ඩුවට වරිපනම් ගෙවනවා. එහෙම තියෙද්දී අපිට ඒවටම තවත් ටැක්ස් එකක් ගහන්න බෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා දැඩිව කියද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද සිය ස්ථාවරයේ සිටිමින් ජනාධිපතිවරයා සමග තර්ක කරන ආකාරයක් දැකගත හැකි විය.

     

    1742212601 president 6

    ‘අපිට ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද කියන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගිවිසුම්ගත වුණේ ලංකාවේ ආණ්ඩුවත් එක්ක. එදා හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය තමයි මුදල් හොයාගන්න මේ දේපළ බද්ද ක්‍රියාත්මක කරනවා කියලා අපිට පොරොන්දු වුණේ. ඒක පසුගිය මාර්තු මාසයේ කරනවා කියලයි කිව්වේ. ඉතින් ඒ කොන්දේසිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේදී මේ කොන්දේසිය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන්න ඕනේ…….’ යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැඩිව කියද්දී අනුර පළමු වතාවට දේශපාලන කරුණක් ඉස්මතු කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙනා යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

    ‘අපිට මෙතැනදී එකඟ වෙන්න පුළුවන් කොන්දේසි තියෙනවා. එකඟ වෙන්න බැරි කොන්දේසි තියෙනවා. කරන්න පුළුවන් කියලා හිතෙන දේවල්වලට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි කරන්න බැරි දේවල්වලට අපිට එකඟ වෙන්න බෑ. මොකද, අපි මේ මහපොළොවේ දේශපාලනය කරන්න ඕනේ. මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්නත් ඕනේ. මේ වගේ බද්දක් දානවා කියන එක මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ඒක හින්දා මේක අපිට කරන්න බෑ. ඒ නිසා ඔබතුමාලා ගේන මේ යෝජනාවට මම කිසිසේත්ම එකඟ නෑ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ රටේ මහපොළොවේ යථාර්ථය එක්ක අපිට දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක මේ යෝජනාව ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැඩිව පැහැදිලි කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද දැඩි ස්ථාවරයක සිටිමින් එසේ නම් ආණ්ඩුව මෙම බද්ද ප්‍රතික්ෂේප කිරීම හරහා අහිමි වන මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊටද ජනාධිපතිවරයා අදාළ බද්ද නොපැනවීමෙන් අහිමි වන ආදායම සොයාගන්නා ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි විස්තරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට ඉදිරිපත් කළේය.


    මෙන්න සල්ලි හොයන හැටි


    ‘අපි ඒකට දැනටමත් ක්‍රමවේදයක් සකස් කරලයි තියෙන්නේ. ඔබතුමාලා දැනටමත් අපිට නිර්නායකයක් ලබාදීලා තියෙනවා ලබන අවුරුද්ද වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය 15%ක මට්ටමට ගේන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව භාරගනිද්දී දළ දේශීය නිෂ්පාදිතය තිබ්බේ 8%ට. අපි ආණ්ඩුව භාරගනිද්දී ඒක 13% දක්වා ඉහළට ඇවිත් තිබුණා. අපි මේ වෙද්දී පැහැදිලිවම සැලසුම් හදලා ඉවරයි ලබන වසර වෙනකොට ඔබතුමාලා අපිට ලබාදුන්නු 15%ක ඉලක්කය ඉක්මවා යමින් 16% දක්වා දළ දේශීය නිෂ්පාදිතය ඉහළට අරන් එන්න. අපි ඒකට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට සකස් කරලයි තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් සහ ප්‍රශ්නයක් තියාගන්න එපා…’ යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.




    ඔවුන් මෙතෙක් සිටි දැඩි ස්ථාවරය වහාම වෙනස් කරමින් ජනාධිපතිවරයාට ඉතා සුබවාදී ප්‍රතිචාරයක් පළකළ ආකාරයක්ද දැකගත හැකි විය. මාධ්‍යයක් වශයෙන් මේ තොරතුර පළමු වතාවට රටට හෙළිකිරීමට කටයුතු කරන්නේද ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශයත් සමග කවුරුත් නොදැන සිටි තවත් අතිවිශේෂ කාරණාවක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ.




    ‘ඒ වගේ තැනකට ඔබතුමාට මේ රට අරන් යන්න පුළුවන් නම් ඒකෙන් මේ රටට කවුරුත් නොදන්නා ලොකු සහනයක් ලැබෙනවා. මොකද එවැනි සංවර්ධනයක් ළඟ කරගත හැකි නම් ඔබතුමාලට ණය ආපසු ගෙවීමේදී ලොකු සහනයක් හිමි වෙනවා. ඔබතුමාලා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න නංවන්න ඩොලර් මිලියන ගණනකින් ණය කපාහැරීමක් සිදුවෙනවා. ඒ අනුව 16%ක ඉලක්කයකට ගියොත් ඩොලර් මිලියන ගණනක ණය කපා හැරේවි…’ යනුවෙන් කියමින් කිසිවකුත් දැන නොසිටි රහසක් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

    ඇත්තම කියනමා නම් අපද එම තොරතුර වාර්තා වන තෙක් එවැන්නක් සිදුවන බව දැන සිටියේ නැත. විපක්ෂයේ බොහෝ දෙනා මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින්නේ 2028 වසරේ සිට ලංකාව නැවත වතාවක් විදේශ ණය පොලිය ගෙවීමේ කටයුතු ආරම්භ කළ යුතු නිසා පවතින ආර්ථික වර්ධන වේගය හමුවේ එවැන්නක් සිදුකිරීම දැඩි අසීරු තත්ත්වයක් බවටය. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රට නැවත වතාවක් 2028දී බංකොලොත් වීමේ අනතුරක් මතුවෙමින් පවතින බවකි. නමුත් මේ ආකාරයට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවාගතහොත් විදේශ ණය ඩොලර් මිලියන ගණනින් කපාහැරීමට නියමිත බව කිසිවකුත් දැන සිටියේ නැත. ඒ අනුව එම තත්ත්වය 2028 වසරේදී ණය ගෙවීම ආරම්භ කිරීමේදී විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමානය. ඒ අනුව එයින් ද පැහැදිලි වන යම් ඉඟියක් වන්නේ ලබන වසරේ අයවැය ස්ථිරවම මැතිවරණ අයවැයක් බවට පත්වනු ඇති බවය.

     

    insolvent symbolic photo insolvency bankrupt depts money finance economic crisis business concept coins 770123 11


    අනුර භයානක ඉසව්වකට


    ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගැසීමට සැලසුම් කර සිටින ඊළඟ ලොකුම තුරුම්පුව වන්නේ කුඩු ඇල්ලීමේ තුරුම්පුවය. කිසිවකුත් දැන නොසිටියද රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මේ මෙහෙයුමට ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සිය සම්පූර්ණ අවධානය යොමුකොටය. මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ වෙනත් කිසිම ආණ්ඩුවක් හෝ වෙනත් කිසිම ජනාධිපතිවරයකු සිදු නොකළ ආකාරයට ජනාධිපතිවරයා මෙම කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී තිබීමය.

     ඕනෑම කෙනකු දන්නා කාරණාවක් වන්නේ මේ රටේ සිටි ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ යම් යම් රාජකාරීන් ඉටුකිරීමේදී ඒවාට විශාල නායකත්වයක්, දායකත්වයක් ලබාදී ඇති ආකාරයය. උදාහරණයක් වශයෙන් රටේ ආර්ථිකය ගොඩනගන අවස්ථාවලදී කිසිදු තර්කයකින් තොරව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැන්නවුන් ඒ ඒ කාලවකවානුවලදී විශාල දායකත්වයක් ලබාදුන්හ. යුද්ධය අවසන් කිරීමේදී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දැවැන්ත දේශපාලන නායකත්වයක් ලබාදුන්නේය. 

     
    නමුත් ඒ කිසිදු ජනාධිපතිවරයකු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ සටනේදී සිය දායකත්වය 100%කින් ලබාදුන්නාද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට සියලු දෙනාටම මතුව තිබේ. ඊට හේතුව වී ඇත්තේ මේ සියලු ජනාධිපතිවරුන්ගේ පාලන සමයන්හිදී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාලය විශාල වශයෙන් ශක්තිමත් වී තිබීමය. යුද්ධය අවසන් කරනවාටත් වඩා ඉතා අසීරු තැනකට මේ මත්ද්‍රව්‍ය අවසන් කිරීමේ යුද්ධය පත්ව තිබීමය.
     
    07 4

    මේ වනවිටත් කුඩු ජාලය මුළු රටම ගිලගෙන ඇති අතර, ගම් නියම්ගම්වල සිටින තරුණ කොටස් පවා මේ මත් කුඩු හේතුවෙන් විනාශ වී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. බොහෝ දෙනා සිතා සිටියේ ගෝඨාභය රාජපක්ෂ වැනි අයකු ජනාධිපති පුටුවේ අසුන්ගත් වහාම මෙම කුඩු ජාවාරම අවසන් කරනු ඇතැයි කියාය. රටේ විනය ගොඩනගනු ඇතැයි කියාය. ගෝඨාභය පමණක් නොව හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ කුඩුවලට එරෙහිව සටනක් ආරම්භ කළද එය අවසන් වූයේ ඒවා ඔවුන්ගේ දේශපාලන මෙහෙයුම් බවට පත්වීමෙන් අනතුරුවය.
     
    කුඩු අල්ලනවාට වඩා ඒවා මාධ්‍ය සංදර්ශනයන් බවට පත්කරමින් සිය දේශපාලන පැවැත්මට ඒවා භාවිත කිරීමෙන් අනතුරුවය. බොහෝ දේශපාලන චරිත සහ විවිධ පොලිස් නිලධාරීන් ඒ හරහා සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට කටයුතු කළද, සත්‍ය වශයෙන්ම කුඩු වසංගතය අවසන් වූ බවක් හෝ පාලනය වූ බවක් එහිදී දැකගන්නට ලැබුණේ නැත.



