ආදරය අනුමෝදනා කරන්නම් - නිර්වාණ

ආදරය අනුමෝදනා කරන්නම් - නිර්වාණ

ලංකාවට "වැලන්ටයින්" මාකට් වැලියුව් (Market Value) එකක් ලෙස ගොඩ නගන්නේ උපුල් ශාන්ත සන්නස්ගල. ඒ වෙනුවෙන් ම උපුල්"ආදරණීය වස්සානය" නමින් ගීත 32 රචනා කරලා සංගීත සන්ධ්‍යාවක් සහ යෞවුන් නවකතාවක් 1999 දී මහරගම තරුණ සේවා සභාවේ දී පවත්වනවා.

ඊට පස්සේ ආයෙත් ඔහු විශාල තරුණ පිරිසක් ඒකරාශි වන ලෙස 2000 දී කොළඹ 07 විහාරමහදේවී උද්‍යාන මුළු පරිශ්‍රයම ආක්‍රමණය කරමින් දැවැන්ත ඉවෙන්ට් එකක් ලෙස “රත්තරං වැස්ස” වැලන්ටයින් සමරුව පවත්වනවා. මේ හැම එකේදි ම උපුල් සාර්ථක වනවා සේම ඊනියා සුචරිතවාදීන් උපුල්ට නෙළනවා පත්තර පිටු ගනන් සහ ඉලෙක්ට්‍රෝනික මීඩියා පැය ගනන් විනාශ කරමින්. නමුත් උපුල් ගේ වැඩේ සාර්ථක නෙමෙයි අති සාර්ථක බව පසක් වෙන්නේ ඊළඟ අවුරුදුවල කෙමෙන් කෙමෙන් ඒක එක විදියේ "වැලන්ටයින් සැමරුම් කස්ටමයිස් (Customize)" කරමින් කට්ටිය තැන් තැන්වල කරන්න ගන්නවා. පන්සල් සහ ඊනියා සුචරිතවාදීන් පෙබරවාරි 14 භාවනා වැඩසටහන් මල් පූජා වගේ කස්ටමයිස් (Customize) කරගෙන වැලන්ටයින් සැමරීම තමයි උපුල්ගේ ජය.

"සිහිනය කියන්නේ සැලසුමක්

ප්‍රේමය කියන්නේ ප්‍රාතිහාර්යයක්

කළුවරේ වුනත් හුස්ම ගන්න කියන්නේ ඒකයි

කාලයට ඉඩ දෙන්න

සිපගන්නවා නම් මේ හොඳම වෙලාවයි....!

ආදරය අනුමෝදනා කරන්නම්

වේලාසනින් එන්න."

රතු සහ රත්තරන් පැහැය වෙනුවට නිල් පාට සහ කළුපාට

මෙවර උපුල් ආයේ ඉතිහාසගත වන වැඩකට අත ගහලා. මේ වැඩේ නම සහ පේඔෆ් (payoff) එකේ ඉඳලම ඔහු අයිකන් (icon) එකක් බව තහවුරු කරනවා. ඒ තමයි ඔහු මෙයට නම වශයෙන් ගන්නේ "නිර්වාන" එහි වෙළඳ වටිනාකම හෙවත් පේඔෆ් payoff එක ලෙස ඔහු යොදන්නේ "ආදරය අනුමෝදනා කරන්නම්" කියන එක. ඊළඟට ඔහු මේ වැඩේ ප්‍රචාරණය සඳහා යොදාගන්නා වර්ණාවලිය සම්පූර්ණයෙන්ම හිතුවක්කාරී ලෙස මෙන්ම තාර්කීකව සමකාලීන (Contemporary) අර්ථ අගයක් එක් කරනවා. ඒ වැලන්ටයින් ලෙස ලොව පුරා බ්‍රෑන්ඩ්ව ඇති රතු සහ රත්තරන් පැහැය වෙනුවට ඔහු නිල් පාට සහ කළුපාට විචල්‍යයන් (Variation) එකක් භාවිතා කරනවා. මේ වර්ණ භාවිතය ඇත්තට ම විප්ලවීය වැඩක්. ඒක හරියට නත්තලේ වර්ණය කොළපාට වූවත් කොකාකෝලා විසින් ඔවුන්ගේ රතු වර්ණය භාවිතා කරමින් ලොව පුරාම නත්තලේ වර්ණය රතු පාට කළා වගේ ගේමක්. මේ වැලන්ටයින් වර්ණ මාරුව හෙවත් කස්ටමයිස් (Customize) කිරීමට උපුල් භය නැතිව අත ගහනවා. මින් පස්සේ අර අනෙකුත් සැමරුම්වලදිත් ඔවුන් ඒක කර ගනිවි; ඒත් උපුල්ගෙන් පස්සේ. උපුල් මේ වර්ණ ගන්න සමකාලීන හේතුව ලෙස දක්වන්නේ පසුගිය කාලයේ සිදුවූ ස්වාභාවික ආපදාවෙන් වැළලුණු, අවතැන්වූත් බිඳීගිය ආදරයේ කාන්සියේ හුදකලා නිහැඬියාවේ ස්වාභාවික අහස, කඳු සහිත නිල සහ කාලවර්ණයි. මේ නිසා තමයි මේ ලංකාවේ වැලන්ටයින් කතිකාවේදී උපුල් කියන්නේ නොදැක්කා වගේ අහක බලාගෙන පසුකරන්න බැරි සාධකය වෙන්නේ. අනික තමයි මෙවර ඔහු 5000 කට අධික විශාලම ජන සහාභාගීත්වයක් සහිතව මේ වැඩේ කරන්න යොමු වීම. පුද්ගලයෙක් විසින් ජාතික උත්සවයක් කරන වැඩක් වීම. ඔහු ම මෙය සමහර කතිකාවල දක්වා ඇත.

