"අසූවේ පරපුරෙන් සන්නද්ධව" මා විසින් රචිත ග්‍රන්ථයේ දෙවන මුද්‍රණයේ පිටපතක්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට පසුගිය පෙබරවාරි 26 වෙනි දින පිළිගැන්වීමට මට අවස්ථාවක් ලැබිණි.
එම ග්‍රන්ථයේ ඇය ගැන විශේෂ සටහන් කිහිපයක් සඳහන් කිරීම පමණක් නොව ඇගේ දේශපාලන භූමිකාව සහ මා අතරත්, මා එවකට නියෝජනය කළ සංවිධාන අතරත් මිතුරු මෙන්ම පසමිතුරු අවස්ථා රැසක් ගැන සවිස්තරාත්මක විග්‍රහකර තිබීම ඊට ප්‍රධාන හේතුව ය.

එම ග්‍රන්ථයේ සඳහන් සටහන් අතර එක් විශේෂ අවස්ථාවක්, පහත උපුටා ගැනීමෙන් විවරණය වේ.
''...මා ලන්ඩනයේ සිටි එම කාලය තුළ, දේශපාලන රැකවරණය ලැබූ බොහෝ පිරිසක් එහි සිටියහ. ඒ අතරින් කැපී පෙණුන ම චරිත දෙකක් විය. දේශප්‍රේමී කැරලිකරුවන් විසින් තම ස්වාමියා වූ ජනකාන්ත සිනමා නළු විජය කුමාරණතුංග ඝාතනය කිරීමෙන් පසු ලන්ඩනයට පැමිණි චන්ද්‍රිකා කුමාරණතුංග ඉන් එක් චරිතයකි. ඇය ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මෙන්ම එක්සත් සමාජවාදී පෙරමුණේ නායිකාව ද වූවා ය.
අනෙක් චරිතය නම් තම නීතිඥ බෑණනුවන් රාජ්‍ය ත්‍රස්තවාදය විසින් ඝාතනය කිරීමෙන් පසුව දේශපාලන රැකවරණය පතා ලන්ඩනයට පැමිණි කීර්තිමත් මානව හිමිකම් නීතිඥයෙකු වූ ප්‍රින්ස් ගුණසේකර ය. ඔහු, ජනතා විමුක්ති පෙරමුණට හිතෛශි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
මෙම චරිත දෙකට අමතරව, එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඝාතනය කළ යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ව සිටි රාජිණි තිරාණගමගේ සැමියා වූ දයාපාල තිරාණගම ද ඒ අතර වූහ.
එල්. ටී. ටී. ඊ මරණ තර්ජන නිසා දේශපාලන රැකවරණය ලැබූ තවත් දෙමළ දේශපාලනයන් රැසක් එහි සිටියහ. මේ සියළු දෙනා සමඟ නීතිඥ උපාලි කුරේට මනා සම්බන්ධතාවක් තිබුණේය.

ලංකාවේ උද්ගතව තිබූ ඛේදනීය තත්ත්වය හමුවේ, ප්‍රජාතන්ත්‍රවාදයත්, මානව නිදහසත් රැකගැනීම වෙනුවෙන් මොවුන් එක් සාකච්ඡා මේසයකට ගෙන ඒමට ඔහු සමත් විය.
එම සාකච්ඡා බොහොමයක් ලන්ඩන් නුවර කැම්ඩන් පාක් ප්‍රජා කවුන්සිලයේ පැවැති අතර ඊට උනන්දුවෙන් මේ දේශපාලන වින්දිතයන් සියල්ල ම සහභාගී වීමත්, පොදු තීරණවලට එළඹ කටයුතු කිරීමත් ඉතා උණුසුම් අවස්ථාවකි.
මේ සියලු ම දෙනා දැඩි කම්පනයටත් වික්ෂිප්තභාවයටත් පත්ව සිටියහ. එනමුත්, තම තමන්ට අනන්‍යය වූ දේශපාලන මතිමතාන්තර සහ අරමුණු පසෙකලා, ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් රටක් වෙනුවෙන් වඩා ප්‍රගතිශීලි ඉදිරි දැක්මක් ඇති කරගැනීමටත් ඒ අනුව ජාත්‍යන්තර බලපෑමක් ඇති කිරීමටත් මෙම සුවිශේෂ පුද්ගලයන්ට හැකි වීම ගරු කටයුතුය. ...''
(අසූවේ පරපුරෙන් සන්නද්ධව - පිටු 188- 189)
මෙම ග්‍රන්ථය උණුසුම් ලෙස පිළිගෙන එම අතීත අවස්ථා ස්මරණය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ස්තුතිය ප්‍රකාශ කළ යුතු ය.

බන්දුල චන්ද්‍රසේකර