     
    නමුත් මෙවර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන සටනේ පැහැදිලි වෙනසක් ජනතාවට දැකගැනීමට පුළුවන. මෙහි කැපීපෙනෙන සිදුවීම වන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහ ඉහළින් වොයිස් කට් දෙන දේශපාලනඥයන් හෝ පොලිස් නිලධාරීන් දක්නට නොමැති වීමය. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් තුරන් කිරීම සඳහා කිසිවකුත් නොසිතන දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් වත්මන් ජනාධිපතිවරයා විසින් තිරය පිටුපස දියත් කොට අවසානය.




    මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදෙමින් මීට සති කීපයකට පෙර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ ජනාධිපතිවරයා සහ බුද්ධි අංශ අතර පැවැති සාකච්ඡාවක තොරතුරු අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ බුද්ධි අංශ සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැහැදිලිවම ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් පසුපස පැන්නීමෙන් රටට කිසිදු පලක් නොවන බවත්, පාතාලය, කුඩු ජාවාරම සහ දූෂණයට එරෙහිව බුද්ධි අංශ සිය සම්පූර්ණ උත්සාහය යෙදිය යුතු බවත්ය.

    ඒ අනුව අප මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කිරීමට සූදානම් වන්නේ එහි තවත් අතිවිශේෂ දිගුවකි. නොඑසේ නම් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති අතිශය අවදානම්සහගත තීන්දු සම්බන්ධයෙන් කරන විශේෂ අනාවරණයකි.



    මෙහෙයුම ජාත්‍යන්තරයට

    ජනාධිපතිවරයා මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් සිදුකරන සෑම සාකච්ඡාවකටම සහභාගි වන අතර, එහිදී ඉතා දැඩි තීන්දු තීරණ ගැනීමද සිදුකරනු ලබයි. ඒ ගන්නා ඇතැම් තීන්දු තීරණ අපේ රටට පමණක් බලපාන ඒවා වන අතර, ඇතැම් තීන්දු තීරණ ජාත්‍යන්තරය සමග සම්බන්ධ වන ඒවාද වීම විශේෂ සිදුවීමකි.

    අප මීට පෙර අවස්ථාවකදී ආරක්ෂක අංශ විසින් මැලේසියාවේ සිට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමෙන් පසුව පැවැති සාකච්ඡාවකදී මතුවූ කරුණු රාජ්‍ය රහස් තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක් සාකච්ඡාවකදී කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ලංකාවේ මත්කුඩු ජාලයෙන් 50%ක කොටසක් අවසන් කිරීමට හැකි වූ බවට නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට වාර්තා කළ බවකි. ඒ අනුව ඉතිරි 50%ක ජාලය අවසන් කිරීමද අපහසු නොවන බව එම සාකච්ඡාවේදී නිලධාරීන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අප අනාවරණ කළෙමු.

    ලංකාව ඇතුළත මත්ද්‍රව්‍ය සහ පාතලය අවසන් කිරීමේ මෙහෙයුම් සිදුවූයේ එම රාමුව මත පිහිටාය. මේ වනවිට එම මෙහෙයුම් ඉතා සාර්ථකව සිදුකරමින් පාතාලය මර්දනය සහ රට ඇතුළේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කරන අතරතුර ඊටත් වඩා ඉතා අසීරු සහ භයානක කලාපයකට ඇතුළු වීමට ආණ්ඩුව මේ වනවිට තීරණය කොට අවසානය. ඒ, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන මත් කුඩු සැපයීම අඩපණ කිරීමට තීරණය කොට තිබීමය.

    මේ වනවිට ලංකාව කුඩු පුරයක් පමණක් නොව, මත්කුඩු ලංකාවට ගෙන්වා වෙනත් රටවලට බෙදාහරින ප්‍රධාන කුඩු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. එසේ ලංකාවට පැමිණෙන්නේ කුඩු කිලෝ ගණන් නොව ටොන් ගණනිනි. ඒ අනුව මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ලංකාව ඇතුළේ කුඩු ජාලය අවසන් කරනවාට අමතරව ඉතා රහසිගත ලෙස ආණ්ඩුව මෙම ලංකාව සම්බන්ධ කොට සිදුකරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළෙඳාම, එසේත් නැත්නම් කුඩු සප්ලයි චේන් එක (සැපයුම් දාමය) කඩා බිඳදැමීමටද තීන්දු කොට ඇති ආකාරයය. ඒ අනුව දැනටමත් ලංකාවට එසේ දැවැන්ත ප්‍රමාණයෙන් කුඩු ලැබෙන මාර්ග කිහිපයක් ආණ්ඩුව හඳුනාගෙන අවසානය.
     
    Galle

    පසුගිය කාලය පුරාම ආරක්ෂක අංශ කුඩු අල්ලද්දී ජනතාව නැගූ චෝදනාවක් වූයේ ආණ්ඩුව හාල්මැස්සන් අල්ලනවා විනා කුඩු ජාලයට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලන්නේ නැති බවය. කුඩු ජාලය අවසන් කිරීමේ සැබෑ අරමුණක් ඇත්නම් කුඩුවලට සම්බන්ධ මෙම තෝරුන් මෝරුන්ද ඇල්ලිය යුතු බව ජනතාවගේ මතය විය. ඒ අනුව මේ වනවිට ආණ්ඩුව තීරණය කොට ඇත්තේ එම තෝරුන් මෝරුන් ඇල්ලීමේ අතිශය භයානක සහ අවදානම්සහගත මෙහෙයුමට අත තැබීමටය.




    රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට මෙම මෙහෙයුම ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා ඉතා බරපතළ ප්‍රකාශයක්ද සිදුකොට තිබේ. එහිදී අදාළ වගකිව යුතු අංශවලට නියෝග විධිවිධාන නිකුත් කරමින් ජනාධිපතිවරයා දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කොට ඇත්තේ, ‘මට කවුරු නැති වුණත් මොන ප්‍රතිවිපාක ආවත් මම මේ තීන්දුව ගන්නවා. මම ආයේ ආපස්සට හැරෙන්නේ නෑ…’ යැයි කියාය.




    ජනාධිපතිවරයා මෙම විධානය නිකුත් කිරීමත් සමග එම සාකච්ඡාවේ සිටි ප්‍රධානීන් එහි ඇති දැඩි අවදානම්සහගත ස්වරූපය සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අවදානම පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකොට ඇති බවට අපට තොරතුරු තිබේ. නමුත් ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ ආවාට ගියා නොව හොඳ හැටි සිතා බලා ඒ සම්බන්ධයෙන් නිවැරැදි තක්සේරුවක් කිරීමෙන් පසුව බව අපගේ විශ්වාසයය. එහිදී නිසැකවම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පක්ෂය සමග, පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග සාක්ච්ඡා කර ඇතිවාට සැක නැත. මන්ද යත් එවැනි තීන්දුවක් ගැනීමම යනු අතිශය භයානක කලාපයකට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඇතුළු වීමය.

    අප විශේෂයෙන් මෙම තොරතුර යම් යම් ස්වයං සීමාවන් යටතේ මෙසේ වාර්තා කරන්නේ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ගෙන යන සටන සම්බන්ධයෙන් මේ රටේ වගකිව යුතු මාධ්‍යයක කොතැනක හෝ ලිඛිත සාක්ෂියක් වශයෙන් සටහනක් තබා තිබිය යුතු නිසාය. අනාගතයේදී මෙම මෙහෙයුම සාර්ථකව අවසන් කළහොත් ජනාධිපතිවරයා එම මෙහෙයුමට විශාල ජීවිත අවදානමක් ගෙන අනුමැතිය දුන් බවට තොරතුරු වාර්තා වී තිබිය යුතු නිසාය. ඒ අනුව ජනාධිපතිවරයා මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග අතිශය භයානක කලාපයකට ඇතුළු වී ඇති බව පමණක් නැවත වතාවක් සඳහන් කළ යුතුව ඇත.


    ඒ අස්සේ අර්බූදයකුත්


    මේ සියල්ල අතරතුර ආණ්ඩුව ඉතා සුමට ගමනක යෙදෙන ආකාරයක්ද දැකගන්නට නැත. අප එසේ කියන්නේ ආණ්ඩුව ඇතුළේ මේ වනවිට යම් අර්බුදයක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ලැබීම නිසාය. එය පසුගිය සතියේ දැකගන්නට ලැබුණේ හදිසියේම ජනාධිපතිවරයා විසින් සිදුකළ මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය හරහාය. මෙහිදී මෙතෙක් ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයා බවට පත්ව සිටි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බිමල් රත්නායක මහතාගේ වරාය කොටස ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් විපක්ෂය නම් ඍජුවම කියා සිටියේ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අලුත් කිසිවක් ජනාධිපතිවරයා සිදු කොට නොතිබූ බවත්, සිදුකර තිබූ එකම දේ වන්නේ බිමල් රත්නායක ඉලක්ක කොට ඔහුගෙන් වරාය කොටස ඉවත් කිරීම පමණක් බවත්ය.
     


    මීට අමතරව වරාය සමග ගනුදෙනු කරන දැවැන්ත ව්‍යාපාර කරන පිරිස් හට බිමල්ගෙන් බලපෑම් එල්ල වෙමින් පැවැති බවටත්, වරාය සහ රේගුව අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත්, බිමල් සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත් විවිධ පිරිස් ඊට හේතු පාඨ සපයමින් ප්‍රකාශ සිදුකර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියල්ල නිල ප්‍රකාශ නොව, නිල නොවන ප්‍රකාශයන්ය. ඒ කොයිහැටි වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව බිමල් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය ආණ්ඩුව ඇතුළේ මාස කීපයක් පුරා සාකච්ඡා කොට සියලු දෙනාගේම එකඟතාව අනුව සිදුකළ කැබිනට් සංශෝධනයක් යැයි කියාය.




    කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බව රට හමුවේ පළමු වතාවට ප්‍රකාශ කළේ වෙන කවුරුවත් නොව බිමල්මය. පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියට පැමිණි බිමල් එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මනින්ම අමාත්‍ය මංණ්ඩල සංශෝධනයක් සිදුවිය යුතු යැයි කියාය. එහිදී බොහෝ ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බව කී බිමල්, තමාගේ අමාත්‍යාංශයද වෙනස් විය හැකි බව සඳහන් කර සිටියේය. එහිදී විශේෂ වචනයක් භාවිත කිරීමටද බිමල් කටයුතු කළේය. බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිමද වෙනස් කළ යුතුව ඇතැයි කියාය. ඒ හරහා නොකියා කියූ කතාව වූයේ අගමැති ධුරයේද වෙනසක් සිදුවීමේ ඉඩකඩක් පවතින බවකි.




    නමුත් බිමල්ද නොසිතූ ලෙස ඔහු කළ ප්‍රකාශයට ඊට සතියකට පමණ පසු ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති පෞද්ගලික නාලිකාවකට පැමිණ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවකි. සියලු ඇමැතිවරුන් තමන්ගේ වගකීම නිසි අයුරින් කරමින් සිටින බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය. මීට අමතරව කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිසිසේත්ම සිදු නොවන බවකි. මෙම ප්‍රකාශයන් දෙකම බිමල් කළ ප්‍රකාශයට ඍජුවම ප්‍රතිචාර දැක්වීමක් බව පැහැදිලිවම දැකගන්නට තිබිණි.

    කෙසේ වෙතත් එම සිදුවීම සිදුවී මාස ගණනාවකට පසු කිසිවකුත් කතා නොකරන මොහොතක ජනාධිපතිවරයා හදිසියේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් බිමල් යටතේ තිබූ වරාය කොටස ඔහුගෙන් ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ඊට පෙර බිමල් ආණ්ඩුවේ එන්ජිම වෙනස් විය යුතු බවටත්, තමන් ඇතුළු ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් වන බවටත් ප්‍රකාශයක් සිදුකර තිබුණද අවසානයේදී වෙනස් වී තිබුණේ බිමල්ගේ අමාත්‍යාංශය පමණක් වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව විවිධ පිරිස් බිමල් ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ සිදුකර තිබූ අතර, ඊට විවිධ අර්ථකථන ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.


    බිමල් කෝ?

    කෙසේ වෙතත් රාජ්‍ය රහස් කියවන පාඨකයන්ට මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාදිය යුතු නිසා අප වෙනස් ආකාරයකින් බිමල්ගේ මේ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට මෙම සිදුවීම පසුපස ඇති ගැටලුසහගත තැන් රැසක්ම සොයාගත හැකි විය. උදාහරණයක් ලෙස බිමල්ගෙන් වරාය කොටස ඉවත් කොට නාගරික සංවර්ධන අධිකාරියට භාරදී තිබුණද එහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව බිමල් ප්‍රසිද්ධියේ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. දිවුරුම් දී පැය ගණනකට පසු බිමල් හදිසියේම විදෙස්ගත වීම පුදුමසහගත සහ ගුප්ත සිදුවීමක් බවට පත්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ සොයාබැලීම් සිදුකළද බිමල් ගිය රටක් සොයාගැනීමට අපට නොහැකි විය. එමෙන්ම අමාත්‍යාංශය පැත්තෙන් සොයා බලද්දී අපට දැකගන්නට ලැබුණේ බිමල් විදේශගත වී සිටින බවත්, අමාත්‍යාංශ රාජකාරිවලට වාර්තා කර නොමැති බවත්ය.
     
    unnamed

    සාමාන්‍යයෙන් බිමල්ගේ ෆේස්බුක් ගිණුමේ නිතරම ඔහුගේ වැඩ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් යාවත්කාලීන වීමක් වන නිසා ඊට පිවිස බැලුවද අපට එහි අලුත් යාවත්කාලීන කිරීම් කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. එහි අවසන් වරට දක්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා මෙට්‍රෝ බස් ආයතනය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට බිමල් සහභාගි වී සිටි එකකි. ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදාද බිමල් සහභාගි වූ උත්සව දෙකක තොරතුරු එහි සඳහන්ව තිබිණි. නමුත් ඉන් අනතුරුව එහි යාවත්කාලීන වීමක් දැකගන්නට ලැබුණේ නැත.

    ඉන් අනතුරුව අප නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියටද පිවිස ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකළෙමු. එහි බිමල් නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ කිසිදු ඡායාරූපයක් දැකගන්නට ලැබුණේ ද නැත. බිමල්ගේ නම පමණක් එහි සඳහන්ව තිබුණු නමුත් අඩුම තරමින් බිමල්ගේ ඡායාරූපය හෝ එහි පළකොට නොතිබිණි.

    මීට අමතරව මේ දිනවල බාබඩෝස්හි පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පැවැත්වීම හේතුවෙන් බිමල් ඊට සහභාගි වී ඇද්ද යන්න පිළිබඳවද අපි සොයාබැලීමක නිරත වීමු. එහිදී දැනගන්නට ලැබුණේ බිමල් ඊටද සහභාගි වී නොසිටි බවකි.





    කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු ලොකුම අර්බුදය වූයේ බිමල්ගේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ලාල්කාන්තගෙන් ප්‍රශ්න කරද්දී ලාල්කාන්ත ඊට ලබාදුන් පිළිතුරය. සාමාන්‍යයෙන් ලාල්කාන්ත සැලකෙන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ සිටින ප්‍රධාන නායකයන් පස්දෙනාගෙන් එක් අයකු ලෙසටය. ජවිපෙ ඇතුළේ හෝ ආණ්ඩුව ඇතුළේ යම්කිසි වෙනසක් සිදුවන්නේද, යම්කිසි විශේෂ සාකච්ඡාවක් සිදුවන්නේද ලාල්කාන්තට හොරෙන් එවැන්නක් සිදුවිය නොහැක. කෙසේ වෙතත් පක්ෂය ඇතුළේ මාස කීපයක සාකච්ඡාවකින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බව බිමල් කියා සිටියද, ලාල්කාන්ත කියා සිටියේ එවන් සාකච්ඡාවක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවකි. ලාල්ගේ මෙම කතාවෙන් බිමල්ගේ වරාය ඇමැතිකම ඉවත් කිරීම පක්ෂය ඇතුළේ සාකච්ඡා කොට ගත් එකක් නොවන බව පැහැදිලිය. ඒ කැබිනට් මාරුව හරහා එළියට පැන්නේ ආණ්ඩුව ඇතුළේ පවතින යම් අර්බුදයක පිළිබිඹුවක් බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම කැබිනට් මාරුවෙන් පසු බිමල්ගේ අතුරුදන් වීමද ප්‍රශ්නසහගතය. කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වීමට නියමිත බැවින් බොහෝ දෙනා බිමල්ගේ හැසිරීම දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනවා නොඅනුමානය.



    සජබ-එජාප එකතුව


    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මතුවූ සිදුවීම් පෙළ හරහා බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සජබය සහ එජාපය අතර එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. ඒ සඳහා සජබයෙන් අවංක උත්සාහයක් දැරුණු අතර, අවසන් වරට පැවැති සජබ කළමනාකරණ රැස්වීමේදී සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඊට තවත් පියවරක් ඉදිරියට තබමිනි. නමුත් එහිදී ඉදිරිපත් කෙරුණු එකම කොන්දේසිය වූයේ සජබය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වීම නිසා සජබ නායකත්වයෙන්, මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් එම එකතුව සිදුවිය යුතු යැයි කියාය.

    එය සාධාරණ ඉල්ලීමක් බව ඕනෑම අයකුට පෙනී යන්නේ එජාපය රනිල්ගේ නායකත්වය යටතේ මේ වනවිට පත්ව ඇති තත්ත්වය දෙස බලන විටය. මෙවර පාර්ලිමේන්තුවේදී එජාපයෙන් කිසිදු නියෝජනයක් නොමැති අතර එජාපය මහමැතිවරණයට ඉදිරිපත් වූයේද සිලින්ඩරය ලකුණෙන් යුතුවය. 2020 පාර්ලිමේන්තුවේදී එජාපයට හිමිවූයේ එකම එක ජාතික ලැයිස්තුවක් පමණි. ලැබුණු ඡන්ද ප්‍රමාණය වූයේ ලක්ෂ දෙකහමාරක් පමණි. නමුත් දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඔළමොට්ටලයන් කිහිප දෙනකු මෝඩ තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් හා රනිල් ගත් ඡන්ද ප්‍රමාණයන් එකතු කළ විට සජබයට දිනන්නට තිබුණා යැයි කියාය.

    නමුත් මොවුන් අමතක කරන කරුණ වන්නේ රනිල්ට ජනාධිපතිවරණයේදී බහුතරයක්ම ලැබුණේ එජාප ඡන්ද නොව පොහොට්ටුවේ ඡන්ද යන කාරණාවය. සජබ ඡන්දද රනිල්ට ගියේ නැත. නාමල් ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකහමාරට පොහොට්ටු ඡන්ද අඩු කරගත්තද එය මාස 5ක් ඇතුළත ලක්ෂ 10 දක්වා පළාත් පාලන මැතිවරණයේදී ඉහළ නංවා ගැනීමට නාමල්ට හැකියාව ලැබිණි. එහි තේරුම වන්නේ රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද නැවත පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවී ඇති බවකි. බොහෝ දුරට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නාමල් මෙම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 15-16 දක්වා ඉහළ නංවාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහි තේරුමද රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද සියල්ලම පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවනු ඇති බවය.