ආදරයෙන් තුවාල කරගැනීම

දෑස මත ඔබේ ඇස් ගැටෙන විට

හදවත කිසි විට ප්‍රශ්න අහන්නේ නෑ...

"ඇයි" "කොහොමද"

කියන වචන වලට ඉඩක් නෑ...

ප්‍රේමය කියන්නේ

ගිනිදැල් වලට නෙවෙයි,

ඉරක උණුහුම වගේ

සීතළට වැළඳගන්න එකට...

අපි ඔහුගේ මේ වැලන්ටයින් සැමරුමේ ආකෘතිය දෙස බැලූ විට මෙය තනිකරම උපුල් ශාන්ත සන්නස්ගල කියන ලේඛකයා සහ සංවිධායකයා ගේ වැඩක් ලෙස අධිකාරිමය ලක්ෂණයක් දැකිය හැකිය. එහෙම වෙන්නේ ඔහු තුළ පවතින සෑම කේෂත්‍රයක් පිළිබඳව ම ඇති අසීමිත දැනුමයි. ඔහු ඔහුගේ ඒ දැනුම ඉතාම නිර්මාණශීලීව මේ වෙළඳපොළ යථාර්ථයට එක් කරනවා. මෙය ඇත්තට ම අනෙකාට ඉරිසියාකාරී තරහකාරී හැගීමක් ඉතිහාසයේ පුරාම උපුල් වෙත යොමුවන්නට හේතු වූ බවයි මට දැනෙන්නේ. මේ නිසා තමයි ආදරයෙන් උපුල් තුවාල කරගන්නේ.

ජේසු තුමන් කුරුසයට පත් වන්නේ ආදරය නිසා

අල්ලා ගැනීම් නැති

අයිතිවාසිකම් නැති

සීමා මායිම්

වැට කොටු කඩලු නැති,

"මගේ" කියන වචනයත්

අවශ්‍ය නොවන තැනක

අපි ප්‍රේම කළා...

