චාරිකාවක් අවසන

චාරිකාවක් අවසන

අපි හැමෝ ම ගත කරන්නෙ අති ධාවනකාරී ගමන් සහිත ජීවිත; ඒ ජීවිත මොන තරම් අතිධාවනකාරී ද කියනවා නම් සමහර අයට එළි වෙනවා, රෑ වෙනවා, දින, සති මාස ගණන් ගෙවිල යන විත්තිය වත් දැනෙන්නෙ නෑ.

සමහර පවුල් කුටුම්බ ඇතුළෙ තාත්ත වෙන්න පුළුවන්, අම්ම වෙන්න පුළුවන් අද දවස සෙනසුරාද කියල දැනගන්නෙ දරුවො පාසල් නොයන නිසා; මහ මග ගමන් කරන වාහන අඩු නිසා. ඒ තරමට ම මිනිස් ජීවිත වේගවත් වෙලා. මේ වේගවත් වීම තමන් ගෙ යහපත වෙනුවෙන්, තම දූ පුතුන් ගේ යහපත් වෙනුවෙන් කියල හිතුවට ඇත්තට ම ඒක එහෙම ද...? නැහැ... ඒක එහෙම නෙවෙයි; මිනිස්සු තමන් නොදැනුවත්ව ම යාන්ත්‍රික වෙලා. ඒ නිසා ඉඳල හිටල, අවම වසර දෙක තුනකට වතාවක් හෝ මේ අතිධාවනකාරී ගමනින් මිදිල කෙටි හෝ විවේකයක් ගන්න ම ඔ්න. එහෙම නොවෙන්න මේ ගත කරන ජීවිතය තමන්ට ම එපා වෙනවා.

විනෝද නොවන වන්දනා ගමන්

සමහර අය මොන බාධක තිබුණත් වසරක් පාසා කතරගම යනවා, ශ්‍රීපාදය වඳින්න කොහොම හරි යනවා, මොන විදියකින් හරි පොසොන් මාසෙට අනුරාධපුරයට යනවා. තවත් සමහර අය මුන්නේස්වරම් යනවා, මඩු පල්ලි යනවා, දෙවුන්දර යනවා. හැබැයි ඒ යන්නෙ විවේකයට ද...? නෑ... ඒකත් අර අතිධාවනකාරී ජීවන ගමනේ ම කොටසක්; තමන් බලෙන් පවරා ගත්තු හෝ වෙනකකු විසින් පවරා දෙන ලද කොටසක්. ඇත්ත ම නිදහස කියන්නෙ, විවේකය කියන්නෙ, ඒ අතිධාවනකාරී ගමන මඳකට හෝ නවත්වනව කියන්නෙ වෙන ම මාවතක්. සරලව කියනවා නම් නිදහසේ යන විනෝද සවාරියක්.

සුපුරුදු විනෝද ස්ථාන

මෙන්න මේ විනෝද සවාරි යන්නත් හුඟ දෙනෙක් තොරා ගන්නෙ: නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල යනාදි ප්‍රදේශ. ඒ ප්‍රදේශ තෝරා ගන්නෙත් හැමෝ ම යන්නෙ සහ අනෙකාට යන්න යැයි යෝජනා කරන්නෙත් එබඳු ස්ථාන නිසා. ඒකෙ වරදක් නැහැ. ඒ තම තමන් දන්න, හුරු පුරුදු තැන් නිසා. හැබැයි අපි නොදන්නා තැන් තව තියෙනවා. එබඳු තැන් ඒ තරමට ම ප්‍රසිද්ධ නොවෙන්නත් පුළුවන්. මම මේ කියන්න හදන තැනත් එහෙම තැනක්.

සැඟවී පිහිටා ඇති ''Zවංගුව''

ඇත්තට ම මීට වසර විස්සකට තිහකට කලින් මේ ප්‍රදේශය, මේ තැන ඒතරමට ම ප්‍රසිද්ධ නැතුව ඇති. නමුත් දැන් දැන් මිනිස්සු විනෝදයට ඒ ස්ථානයට යන්න පුරුදු වෙනවා. මීට දෙවසරකට විතර කලින් මම මේ කියන ස්ථානයට යද්දි තිබුණට වඩා අද එතන හරි වෙනස්; වෙනස් කියන්නෙ දියුණුයි; ආරක්ෂිතයි; අලංකාරයි.