     ඒ අනුව දැන් රනිල් සිටින්නේ 2020 මහ ඡන්දයෙන් ගත් ලක්ෂ දෙකහමාරක ඡන්ද ප්‍රමාණයට නැවතත් වැටීය. වරක් රටේ ජනාධිපති බවට පත්වූ රනිල් මේ වනවිට මුහුණදී ඇත්තේ එවැනි ඉරණමකටය.

    නමුත් සජබයේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. සජබය පසුගිය ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදීද ආරක්ෂා කරගන්නට සමත් විය. පළාත් පාලන මැතිවරණයේදීත් මෙම ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට සජබයට හැකි විය. මේ වනවිට සජබය ගම් මට්ටමින් පවත්වන සමුපකාර ඡන්දවලින් දිගින් දිගටම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. ඇතැම් ස්ථානවල තනිවම මෙම ජයග්‍රහණ ලැබීමට සජබය සමත්ව ඇති අතර, ඇතැම් ස්ථානවල විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව ජයග්‍රහණය කිරීමට සජබය සමත්ව ඇත.

    ජනාධිපතිවරණයට පෙර මාලිමාවද මේ ආකාරයෙන් ගම් මට්ටමේ සමුපාකාර එක දිගට ජයග්‍රහණ කළ අතර, ඒ අවස්ථාවේදී අනුර ප්‍රසිද්ධියේම කියා සිටියේ ගමේ ජයග්‍රාහී සමුපකාර ඡන්ද රැල්ලෙන් රටේ ජයග්‍රාහී ඡන්ද රැල්ල හඳුනාගත හැකි යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජබයද ගමේ සමුපකාර ඡන්ද එක දිගට ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී රැල්ලක් ආරම්භ කර තිබේ. නමුත් මේ සමුපකාර ඡන්දවල ඉහළින් සජබය සහ පොහොට්ටුවේ නම කියැවුණද ඒ කිසිදු තැනක එජාපයේ නමක් සඳහන් වන්නේ නැත. ඒ තරමටම ගමේ එජාපය දියවී ගොස් හමාරය.

    අනෙක රනිල්ට දැන් වයස අවුරුදු 77කි. රනිල්ගේ නායකත්වය යටතේ හෝ සම නායකත්වය යටතේ හෝ ආණ්ඩු අල්ලන්න සන්ධාන හදන්න කවුරු හෝ කතා කරනවා නම් එය වසරේ හොඳම විහිළුව ලෙස සැලකිය හැකිය. මේ සියලු කරුණු දෙස බලන විට සජබය සහ එජාපය එකතුවේදී එහි මූලිකත්වය හිමිවිය යුතු වන්නේ සජබයටය. එජාප පාක්ෂිකයොත් මේ වනවිට සඳහන් කරන්නේ සජිත්ට අවශ්‍ය වේලාවේදී එජාප නායකත්වය ලබාදීමට රනිල් කටයුතු නොකිරීමෙන් එජාපය දෙකට කැඩුණු බවය. එජාපය දිගින් දිගටම පරාජයට පත්වී එකදු මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුවට පත්විය නොහැකි තැනට පත්වූ බවය. දැන් හෝ සජිත්ට නායකත්වය ලබාදී මේ පක්ෂ දෙක එකතු කළ යුතු බව එජාප පාක්ෂිකයන්ගේ ද ස්ථාවරයය.
     


    මේ මතය එජාප පාක්ෂිකයන් තුළ ගොනුවූයේ රනිල් අත්අඩංගුවට ගැනීමෙන් පසු සජිත් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් අවංකව පෙනීසිටීමෙන් පසුවය. නමුත් රනිල් රෝහලේ ඇඳෙන් නැගිට්ට මොහොතේ සිට කළේ ඇතිවීමට තිබූ සජබ-එජාප එකතුව කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණ කිරීමය. සිය පවුලේ පත්තරවලින් බොරු පුවත් පළකරමින් සජිත් හිරේ යන බවටත්, සජිත් මුදල් අවභාවිත කර ඇති බවටත්, සජිත් අත්අඩංගුවට ගන්නා බවටත් කියමින් තමන්ට සමීප නිවුස් ප්ලාන්ට් කල්ලියත්, තම පවුලට අයත් පත්තරවලත් බොරු පුවත් මැවීමය.

    ranil wickremesinghe

    රනිල්ගේ අරමුණ වී තිබුණේ මේ හරහා පක්ෂ දෙක එකතු කිරීමේ මෙහෙයුමෙන් සජිත්ව ඉවත් කිරීමය. නමුත් මේ වනවිට පරිණත නායකයකු ලෙස කටයුතු කරන සජිත් රනිල්ගේ උගුලේ නොවැටී පක්ෂ දෙක එකතු විය යුතු බවට තීන්දු කරමින් රනිල් අටවපු උගුලේ රනිල්වම හිර කිරීමට පියවර ගත්තේය. මේ හරහා රනිලුත් රනිල්ට සමීප දෙතුන්දෙනාත් මහත් කලබලයට පත්ව ඇති ආකාරයක් දැකගත හැකිය. මේ දෙතුන් දෙනා වන්නේ සාගලත්, වජිරත්ය. නමුත් ඒ දෙතුන්දෙනා හැරුණු විට නමක් තියෙන අනෙක් සියලු එජාප ප්‍රධානීන් මේ වනවිට සිටින්නේ එජාපය මේ මොහොතේ හෝ සජබය සමග එක්විය යුතු බවට වූ ස්ථාවරයේය.




    වජිරට කොන්ත්‍රාත්තුවක්

    ඒ අනුව මෙම සමගිය කඩාදැමීම සඳහා වහාම වජිර කැඳවූ රනිල්, ඔහුට දැනුම් දී සිටියේ සජබය අසීරුතාවට පත්වන ආකාරයේ නිවේදනයක් නිකුත් කරන ලෙසටය. ඒ අනුව වජිරද කළේ සජබය සමග එක්වන කතා කිසිවක් සඳහන් නොකොට එජාප මහා සම්මේලනයේදී තීන්දු කළේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු කිරීම බව කියමින් නිවේදනයක් නිකුත් කිරීමය. ඒ හරහා වජිර සජබයට දුන් පණිවුඩය වූයේ සජබය සමග එකතු වීමට එජාපය සූදානම් නැති බවය.

    කෙසේ වෙතත් වජිර මෙවැනි නිවේදනයක් නිකුත් කරන බවක් එජාපයේ අනෙක් ප්‍රධානීන් දැන සිටියේ නැත. ඒ අනුව මෙම නිවේදනය දුටු නවීන්, අකිල, තලතා ඒ සම්බන්ධයෙන් දැඩිව සිය විරෝධය පළකොට ඇති බවක් ආරංචිය. එපමණක් නොව නවීන් ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පක්ෂ දෙක එකතු විය යුතු බවට සජිත් ගත් තීන්දුව ඉතා හොඳ එකක් බවත්, එසේ පක්ෂ දෙක එකතු වුවහොත් තමන්ද පළාත් සභා මැතිවරණයේදී තරග කරන බවත්ය.

    මේ අතර, එජාපයෙන් නිකුත් වූ මෙම නිවේදනය පිළිබඳ සජබය පාර්ශ්වයෙන්ද කිසියම් සොයාබැලීමක් සිදුකෙරිණි. එහිදී බොහෝ දෙනා කියා සිටියේ එජාපයේ සිටින ‘ත්‍රී ඉඩියට්ස්’ලා විසින් මෙම නිවේදනය නිකුත් කොට ඇති බවය. පක්ෂය ඇතුළේ කිසිදු සාකච්ඡාවකින් තොරව මෙම නිවේදනය නිකුත් කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරද්දී සිය විරෝධය ඊට පළකරන බවත්, සජබ-එජාප එකමුතුවට සහාය පළකරන එජාපයේ ප්‍රධානීන් සඳහන් කොට ඇති බවත් ආරංචිය.

    unp
    එමෙන්ම අඟහරුවාදා සවස මේ එජාපයේ ප්‍රබලයන් තිදෙනා විසින් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට තවත් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබූහ. ඒ, සජබ-එජාප එකතුව සම්බන්ධයෙන් කතා කරද්දී ගතයුතු ලයින් එක පිළිබඳ දැනුම් දෙමිනි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයත් අනෙකුත් දේශපාලන පක්ෂත් අතර පොදු එකඟතාවකින් කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි.

    එම සාකච්ඡා අඛණ්ඩවම තවමත් ක්‍රියාත්මක වේ. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන්නේ පොදු එකඟතාවයකින් ක්‍රියා කිරීම සඳහා සමගි ජන බලවේගය මෙන්ම අනිකුත් දේශපාලන පක්ෂ ද සම්බන්ධ කරගත යුතු බවය.

    බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය එල්බ සිටී. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගයට අමතරව අනෙකුත් දේශපාලන පක්ෂත් ඊට එක්කර ගතයුතුය.

    බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා වැදගත් පියවරක් ලෙස නොවැම්බර් මස 11 වැනි දින නුගේගොඩ පැවැත්වෙන ‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ රැලියට සහභාගි වන ලෙස සමගි ජන බලවේගය ඇතුළු සියලුම පක්ෂවලට ඇරයුම් කරමු. යනුවෙන් එහි සඳහන්ව තිබිණ.



    මේ නිවේදනය නිකුත් වීමත් සමග එජාපයේ මේ ත්‍රිමූර්තිය හැරුණු විට අනෙකුත් සියලු දෙනාම කැලඹී ගිය ආකාරයක් දැකගත හැකි විය. පක්ෂය ඇතුළේ කිසිදු සාකච්ඡාවක් නොකර මෙවැනි උපදෙසක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිටින්නේ ඉදිරි දිනකදී කෙළින්ම සිය විරෝධය පළකිරීමටය.



