නීති විද්යාලයේ මගේ සමකාලීන ආදරණීය මිත්රයෙක් වෙලා හිටපු බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳව ඊයේ (14) හවස දෙනෝ දාහක් ඉස්සරහ අමු අමුවේ ඝාතනය කරා.
පාතාලකාරයා සහ දෙපිටකාට්ටුවා
බුද්ධිකගේ සිරුරේ උණුහුම යන්නත් කලින් මාධ්යයේ ප්රචාරය කරා බුද්ධික එක් සංවිධානාත්මක අපරාධ කල්ලි පාර්ශවයක් වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉඳලා ඒ පාර්ශවයේ තොරතුරු ඔහු පෙනී ඉඳපු වෙන ප්රතිවිරුද්ධ පාර්ශවයකට දීපු නිසා තමයි මුල් පාර්ශවයේ මෙහෙයවීමෙන් බුද්ධිකව ඝාතනය කරන්නේ කියලා. බුද්ධිකගේ සිරුර සීතල වෙන්නත් කලින් මාධ්ය විසින් බුද්ධිකව පාතාලකාරයෙක් ගේ නීතිඥයා කියලා හඳුන්වන එකෙන් නොනැවතී ඔහුව දෙපිටකාට්ටුවෙකුත් කරා.
අසික්කිත ජඩ මාධ්ය
ඔය මාධ්යම තමයි සේයා සදෙව්මි දැරියව දූෂණය කරලා අමු අමුවේ ඝාතනය කරපු වෙලාවේ කොහේවත් හිටපු කොණ්ඩයෙක්ව මිනීමරුවා විදිහට ජනතාව ඉදිරියට ගෙනල්ලා නඩු විභාගයකින් තොරව කොණ්ඩයාව එල්ලල මරණ්න ඕන කියන තැනට වෙනකං ජනතාව උසි ගන්නලා කොණ්ඩයාට විරුද්ධව ජනමතයක් හදලා සැබෑ සිද්ධිය විකෘති කරේ. හැබැයි අන්තිමට DNA වාර්තා එනකොට එච්චර කල් මිනීමරුවා කියලා මුළු සමාජය ම ලේබල් ගහපු කොණ්ඩයා නිදොස් වෙලා සැබෑ ඝාතකයා අහු වෙනවා. හැබැයි කොණ්ඩයව මිනීමරුවා කරන්න නිව්ස් ගහපු එක මාධ්යයක්වත් ඒ බරම දාලා තමන්ගේ වරද නිවැරදි කරං ජනතාව ඉදිරියේ කොණ්ඩයාව නිවැරදි කරන්න නිව්ස් ගැහුවේ නෑ. කොණ්ඩයාව පෝරකේට දක්කපු මිනිස්සුත් කොණ්ඩයාට කනගාටුව ප්රකාශ කරෙත් නෑ. මාකට් වෙනවා නං මළකුණක් හරි විකුණං කන මේ අසික්කිත ජඩ මධ්ය භාවිතය වෙනස් වෙන්න ඕන. පහුගිය කාලේ පුරාම මාධ්ය විසින් නීතිඥ වෘත්තිකයන්ට එරෙහිව විසල් සමාජ මතයක් ගොඩ නගන ව්යාපෘතියක් බොහොම සාර්ථකව ක්රියාත්මක කරා.
අවම සදාචාරයක් නැති මාධ්ය
බුද්ධිකව ඝාතනය කරාට පස්සෙත් මාධ්ය උත්සහ කරේ බුද්ධික කියන්නේ පාතාල කාරයන්ගේ නීතිඥයෙක්, ඒ නිසා තමයි ඔහුව පාතාලෙන් ම මැරුවේ.ඒ නිසා එහෙම කෙනෙක්ව මරපු එකේ ලොකු අවුලක් නෑ... ඒවා බොහොම සාමාන්යයයි.. කියන ආකාරයේ මතයක් සමාජ ගත කරන්න. කොහොම උනත් කවුරු ප්ලෑන් කරත් මාධ්ය ක්රියාන්විතය ඉතාම සාර්ථකයි. මොකද ඒ මාධ්ය ක්රියාන්විතයෙන් පස්සේ මේ රටේ සමාජ මාධ්ය හැසිරීම දිහා බැලුවම ඒක පැහැදිලිවම පේන්න ගත්තා. බුද්ධිකව සහ ඔහුගේ බිරිඳව ඝාතනය කරද්දී පහේ කනිසම පහු වෙලා. හැබැයි පැය දෙකක් යන්නත් කලින් හතේ ප්රවෘත්තිවලට කියනවා බුද්ධික අහවල් පාතාලයට පෙනී හිටියා ය; නමුත් ඔහු ඒ පාතාලයා ගේ විස්තර අහවල් අනෙක් පාතාලයට දුන්නා ය; ඒ නිසා මුල් පාතාලය ඔහුව මැරුවා ය කියලා.