දැන් ඔයාල කල්පනා කරනව ඇති මම මේ මොනව ගැන ද කියන්න හදන්නෙ කියල. ඔවු... ඇත්තට ම මම මේ කියන තැන වගේ ම ඒ ආසන්නයේ ම අපි නවාතන් ගත්ත තැනත් එතනට ම ගැළපෙන තැනක්.

මම පළමුවෙන් ම මේ විශේෂිත තැන ගැන සටහන් කරන්නම්.

මේ තැන පිහිටලා තියෙන්නෙ බුලත්කොහුපිටියෙ සිට දොළොස්බාගෙ පෙදෙසට යන අතරමග; තවත් විස්තර කරනවා නම් බුලත් කොහුපිටියෙ ඉඳල මම මේ කියන තැනට... ඒ කියන්නෙ View point එකට මේකට සිංහලෙන් භාවිත වෙන වචනයක් නැහැ. නමුත් සිංහලට පෙරළුවාම ලැබෙන්නෙ 'දර්ශන ලක්ෂ්‍යය' යන වචන දෙක. අපිට වුවමනා නම් මේ වචන දෙක 'දර්ශන කේන්ද්‍රය' විදියටත් සඳහන් කරන්න පුළුවන්. කොහොම වෙතත් හැමෝ ම භාවිත කරන, හැමෝ ගෙ ම මුවට නැගෙන වචනය දෙක වෙන View point කියන වචන දෙක ම මින් ඉදිරියට භාවිත කරමු. ඒක ලියන මට වගේ ම කියවන ඔයාලටත් පහසුයි.

View point 01

ඒ ගැන විස්තර මෙහෙමයි.

බුලත්කොහුපිටියෙ ඉඳල මේ View point ඒකට කි. මී. 18ක් විතර තියෙනවා. මෙතන හඳුන්වන්නෙ ''Zවංගුව'' කියල. ඒ, එතන විශාල වංගු දෙකක් පිහිටලා තියෙන නිසා. (ඇත්ත්ට ම එතන විතරක් නෙවෙයි... සමස්ත ගමන ම සීඝ්‍ර නැග්මත් සමග වංගු) මේ View point පසු කරල ගියාම හමුවෙන්නෙ දොළොස්බාගෙ කියන ප්‍රදේශය. එතනට View point එකේ සිට කි. මී. තුනක් පමණ තියෙනවා. මේ ප්‍රදේශය අයිති වෙන්නෙ නාවලපිටියට නමුත් කෑගල්ල නගර සීමාවත් හමු වෙනවා. මේ දෙක වෙන්වෙන්නෙ අපි දකින View point එක සහ දොළොස්බාගය අතර පිහිටි කුඩා දියපහරකින්.

සුන්දර දියඇලි තුනක්

ඔයාල දන්නව ද View point එකට යන්න කලින් අතරමගදි අපිට දියඇලි තුනක් හමු වෙනවා.

ඒ විස්තර මෙහෙමයි. බුලත්කොහුපිටියෙ සිට කි.මී. හතරක් යද්දි 'රිකිලි ඇල්ල' කියන දියඇල්ල හමු වෙනවා. එතන ඉඳල කි. මී. එකහමාරක් ගියාම හමුවෙන්නෙ 'නලඟන ඇල්ල.' මේ ඇල්ල බලන්න නම් පාරෙ වාහනය නවත්තලා මීටර් 500ක් විතර ඇතුළට යන්න වෙනවා. එතනින් පිටත් වෙලා කි. මී. පහක් පමණ යද්දි 'රුක්මල් ඇල්ල' හමුවෙනවා. මේ ඇල්ල නම් තියෙන්නෙ පාර අයිනෙ ම යි. එතන ම තියෙනවා පුංචි කඩයක්. අපේ භාවිත භාෂාවෙන් කියනවා නම් පෙට්ටි කඩයක්. කැමතිනම් එතනින් රස ම රස ලැවරියක්, හැලපයක් (මැදට පොල් පැණි දාපු) කාල, කිතුල් හකුරු බෝලයකුත් එක්ක කහට කෝප්පයක් බොන්න පුළුවන්.

