ගෙවී යන සතිය ආණ්ඩුවට එතරම් සුබදායක සතියක් නොවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණේ ගල්අඟරු වංචාව සහ ඉන් සිදුව ඇති පාඩුවත්, මහාසංඝරත්නයට එරෙහිව කටයුතු කරන බවට ආණ්ඩුවට අඛණ්ඩව එල්ලවන චෝදනාත් නිසා ය.
නැව් හතරක ම ගල්අඟුරු බාලයි, සජිත් රජයේ දත්ත පෙන්වමින් කරපු හෙළිදරව්ව
බාල ගල් අඟුරු නිසා සිදුවන පාඩුව විඳින්නට සිදුවන්නේ, සැපයුම්කරුට නොව විදුලි පාරිභෝගිකයාටයි කියලා ගල්අඟුරු සමාගමේ සහ විදුලි බල අමාත්‍යාංශයේ දත්ත එක්ක පෙන්නලා දීපු විපක්ෂ නායක සජිත්, ආණ්ඩුව වහන්න හදපු ගල්අඟුරු වංචාව රටට ම හෙළිදරව් කළේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ තිබුණ, මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ සභාපතීත්වයෙන් යුත් යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී.
“හදිසි ප්‍රසම්පාදනයක් ගැන කිව්වත් සිදුවුණ පාඩුව, දඩ ගැහුවා කියලා කවර් වෙනවා ද කියන එක ප්‍රශ්නයක්. මේවා ඔබතුමන්ල ම ඉදිරිපත් කරපු දත්ත, මේ අපි හදපුවා නෙමෙයි, ඒ දත්තවලට අනුව දෙවන shipment එකේ පාඩුව මිලියන 288.5ක් ඒත් නැවත ලබාගත හැක්කේ මිලියන 135.1ක්. 3 වැනි shipment එකේ පාඩුව බිලියනයට වැඩීයි, ඒත් නැවත ලබා ගත හැකිවෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ, මිලියන 150ක් විතරයි. 4 Shipment එකේ පාඩුව මිලියන 865ක් උනත් ඒකෙන් අයකර ගන්න පුලුවන් මිලියන 107ක් විතරයි. මේවායේ බරපතල ගැටලු රැසක් තියෙනවා. මේ රජයේ සංඛ්‍යා ලේඛන අනුව මේ නැව් ගණනාවකම තියෙන්නේ බාල ගල් අඟුරු මේකේ පාඩුව දරන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයන්ට. මේකේ අවශ්‍යතාවයට අනුව වැඩිපුර ගල්අඟුරු සැපයීමෙන් සැපයුම්කරුට ලැබෙන්නේ ලාභයක්.”
මේක බරපතළ තත්ත්වයක් බවත්, මෙය සුළුවෙන් තකන්නට නොහැකි නිසා ඉදිරියේ දී මේ සඳහා නීතිමය පියවර ගතයුතු බවත් විපක්ෂ නායක සජිත් මෙම යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කරලා තිබුණා. ඒ කාරක සභාවට සහභාගීවෙලා හිටපු අජිත් පී., මරික්කාර් එක්ක කියලා තිබුණේ “ලොක්ක මාර විදිහට රිපෝට් එක ස්ටඩිකරලා ඇවිල්ලා නේ, ගල්අඟුරු වංචාවෙන් නම් ආණ්ඩුව දැන් ගැලවෙනවා බොරු,” කියාය.
යුරෝපා සංගම් නියෝජිතවරියන් පිරිසක් හදිසියේ සජිත් හමුවුණේ ඇයි ?
යුරෝපා සංගමයේ ආසියා ශාන්තිකර කලාපය සඳහා වූ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පාවොලා පැම්පලෝනි මහත්මියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබුණේ බදාදා ය.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමන් මොරේනෝ මහත්මිය මේ හමුවීම සංවිධානය කර තිබූ අතර දේශපාලන කේෂ්ත්‍රයේ ඇය වඩාත් ප්‍රචලිතව ඇත්තේ සජිත් ප්‍රේමදාස සමග වඩාත් හිතවන්ත තානාපතිවරියක් ලෙසට ය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික තත්ත්වයෙන් මිදීම පිළිබඳ විදෙස් නියෝජිතයින් ගේ වැඩි අවධානයට ලක්ව තිබූ අතර, එහි දී ප්‍රතිසාධනය සඳහා නව උපාය මාර්ගයක් ලෙස කරුණු හයකින් යුත් “ණය නොවන සැලැස්ම” නමින් වූ එම වැඩපිළිවෙළ විපක්ෂ නායක සජිත් ඔවුන්ට පැහැදිලි කර තිබුණා.
