ආණ්ඩුව වට්ටන්න නම්...; හිතවත් විපක්ෂය වෙතට ආදරයෙනි...

ආණ්ඩුව වට්ටන්න නම්...; හිතවත් විපක්ෂය වෙතට ආදරයෙනි...

පළවැනි කාරණේ තේරුං ගන්න ඕන මාලිමා ආණ්ඩුවට මංත්‍රී ආසන 159 තියෙනව කියන කාරණාව. දෙවැනි කාරණාව තමයි මාළිමා ආණ්ඩුවට ජනතාව බලය දීල තියෙනව අවුරුදු පහකට. ඒ කියන්නෙ මාලිමා ආණ්ඩුව 2028 වෙනකම්ම ඉන්නවා.

මේ වෙනකොට විපක්ෂය මොනවද කරන්නෙ...?

ඊට කලින් මාලිමා ආණ්ඩුව ගෙදර යවන්න නම් කරන්න තව එක වැඩක් තියෙනව. ඒ තමා ගෝල් ෆේස් අරගලය වගේ ජනතා කැරැල්ලක් ඇති කරන එක; ජනතා අරගලයක් ඇති කරන එක;

ඒක තවම ප්‍රායෝගික නෑ . මොකද එහෙම අරගලයකට අවශ්‍ය මූල බීජ තවම නෑ. ඔය පංදමක් අල්ලං ගෝල් ෆේස් එක අයිනට ආවට පාරවල් අයිනෙ පංදං අල්ලං කෑ ගෑහුවට ඒක මෝඩයි, ගොං සහ පරණයි. ඔය ගොන්නු ටිකක් චූං උනාට ඒක හරියන වැඩැක් නෙවේ. එහෙනම් මොකද්ද කරන්න ඕන . චාමර කියනව වගේ 2028 න් පස්සෙ එන මැතිවරණයෙන් මාලිමාව ආණ්ඩුව පරාද කරන්න ඒකට දැන්ම තියා සූදානම් වෙන්න ඕන. ඒ කියන්නෙ මාලිමාව ආණ්ඩුවට ජනතාවගෙ තිබ්බ කැමැත්ත නැති කරන්න ඕන. ඒක කරන්න මේ වෙනකොට විපක්ෂය මොනවද කරන්නෙ ?

Aragalaya

අනුර ගෙ බොත්තම සහ හරිණි ගෙ යට සාය

ඔන්න අල්ල ගන්නව අනුරගෙ බොත්තමක්. එක්කො අල්ල ගන්නව සපත්තුවේ අඩිය. එක්කො අල්ල ගන්නව හරිණිගෙ යට සාය. ඒ කියන්නෙ හරිණිගෙ සාරියට යටින් අඳින සාය ඇඳල නෑ වගේ කියනව . ඒ ඇඳපු සායෙ දිග දණපොල්කටුව ළඟට විතරයි කියනව. එක්කො ඇමැතියෙකුගෙ ඉංග්‍රීසි වචනයක් අල්ල ගන්නව. කජු කෑවයි කියනව. කිහිල්ලෙ දාඩිය ඉඹල බැලුවයි කියනව. ඇඳුම පොඩි වෙලා කියනව. නැගිටල ඉන්න කොට වාඩි වෙලා ඉන්න කොට යනකොට එනකොට කිසි ලකයක් නෑ කියනව. මූසල පාටයි කියනව.  ඔය වගේ එක එක ඒව අල්ලං හිනා වෙලා මාලිමාව කිච කරල දානව. විපක්ෂය තේරුම් ගන්න ඕන ඕක කරල හරියන්නෙ නෑ කියන එක.  ඇයි ? ඒ ඕකෙන් චූං වෙන්නෙ මෝඩයො විතරයි නිසා. ඕවට ඡන්ද කැඩෙන්නෙ නෑ. වෙන එකම දේ යංතං හරි මොළයක් තියෙන පොඩ්ඩක් හරි කල්පනා කරන්න පුළුවං එකා පවා විපක්ෂයන් ඈත් වෙනව. ඕවට හුරේ දාන්නෙ ගම්වල ඉන්න මෝඩ පහෙ ගොන්නු. උන් චූං කරල අලුත් ඡන්ද හැදෙන්නෙ නෑ.  අනිත් එක මොළේ තියෙන ඈයො විපක්ෂයට හිනා වෙනව. ඒ නිසා වහාම ඒක නවත්තල දාන්න.

anura8

විපක්ෂය හරි අශිෂ්ටයි; ගෝත්‍රිකයි

තව මොනවද විපක්ෂය කරන්නෙ?  අගමැති හරිණි ආප්ප ගහනව කියනව. කතානායක කොලුකාරයෙක් කියනව. ගල් කපනවයි  කියනව. ඒව පාර්ලිමේන්තුවේ මහ හයියෙන් කියනව. මොළයක් බඩක් කටක් තියෙන ලෝකෙ ගැන යමක් කමක් තේරෙන මනුස්ස හැඟීම්වල ස්වරූපය තේරෙන ඈයො මිනිස්සුන් ගෙ මනුස්ස ආසාවල් කැමැත්තවල් දිහා උපේක්ෂාවෙන් මධ්‍යස්තව බලන කොටස් තේරුම් ගන්නව විපක්ෂය ඒ වගේ දේවල් ගැන දක්වන ආකල්පය; අදහස. ඒ කියන්නෙ විපක්ෂය හරි අශිෂ්ටයි; ගෝත්‍රිකයි කියල තේරෙනව.