රිකිලි ඇල්ල

රිකිලි ඇල්ල

නලඟන ඇල්ලනලඟන ඇල්ල

රුක්මල් ඇල්ලරුක්මල් ඇල්ල

''Zවංගුව'' විශේෂත්වය

ඔයාල දන්නෙ නැහැ නෙ මේ View point එකේ තියෙන විශේෂත්වය. ඒ තමයි මේ View point එකට කොළඹ නගරය දර්ශනය වීම. කොළඹ ඉන්න අය විතරක් නෙවෙයි දැන් මුළු ලෝකය ම දන්න නෙළුම් කුලුන පවා මේ View point ඒකට පේනවා. හැබැයි වැහි දවසට නම් අවට මීදුමෙන් වැහෙන නිසා පේන්නෙ නෑ. ඒ වගේ ම අර දුවිලි වලා අහසට නැග්ගා ම පේන්නෙත් නෑ. හොඳට පායල අවකාශය පිරිසිදු දවසට පේනවා.

දැන් මම කියන්නම් මා ඇතුළු අපේ මිතුරකුට සහ මිතුරියන් කිහිප දෙනකුට මේ ස්ථානය නරඹන්න සහ දින දෙකක් නිදහසේ ගත කරල එන්න ලැබුණෙ සහ අපි ඉතා සැහැල්ලුවෙන් ගත කළේ කොතැන ද, කොහොම ද කියල.

කාන්චනා (කවි) කරුණාරත්න... මගේ සහ අපි සමග ගිය එක් මිතුරියක ගේ හැර අනෙක් අයගෙ පොත් කිහිපයක් ම ප්‍රකාශයට පත් කරේ කවි සොයුරිය. මංජු නැදගමුව සොයුරා ගෙ සියලු ම පොත් සහ මගේ මෙතෙක් පළ වුණු පොත් අතරින් වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරෙත් කවි සොයුරිය ගෙ 'කවිවර ප්‍රකාශන' ආයතනයෙන්.

අපිට මේ ගමනට ආරාධනා කරේ සහ ආහාර, ඉඳුම් හිටුම් යනාදි සියල්ලට ම අනුග්‍රහය දැක්වුවෙත් කවි සොයුරිය ම යි.

දැන් තමයි හොඳ ම කොටස.

'Kvi's hideaway'

Kvis hideaway

ඒ තමයි අපි ගිහින් නවාතැන් ගත්තු තැන. ඒ ප්‍රදේශය හඳුන්වන්නෙ දේදුගල, පැළම්පිටිය නමින්. මේ මාර්ගයේ පැළම්පිටිය - බුලත්කොහුපිටිය බස් රථයකුත් ධාවනය වෙනවා. මම කියන්න හදන නවාතැන පිහිටල තියෙන්නෙ දේදුගල පැළම්පිටිය අතර ගඟවැරලිය කියන ප්‍රදේශයේ. මේ නවාතැන හඳුන්වන්නෙ 'Kvi's hideaway' කියල. 'hideaway' කොහොම වෙතත්  'Kvi's' කිව්ව ම දැන් ඔයාලට හිතෙන දේ මම දන්නවා. ඔවු... ඔයාල හරි... ඒ නිවාඩු නිකේතනය කවි සොයුරිය ගෙ වල්ලභයා හෙවත් සැමියා වන ඉන්දික තිලකසිරිවර්ධන සොයුරා ගේ. ඉතිං ඒ දෙපළට පළමුවෙන් ම ස්තුති කරවා...!