    මේ සියල්ල අතරවාරයේ පක්ෂ දෙක එකතු කිරීම සිදුකරන්නේ කෙසේද යන්න සොයාබලා වාර්තා කරන ලෙසට සජිත් විසින් කබීර්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවද මේ වනවිට සිය වාර්තාව සකස් කිරීමේ අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් වාර්තා වේ. කමිටු සාමාජික මුජිබර් රහුමාන් පසුගිය සතියේ බාබඩෝස් සංචාරයක නිරත වීම නිසා සජිත් කළේ ඒ වෙනුවට ඉරාන් වික්‍රමරත්නව පත්කිරීමය. ඒ අනුව කබීරුත්, මරික්කාරුත්, ඉරානුත් එජාප ප්‍රධානීන් සමග සාකච්ඡා කරමින් එම වාර්තාව සකස් කරන බවක් රනිල්ටද වාර්තා විය.

    ඒ අනුව රනිල් වහාම එජාප නියෝජිතයන්ට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ කබීර් සමග හෝ මරික්කාර් සමග හෝ ඉරාන් සමග කිසිදු සාකච්ඡාකට නොයන ලෙසටය. එහිදී රනිල් වැඩිදුරටත් කියා ඇත්තේ තමන් වෙනත් චැනල් එකකින් සජබයේ ඉහළ අයත් සමග වෙනම ගනුදෙනුවක නිරත වන බවය. රනිල් මේ ගනුදෙනුව කරන කණ්ඩායම පිළිබඳවද රාජ්‍ය රහස් තීරයට තොරතුරු වාර්තා වී තිබේ. නමුත් අප වගකීමෙන් යුතුව කියා සිටින්නේ රනිල් ගනුදෙනු කරන ඒ චැනල් එකකිනුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් රනිල්ට දී නැතැයි කියාය.


    නාමල්වත් පාව්චිච් කරලා


    ඉන් අනතුරුව රනිල් කළේ සජබය තවදුරටත් බිමට වැට්ටවීම සඳහා නාමල්ව පාවිච්චි කිරීමය. රනිල් ඒ දේ කරන්නේ ලබන 11 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලියට පොහොට්ටු පාක්ෂිකයන් ගෙන්වා ගැනීමටය. ඒ හරහා රනිල්ගේ සැලැස්ම වී ඇත්තේ හීන්සීරුවේ යළිත් පොහොට්ටුවට රිංගා ගැනීමය. අප මේ බව මීට මාසයකට ඉහතදී පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවූ සිදුවීමක් වාර්තා කරමින් පළමු වරට රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. 
    එහිදී රනිල් පොහොට්ටුව සමග සන්ධානයක් ගොඩනැගිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරද්දී ඊට තලතා, රුවන් ඇතුළු කණ්ඩායමක් දැඩි විරෝධය පළකරමින් පොහොට්ටුවේ ඇත්තේ වෙනත් සංස්කෘතියක් බවත්, එය එජාප සංස්කෘතියට නොගැළපෙන බවත් කියා සිටියහ. නමුත් රනිල් එම විරෝධය තඹේකට මායිම් කර නොමැති බවක් මේ වනවිට සිදුවන සිදුවීම්වලින් පැහැදිලිව දැකගත හැකිය.



    \

    ඉකුත් ජනාධිපතිවරණයේදී තමන්ට ලැබුණු පොහොට්ටු ඡන්ද නැවත නාමල් එකතු කරගනිමින් සිටින බව වටහාගෙන සිටින රනිල්, මේ වනවිට සූදානමින් සිටින්නේ නාමල්ව තමන්ට ළං කරගෙන නැවත වතාවක් එම පොහොට්ටු ඡන්දවලට වගකීමටය. එසේත් නොමැති නම් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව සමග සන්ධානයක් ගොඩනගාගෙන එහි ඡන්දවලින් එජාපයේ පිරිසක් පළාත් සභාව ඇතුළට රිංගවීමටය.



    හොරුත් එක්ක බෑ


    එජාපය සමග එකතු වීමට සජබ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළද තවත් වැදගත් තීන්දුවක්ද සජබය මේ වනවිට ගෙන තිබේ. ඒ, කා සමග එකතු වුවද හොරු සමග එකතු නොවීමටය. එමෙන්ම පොහොට්ටුව සමගද එකතු නොවීමටය. මේ වනවිට සජබය පිරිසිදු පක්ෂයක් ලෙස රටම හඳුනාගෙන ඇති බැවින් කිසිසේත්ම දූෂණ චෝදනාවලට ලක්වූ පිරිස් සමග සන්ධානගත නොවීමට පක්ෂය තීන්දු කර ඇති බව එස්.එම්. මරික්කාර් පසුගියදා මාධ්‍ය හමුවේ කීවේ ඒ අනුවය. අජිත් පෙරේරා කියා සිටියේ දේශපාලන කාරණාවලදී අසාධාරණයක් වන්නේ නම් ඒ වෙනුවෙන් පෙනීසිටිනවා විනා පොහොට්ටුව සමග කිසිදු අවස්ථාවක සන්ධානගත වීමක් සිදු නොවනවා යැයි කියාය.

    එමෙන්ම සජබ සන්ධානය ඇතුළේ සිටින මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් වැනි අයද මාධ්‍ය ඉදිරියේ සඳහන් කර සිටියේ හොරු එක්ක කිසිසේත්ම වාඩිවීමට හෝ හොරු එකතු කරගැනීමට හෝ සජබය කටයුතු නොකළ යුතු යැයි කියාය. ඒ හරහා මෙම දේශපාලන නායකයන් නොකියා කීවේ ලබන 11 වැනිදා නුගේගොඩදී රනිල්ගේ සහ නාමල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රැස්වීමට සහභාගි නොවන බවය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දැනටමත් සජිත් මෙම රැස්වීමට සහභාගි නොවීමට තීන්දු කොට ඇති බවය. එමෙන්ම සජබ ජ්‍යෙෂ්ඨයන්ද දැඩි තීන්දුවක් ගෙන ඇත්තේ මෙම රැස්වීමට සහභාගි නොවීමටය. මීට අමතරව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි සජබ සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන්ද සිටින්නේ නුගේගොඩ රැස්වීමට සහභාගි නොවීමේ ස්ථාවරයකය.

    රනිල් සහ නාමල් නුගේගොඩ රැලිය සාර්ථක කරගැනීමට කටයුතු කරන අතරවාරයේ සජිත් මේ දිනවල සිටින්නේ සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් ආසන මට්ටමින් ගමින් ගමට යමින්ය. ඒ අතරවාරයේ ආණ්ඩුව විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබීම නිසා සජිත් ඒ යන සෑම රැස්වීමකදීම කියා සිටියේ ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ජනතාව සමග පාරට බහිනවා යැයි කියාය. ඒ අනුව සජිත් ගම් මට්ටමේ සියලු සජබ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දී සිටියේ යම් හෙයකින් විදුලි බිල ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගතහොත් ඊට පසු දිනම එක වර රට වටේම සජබ පාක්ෂිකයන් ඊට එරෙහිව පාරට බැස්සවීමට සූදානම් කර තබන ලෙසය. ඒ අනුව සජබ ආසන සංවිධායකවරුන්ද, පළාත් පාලන මන්ත්‍රීවරුද පසුගිය සති දෙක පුරාම ගම් මට්ටමෙන් ඊට සංවිධාන වෙමින් පාක්ෂිකයන් එකතු කිරීමට කටයුතු කළහ.

    565108944 1385042432981985 9088808222874011188 n
    ඒ අනුව අපට ඇති යම් යම් තොරතුරුවලින් කියැවෙන්නේ නුගේගොඩ රනිල් – නාමල්ගේ රැලිය මෙන්ම විදුලි බිලට එරෙහිව ගම් මට්ටමෙන් සජබය දියත් කරන්නට යන කැරැල්ල පිළිබඳවද සියලු තොරතුරු ආණ්ඩුවට වාර්තා වී ඇති බවය. එහිදී නාමල් බස් 100ක් රැගෙන එන බව වාර්තා වුණද, ආණ්ඩුව ඒ ගැන වැඩි තැකීමක් නොකළේය. නමුත් සජිත්ගේ විදුලි බිලට එරෙහි ගම් මට්ටමේ මෙහෙයුම පිළිබඳ ආණ්ඩුව දැඩි අවධානයක් යොමුකර තිබුණේ විශාල පිරිසක් ඒ වටා රොක් වෙමින් සිටින බවටත්, යම් හෙයකින් විදුලි බිල වැඩිකළහොත් දැනට ගමේ සජබයට ගොඩනැගෙමින් පවතින ප්‍රසාදය තවදුරටත් ඉහළ යාහැකි බවටත් තොරතුරු වාර්තා වී තිබීම නිසාය. අනෙක මේ වනවිට සජිත්ගේ ගම් මට්ටමෙන් සිදුවන සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට ජනතාවගෙන් විශාල ප්‍රතිචාර හිමිවෙමින් පවතින බවද ආණ්ඩුවට වාර්තා වී තිබිණි.

    ඒ අනුව ආණ්ඩුව පසුගිය වතාවේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි නොකරන ලෙස දැනුම්දී තිබියදී ඊට එරෙහිව යමින් විදුලි බිල වැඩිකළද මෙවර මහජන උපයෝගිතා කොමිසම වැඩි නොකරන ලෙසට දුන් නියෝගය පිළිපදිමින් නිහඬව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. ආණ්ඩුවේ මෙම හැසිරීමත් සමග ගම් මට්ටමෙන් සජබයට එන ප්‍රසාදය ආණ්ඩුව වටහාගෙන සිටින බවක් දැකගැනීමට පුළුවන.