කවුද මාධ්යයට ඔය විස්තර දුන්නේ?
කොහොමද විමර්ශනයක් ආරම්භ කරන්නත් කලින් විමර්ශකයා ඝාතනයට හේතුව ගැන මාධ්යයට තොරතුරු ලබා දෙන්නේ? යම් තොරතුරක් විකාශය කරන්න කලින් තමන් මාධ්යයේ පල කරන තොරතුරුවල සත්ය අසත්යතාවය ගැන සැලකිලිමත් වෙන්න තරම් වත් අවම මාධ්ය සදාචාරයක් තිබිය යුතු නැද්ද?
ලැබුන තොරතුරු සත්ය නම් ඒ තොරතුරු මාධ්යයට ලබා දුන්න කෙනා කවුද?
එහෙම නං ඔහු සහ පාතාලයට අතර තියෙන සම්බන්ධය කුමක්ද?
මේවත් මේ සිද්ධිය ඇතුළෙ තියෙන අතුරු ප්රශ්න.
සන්සුන් ඝාතකයෝ
උදේ උසාවි ගිහිං හවස වැඩ ඉවර වෙලා තමන් ගෙ බිරිඳත් එක්ක ගෙදර එනගමන් අතරමගදි බඩු ටිකක් ගන්න නතර වෙලා ආපහු වාහනයට එන අවස්ථාවේ ද තමයි ඝාතකයෝ ක්රියාත්මක වෙන්නේ.
ඒ CCTV දර්ශන වල පැහැදිලිව ම තියෙනවා ඝාතකයෝ එන වාහනය, බුද්ධික සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ වාහනයට නැගලා වාහනේ පාරට ගන්න සූදානම් වෙනකම්ම ඉතාම ඉවසිල්ලෙන් බලං ඉන්නවා කියලා. ඝාතකයන් පැමිණි වාහනේ පිටිපස්සෙන් බහින ඝාතකයෝ දෙන්න බහින්නෙත් කිසිම කලබලයක් නැතුව. T56 අරගෙන එක් ඝාතකයෙක් කිසිම පැටලීමකින් තොරව බුද්ධික ඉන්න රියදුරු අසුන වෙතට ස්ථානගත වෙනකොටම පිස්තෝලය අතේ තියෙන කෙනා අනිත් පැත්තේ ඉන්න බුද්ධිකගේ බිරිඳ නිසන්සලාට වෙඩි තියලා ඉතාම ආරක්ෂිතව එතනින් ඉවත් වෙලාත් ඉවරයි. ඉතාම සැලසුම් සහගතව හොඳින් පුහුණු කරපු ක්රියාදාම චිත්රපට ජවනිකාවකටත් වඩා තාත්විකව ඒ හැම දේම විනාඩියක් යන්න කලින් වෙලා ඉවරයි.
නීතිඥවරුන්ට එරෙහිව සමාජගත කළ සමාජ වෛරයක ප්රතිඵල
සමාජ මාධ්යවල ඇතමුන් නම් කියන්නේ පාතාලයන්ට පෙනී ඉන්නවට නීතිඥයන්ට හොඳ පාඩම, නීතිඥවරයා මරා දාපු එක හොඳයි, සාධාරණයි, හොඳ වැඩේ, ඕකුන් කුඩු සල්ලිවලින් ජීවත් වෙන්නේ. ඒ නිසා ඕකුන්ට ඔහොම කරලා මදි වගේ අදහස්.
හොඳයි එහෙනම් මේවට උත්තර තියෙන්නත් ඕන.