පළමු කරුණ ලෙස ණය නොවන ප්‍රදාන සඳහා පෙලඹුමක් යටතේ, සජිත් යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස ය.
දෙවැන්න ලෙස වෙළඳාමට අදාළව GSP+ සහ "නිෂ්පාදන පිළිබඳ වූ නීති" තාවකාලික නම්‍යශීලී බවක් ඇතිකරන ලෙසත් ඔහු ඉල්ලීමක් කර තිබුණා.
සජිත් අවධාරණය කර ඇත්තේ, ආපදාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඇඟලුම් සහ කෘෂිකාර්මික යන අංශ දෙකටම හුස්ම ගැනීමට අවස්ථාවක් උදා කරන ලෙස යි.
තුත්වන කරුණ ලෙස ඔහු අවධාරණය කර තිබුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිටිමින්, ආපදා-වියදම් සහන අරමුදලක් ඔස්සේ, දරුවන් 275,000ක් ද ඇතුළුව දැනට දැඩි අවදානමකට මුහුණ දී සිටින මිලියන ගණනක් පුරවැසියන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමත්, ආපදා කළමනාකරණ පනත සංශෝධනය කිරීම සඳහා යුරෝපා සංගමයේ තාක්ෂණික ප්‍රවීණත්වය ලබා දෙන ලෙසත් සජිත් ඉල්ලීමක් කර තිබුණා.
පස්වන කරුණ ලෙස කාලගුණයට, දේශගුණයට ඔරොත්තු දෙන කාර්මික කලාප ගොඩනැඟීමත්, හයවන කරුණ ලෙස රාජ්‍ය පාලනය සහ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ආයතනගත කිරීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ජාත්‍යන්තර ප්‍රමිතිගත නීති සමගින් ප්‍රතිස්ථාපිත කිරීමත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමත් සම්බන්ධ නව ප්‍රවේශයක් සජිත් යුරෝපා සංගම් නියෝජිතයින් හමුවේ විස්තර කර තිබුණි.
මෙය සාවදානව අසා සිටි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පාවොලා පැම්පලෝනි මහත්මිය කියා තිබුණේ “ විපක්ෂනායකතුමණි... ඔබ හරි අපූරු අදහස් කිහිපයක් තමයි ප්‍රකාශ කළේ... මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා... ඔබ ආණ්ඩුකරණයට දායක නොවී සිටිය දී පවා ඔබ රට ගොඩනැගීම වෙනුවෙන් උපකාර ඉල්ලනවා. ඔබට ඒ වෙනුවෙන් පෞර්ෂයක් සහ හැඟීමක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ මේ දකුණු ආසියාණු කළාපයේ ම ඒ වගේ දේශපාලඥයින් දකින්නට නැහැ. ඔබ හරිම සුවිශේෂී, වෙනස් දේශපාලඥයෙක් ලෙසයි මටනම් හැඟෙන්නේ,” කියා ය.
පාවොලා පැම්පලෝනි ගේ එම අදහසට ස්තුති කළ සජිත් “ඔව් මටත් අවශ්‍ය ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න, මම විපක්ෂයේ හිටියත්, ආණ්ඩු කළත් මට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරන්න, රට ඉදිරියට යන්න, මම ඒකයි හුස්ම සහ සක්වළ කියලා ප්‍රොජෙක්ට් දෙකක් හැදුවේ. අපි බලමු නේද අමාරුවෙන් තමයි රටවල් වෙනස් කරන්න පුළුවන්; ලේසි නෑ”
සජිත්ගේ ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ යුරෝපා සංගම් නියෝජිතයින් පැයකටත් වැඩි කාලයක් සාකච්ජාවේ නිරතව සිට විපක්ෂ නායක කාර්යාලයෙන් පිටව ගියේ ය.