    කෙසේ වෙතත් රනිල් සමග එකතු වී නුගේගොඩ රැලිය සංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ වනවිට නාමල්ටද පොහොට්ටුව ඇතුළෙන් විශාල විරෝධයක් එල්ල වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. මෙහි පළමු විරෝධය එල්ල වූයේ රනිල් ගැන හොඳටම දන්නා ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන්ය. පොහොට්ටුව රනිල්ට ජනාධිපති ධුරය ලබාදීමට තීන්දු කරද්දීම ජොනී කී ප්‍රසිද්ධ කතාවක් වූයේ රනිල් කොයි වෙලාවේ හෝ රාජපක්ෂලාටත්, පොහොට්ටුවටත් වැඩේ දෙනවා යැයි කියාය. ජොනී කී පරිදිම රනිල් පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වී මාස කීපයක් අතුළත පොහොට්ටුවත් දෙකට කඩා රාජපක්ෂලාවත් නන්නත්තාර කළේය.



    එමෙන්ම පසුගිය කාලයේදී රනිල්ට ළංව සිටි පොහොට්ටු ප්‍රධානීන් වූ රෝහිත අබේගුණවර්ධන, නිමල් ලංසා වැනි පිරිස්ද මේ වනවිට සිටින්නේ රනිල්ගේ තරම තේරුම් ගෙන යළිත් පොහොට්ටුවට එක්වය. ඔවුන්ද නාමල්ට දී ඇති පණිවුඩය වී ඇත්තේ රනිල්ට නැවත වතාවක් අහුවෙන්න එපා යැයි කියාය. පොහොට්ටු ඡන්ද රනිල්ට හරවන්න එපා යැයි කියාය. රනිල්ගේ දේශපාලනය අවසන් බවත්, ඔහු තවදුරටත් දේශපාලනයේ ලකුණක් නොවන බවත් මේ පිරිස් නාමල්ට දැනුම් දී ඇති බවක්ද ආරංචිය.

    මීට අමතරව පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල්ද ඇමෙරිකාවේ සිට පොහොට්ටුවට පණිවුඩයක් එවමින් දැනුම් දී ඇත්තේ රනිල්ට කිසිසේත්ම පොහොට්ටුවේ සහාය ලබා නොදෙන්න යැයි කියාය. රනිල්ගේ දේශපාලනය අවසන් බවත්, තවදුරටත් රනිල් සමග එක්ව ගමනක් යෑමේ ඉඩක් නොමැති බවත් එහිදී බැසිල් විසින් දැනුම් දී ඇති බවක්ද ආරංචිය. මෙය බොහෝ විට බැසිල් විසින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ට ලබාදී ඇති බවක් පෙනී යන්නේ වහාම සාගර මාධ්‍ය හමුවක් පවත්වා එජාපය සමග හෝ සජබය සමග සන්ධානගත වන්නේ මහින්ද ප්‍රතිපත්තිය පිළිගන්නා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළහොත් පමණක් බව ප්‍රකාශ කිරීම නිසාය.
     
    basil rajapaksa reuters1

     බොහෝ දෙනා කියන්නේ බැසිල් විසින් මෙම විග්‍රහය පොහොට්ටුවට ලබාදී ඇති බවත්, එසේ නොමැතිව සාගර විසින් එවැනි ප්‍රකාශයක් නොකරනු ඇති බවත්ය. අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ නාමල්ටද මෙම දැනුම්දීම ලැබී ඇති බවකි. ඒ අනුව නාමල්ද පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණහොත් කෙසේවත් රනිල්ට එහිදී සහාය දක්වන්නේ නැතැයි කියාය.

    (සටහන | කපිල පුංචිමාන්නගේ)

    උපුටා ගැනීම - mawratanews.lk




  • ''අපේ ජනාධිපතිතුමා'' ගැන පොඩි එකා ලියපු රචනය

    පොඩි එකාට වයස තවම අවුරුදු නවය යි; ඉන්නෙ හතරෙ පංතියෙ.

  • ''තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා'' - ජනාධිපති උපදේශක හාන්ස් විජයසූරියට බරපතල චෝදනාවක්

    *පාස්කු ප්‍රහාරයට බබා හුකුම් පාට් දාපු ජනාධිපතිතුමා තාජුඩීන් ඝාතනයටත් බබා හුකුම් පාට් දානවා!

    *B වාර්තාව වැරදි විදිහට ලියපු අයට මේ ආණ්ඩුව තනතුරු දීලා!

    *සිද්ධිය වුණු වෙලාවේ දුරකතන සංවාද වාර්තාව හංගපු අය මේ ආණ්ඩුවේ උපදේශකවරු වෙලා!

    *රාජපක්ෂලා එක්ක හිටපු විශාල පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා!



    තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා මේ ආණ්ඩුවේ සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

    හෙතෙම මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.






    තාජුදීන්ගේ ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර කෙරුණු දුරකථන සංවාද හතළිහකට අදාල වාර්තාව දුරකතන සමාගමක   ප්‍රධානීන් හැංගූ බව කී මුජිබර් මන්ත්‍රීවරයා, එදා පාලකයන්ට හිතවත්ව සිටි ඒ දුරකථන සමාගම් ලොක්කන් දැන් ජනාධිපතිවරයාට සමීපව සිටින බව ද ප්‍රකාශ කළේය.




    පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව විශ්වාසභංග යෝජනාවක්වත් ගේන්නවත් මේ ආණ්ඩුව ඉඩ නොදෙන බව රහුමාන් කියා සිටියේය.


    ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

    '' රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය ආණ්ඩුව අලුත් තැනකට ගෙනැවිත් තිබෙනවා. වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.



     ඒ වගේම වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් බී වාර්තාව වැරදි ආකාරයට ලියපු පිරිස් ආණ්ඩුවේ සිටිනවා. වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදුවුණ දිනයේ අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර සිදුවුණ දුරකථන සංවාද 40 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ වාර්තා අදාල දුරකතන සමාගමේ ප්‍රධානින් සඟවා තිබෙනවා.

    එම දුරකථන සමාගම වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සිදුවන විට පාලනයේ සිටි පාලකයන්ගේ හිතවත් පිරිසක්. ඔවුන් අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ උපදේශකවරු ලෙස පත්වී සිටිනවා.


    6023 rugby player wasim thajudeen was murdered update1425301870වසීම් තාජුඩීන්
    කෙසේ නමුත් මේ ආකාරයට වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සෙවීම් ප්‍රශ්නයක්.

    ඒ වගේම රාජපක්ෂවරුගේ පාලන කාලය තුළ සිටි විශාල පිරිසක් වර්තමාන ආණ්ඩුව තුළ සිටිනවා. ඔවුන්ගේ බලපෑම්වලට ආණ්ඩුව යටත්ව සිටිනවාදැයි ද සැකයක් මතුවෙනවා.''








    තාජුඩීන් ඝාතනයේ අඳුරු සෙවණැලිවලට පිළිතුරු දිය යුතුයි


    ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක තනතුරට පත් කිරීමට කටයුතු කරද්දී ඊට එරෙහිව විපක්ශය විරෝධතා ප්‍රකාශ කලත්, එහිදී ආණ්ඩුවේ බලධාරීන් ඔහුගේ වෘත්තීමය පලපුරුද්ද සහ දක්ෂතා ඉහලින්ම අවධාරණය කළේය. මේවනවිට ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විස්වාසවන්තම සගයකුව සිටියි.  

     

    Haans Wijesooriya

     




    2024 දෙසැම්බර් 4 වන දින පාර්ලිමේන්තුව අමතමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජනාධිපතිවරයා ඉටු කරන බවට පොරොන්දු වූ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටම බාධා කළ බවට චෝදනා ලබන පුද්ගලයෙකු ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින්, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශ්වසනීයත්වය දැඩි ලෙස ප්‍රශ්න කළේය.

     



    ඝාතනය සහ යට ගැසූ සත්‍යය


    2012 මැයි 17 වන දින අලුයම 1:00 ට පමණ, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ 28 හැවිරිදි රගර් නායක වසීම් තාජුඩීන්, කොළඹ නාරාහේන්පිට, පාක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල ගිනිගෙන දැවෙන මෝටර් රථයක තිබී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

    පොලිසිය ක්ෂණිකව මෙය රිය අනතුරක් ලෙස වර්ගීකරණය කළේය . බීමතින් රිය පැදවීම නිසා ඇති වූ අනතුරකින් මෝටර් රථය ගිනිගෙන ඇති බව ඔවුන්ගේ නිගමනය විය.

    එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරද මෙම කතාව තහවුරු කළේය.

     

    images



     


    එහෙත්, 2015 දී ඔහුගේ සිරුර ගොඩ ගැනීමත් සමඟ මෙම නිල කතාව බිඳ වැටෙන්නට විය. රිය අනතුරකින් සිදු නොවන, පහරදීමකින් සිදු වූ බරපතල තුවාල පිළිබඳ සාක්ෂි එහිදී හෙළි විය. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට 2019 ජුනි මාසයේදී, දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ සාක්ෂි වසන් කිරීම සහ ගෙතීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරමින්, මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් පළමු විත්තිකරු බවට පත් විය. ආචාර්ය ආනන්ද සමරසේකරට ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි විකෘති කිරීමේ චෝදනාව එල්ල විය.

     

     

     

    ඉහත කී දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත.

     

    6669 wasim thajudeen body parts missing447883658



    අතුරුදන් වූ දුරකථන වාර්තා


    පරීක්ෂණවල ප්‍රගතිය රඳා පැවතියේ ප්‍රධාන සැකකරුවන්ගේ දුරකථන වාර්තා ලබා ගැනීම මතය. පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන්ගේ ප්‍රකාශයට අනුව, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී අනුර සේනානායක සහ තවත් අය විසින් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත ලබා දීම ඩයලොග් සමාගම ප්‍රතික්ෂේප කිරීම නිසා යහපාලන ආණ්ඩුව සමයේ සිදු කළ පරීක්ෂණ ඇනහිටියේය.



    එවකට ආචාර්ය හාන්ස් විජයසූරියගේ නායකත්වය යටතේ පැවති ඩයලොග් ආසියාටා සමාගම මෙම මතභේදයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ඩයලොග් ආසියාටා සමාගම අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරමින් කියා සිටියේ, තාක්ෂණික සහ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් දුරකථන වාර්තා ලබා දීමට නොහැකි බවත්, සාමාන්‍යයෙන් තම සමාගම දුරකථන ඇමතුම් වාර්තා තබා ගන්නේ මාස තුනක කාලයක් පමණක් බවත්ය.