ඔබ ඔය කියන ජාතියේ පාතාලයෙක්... ඔබේ කඩෙන් ගන්න බඩුවලට දෙන සල්ලි වලට වඩා, ඔහුගේ ගේ හදන බාසුන්නැහේට දෙන බාස් කුලියට වඩා, ඔහුගේ දරුවට උගන්නන්න ගෙදරට එන ගුරුවරයාට දෙන පන්ති ගාස්තුවට වඩා, ඔහුගේ බිරිඳ රූපලාවණ්ය කටයුතුවලට යන Saloon එකට ගෙවන ගාස්තුවට වඩා, ඔහුගේ ගෙදර පාටි එකක සින්දු කියන්න එන ගායකයට වාදකයට ගෙවන ගාස්තුවට වඩා, ඔහු ප්රතිකාර ගන්න වෛද්යවරයට ගෙවන ගාස්තුවට වඩා, ඔහුගේ ගිණුම් හදන Accountant ට දෙන ගාස්තුවට වඩා, ගමේ පංසලේ, පල්ලියේ පිංකම්වලට දෙන ආධාරවලට වඩා, ගමේ සමිතියේ පොදු වැඩකට ගේන ලිස්ට් එකට ඔහු ලියන ආධාර මුදලට වඩා, ඔහු ගණුදෙනු කරන බැංකුවේ තැන්පත් කරන මුදල්වලට වඩා, වෙනස් මූලාශ්රයකින් උපය ගත්ත මුදලක් ද එතකොට ඔහු, ඔහුගේ නීතිඥවරුන්ට දෙන්නෙ?
එතකොට නීතිඥවරයට දෙන සල්ලි විතරක් නරක් වෙලා අනිත් ඔක්කොම හොඳ හරි අවුලක් නැති හරි වෙන්නේ මොන Logic එකට අනුවද? නැහැ. මෙතන තියෙන්නේ වෙන අවුලක්. මෙතන තියෙන්නේ මෑත කාලීනව නීතිඥවරුන්ට එරෙහිව සමාජගත කරපු සමාජ වෛරයක ප්රතිඵලයක්. මොකද මේවා Plan කරන අය දන්නවා නීතිඥවරු කොන්දේසි විරහිතව එකා වගේ එකට එකතු වෙලා ජනතාව එක්ක එකට හිට ගත්තොත් ජනතාව ගේ අයිතිවාසිකම් එහෙම ලේසියෙන් නැති කරන්න අමාරුයි කියලා. මෑත අතීතයේ ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා.
ආ.ක්ර.ව්යවස්ථාවෙන් ම නීතිඥවරයෙකුට දී තිබෙන අයිතිවාසිකම
තමන් ගේ සේවය අපේක්ෂාවෙන් තමන් වෙත එන සේවාදායකයා තමන් ගේ වෘත්තීය ගාස්තුව ගෙවන්න සූදානම් නම් මොනම නීතිඥවරයෙක්ටවත් බැහැ ඔහුට සේවය ලබා දීම ප්රතික්ෂේප කරන්න. එහෙම ප්රතික්ෂේප කරනවා නම් කරන්න පුළුවන් එකම හේතුව එම සේවාදායකයා සහ නීතිඥවරයා අතර ඇති සම්බන්ධතාවයේ ගැටුමක් (Conflict of interests) තියෙනවා නම් විතරයි. මේ හා සම්බන්ධ රීතියක් තිබෙනවා Cab Rank Rule කියලා. ඕවා නීතිඥවරු නොවන මිනිස්සු දන්නේ නෑ. යම් තැනැත්තෙක් අධිකරණය ඉදිරියේ නියෝජනය කරන්න පුළුවන් අයිතිවාසිකම ආ.ක්ර.ව්යවස්ථාවෙන් ම නීතිඥවරයෙකුට දීලා තියෙන අයිතිවාසිකමක්. එහෙම අයිතිවාසිකමක් නීතිඥවරයෙකුට දීලා තියෙන්නේ මහා සාගරය වගේ විශාල නීතිය ගැන සහ ඒ නීතියේ තියෙන අපබ්රංස සංකල්ප ගැන අවබෝධයක් ගැනීම සහ අධිකරණය ඉදිරියේ නියමිත කාර්යපටිපාටිපාටියට අනුව නීතිය නිවැරදිව ක්රියාත්මක කිරීමට සහය වීම නීතිය පිළිබඳ දැනුමක් නොමැති තැනැත්තෙක් විසින් සිදු කිරීමට ප්රායෝගිකව ඉතාමත් අපහසු කාර්යයක් වෙන නිසා.