මාදැල් ධීවරයින් සිදුකළ පාපෝච්චාරණය
මේ දිනවල මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරම්භ කර ඇති උපවාස භූමියට විපක්ෂ නායක සජිත් ගොස් තිබුණේ සෙනසුරාදා උදෑසන ය; ඒ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් සමග ය.
එහිදී සජිත්ට ධීවරයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබූ අතර සජිත් වටකර ගත් ධීවරයින් එකිනෙකා තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්නට විය.
“ විපක්ෂ නායකතුමා අපේ දරුපවුල් කාලා ඇඳලා ඉන්නේ මේකෙන්. එකපාර අපේ රස්සාව තහනම් කළාම අපිට කර කියාගන්න දෙයක් නැතිවෙලා ඉන්නේ. අපිත් ඡන්දේ දුන්නේ මේ ආණ්ඩුවට තමයි; අපි රැවටුණා, අපිව ඇන්දුවා, අපිට ආණ්ඩුව විකල්පයක් යෝජනා කරනවා නම් අපි මේ රස්සාව නතර කරන්නම්.”
සියල්ල අසා සිටි සජිත් කියා සිටියේ ''මම බොරු කියන්නේ නෑ, මේ ප්‍රශ්ණ සාකච්ජා කරන්න ඕන, අපි පරිසරය ආරක්ෂා කරන්නත් ඕන, මුහුදු සම්පත විනාශ නොකරගෙන, අපේ ධීවරයින්ගේ ගැටලු විසඳලා, හොඳ මත්ස්‍ය අස්වැනක් නෙළා ගන්නේ කෙහොමද කියන දේ අපි අලුත් තාක්ෂණයත් යොදාගෙන හොඳ ම වැඩපිළිවෙළ සකස් කරන්න ඕන, මාදැල් විතරක් නෙමෙයි, අපි අනිත් පන්න ක්‍රමවල නිරත ධීවරයින්ගෙන්, කරිදිය, මිරිදිය හැම ධීවරයකු ගේ ම ප්‍රශ්නවලට හොඳ ම විසඳුම් අපි සකස් කරන්න ඕන, ඔබතුමාල ගේ සංගමයේ නියෝජිතයින් සහ අනිකුත් පන්න ක්‍රමවල ධීවරයින් ඔක්කොම එක දිනයක් දාගෙන විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවෙමු, අපි කේෂ්ත්‍රයේ විද්වතුන් ගේන්නම්; අපි කතා කරමු ‘ජාතික ධීවර ප්‍රඥප්තියක්’ හදන්නේ කොහොමද කියලා, එක, එක අවස්ථාවලට පැලැස්තර විසඳුම් දීලා මේ ප්‍රශ්ණ විසඳන්න බෑ”
එහෙම කියපු සජිත් එම ස්ථානයෙන් පිටත්වුණේ සමගි ජනබලවේගයේ සංවත්සරය වෙනුවෙන් කතරගම සංවිධානය කර තිබූ ආගමික වතාවත්වලට සහභාගීවීමට ය.
මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සජබය හයවන උපන්දිනය සමරපු හැටි
සමගි ජන බලවේගය තම හයවන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පෙබරවාරි 07 සහ 08 දින දෙකේ දී සැමරුවේ කිරිවෙහෙර සහ වැඩිහිටි කන්ද පූජාභූමි කේන්ද්‍රකර ගනිමින් ය. සමගිය මෙවැනි ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් තම සංවත්සරය සැමරීමට පියවර ගෙන තිබුණේ, පසුගියදා රටට බලපෑ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද කිරීමත් අරමුණු කරගනිමින් ය.
කිරිවෙහෙර පුද බිමේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදා හීල් දානමය පුන්‍යකර්මයක් පැවැත්වුණු අතර ඊට පක්ෂ නායක සජිත්, මහලේකම් රංජිත්, ගයන්ත, කිරිඇල්ල, හර්ෂණ, ජේ.සී., කිංස්, චිත්‍රාල්, චමින්ද්‍රාණි, ජගත්, චතුර ඇතුළු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පිරිත් සජ්ජායනයට පෙර අනුශාසනාවක් කරමින් පැවසුවේ, බොරු නොකියන දේශපාලනයක නිරත සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයින් රටට ම ආදර්ශයක් බව ය.