    පාර්ලිමේන්තු සංවාදයේ ගැටුම




    දෙසැම්බර් 4 වන දින පාර්ලිමේන්තුව අමතමින් මුජිබර් රහුමාන් කියා සිටියේ, විජයසූරිය මහතා ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ දිවංගත ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර වැනි අයට අදාළ වැදගත් දුරකථන වාර්තා ලබා නොදෙමින් ඝාතන පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂි යටපත් කිරීමට සම්බන්ධ වූ බවයි.

     




    එහිදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ ආරක්ෂාකාරී පිළිතුරකි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස පැහැදිලි කළේ, මෙම ප්‍රමාදය තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවත්, "අවශ්‍ය සියලු තොරතුරු දැන් ලැබී ඇති අතර, පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට යනු ඇති" බවත්ය.

     

    55 large
    රහුමාන් මෙම පැහැදිලි කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කළේය. ඔහු පාර්ලිමේන්තුවට මතක් කර දුන්නේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වූ මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට අදාළ සමාගමේ නිලධාරීන් කැඳවා, තොරතුරු නිකුත් කිරීමට එකඟ නොවන්නේ නම් සමාගමේ බලපත්‍රය අවලංගු කරන බවට තර්ජනය කිරීමට සිදු වූ බවයි.


    ආචාර්ය විජයසූරිය මේවාට පිලිතුරුදිය යුතුයි !


    ආචාර්ය විජයසූරිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස දරන තනතුර, ඔහුගේ නිහඬතාවය තවදුරටත් පිළිගත නොහැකි තත්ත්වයට පත්කර ඇත. පහත සඳහන් ප්‍රශ්න සඳහා වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ:

    * ප්‍රමාදය තාක්ෂණිකද, නැතහොත් සිතාමතා කළ දෙයක්ද?

    "තාක්ෂණික දුෂ්කරතා" පිළිබඳ ඩයලොග් සමාගමේ ප්‍රකාශය, වාර්තා නිකුත් කිරීමට පෙර රජය විසින් බලපත්‍ර අවලංගු කිරීමේ තර්ජනය කිරීමේ ලේඛනගත සිදුවීම සමඟ පරස්පර වේ. තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමට සාමාන්‍යයෙන් ආණ්ඩුවේ අවසන් නිවේදන අවශ්‍ය නොවේ.


    * යටපත් කිරීමේ නියෝගය දුන්නේ කවුද? රාජපක්ෂ පාලන සමයේ බලවත් දේශපාලන චරිතවල පීඩනය යටතේ ආචාර්ය විජයසූරිය  ක්‍රියා කළේ නම් , විරුද්ධ මත ම්ලේච්ඡ ලෙස මර්දනය කළ ආණ්ඩුවක් යටතේ, එවැනි නියෝග ලබා දුන් අයව ඔහු හඳුනාගත යුතුය. ඝාතන පරීක්ෂණයකට බාධා කිරීමට උත්සාහ කළ නිලධාරීන් කවුදැයි දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත.


    * සමාගමේ වගකීම කුමක්ද? සාක්ෂි වසන් කිරීමට ඩයලොග් සමාගම ගත් තීරණය, සමාගමේ ප්‍රතිපත්තියක්ද, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ තනි තීරණයක්ද, නැතහොත් බාහිර දේශපාලන පීඩනයක්ද? වගවීම සඳහා මෙම වෙනස ඉතා වැදගත් වේ.





    ආචාර්ය විජයසූරිය  සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙයිද? ඔහුගේ පෙර අධිකරණ දිවුරුම් ප්‍රකාශ මගින් ලේඛනගත වාර්තාවක් නිර්මාණය කර ඇත. එම ප්‍රකාශවලට පටහැනි ඕනෑම නව සාක්ෂියක්, බොරු සාක්ෂි දීමේ චෝදනාවලට ඔහුව නිරාවරණය කළ හැකිය. එසේ වුවද, යුක්තිය ඉටු කිරීමට නම්, සාක්ෂි යටපත් කිරීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් පිළිගන්නා සම්පූර්ණ සහ සත්‍යවාදී වාර්තාවක් අවශ්‍ය වේ.

     




    මෙය හුදෙක් එක් පත්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ...


    ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගුවේ වගවීම සහ නීතියේ ආධිපත්‍යය යන පදනම මතය. සිය සමාරම්භක දේශනයේදී, ඔහු තාජුඩීන් සිද්ධිය ඇතුළුව, විසඳිය යුතු මතභේදාත්මක ඝාතන සිද්ධි පහක් විශේෂයෙන් ඉස්මතු කළේය. මෙම පරීක්ෂණවලින් එකකට බාධා කළ බවට චෝදනා ලැබූ උපදේශකයෙකු පත් කිරීම, එම පොරොන්දුව අඩපණ කරයි.

     

    Anura Kumara Dissanayake At The Public Rally Of Kaluthara 1024x736

    මෙය හුදෙක් එක් පත්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය නව පරිපාලනයේ කැපවීම් හරයාත්මකද නැතහොත් වාචාලද යන්න පිළිබඳ පරීක්ෂණයකි. විශ්වසනීය සැකයන්ට ලක්වූවන් බලගතු තනතුරුවල තබා ගනිමින්, යුක්තිය පිළිබඳ සදාචාරාත්මක අධිකාරියකට ආණ්ඩුවකට හිමිකම් කිව හැකිද?

    වසීම් තාජුඩීන්ගේ පවුල වසර දොළහකට වැඩි කාලයක් ප්‍රමාදයන්, විනාශ වූ සාක්ෂි සහ අඩාල වූ පරීක්ෂණ විඳ දරාගෙන ඇත. ප්‍රධාන සැකකරුවන් නඩු විභාගයට පෙර මිය ගොස් ඇත. සාක්ෂිකරුවන් පීඩනය යටතේ සාක්ෂි වෙනස් කර ඇත.

    හිටපු JMO ආනන්ද සමරසේකරට, ඝාතනයේ වැදගත් සාක්ෂි ඉවත් කර සැඟවීමේ චෝදනාව එල්ල විය. හිටපු ජ්‍යෙෂ්ඨ DIG අනුර සේනානායක, එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අනුමැතිය ඇතිව මෙම සිද්ධිය රිය අනතුරක් ලෙස වසා දැමූ බවට පරීක්ෂකයන් ප්‍රකාශ කිරීමත් සමඟ, මෙම සිද්ධිය යට ගැසීමට සම්බන්ධ බවට චෝදනා ලැබීය.

    දැන් ඔවුන්ට අසන්නට ලැබෙන්නේ, එම තීරණාත්මක මුල් වසරවලදී යටපත් කරන ලද තොරතුරු හුදෙක් "තාක්ෂණික දෝෂයක්" බවයි.



    ආචාර්ය විජයසූරියට විකල්ප තුනක් තිබේ...


    1- එක්කෝ නිහඬව සිට, සැකය ඔහුගේ කීර්ති නාමයට සහ ජනාධිපති පරිපාලනයට ස්ථිරවම කැළලක් වීමට ඉඩ හැරීම;

    2- දෙවනුව, කිසිවෙකු තෘප්තිමත් නොවන තවත් අසම්පූර්ණ ආයතනික පැහැදිලි කිරීමක් ලබා දීම;

    3- තෙවනුව, සිදු වූ දේ, නියෝග ලබා දුන්නේ කවුරුන්ද සහ ප්‍රමාදයට ඔහුගේම භූමිකාව කුමක්ද යන්න පිළිබඳ සම්පූර්ණ, සත්‍යවාදී වාර්තාවක් සමඟ ඉදිරියට ඒම.



    පළමු විකල්ප දෙක යුක්තියට හෝ ඔහුගේම යහපතට සේවය නොකරයි. තුන්වන විකල්පය, ඔහු මුහුණ දුන් පීඩනය පිළිගනිමින්, යටපත් කිරීමට නියෝග කළ අය හඳුනා ගනිමින් සහ ඔහුගේ භූමිකාව පිළිබඳ වගකීම භාර ගනිමින් කරන සම්පූර්ණ පාපොච්චාරණයක්, මහජන යහපතට සේවය කරන එකම මාර්ගයයි.

    ජනාධිපති දිසානායකද සිය උපදේශකයාගේ නිහඬතාවය පිළිගත හැකිද යන්න තීරණය කළ යුතුය. විනිවිදභාවය පොරොන්දු වූ ආණ්ඩුවකට, යුක්තියට බාධා කළ බවට චෝදනා ලැබූවන් වගවීමෙන් ආරක්ෂා කිරීමට හැකියාවක් නැත.






     

    වසීම් තාජුඩීන් ඝාතනය කරනු ලැබුවේ 2012 මැයි 17 වන දිනයි. දැන් 2025 ඔක්තෝබර් මාසයයි. ඔහුගේ ඝාතකයන් තවමත් නිදැල්ලේය. ඔහුගේ පවුලට තවමත් යුක්තිය ඉටු වී නැත. එම යුක්තිය ප්‍රමාද කිරීමට උදව් කළ බවට චෝදනා ලැබූ එක් අයෙක්, මෙම නඩුව විසඳන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස අද කටයුතු කරයි.

     

     

     

    Waseem Thajudeen 1200px 25 09 30 1000x600

     

    තාක්ෂණික පැහැදිලි කිරීම් සහ ආයතනික මගහැරීම් දැන්වත් අවසන් විය යුතුය. ආචාර්ය හාන්ස් විජයසූරිය, සාක්ෂි වසන් කිරීමේදී ඩයලොග් සමාගමේ භූමිකාව, ඔහු මුහුණ දුන් පීඩනය සහ එම යටපත් කිරීමට නියෝග දුන් පුද්ගලයින් පිළිබඳ සම්පූර්ණ සත්‍යය සමඟ ඉදිරියට පැමිණිය යුතුය.