මම මෙච්චර වෙලා වර්ණනා කරපු View point එකට 'Kvi's hideaway' එකේ ඉඳල තියෙන්නෙ කි. මී. දෙකයි. ඔයාලට වුවමනා නම් View point එකට ගිහින් ඇවිත් ගිමන් නිවාගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් 'Kvi's hideaway' එකට ගිහින්, තේ එකක් එහෙම බීල නිදහසේ පයින් යන්නත් පුළුවන්. හැබැයි කඳු නගින්න අපහසු අයට නම් පයින් යන්න බැහැ. මොකද ඒ කි. මී. දෙක ම වංගු සහිත තද නැග්ම.

'Kvi's hideaway' නිර්මාණය කරපු තැනත් හරිම අපූරුයි. මෙතන අවම වශයෙන් විසිදෙනකුට විතර නැවතිමේ පහසුකම් තියෙනවා. ඒ කියන්නෙ දෙන්නකුට, තුන් හතර දෙනකුට, පවුලේ පස් හය දෙනකුට යනාදි වශයෙන් වෙන වෙන ම නවාතැන් ගන්න පුළුවන්.

ප්‍රණීත ආහාර පාන, සුහදශීලි සේවය සහ අන්තර්ජාල පහසුකම්  

අපි හිතමු අපි කිහිප දෙනෙක් වාහන දෙක තුනකින් රියදුරුවරු කිහිප දෙනෙක් එක්ක නිවාඩුව ගත කරන්න ගියේ කියල. මෙතන ඒ රියදුරු මහත්වරුන්ටත් අපිට වගේ ම සැප පහසුකම් සහිත කාමර කිහිපයක් ම තියෙනවා. ඒ අයටත් නිදහසේ ඉන්න පුළුවන්.

Kvis hideaway 1

ඔයාල කැමති සීතල ම සීතල වතුර නාන්න නම් එහෙම පුළුවන්; සීතල හුරු නැති අයට වුවමනා නම් උණු වතුර නාන්නත් පුළුවන්.

දැන් ඔයාලට හිතෙනවා ඇති මේ තරම් දුර, දුෂ්කර, කඳුකර ප්‍රදේශයක අන්තර්ජාල පහසුකම්. දුරකතන පහසුකම් තියෙනව ද කියල. ඔවු... ඒ සියල්ල ම මෙතන තියෙනවා. ඔබ මෙතනට ගියාට පස්සෙ මෙතන සේවයේ නිරත වන කාර්යශූර, සංග්‍රහශීලී ඒ සහෝදරයින් ඔබට ඒ සබඳතාව ලබා දෙනවා.

ඒ විතරක් නෙවෙයි... අපි කැමති ආකාරයට. ඉතා ප්‍රණිතවත් ආහාර සපයලා දෙන්නත් ඒ අය සැදී පැහැදී ඉන්නවා.

ඔයාල කැමති නම් හැන්දැවට: මාළුවෙක්, කුකුළෙක්, ඌරු මස් කෑල්ලක්, හරක් මස් කැල්ලක් පුච්චලා (Barbecue) කට ගැස්මක් හදල දෙන්නත් ඒ අය සැදී පැහැදී ඉන්නවා.

කිතුල් රා ටිකක් බොමු

Kvis hideaway 12 1

ඒ විතරක් නෙවෙයි... ඔයාල කැමති නම් ගහෙන් බාපු ගමන් කිතුල් රා ටිකක් බොන්නත් පුළුවන්. ඒව සොයන්න ඔයාල මහන්සි වෙන්න වුවමනා නෑ. ඔයාලට තියෙන්නෙ ටිකක් කල් ඇතිව ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දැනුම් දෙන එක විතරයි; අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමාණය ඔයාල ළඟට ම ලැබේවි.

මේ විදියට හීනියට සප්පායම් වෙන අතරෙ සිංදුවක් කියල පොඩි ඩාන්ස් පාරක් දාන්න වුවමනා නම් ඒකටත් පහසුකම් සලසලා තියෙනවා. හැබැයි එතන සම්පූර්ණයෙන් ම විවෘත නිසා වැස්සොත් නම් සොරි තමයි. ඒකත් කියල තියන්න වෙනව නෙ.