අනිත් එක තමයි පාලිමේන්තුවේ ගැලරි එකේ ඉන්න දරුවො රාජ්‍ය තාන්ත්‍රිකයො ගැන වගේ වගක් නැතිව හිරිකිතයක් නැතිව කතා කරන්න තරම් පහත් නේද කියල එයාලට තේරෙනව. විපක්ෂය රටක අභිමානයක් නොසිතන අශිෂ්ට ජාතියක් කියලා හිතනවා. ඒ දරුවන්ගෙ දෙමාපියන්ගෙ කැමැත්ත නැති වෙලා යනව. මිනිස්සුන් ගෙ පුද්ගලිකත්වයකට ගරු කරන්න නොදන්න විපක්ෂයක් කොහොමද අනාගත ආණ්ඩු කරන්නෙ කියල මිනිස්සු කල්පනා කරනව. ඒ නිසා ඔය වගේ තුට්ටු දෙකේ ගොබ්බ වැඩ නවත්තල දාන්න වෙනව.

 

jagath

මහින්දලා ගේ රඟපෑම

අනිත් එක තමයි ජාතිවාදය අවුස්සන එක. වැඩැක් වෙන්නෙ නෑ. මේ යන විදියට අනුර ඇතුළු මාලිමාව උතුරු නැගෙනහිර විතරක් නෙවේ රට මැද වතුකරයෙ දෙමළ මිනිහගෙ හිත දිනාගෙන ඉවරයි . ඔය හාමුදුරු යොදාගෙන ගහන දහං ගැට දැන් වෙනකොට මිනිස්සුන්ට තේරෙනව. ත්‍රීකුණාමලයෙ සිද්ධිය අරං බැලුවත් අන්තිමට උණේ පරාද වෙන එක. ඔය: රාම රාවණා, බුදුන්ගේ දේශය, දේශ මාමකත්වය, පංසල, දාගැබ, කෙත් යායවල්, මල් වට්ටි වගේ දේවල් මහින්දගෙ පරාජයත් එක්ක ඉවර වෙලා ගියා. මිනිස්සු දැන ගත්ත මහින්දල කරේ රඟපෑමක් කියල. යුද්ධෙ දිණුව උනාට මහින්දල රටේ ජාතික ධනය කොල්ල කෑව බවත් හොරකමට වංචාවට දූෂණයට ඉඩ දී සිටිය බවත් පුළු පුළුවන් එකා පුළු පුළුවන් විදියට හම්බ කරගත්ත බවත් ජනතාව දන්නව. ඒ වගේම වඳ කොත්තු වඳ සැත්කම් කතන්දර හරහා ජාතිවාදය අවුස්සපු හැටිත් දන්නව . අරගලයෙන් පස්සෙ ආව රනිල්ලත් කරේ බොරුවක් බව මිනිස්සු තේරුම් ගත්ත. රනිලුත් හොරු රැක්ක විතරක් නෙවේ පොහොට්ටුවේ ගොදුරක් උණා. ඒව මිනිස්සු දන්නවා. ඒ නිසා වර්තමාන ජනතාව රවට්ටන්න වෙනස් අලුත් මතවාදයක් ඕන.

akd

වයසක ළිං මැඩියන් ගේ ස්වයං වින්දනය

තව දුරටත් ඔය එක එක පොඩි පොඩි වැඩ වර්ජන පස්සෙ ගිහින් කිච වෙලා පජාති වෙනව ඇරෙන්න අලුතෙන් ගොඩ නගා ගන්න දෙයක් නෑ. මේ දවසින් දවස විපක්ෂයේ අය කරන කතා මතවාද හැසිරීම් වලින් එළියට පේන එකම දේ තමා කෙනෙකු සිටිය බල රටාව අහිමි වීම හරහා ඇතිවෙන නව මානසික අවපාතය කොයි තරම් විකාර රූපී ද කියන කාරණාව. ඒ නිසා ඔය පටු අවස්ථාවාදී සිල්ලර කාරණා වහාම නවත්තන්න වෙනව. අනිත් එක තමයි ජවිපෙ අතීත කතා දැන් කිව්ව කියල වෙන දෙයක් නෑ. 1980 පස්සෙ ඉපදිච්ච අයට ඔය ජවිපෙ අයිඩෙන්ඩි එකතු කරපුව බස් පුච්චපුව අරව මේව එච්චර ගානක් නෑ. උන්ට ඒව වැඩැක් නෑ. ඒව කියල චූං කරන්න පුළුවන් පරණ වයසක ළිං මැඩියො වගේ හිතන කුඩා පරාසයක් විතරයි. ප්‍රහාරයට වඩා ප්‍රතිප්‍රහාරය වෙනස් වෙන්න පුළුවන් වගේම හැම සිද්ධියක්ම හුදකලා සිදුවීම් නෙවේ කියල කාටත් තේරෙනව. ලෝකෙ නූතන මිනිසාට ඉතිහාසය වැඩැක් නෑ. කතාන්දර කොහොමත් වැඩැක් නෑ. නූතන මිනිහට ඕන වැඩ; ඇහැට පේන වැඩ. ඒ වැඩ හරහා වෙන වෙනස්කම්. ඒ නිසා විපක්ෂයට සිද්ධ වෙනව මේ සමාජ දේශපාලනික මානසික මොහොත ගැන සබුද්ධිකව හිතන්න .

