සමන් චන්ද්‍රනාත් වීරසිංහ ජීවන ගමනට නැවතුම තබා පසුවුන 15වන දාට සිවු වසරක් ගත විය. නවකයින් ලියූ දෑ පසසන, විනෝදබර අතීතාවර්ජනයෙන් කොක් හඬලා සිනාසෙන ඒ ප්‍රීතිමත් වියපත් මිනිසා ගෞරවයෙන් සිහිපත් කරමි.
සත් වසකට පමණ පෙර සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් ගීත රචකයාගේ නිර්මාණ කෞෂල්‍යය අරභයා ලියූ සටහන යළිත් මෙහි පළ කරමි. බෑණා ගේ මුහුණුපොතෙන් මේ සටහන කියවා තමන් මහත් ආනන්දයට පත් බව පවසන්නට මාගේ දුරකතන අංකය සොයාගෙන ඇමතූ, ඉන්පසුව ඉඳ හිට ඇමතුමක් ගෙන අතීත මතක සටහන් දිග හරිමින් බොහෝ ඇසූ පිරූ දෑ බෙදාගත් ඒ නිහතමානී ප්‍රවීණයාව ආදරයෙන් සිහිපත් කරමි.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ සිංහල ගීතයේ එක්තරා, නිහඬ සංධිස්ථානයකි. සිරුරින් පර්වතයක් බඳු වූ මේ ගීත රචකයා මහමෙරක් බඳු ගී ලියා තුඹසක් තරම් කුදුව පසෙකට වී සිටින්නෙකි. නිරන්තරව රස වින්දන වේදිකා මස්තකයෙහි හෝ පුංචි තිරයෙහි නොවිකිණෙන සමන් චන්ද්‍රනාත් නාමය තවමත් හිමි ව ඇත්තේ ගීත රචනා කලාවට ම පමණි.
දේශාභිමානී යැයි නොහැඟෙන...
දසක ගණනාවක් තිස්සේ ගී පදවැල් අතර ගැවසෙන, අරුමැසි ගී මවා පෙන්වන සමන් චන්ද්‍රනාත් විසල් වපසරියෙක හිමිකරුවෙකි. ඔහු මාලනී බුලත්සිංහල වෙනුවෙන් 'සඳ මඬලේ සිට තරු මඬලේ සිට' යනුවෙන් දේශාභිමානීයැයි සෘජුව නොහැඟවෙන ගීතයක් ලීවේ ය.
'පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිමවන්නේ
ඒ සුරතල් පුතුටයි....'
මාලනී බුලත්සිංහල - ෂෙල්ටන් ප්‍රේමරත්න
ශ්‍රම බලකා සංකල්පය පිළිබඳ ඉඟි ය
ඉන් අනතුරුව කපුගේ වෙනුවෙන් 'නාඹර ගොයමට රහස් කියාලා' ප්‍රේමාතුර තරුණයෙක් පිළිබඳ ලියන සමන් කාටත් නොදැනෙන්නට ඒ ඔස්සේ ශ්‍රම බලකා සංකල්පය පිළිබඳ ඉඟි කළේය.
'මගෙ පිය සටහන් අඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මද පවනයි...'
ගුණදාස කපුගේ - ෂෙල්ටන් ප්‍රේමරත්න
ප්‍රචාරණවාදී ගීතයක්
සාරවත් බිම, වගාව සහ ස්වයංපෝෂිත දැය කමටහන් තබාගත් සමන් චන්ද්‍රනාත් වීරසිංහ වයලින් වාදක ඩී.ඩී. ගුණසේනයන් වෙනුවෙන් තරමක ප්‍රචාරණවාදී ගීතයක් ලියුවේය.
'සොඳුර මට සමු දෙන්න සමුදෙන්න
ඈත ගමේ සරු පස පෙරළන්නට
මා යනවා අද උදෑසනේ...'

ඩී. ඩී. ගුණසේන - ප්‍රේමසිරි කේමදාස
ආලවට්ටම්වලට ගීතය අභිභවා නොයන්නට වග බලා ගනිමින්...
එපමණක් නොව; ඔහු නිරන්තරව ගැම්මෙන් ගයන පුන්සිරි සොයිසා හට 'බිඳුවක් ඉවසා අහන්න හිතවත' සහ 'සෙව්වන්දියකට පෙම් බැන්දා' යනාදි ගීත ලියා පුන්සිරි රසික සමාජය කුල්මත් කළේ ය. චන්ද්‍රිකා සිරිවර්ධන සහ සුනිල් සිරිවර්ධන ගැයූ 'රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ' ද චන්ද්‍රිකා ගැයූ 'රන් තාරකාවෝ නෑ නිදියන්නේ' යනාදි ගීත ලියන සමන් චන්ද්‍රිකා සිරිවර්ධන ගේ ඉහවහා ගිය ගායන ශිල්පීය ක්‍රම සහ ආලවට්ටම්වලට ගීතය අභිභවා නොයන්නට වග බලා ගත්තේ ය.