පිරිසිදු කිතුල් හකුරු සහ කිතුල් පැණි

Kvis hideaway 09

අපි හිතමු දැන් ඔයා, දවසක්. දෙකක්, තුනක් ඉඳල ආපහු එද්දි කාට හරි තෑගි දෙන්න මොනව හරි වුවමනයි කියල; එමෙ නැති නම් ඔයාල ගෙ ප්‍රයෝජනයට හරි වුවමනා නම්: පිරිසිදු කිතුල් පැණි, කිතුල් හකුරු වෙළඳ පොළේ පවතින මිලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ඒව හොයන්නත් ඔයාල මහන්සි වෙන්න වුවමනා නෑ. ඔයාලට කරන්න තියෙන්නෙ කල් ඇතිව අවශ්‍ය වර්ග සහ ප්‍රමාණය දැනුම් දීල මුදල් ගෙවන එක විතරයි. එතන ඉන්න කාර්ය මණ්ඩලය අවශ්‍ය දේ ළඟට ම ගෙනල්ල දෙනවා.

හොඳට මතක තියාගන්න... ඔයාල යද්දි අනිවාර්යයෙන් සීතලට ඔරොත්තු දෙන ඇඳුමක් අරගෙන යන්න. සමහර වෙලාවට අපිත් එක්ක අමනාපෙන් වගේ මීදුම ඇවිත් අපිව වෙළා ගන්නවා. මීදුම නැතත් සීතල සිරුර වෙළා ගන්න වාර අනන්තයි.

අපිට එහෙම අපූරු සිදුවීමක් වුණා.

මම අර කලින් කිව්ව View point එකට ගිහින් ආපහු එද්දි මීදුම ඇවිත් 'Kvi's hideaway' එක සම්පූර්ණයෙන් ම වට කරල; ඇතුළතත් ආක්‍රමණය කරල. හැබැයි අපි ඇවිත් විනාඩි කිහිපයකින් ම මීදුම අතුරුදන් වුණා. හරියට අපි නවාතැනින් පිට වුණාට අමනාපෙන් වගේ. අපි නවාතැනට ඇවිත් විනාඩි කිහිපයකින් මිදුම ඈතට ඈතට පාවෙලා ගියේ ''අපි මේ ඔයාල නැති නිසා බලන්නට ආවෙ... එහෙනම් අපි යන්නම්'' කියනව වගේ.

'Kvi's hideaway' හි සඳලුතලයේ සිට

'Kvi's hideaway' හි සඳලුතලවල හෝ ඉහළ ම මාලයට ගියාට පස්සෙ අපිට: ආසන්නයේ ම දකින්න ලැබෙන්නෙ බුලත්කොහුපිටියෙ කඳු පෙළ. ඊට පසුව පිළිවෙළින් නාරංගල, රුවන්වැල්ල, යටියන්තොට කඳු පංති නරඹන්න පුළුවන්. ඈතින් ම දකින්න ලැබෙන්නෙ: මීගමුව නගරය, මීගමුව බ්‍රව්න්ස් බීච් හෝටලය, කටුනායක. මීදුම නැති රැයක නම් කටුනායක ගුවන් පථය පවා නරඹන්න පුළුවන්.

Kvis hideaway සඳලුතලයේ සිට 01

ඉතිං ඔයාලටත් මේ සුන්දරත්වය විඳල, පුංචි විවේකයක් අරගෙන එන්න වුමනයි කියල හිතුනොත් නවතින්න හොඳ ම තැනක් තමයි 'Kvi's hideaway' නවාතැන.

මම මේ ප්‍රදේශය ගැන මහා ලොකු විස්තරයක් ලිව්වට එහෙම ලිව්වෙ 'Kvi's hideaway' කළමනාකාර තැන්පත් ජාලිය අබේරත්න සොයුරා ගේ උදව්වෙන්. ඉතිං එයාට හුඟක් ස්තුතියි! ඒ වගේ ම අපිට ඉතාමත් සුහදව සංග්‍රහ කරපු සොයුරන් තිදෙනාටත් හුඟාක් ම ස්තුතියි!

jayasiri

 

සටහන ජයසිරි අලවත්ත

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න