මනස යටත් විජිතහරණය: පනික්කාර් සිද්ධාන්තය

මනස යටත් විජිතහරණය: පනික්කාර් සිද්ධාන්තය

පසුගියදා අභාවප්‍රාප්ත වුණ ඉන්දීය ඉතිහාසඥ කේ. එන්. පනික්කාර් ගැන ලියද්දී ඉන්දීය ඉතිහාසඥ කේ. එම්. පනික්කාර් ගැනද ලියන්නට සිදුවිය.

එම සටහනට මහාචාර්ය රොහාන් සමරජීව Rohan Samarajiva දැක්වූ කොමෙන්ටුවෙි පනික්කාර් සිද්ධාන්තය (The Panikkar Doctrine) ගැන සඳහන්ව තිබිණි. මේ සටහන ලියන්නේ ඉතිහාසඥයකු විසින් තමා ජීවත් වූ රාජ්‍ය වෙනුවෙන් නිර්මාණය කරන ලද එම උපායමාර්ගික සිද්ධාන්තය ගැන ය.

ශාස්ත්‍රීය අර්ථයෙන් විජිතහරණය යනු හුදෙක් යටත් විජිත පාලකයින් රටකින් පිටව යාම හෝ දේශපාලන නිදහස ලබා ගැනීම පමණක් නොවේ. එය ක්‍රියාවලි දෙකක එකතුවකි. භෞතික විජිතහරණයෙන් සිදුවන්නේ විදේශීය හමුදා ඉවත් වීම, ස්වදේශික ආණ්ඩුවක් පිහිටුවීම සහ ස්වෛරී රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීම ලැබීමයි.

මානසික/සංස්කෘතික විජිතහරණයයෙන් බලාපොරොත්තු වන්නේ, යටත්විජිතවාදියා විසින් අපේ මනස තුළ රෝපණය කළ "හීනමානය", ඔවුන්ගේ දැනුම් පද්ධතිය සහ ඔවුන්ගේ ලෝක දෘෂ්ටියෙන් මිදී අපට ම ආවේණික වූ නිදහස් චින්තනයක් ගොඩනගා ගැනීමයි. ශ්‍රී ලංකාව තුළ මෙම කතිකාව බොහෝ විට සංස්කෘතික සහ ආගමික තලයකට පමණක් සීමා විය.

kmකේ. එම්. පනික්කාර්

එහෙත් ඉන්දීය විද්වත් කේ. එම්. පනික්කාර් (K. M. Panikkar) අපට පෙන්වා දෙන්නේ විජිතහරණය සම්පූර්ණ වීමට නම් එය උපායමාර්ගික (Strategic) සහ භූ-දේශපාලනික (Geopolitical) තලයක ද ක්‍රියාත්මක විය යුතු බව යි. පනික්කාර්ගේ උපායමාර්ගික දෘෂ්ටිකෝණය ඇසුරින් අපට අදාළ වන කරුණු කිහිපයක් මෙසේ සාරාංශ කළ හැකි ය.

01.''මහාද්වීපික අන්ධභාවයෙන්" (Continental Blindness) මිදීම

මහාද්වීපික අන්ධභාවයෙන් මිදීම 1

ලංකාවේ විජිතහරණ කතිකාව මෙහෙයවූ බුද්ධිමතුන් වැඩිපුර ම අවධානය යොමු කළේ රට අභ්‍යන්තරයේ පවතින සෙල්ලිපි, පුස්කොළ පොත් සහ ආගමික ශාසනය දෙස ය. නමුත් පනික්කාර් ඉගැන්වූයේ දිවයිනක සැබෑ විජිතහරණය ආරම්භ විය යුත්තේ මුහුද දෙස බැලීමෙන් බවයි.

නිදහස යනු ගොඩබිම ආරක්ෂා කරගැනීම පමණක් නොව, තම රට වටා ඇති සාගර කලාපයේ ස්වෛරීභාවය තහවුරු කරගැනීමයි. අපේ ඉතිහාසඥයන් 'මහාවංශය' කියවද්දී, පනික්කාර් අපට මතක් කර සිටින්නේ 'සාගර සිතියම්' කියවන ලෙසයි.