    ප්‍රමාද වූ යුක්තිය, පැහැර හැරි යුක්තියකි. එහෙත්, යටපත් කළ යුක්තිය, ඝාතනයට හවුල් වීමකි.

  • 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ගැසට් කරයි

    'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ  (31) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

  • 'අධිරාජ්‍යවාදය' නමැති භිතිකාව පලවා හරිමු - Ideas front වීඩියෝවක්

    ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි 'අධිරාජ්‍යවාදය' නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • 'ජනපති ගන්නා උත්සහය හෑල්ලුවට ලක්කිරීම අනුමත කරන්න බැහැ' - සිදම්බරම් කරුණානිධි

    අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපති සිදම්බරම් කරුණානිධි



    වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1750ක වැටුපක් ලබාදීමට ජනපතිවරයා මහත් පරිශ්‍රමයක් දරන මොහොතක, ඊට උදව් නොකොට දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය අක්කරයක්, අක්කර දෙකක් තරම් ඉඩම් වතු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමින් ජනපතිවරයාගේ සුබදායි යහපත් වැඩසටහන අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිධි කියයි.

    අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ..

    ජනපතිවරයා වතු හාම්පුතුන් සමග සාකච්ඡා මාර්ගයෙන් වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප් වැඩිකිරීමට මහත් වෙහෙසක් ගන්නවා. එය අප අගය කළ යුතුයි. එහි ගෞරවය එතුමාට දිය යුතුයි. නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය ජනපතිවරයාගේ උත්සහයට අකුල් හෙලමින් එය වැළැක්විමට කටයුතු කරනවාදැයි අපට සැකයි.

    ඔවුන් කිසි දිනක ළගා කර ගත නොහැකි යෝජනා ගෙන එමින් ජනපතිවරයාගේ උත්සහය හෑල්ලුවට ලක් කරනවා. එය අප පක්ෂය තරයේ හෙළා දකිනවා. වතු කම්කරුවන්ගේ නිවාස, පානීය ජල අවශ්‍යතා, වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීමට වචනයකින් හරි උදව් කරනවා හැර එවැනි යෝජනා කඩා කප්පල් කිරීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.



    (සටහන | ජේ.මුණසිංහ) 

  • 'පන්නන්න තරම් අවුලක් මේ ආණ්ඩුවේ නෑ' - රන්ජන් රාමනායක

    වත්මන් පාලනය කෙරෙහි තමාගේ විශ්වාසය සියයට සියයක්ම පවතින බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක පවසයි.

  • 'මා විනිශ්චය කරන්නේ විපක්ෂය නොවේ - පක්‍ෂය පවුල හා සමාජයයි '- ඇමති බිමල්

    තමා කිසිදු අවස්ථාවක විපක්ෂයෙන් සහතික ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

    දැනට පවතින විපක්ෂය තුළ, 2029 වසරේදී තම පාර්ශ්වයට අභියෝගයක් විය හැකි වැඩපිළිවෙලක් හෝ දැක්මක් සහිත පක්ෂයක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.


    පොදු එකඟතාවක තීන්දුවක්


    බිමල් රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අමාත්‍යාංශවල යම් කුඩා වෙනස්කම් ප්‍රමාණයක් කර ගැනීමටත්, ඒ වගේම දක්ෂ අලුත් කණ්ඩායමකට නියෝජ්‍ය අමාත්‍ය තනතුරු සහ කැබිනට් අමාත්‍ය තනතුරක් ලබා දීමටත් තීරණය කරන ලද්දේ මාස ගණනක් තිස්සේ කරන ලද සංවාදයක ප්‍රතිඵලයක් ලෙස බවයි.

    එය පොදු එකඟතාවක තීන්දුවක් බව ද  සඳහන් කළේය.

    මෙම නව අමාත්‍යාංශ වගකීම් භාරගැනීම තුළ තමාට වැඩි වගකීමක් ලැබී ඇති බවත්, එය විශාල එකක් බවත්, ඒ ගැන සැකයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

    තවද, ඔහු පෙර වරාය සහ නාවික සේවා අංශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, වරාය සහ නාවික සේවා අංශය උපාය මාර්ගිකව ඉතා වැදගත් වුවද, එය එක් ස්ථානයකට සීමා වී ඇති බැවින් ජනතාව දිනපතාම සම්බන්ධ වන ප්‍රමාණය අඩු බවයි.

    කෙසේ වෙතත්, නාගරික සංවර්ධනය සහ ඊට අදාළ ක්ෂේත්‍රය ඊට වඩා වැදගත් සහ ප්‍රධාන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    තමාව විනිශ්චය කරනු ලබන්නේ විපක්ෂය නොව, තම පක්ෂය, තම පවුල සහ සමාජය බව ද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය

     

     

     

     

  • 'රටම එකට ජාතික මෙහෙයුම' අද ඇරඹේ

    විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (30 වැනිදා) පෙරවරු 10.00 ට ඇරඹෙයි.

  • 'විගණකාධිපති අර්බුදය' නිසා වර්ජනයක් අත ළග !

    ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි විණනන නිධාරියකු විගණකාධිපති ලෙස පත්කරන්නට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සූදානම් වන බවත් එය කිසි සේත් ම නොකළ යුතු දෙයක් බවත් විශ්‍රාමික පොලිස් නිලධාරි අජිත් ධර්මපාල පවසයි.

  • "පංති විඥානය"-අනෙකා ගේ "විනෝදය" උදුරා ගැනීම දක්වා (මීගමුවට පසු) මාරුවීම

    පංති විඥානය යනු...

    තමන් අයත් වන සමාජ පංතියේ තත්ත්වය, අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති දැනුවත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති අවබෝධය යි.

  • 2026 අයවැය යනු ජනතා සහන නැති IMF අයවැයක් - සජිත් ප්‍රේමදාස

    මේ රජය දිව දෙකේ රජයක් බවත්, මේ අය වැය ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා අතර ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • 2026 අයවැය යෝජනාවලියට කැබිනට් අනුමැතිය

    මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • 2026 අයවැය: සංචාරක කර්මාන්තයේ දියුණුවට පස් වැදෑරුම් යෝජනාවලියක්

    *සංචාරක ඉපැයීම් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සැලකීම අගය කරනවා.

    *ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති සංචාරකයින් ආකර්ශනය කර ගැනීම වැදගත්.

    - ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර  අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් කියයි.

    ලබන වසර (2026) සඳහා වූ  අයවැයෙන් මහා බ්‍රිතාන්‍ය, ස්විඩනය, ජර්මනිය, පින්ලන්තය හා ස්කැනේඩියානු රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැද පෙරදිග රටවල, ඉන්දියාව ආදි ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති රටවල සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ පස් වැදෑරුම් යෝජනාවලියක් තමන් රජයට ඉදිරිපත් කර  ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්ත නියැලෙන්නෝ ප්‍රකාශ කළහ.

    ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරන තමන් පොදු එකඟතාවයක් යටතේ පස් වැදෑරුම් යෝජනාවලියක් මුදල් ඇමැති සහ ජනපති අනුර කුමාර දිසානායක  ප්‍රමුඛ රජය වෙත ඉදිරිපත් කොට ඇතැයිද එම පිරිස පෙන්වා දෙති.

     

    දැනට වසර 10ක් 15ක් පැරණි රථවාහන සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගනී. මෙම පැරණි වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට සහනදායී ණය යෝජනා ක්‍රමයක් හෝ තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට පහසුකමක් සැලසීමට තමන් යෝජනා කරන බව ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර  අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් ප්‍රකාශ කළේය.



    කොළඹ, කොල්ලුපිටියේ අද (04) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.


    * ඊට අමතරව ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි ඇතුලු ස්කැනේඩියානු රටවල භාෂාවන් පුහුණු වැඩසටහන් පවත්වා සංචාරක මාර්ගෝපදේශකයින් බිහි කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුය.

    * ඉතා ඉහළ මුදලක් වියදම් කරන විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා යාල, විල්පත්තු, සීගිරිය ඇතුලු ඓතිහාසික හා පෞරාණික මෙන්ම ස්වභාදහම නැරඹීමට යන පිරිස් වෙත ඩිජිටල්කරණය කළ ටිකට්පත් මිලදී ගැනීම් සහ අනෙකුත් සේවා නවීන ලෙස ඉටුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කළ යුතුය.

    * ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථාන පිළිබඳව ලෝකය පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට රජය ක්‍රියා කළ යුතුය.

    * ශ්‍රී ලංකාවේ සංචාරක උරුමයන් පිළිබද අධ්‍යයනය කිරීමට සංචාරකයින්ට වැඩි ඉඩකඩක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින්  පිහිටා තිබෙන සංචාරක ආකර්ශනිය ස්ථානවල  පහසුකම් වැඩිදියුණු කළ යුතුය.

    * සංචාරකයින්ගේ සිත් ඇදගන්නා ලෙස හස්ත කර්මාන්ත නිර්මාණ  දැක බලා ගැනීමට, ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට පහසුකම් වැඩි කළ යුතුය.


    මෙම පස් වැදෑරුම් යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කොට මෙරටට විදේශ විනිමය ඉපයෙන ප්‍රධාන මාර්ගයක් ලෙස රජය සලකන සංචාරක කර්මාන්තය දියුණු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවද කබ්රාල් කීය.


    (ජේ.මුණසිංහ)

  • 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි”  යන්නට පණ දෙන වසරක් - ජනාධිපති අනුර කුමාර දිසානායක

    නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත්, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බැවින් 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

  • 2027 තෙක් කිසිදු දීමනාවක් වැඩි නොකරන බවට ජනාධිපතිවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

    එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

  • 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා ගේ පණිවුඩය

    78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න