අනුන්ට ආදරය කරන්න ගිහින් කස පාර කාපු, ජීවිතය කීති කීතුවලට ඉරා දාපු ආදරයෙන් තුවාල කර ගන්නේ ආත්මය නැතිකරගන්නේ උපුල් වගේ චරිත සේම අතීතයේ ආදි ශාස්තෘවරුන් ද සිටී. ජේසු තුමන් කුරුසයට පත් වන්නේ ආදරය නිසා (මෙය උපුල් ඔහුගේ සාකච්ඡා වලදි දක්වනවා) ය. සිද්ධාර්ථ ගෞතම බුද්ධ තත්ත්වයට පත්වීමට දුෂ්කර ක්‍රියා කරනවා. මේ ආදරයේ තුවාල ඔබ අපිට දැනෙන්නෙවත් නැති එකේ කම්පණයෙන් අවදිවන මනසක් උපුල් සතුව ඇති බව මට හැඟෙනවා. ඔහු සෙක්ස් සහ ආදරය පිළිබඳ පුළුල් කථිකාවක් මතු කරනවා. අපි ආදරය තුළ විතැන් කරන/ මරා දමන අනෙකා පිළිබඳව මහා සාහසික ලෙස හෙළි කරනවා. ලස්සනට ගායනා කරන, ලස්සනට නටන, ලස්සනට චිත්‍ර අඳින, ලස්සනට රඟපාන, ලස්සනට ලේඛණයේ යෙදෙන අනෙකාව ආදරය හෝ විවාහය තුළින් නිෂේධනය කිරීමේ ඒ සාහසිකත්වය උපුල් ඍජුවම කතිකාවට ගේනවා. ආදරයේ නාමයෙන් මේ කරන තක්කඩි වැඩේ ඔහු හෙළි කරනවා. උපුල් සමාජයෙන් අහනවා "පාසලේදි ලස්සනට සිංදු කිව්ව, නටපු, චිත්‍ර ඇන්ද, රඟපාපු කෙල්ලෝ අද කොහේ හරි කුස්සියක බත් තම්බනවා ඇති. කොල්ලොත් ඊට හපන්". අනෙකා කැමති දේ හැංඟීම හෙවත් ඉරේස් කිරීම ලෙස උපුල් දක්වනවා. ආපසු හැරිලා පශ්චාතාප වන ජීවිතවල ඇත්ත මේ "නිර්වාන" කථිකා මේසයට ගේනවා. මේ ආදරය යැයි කරනු ලබන නිෂදනයෙන් හැමෝටම අභිනිෂ්ක්‍රමණය කරන්න බෑ. බහුතරයක් අය මේ අභිනිෂ්ක්‍රමණය ගැන හිතත්දි හෝ දැනෙද්දි ඔවුන් කල්ඉකුත්වී හමාරයි.

ඇණවලින් වූ තුවාල සහ කැලල් සැමරීම

මා සඳට කැමති බව දැනගෙන

ඔබ සඳ අයින් කළා අහසින්

මා මලට කැමති බව දැනගෙන

ඔබ මල අයින් කළා නටුවෙන්

නොඉඳුල් තොල්පෙති අතරින්

උදුරා ගෙන සිනාව

හදවත නැති මිනිසා ඔබ

නෙත කඳුළැලි ගෙනාව

මා සඳට කැමති බව දැනගෙන

ඔබ සඳ අයින් කළා අහසින්

මා මලට කැමති බව දැනගෙන

ඔබ මල අයින් කළා නටුවෙන්

එක්ටැම්ගෙයි සිරගත කර

සමනළියක අනාථ

ජීවිතයම ඔබ අරගෙන

ඇති දුන් වේදනාව

(මහාචාර්ය සුනිල් ආරියරත්ත රචනයක්- ගායනය ආචාර්ය නන්දා මාලනී)

"අපේ ආතල් එක දිනන එක නෙමෙයි දුවන එක" (ලක්මාල් ධර්මරත්න). දූපත් ප්‍රේමයකට එහාගිය මහද්වීපික ප්‍රේමයකට තුරුලු වෙන්න, ආදරයෙන් ඔද්දල්වූ මෙන්ම සමාජ කසපහරින් සහ කුරුසයට තබා ගසන ලද ඇණවලින් වූ තුවාල සහ කැලල් සමරන්න බය වෙන්න එපා. තුවාල හෝ කැලල්වලට භය වුනානම් උට්ඨානයක් නෑ. නිර්වානය කියන්නේම උට්ඨානයක්. මහා ප්‍රේමණීය සමුදීමක් සහ හමුවීමක්. හැඟීම්වලට නම් හෝ අර්ථ දෙන්න භාෂාව පොඩි වැඩී මිත්‍රවරුණි. ඒක අල්ලගන්න භාෂාවෙන් "නිර්වාන" ග්‍රන්ථයත්, නාද රටාවෙන් "නිර්වාන ගී" සමුච්ඡයත් අරගෙන පෙබරවාරි 14 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඒකාත්මික වෙමු.

ඉන්ද්‍රජිත් වෑවලගේ

නිර්වාන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න