02. ''ආරක්ෂාව පිටස්තරකරණය" (Out sourcing) නොකිරීම

1

ලංකාව නිදහස ලබන විට අපේ ආරක්ෂාව තවදුරටත් බ්‍රිතාන්‍යයන්ට ම භාර දී (1947 ආරක්ෂක ගිවිසුම) තිබුණි. පනික්කාර් ගේ මතය වූයේ යම් රටක් තම ආරක්ෂාව වෙනත් රටක් මත රඳා පවතින්නේ නම්, එම රටේ මනස තවදුරටත් විජිතයක්ව පවතින බව යි. සැබෑ විජිතහරණය යනු තමන්ගේ භූ-දේශපාලනික තීන්දු තමන් විසින්ම ගත හැකි ශක්තියක් සහ දෘෂ්ටියක් ගොඩනගා ගැනීමයි.

03. සංස්කෘතික විජිතහරණය සහ උපායමාර්ගික විජිතහරණය අතර සමබරතාව

සංස්කෘතික විජිතහරණය සහ උපායමාර්ගික විජිතහරණය අතර සමබරතාව

ලංකාව තුළ විජිතහරණය යන්න "ටයි කෝට් ගැලවීම" හෝ "ඉංග්‍රීසි විරෝධය" යනාදි සංස්කෘතික ප්‍රකාශනයන්ට සීමා විය. මෙය බොහෝ විට දේශපාලන බලය ලබාගැනීමේ උපකරණයක් පමණක් විය. නමුත් පනික්කාර් පෙන්වා දුන්නේ සංස්කෘතික අනන්‍යතාව රැකගත හැක්කේ භෞතික බලය සහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් හරහා පමණක් බවයි.

උපායමාර්ගික දැක්මක් නැති සංස්කෘතික ජාතිකවාදය හුදු මානසික තෘප්තියක් පමණක් වන අතර, එය රටේ සැබෑ ස්වෛරීභාවය තහවුරු නොකරයි.

04. ත්‍රිකුණාමලය ආධිපත්‍යයේ කේන්ද්‍රය ලෙස හඳුනා ගැනීම

ත් රිකුණාමලය ආධිපත් යයේ කේන්ද් රය ලෙස හඳුනා ගැනීම

පනික්කාර් සිය කෘතිවල ත්‍රිකුණාමලයේ වැදගත්කම ගැන කළ විග්‍රහය අතිශය තීරණාත්මකය. ඔහු පෙන්වා දුන්නේ ත්‍රිකුණාමලය පාලනය කරන බලවේගය මුළු ඉන්දියන් සාගරයම පාලනය කරන බවයි.

"Trincomalee is the most important strategic point in the Indian Ocean... The control of the Indian Ocean is impossible without the control of Ceylon, and the key to Ceylon is Trincomalee."

(Panikkar, K. M. (1945). India and the Indian Ocean: An Essay on the Influence of Sea Power on Indian History. P.85

පනික්කාර් සිද්ධාන්තයේ හරය

අපේ සම්පත් දෙස උපායමාර්ගික ඇසකින් බැලීමට අප ඉගෙන ගත යුතු ය. විජිතවාදීන් අපේ වරායවල් භාවිත කළේ ඔවුන් ගේ අවශ්‍යතාවලට ය; විජිතහරණය වූ මනසක් කළ යුත්තේ එම සම්පත් අපේ රටේ සහ කලාපයේ ස්වාධීනත්වය වෙනුවෙන් කළමනාකරණය කිරීමයි.

පනික්කාර් සිද්ධාන්තය ඉන්දියානු ජාතික අභිලාෂ දෙස බලා ඉන්දියාව වෙනුවෙන් සැකසුවකි. එය මුළුමනින්ම අපට ගැළපෙන්නේ නැත. එය අදාළ වන්නේ රටක උපාය මාර්ගික ප්‍රතිපත්ති සකසද්දී ස්වදේශවාදී ඉතිහාසඥයකුට කෙතරම් භාරදුර කාර්යභාරයක් කිරීමට හැකි ද යන්න විමසා බැලීමෙහි දී ය. අප රටේ උපාය මාර්ගික චින්තනය සැකසීම උදෙසා අපේ ඉතිහාසඥයන් කෙසේ මැදිහත් වී තිබෙන්නේ ද යන්න විමසා බැලීමට සුදුසු මොහොතක් උදාවෙමින් තිබේ.

karu

 

කරු පරණවිතාන

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න