පුන්සිරි සොයිසා
ජේත්තුවට ඇඳ ළයාන්විතව ගයන්නනා වෙනුවෙන්
'සප්ත කන්‍යා' චිත්‍රපටයේ හැරෙන්නට රිසි සේ හඬ පුබුදුවන්නට වරම් නොලද, මහගස් යට පොඩි ගස් සෑදීම අඩාළ බව පසක් කළ ධම්මිකා වල්පොළ සහ ජේත්තුවට ඇඳ ළයාන්විතව ගයන්නට ම රිසි කීර්ති පැස්කුවල් වෙනුවෙන් සමන් චන්ද්‍රනාත් ලියූ යුග ගීතය අදටත් මන බන්දනීය ය.
'කවිකාරියේ - සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා.....
මගෙ පාඩුවේ - යන්ට යනවා ඔහේ
අනේ සාමි හැන්දෑ වෙලා....'
කීර්ති පැස්කුවල් , ධම්මිකා වල්පොල - මහින්ද බණ්ඩාර
ජ්‍යාමිතික හැඩයෙන් මැවූ ගීත
ජ්‍යාමිතික හැඩයෙන් ගීත මවන්නට සමත් වූ මුල් ම ගී පද රචකයා වන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ ය. ඔහු කෝණමානයෙන් ගීතය ලියා අපට කවකට්ටෙන් ඇන්නේය.
'සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා....'

දයාරත්න රණතුංග - දයාරත්න රණතුංග
සදානන්දකර යුග ගීතය
හෙතෙම සංගීතඥ සරත් දසනායක සමග මනා අවබෝධයකින් ඉතිහාසගත ගීත නිර්මාණකරණ කාර්‍යයකට පිවිසුණේ ය. 'ආත්මා' චිත්‍රපටය වෙනුවෙන් සදානන්දකර යුග ගීතයක් තිළිණ කළේය.
'හිම රේණු වැටෙනා
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ...
රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල්සරෝ.....'
ග්‍රේෂන් ආනන්ද , ලතා වල්පොළ - සරත් දසනායක - ආත්මා
ඉන් නොනැවතෙන සමන් චන්ද්‍රනාත් 'ඡායා' චිත්‍රපටයට ලියන මේ ඉමිහිරි ගීතයට ද සංගීතය සපයන්නේ සරත් දසනායකයන් ම ය.
'බිඳක් රැඳී අසන් ළඳේ මියුරු ගායනා
යුග නුවන් කොනේ රැහැන් ලිහා නොයන් මා දමා
හද පැතුම් පුරේ නිරන්තරේ
මැවෙයි ඔබේ ඡායා...'
එච්.ආර්. ජෝතිපාල - සරත් දසනායක - ඡායා
නවක තරුවලට පෙම් ගී
ජෝතිපාල, ලතා සහ ග්‍රේෂන් ට ගී ලියූ ගීත රචකයා නව ලෝකය සමග ගැටෙන්නට බිය වන්නේ නැත. ඔහු සිරස සුපිරි තාරකා මණ්ඩලයේ නවක තරුවලට පවා නොපැකිලව පෙම් ගී ලීවේ ය.
'සඳුනී සඳුනී
ඇයි සුදු කොපුල් තෙමන්නේ
ඇසුණා - දැනුණා
රෑ තනි යහනේ ඉකිබිදිනා විලාසේ...'
නලින්ද රණසිංහ - සරත් ද අල්විස්
' ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑණු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගාණෙ පාවෙලා ගියා
රෑ තාරකා ආවා ගියා
ඒ වාගේ නෑ නේද මේ අංගනා ... '
රුක්මන් අසිත - සරත් ද අල්විස්
රුක්මන් අසිත
ගීත රචනා කලාවේ කූටප්‍රාප්තිය
ගුණදාස කපුගේ සිට රුක්මන් අසිත දක්වා ද ෂෙල්ටන් ප්‍රේමරත්න, ප්‍රේමසිරි කේමදාස, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, ආර්.එම්. චන්ද්‍රසේන, දයාරත්න රණතුංග, සරත් දසනායක සහ සරත් ද අල්විස් සමග ද සංගීත ලෝකයේ ගී පද සුසර කළ සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගේ ගීත රචනා කලාවේ කූටප්‍රාප්තිය වන්නේ ස්ටැන්ලි පීරිස් නම් සංගීතවේදියාණන් සමග එක් ව කළ ගීත ගොන්න බව මාගේ පුද්ගලික විශ්වාසය ය. ඒවා එතරම් මිහිරි ය.
''ගැයූ'' ගීත අනුභවය
අද වන විට සුප්‍රියා අබේසේකර එළිමහන් සංදර්ශන වේදිකාවල මහත් අභිරුචියෙන් අනුභව කරනු දකින මේ ගීතය ද සමන් - ස්ටැන්ලි සුසංයෝගයේ ප්‍රතිඵලයකි.
'හතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්න ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලු දා
මතකයි අද වාගේ.....'
ස්ටැන්ලි පීරිස්
සුජාතා අත්තනායක - ස්ටැන්ලි පීරිස්
සීනු නද යි නොසණ්ඩාල හඬ යි එක්ව...
සමන් සහ ස්ටැන්ලි එක් ව ඉතිහාසගත යුග ගීතයක් නිර්මාණය කළේ ය. ස්ටැන්ලි දුන් තනුවට සමන් ලියන මනෝරම්‍ය වදන් විස්මය එළවනසුලු ය.එහි ඇත්තේ රූකාන්ත - චන්ද්‍රලේඛා ආදර කතාව ය. අසූව දසකයේ අග ලියන්නට ඇති මේ ගීතය රූපවාහිනියේ ජනප්‍රිය වන්නේ එක් දහස් නමසිය අනූ අට වසරේ 'සිරස රස රිසි ගී විස්ස' නම් වූ නාරද - තනුජා ඉදිරිපත් කළ අපූරු ප්‍රාසාංගික අත්දැකීම සමගිනි. හතරැස් මුහුණක් සමග කැරළි කෙස් කළඹක් ඇති තරුණියක්... සබන් බෝල පුම්බමින් කැරකෙන රූපරාමු පෙළක්. ඒ අපේ ළමා කාලයේ එළිපත්ත ය. අපි 'සඳලේඛා'හි චන්ද්‍රලේඛා ගේ සීනු නදටත් රූකාන්තගේ නොසණ්ඩාල හඬටත් පෙම් බැන්දෙමු. අද වන විට ඒ ගීතය ගයන්නේ ඔවුන් දෙදෙනාගේ ම දියණියන් ය.
'සඳලේඛා
සඳ ගිරි හිසින් ලැගුම් ගනියි මගේ ලෝකේ
රූ ඡායා
සෙවණැලි දිගා වෙවී ළඟින් හිඳී මගේ
දිනෙක කීවා දකිනා සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා
විමානයෙන් ආ සඳ සේ සඳුන් කැලෙන් එහා
ගෙනා සිතක් රන් තැටියේ නොදී ගතින් එදා
හතර වටේ මල් වැහැලා සිතට කතා කළා
ඉතිං ඉතිං එදා
කුමාරියක් වූ දවසේ කතා පොතෙන් සිතේ
විලේ ගිහින් මල් නෙලුවේ ඔබයි නමින් මගේ
පාර දිගේ මල් ඉහිලා සුවඳ කතා කළා
රජෙක් ඇවිත් කියා..... '
රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා | ස්ටැන්ලි පීරිස්
රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
ගවු ගණනක් එපිට නැවතුමක...
චරිතා ප්‍රියදර්ශනී පීරිස් හැරෙන්නට ඕනෑම ගායිකාවක සමග මිහිරිව යුග ගී ගයන එඩ්වඩ් ජයකොඩිටත්, කසිකබල් අනුකාරක ගීත කලාවේ සිට සම්භාව්‍ය මිහිරි ගීත කලාව වෙත තුන් පිම්මෙන් පිවිසි උරේෂා රවිහාරිටත් සමන් ලියන ගී පදවලට සංගීතය සපයන්නේ ස්ටැන්ලි පීරිස් ම ය. පැවසිය යුතු සත්‍යයකි. ගායනය සහ සංගීතය කෙතරම් ඉහළ මට්ටමකින් පැවතිය ද ඒ සියල්ල ඉක්මවා යන මාධූර්යයකින් හෙබි ගී පද වැල් හේතුවෙන් සමන් චන්ද්‍රනාත් වීරසිංහ නම් පද රචකයා නතර වන්නේ ගව් ගණනක් එපිට නැවතුමකය.
'නැව් නැගිලා ඇවිදින් මගේ නිරිඳුන්
ආදර තොටමුණේ ලු
දෙතොලේ හසරැල් ඔබ මා හැම කල්
කැඳවූ රළ රැල් යා වූ
රැල් නැගිලා ලෙළ දෙයි මේ කොඩිවැල්
ප්‍රේමයේ නම් සොඳුරු
සුවඳ මනා රන් සේල මාලා
නුඹට ගෙනා බොහොමා
අපට කීමා ඒ තෑගි තිලිණා
සපැමිණිදෝ සොඳිනා
මා ප්‍රියයා ඉතිනා
නැවක ගෙනා මනලෝල සෑමා
ළඳට තමා සොබනා
සිතට ගෙනා වූ ආල කරුණා
තිබේද යම් පමණා
ඒ කඳුලයි අගනා....'
සමන්;
රැල් නැගිලා ලෙළ දෙයි මේ කොඩිවැල්
ප්‍රේමයේ නම් සොඳුරු...
උරේෂා රවිහාරි, එඩ්වඩ් ජයකොඩි | ස්ටැන්ලි පීරිස්

සහන් කසීර වික්‍රමසිංහ