jvp

හරිම පුංචි, ළපටි, බොළඳ කතා

විපක්ෂය මොනවද කරන්න ඕන? ඉස්සර වෙලා මාලිමාව හරියකට මෙශර් කරගන්න වෙනව. මාලිමාකාරයෝ මොනවද කරන්නෙ කියල උගත්තු බුද්ධිමත්තු මණින්නෙ නම්බර්වලින්.

මේ රටේ ඉහළ මැද පංතිය බලන්නෙ නම්බර්ස් මිසක් ඔය ගොං ගැලරි ටෝක්ස් නෙවේ. මේ ගොල්ලො රාජ්‍ය ආදායම 2024 ට සාපේක්ෂව රුපියල් ට්‍රිලියන 4.09 ය 5.12 ට ගෙනැල්ල. විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 6.57 ඉඳල 8.07 දක්වා වර්ධනය කරගෙන. අධ්‍යාපනයට වෙන් කරපු රුපියල් බිලියන 237 - 704 දක්වා වැඩිවෙලා තියෙනව. සෞඛ්‍යයට වෙන් කරපු රුපියල් බිලියන 350 – 479ට වැඩිවෙලා තියෙනව. අය වැය පරතරය 9.1 % ඉඳල 6.7 දක්වා අඩුවෙලා තියෙනව .රාජ්‍ය ආදායම 12.7% ඉඳල 15.9 % දක්වා වැඩිවෙලා තියෙනව.

ඉතින් රටක් ඉස්සරහට යනවද කියල මනින ප්‍රධාන මිණුම් දඩු අනුව රට ඉස්සරහට එනව. මේව දිහා ඔය ගම්වල ඉන්න අන්ධ භක්තියෙන් යුතු ඔන්න ඔහේ මිනිස්සු නොබැලුවට මේව ජාතයන්තරව වගේ ම දේශීය මොළයක් තියෙන අය බලනව; කල්පනා කරනව. මේ වගේ දත්ත එක්ක බිග් කුච්චන්, බොත්තං, සපත්තු අඩි, යට සායවල් කතා හරිම පුංචි ළපටි බොළඳ කතා බවට ඌණනය වෙනව. ඒ නිසා මේ වෙමින් පවතින සංක්‍රාන්ති මොහොත ගැන හරි හමන් තේරුම් ගැනීමකින් තොරව ආණ්ඩුව එක්ක හැප්පෙන්න බෑ.

විපක්ෂය කළ යුත්තේ කුමක් ද...?

කොළඹ මැද පාංතික මොළේ තියෙන මිනිස්සු දන්නව මාලිමාව කියන්නෙ එක්ස්පීරියන්ස් නැති, ඒත් රට ගැන වුවමනාවක් තියෙන පල්ලෙහා ක්ලාස්වලින් ආපු ගම්මු කියල. ඔය හරිණි ඇරෙන්න සේරම ගං ගොඩේ කට්ටිය. ඒත් මිනිස්සු තීරණය කරා මෙයැයිලට රට හදන්න අවස්ථාවක් දෙන්න. තමන්ගෙ පක්ෂෙ දස දහස් ගාණක් ජීවිත පූජා කරල අසීමිත කෑපවීම් කරල මෙයාල ගත්ත බලය ලෙහෙසියෙන් අත හරීවි කියල හිතන්න බෑ. සිස්ටම් මොනතරම් මෙතෙක් පැවති සුව පහසු ජීවිතේ හිරකරත්, හොරකම් කරන්න තිබ්බ චාන්ස් නැති වෙලා අතට එන ගතමනට් නැති උනත්, කොටින්ම මෙතෙක් නොගෙවපු බදු මුදල් ගෙවද්දිත් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් රට හරි පීල්ලට වැටෙනව කියල. ගමට සංවර්ධනය ගලාගෙන යනකොට මුදල් සංසරණය වෑඩිවෙනකොට මිනිස්සුන්ට එයාලගෙ ජීවිතේ පහසු වෙනකොට නීතිය සැමට එකයි වගේ දැනෙනකොට පාරවල් හැදිල ට්‍රැෆික් අඩුවෙනකොට මිනිස්සුන්ට දැනෙන්න පුළුවන් රට හරි පීල්ලට වැටෙනව කියල.

මේ වගේ වටපිටාවක ආණ්ඩුවට වට්ටවන්න නම්, වට්ටල බලය ගන්න නම්, මොනවද විපක්ෂය කරන්න ඕන? ඔව් ඔබ කියන්න බලන්න !

 

ss2 Sarath Premathilaka

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න