දෙපැත්ත ම නියෝජනය කරන්න නීතිඥවරුත් පෙනී ඉන්නවා
ආ.ක්ර.ව්යවස්ථාවෙන්ම සෑම පුද්ගලයකුට ම තහවුරු කරපු මූලික අයිතිවාසිකමක් තමයි නිර්දෝශී භාවයේ පූර්ව නිගමනය. ඒ අනුව නිසි අධිකරණයක් මගින් පවත්වන සාධාරණ නඩු විභාගයකින් පසු වරදකරු කරන තෙක් සෑම තැනැත්තෙක්ම නිර්දෝශියි. මොකද අපේ අධිකරණ ඉදිරියට වැරදිවලට සැකපිට අරං එන හැමෝම ඒ වරද කරපු අය නෙමෙයි. සමහරු ඒ අහලකවත් ඉඳලා නෑ. ඒක නිසා තමයි ශ්රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩු විභාග කරන්නේ. ඒක නිසා තමයි මේ රටේ මානව හිමිකම් කොමිසමක් තියෙන්නේ. ඔබේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් කඩ කරන්නේ නීතිඥවරු නෙමෙයි නේ. ඔය ඔළු කට්ට ඇතුළෙ මොළයක් තියෙන්නේ නිකං නෙමෙයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කවුද එහෙම කරන්නේ කියලා. හිතලා බලන්න ලංකාවේ කිසිම උසාවියක එකම එක සතියක් ඔබ ඔය කළු කෝට්කාරයෝ කියලා බණින එක නීතිඥවරයෙක් වත් පෙනී නොසිටියොත් ඔබට මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් ගිහිං බලාගෙන ඉන්න. ආස හිතෙයි. අනික සිවිල් වේවා අපරාධ වේවා හැම නීති කෘත්යයකම දෙපැත්තක් තියෙනවා. ඔය දෙපැත්ත ම නියෝජනය කරන්න නීතිඥවරුත් පෙනී ඉන්නවා.
වෘත්තීය භාවිතාව පිළිබඳ අවබෝධය
උදාහරණයක් විදිහට යම් නඩුවක ඔය දෙපැත්තට ම ඉන්නේ ලෝකේ ඉන්න හොඳම නීතිඥවරු දෙන්නා වුනත් එක පැත්තක් දිනනවා, අනිත් පැත්ත පරදිනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ පැරදුණ පාර්ශවයේ නීතිඥවරයා නරකයි කියලාවත් දිනපු පාර්ශවයේ නීතිඥවරයා වඩාත් හොඳයි කියලවත්. නඩුවක ජය පරාජය තීරණය වෙන්නේ ඒ නඩුවට අදාළව ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව. දිනපු පාර්ශවය තමන් ගේ නීතිඥවරය ගේ ගුණ වයනවා වගේ ම පැරදුණු පාර්ශවය තමන් ගේ නීතිඥවරයට බණිනවා. ඒක ස්වභාවිකයි. එතනදි ලෝකේ ඉන්න හොඳම නීතිඥවරු දෙන්නගෙනුත් එක්කෙනෙක් බැනුම් අහනවා. ඊට පස්සේ පැරදුණු පාර්ශවය ඊළඟ වතාවක දි අර දිනපු අනිත් පාර්ශවයේ නීතිඥවරයා ගේ සේවය ලබා ගන්න උත්සාහ කරනවා. නීතිඥවරුත් එකම නඩුවක දෙපාර්ශවයට ම එක ම නඩුවකදී පෙනී නොසිටියත් තමන්ට අනුව සම්බන්ධතා අතර ගැටුමක් නොමැති තාක් දුරට වෙනත් නඩුවක දී අර පෙර නඩුවේ විරුද්ධ පාර්ශවයට උනත් පෙනී ඉන්නවා. ඒක ඉතාම සාමාන්ය දෙයක්. වෘත්තීය භාවිතාව ගැන අවබෝධයක් තියෙන ඕනම කෙනෙකුට ඒකේ ඇති අමුත්තක් නෑ.
වෘත්තීමය භාවය යනු කුමක් ද...?
මෙහෙම හිතන්න.
ස්වාමින්වහන්සේ නමක් තමන් ඉදිරියට එන කෙනෙකුට ධර්මය දේශනා කරන්නේ දන් පිළිගන්නේ ඒ කෙනාගේ හතර වරිගේ බලලා ද?