වැඩිහිටි කන්ද විහාරස්ථානයේ පැවති විශේෂ ආගමික වතාවත්වලට එක්වූ සජිත් ඇතුළු පිරිසට විහාරාධිපති පුජ්‍ය හීල්ලේ ඤාණානන්ද හිමියන් පැවසුවේ, “ ඔබතුමාල යූ.ඇන්.පී.ය එක්ක එකතුවෙන්න තීරණය කරපු එක ඉතාම වැදගත් දෙයක්, මේ රට වෙනුවෙන් ගොඩක් වැදගත් දේ කරපු පක්ෂයක් එහෙම කණ්ඩායම්වලට බෙදිලා ඉඳීම හරිම වරදක්, මම ගොඩක් සතුටු වුණා තමන්ට කොච්චර අඩුපාඩු කළත් ඒ හැම එකක් ම අමතක කරලා, සජිත් මහත්තයා මේ පක්ෂ දෙක එකතුකරන සාකච්ජාවේ වගකීම කරට අරන් කරන එක ගැන, ඔහොම යන්න, වරදින්නේ නෑ, අද මිනිස්සුන්ට ගොඩක් දේවල් අවබෝධ වෙමින් තියෙන්නේ”
සජිත් හදිසියේ ම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකී
සංහිඳියා යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ජනාපතිවරයා ගේ මූලිකත්වයෙන් සියලු ජාති ආගම් පක්ෂ නියෝජනය වන කවුන්සිලයක් ගොඩනැගිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර තිබුණේ, නාරාහේන්පිට අභයාරාමයේ දී පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණ ගැසුණු අවස්ථාවේ දී ය.
සජිත් කියා තිබුණේ, සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම්, එවන් මඩ ප්‍රහාරවලට බිය නොවිය යුතු බවත්, මහා සංඝරත්නයට සිදුකරන එවැනි ප්‍රහාර තමන් පිලිකුළෙන් යුතුව හෙළා දකින බවත්ය.
මෙහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතීත සිහිපත් කරමින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මහාසංඝරත්නය උදෙසා කළ මෙහෙවර සිහිපත් කළේ ය.
“භික්ෂූන් වහන්සේලාට ගැරහීම් සිදු වෙන්න පටන් අරන් තියෙන්නේ, මේ ආණ්ඩුවෙන් පස්සේ තමයි, 56 වත් එහෙම උනේ නෑ. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කාලේ බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ දුර සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වෙනම ම ධර්ම ශාලා පවා සකස් කළා. දැන් එහෙම කිසිවක් සිදුවෙන්නේ නැහැ. දැන් සිද්ධ කරන්නේ අපිට මඩගහන එක. අපි ශක්තිමත්ව ඒවට මුහුණ දෙනවා”
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සඟ සමුළුවට සහය පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී අවධාරණය කර තිබුණි.
සජිත්ට විතරක් ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු ආරාධනය
මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworth මහතා තම නිල නිවසේ බ්‍රහස්පතින්දා විශේෂ හමුවක් සංවිධානය කර තිබුණි.
අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, සිදත් වෙතමුණි යනාදි මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසකුත් ඊට ආරාධනා ලැබ තිබුණි. එහෙත් දේශපාලඥයෙකු ලෙස ආරාධනා ලබා සිටි එකම කෙනා වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පමණක් ය. ඊට විශේෂ හේතුවක් වුණේ, මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සහ විපක්ෂ නායක සජිත් අතර කාලයක පටන් ඇති හොඳ හිත බව අපට අසන්නට ලැබුණි.
මේ වගේම ජනවාරි 23 වනදාට යෙදී තිබුණ ඕස්ට්‍රේලියිනු දිනය සැමරුමටත් සජිත්ට මේ ලෙසටම ආරාධනා ලැබී තිබූ බව අපට සිහිපත්විය.
මම | බංගලා හංදියේ ලියුම්කරු

