පඩික්කමක් පෙරළී වැටෙනා අතර
පැටික්කියක් හූමිටි පෑවා වැතිර
වැයික්කියක් බුදියා සිටිනා අතර
චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර
පුපුරු ගසා කකියයි පේසා වළලූ
නපුරු විපත බුරියෙන් පාතට ළඟලූ
කපුරුහාමිලා ළඟ දාඩිය ගඳලූ
පොකුරු පිටින් බිම වැටිලා ග්‍රහ වළලූ
අකුණු ගසා වාහල්කඩ දෙබෑ වුණ
පොකුණු පුරා ගෙඹි නිරුවත දිගා වුණ
දකුණු අතේ බැඳි නූලට වශී වුණ
උකුණු හිසද දැලි පිහියෙන් කපාගෙන
පූජාසන මත ලේ කරගැට පිදුව
සම්බාහන සන්තෝසෙක පිං වැඩුව
කෛරාටික රඟ දුටුවෙ ද පිළිහුඩුව
ත්‍රෛලෝකෙට තෝ කියපිය අවනඩුව
නිම්මා නැති සංසාරේ පිං බරට
සම්මා සම්බුදු අම්මා දුන් කිරට
පෙම්මා වඩනා ළය ඉරිතළනකොට
බුම්මාගෙන දෙයියොත් නින්දේ හොරට
සඟිස්කුරුත කුණුහරුප ම උඩ දෑව
තලස්තෑනි ලෞකික රති පලදාව
කෙළෙස් බුදින කල ගඳ කුටියට යාව
චෛත්‍යයක් විඳවාවිද ගබ්සාව
හතර පේරුවේ නෑඹුල් මුසාවෙනී
හතර හංදි ඇට තළනා දසාවෙනී
වතුර මාරු කරනා රස කතාවෙනී
හතර වරං දරුවෝ වල් කකා හුනී
මංචාඩියකට ගෙන ලොව්තුරු රස ය
රං කිරි සුවඳක කෑවේ දඩමස ය
පිං කැට බිඳිලා ගැලුවේ ඕජස ය
ටිංකිරි පාටට ගැලුවේ තේජස ය
හේතු ඵලද උඩ බිම ළඟට ම පැමිණී
පීතු පාද යටි පතුලක කටු ඇනුණී
යාතු කර්ම ලෙවකනකොට රස ගිහිණී
ධාතු වඩින රඟ බල මැන සැළලිහිණී
සබාතොමෝ කළු පාටින් කබා මසා
අජාසත්ත යට කලිසම් අඳින නිසා
අතේ තරාදිය දරමින් දෑස වසා
අනේ ඈත් ඇති අසමින් කොමඩි මුසා
ගින්දර පුළිඟු ඇවිළෙන මහ විනය තකා
මන්දිර බලය ළඟ හැංගෙන ලකුණු මකා
මින්දද පවා සිටියදි ලුණු ඇඹුල් නොකා
වින්නඹු අම්මලා එති දත්කූරු කකා
බොමින පිරිත් පැන් යහමින් නැවත නිවා
බුදින කලට විනය පිටක දෙකට නවා
සොඳින දිලෙන මුදු සකියනි උදේ හවා
කඳුළු බිංදුවකි චූඩා මැණික පවා
තළා පෙලා පොඩිකළ මල් පියල්ලකී
උලා කෑව ඉපනැලි බඩ දැවිල්ලකී
විලෝපීය සුදිලෙන දත් වහල්ලකී
පැලෝපීය නාලය කොත් කැරැල්ලකී
බදාගෙන ම අඬහැර හඬ හොරණෑවේ
නිදාගෙන ම මහ යතිවරු උන්නාවේ
කදා වළලු ටික බිඳිලා ඇන්නෑවේ
වැදෑමහක් වැටිලා මහමෙවුනාවේ
කච්චපුටගෙ රන් තලියට ගොම වැටුණී
ලැජ්ජ බයට ඇත් පවුර ම හිරිවැටුණී
හුජ්ජ බරට බහිරව රූ වක ගැසුණී
හංස පූට්ටුව පාමුල ලේ තිබුණී
හපා කෑව පෙකණිය ඇවිළෙන විට ද
කොටා බෑව පීකුදු දිරවන විට ද
අපායට ම සුළුදිය පහවන විට ද
වටාපතක සරණක් හෙළුවට මොට ද
කුමාර හෙට්ටිආරච්චි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