වෛද්යවරයකු කෙනෙක්ගේ ජීවිතය බේර ගන්නකොට බලන්න බෑ තමන් මේ ජිවිතය බේරගන්නේ මහත්මා ගාන්ධිගේ ද එහෙම නැත්නම් හිට්ලර්ගෙ ද කියලා. කාගේ උනත් ජීවිතය බේරගන්න වෛද්යවරයා බැඳිලා ඉන්නවා අවුරුදු 2000කටත් වඩා පැරණි සම්ප්රධායක් වන හිපොක්රටීස් දිවුරුමෙන්. වටේ ඉඳං බලං ඉන්න කෙනෙකුට හිතුනට හිට්ලර්ට මැරෙන්න ඇරියට කමක් නැහැ කියලා අර වෛද්යවරයට එහෙම කරන්න බෑ. වෘත්තිකයෙක් නොවන කෙනෙක් කියයි හිට්ලර්ට මැරෙන්න නොදී බේරගත්ත එක හෙණ අවුල් නේ වගේ එකක්. නෑ එහෙම අවුලක් නෑ. ඒක එහෙම තමයි. ඒකට තමයි වෘත්තීමය භාවය කියන්නේ. නීතිඥවරුත් එහෙමයි. අතීත සම්ප්රදා ශ්රේෂ්ඨාධිකරණයේ රීති, ආ.ක්ර.ව්යවස්ථාව යනාදි නීති රීති සහ සම්ප්රදායන්ගෙන් නීතිඥවරුත් බැඳිලා ඉන්නවා තමන් ඉදිරියට එන ඕනෑම සේවාදායකයෙක්ට සම්බන්ධතා අතර ගැටුමක් නොමැති තාක් දුරට තමන්ගේ වෘත්තීය සේවය සපයන්න. ඒක මට, බුද්ධිකට වගේම අනිත් හැම නීතිඥ වෘත්තිකයකුටම පොදු ධර්මතාවයක්.
යළිත් 'කූඹියෝ' නරඹන්න
කවුරු කොහොම කොතන මොනවා කිව්වත් නීතිඥ වෘත්තීය කියන්නේ වටිනා වෘත්තීයක් "A noble profession". තැන නොතැන නැතුව නීතිඥවරුන්ට බැන්න කියලා කාටවත් ඒක වෙනස් කරන්න බෑ. අනික ඔය නීතිඥවරුන්ට බනින ගොඩක් ඈයෝ එළිපිට ජනප්රිය වෙන්න එහෙම කරාට මොකක් හරි වෙච්චි ගමන් අනිත් අතට දුවන් එන්නේත් නීතිඥවරයෙක් ළඟට. ඒක අපි නොදන්නවා නෙමෙයි. මොනවත් කියලා වැඩක් නැති නිසා නොදන්නවා වගේ ඉන්නවා. අවසාන වශයෙන් ඔබ කූඹියෝ බැලුව නම් ඔබට මතක ඇති ඒ ගොඩක් චරිත ඉන්නේ වෙන වෙන ගේම්වල කියලා. ඒ වගේම ඔබට මතක ඇති එකම ගේම් එක ඇතුළෙත් එක එක ගේම් වෙන වෙනම play වෙනවා කියලා. සමහර ගේම් plan කරපු විදිහටම play වුනාට සමහර ඒවා play වෙන්නේ plan එකට වඩා හාත්පසින්ම වෙනස්ම විදිහට. සමහර ගේම් පටන් ගත්තට කොහොම කවදා කොහෙං ඉවර වෙනවද කියලා ගේම් එක plan කරන කෙනාවත් දන්නේ නෑ. හැබැයි ඔය ඔක්කොම එක එක ගෙම් අන්තිමේට බලද්දී කොහෙන් හරි අර මුල් ගේම් එකට සම්බන්ධයි.
වැඩිපුර ම ඉන්නේ ප්රියන්ත මහඋල්පතගමලා
ප්රියන්ත මහඋල්පතගම අන්තිමට හිතන්න ගත්තේ ඌ තමයි පට්ටම පොර කියලා. ඒත් අදටත් ප්රියන්ත මහඋල්පතගම දන්නේ නෑ ඌට උනේ මොකක්ද කියලා වත්. අපි අවටත් වැඩි පුරම ඉන්නේ ප්රියන්ත මහඋල්පතගමලා.
මචං බුද්ධිකයා, ගියපු ගොඩක් ට්රිප් වගේ මේ ට්රිප් එකත් උඹලා දෙන්න එකට ම ගියා. සුබ ගමන් යාළුවා...! දවසක ආයේ හෙමිහිට හම්බ වෙමු මීට වඩා හොඳට.
උඹට ආදරෙයි.
නීතිඥ සුමුදු එදිරිවීර,

