Image

ආණ්ඩුව, අටමස්ථාන සිවුරෙන් ගෙල වැල ලා ගනී ද...?

ආණ්ඩුව, අටමස්ථාන සිවුරෙන් ගෙල වැල ලා ගනී ද...?

අධිකරණ ක්‍රියාදාමයක් හමුවට පැමිණවීම අතිශයින් ම දුෂ්කර වූ මහා බලගතු ත්‍රිත්වයක් පසුගිය කාලයේ ලංකාව තුළ ගොඩනැගිණි.පළමුවැන්න විධායක ජනාධිපති ධුරය මුල්කර ගත් දේශපාලන අධිකාරියේ මුදුන් ඇවරිය යි.

දෙවැන්න, රාජ්‍ය බුද්ධි අංශ නම් කණ්ඩායම්වල බලවතුන් ඇතුළු ‘රණවිරු’ ලේබල්ධාරී සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් ය. තෙවැන්න භික්ෂූ සංස්ථාවේ මර්මස්ථානවල වැජඹෙන පිරිස ය. විශේෂයෙන් ම රාජපක්ෂ දශකයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ වංචාවලට යුක්තිය සෙවීමේ දී මෙහි පළමු දෙකොට්ඨාසයට අතතැබීමේ නොහැකියාව සහ නොකැමැත්ත 2015 පටන් ම අපි අත්වින්දෙමු.

යහපාලනයට සම්මුඛ වූ පළමු සංස්ථා දෙක1658990104 Ranil Wickremesinghe and Maithripala Sirisena L

ඊනියා ‘යහපාලන’ ආණ්ඩුවට මේ මහා බලගතු ත්‍රිත්වයේ පළමු සංස්ථා දෙක ම ඇති පමණට සම්මුඛ විය. මනුෂ්‍ය ඝාතන ඇතුළු බරපතළ ගනයේ අපරාධ සොයාගෙන යනවිට, ඒවා ඉදිරියේ හිටගත්තේ සන්නද්ධ හමුදාවල ප්‍රබලයින් සහ ඔවුන් යටතේ ක්‍රියාත්මක වූ කුඩා වධක කණ්ඩායම්වල සාමාජිකයින් ය. යහපාලනය මෙතැනින් පස්ස බිම ඇනගත්තේ ය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉදිරියට මුහුණට මුහුණ ලා මේ මහා බලවන්ත සංස්ථාපිතය හමුවූ විට යුක්තියට පසුබසින්නට සිදුවිය. ඊනියා ‘රණවිරුවෝ දිගින් දිගට ම නිදැල්ලේ සිටියහ.

රාජපක්ෂ දශකයේ සංවිධානාත්මක මංකොල්ල, දූෂණ වංචාවලට එරෙහිව යාමේ දී, ඊට මුහුණට මුහුණ සම්මුඛ වූයේ හිටපු විධායක ජනාධිපතිවරයා ගේ සිට ඔහු ගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ඉහළ ම දේශපාලන ඇවරියකි. නැවතත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පස්ස ගැසුවේ ය. නිලධාරියෙක් දෙන්නෙක් යම් යම් දණ්ඩනවලට යටත් වුව ද, අවසාන ප්‍රතිපලය වූයේ ඒවා ද බොහොමයක් රිවස් වීම යි.

නීතිපති පස්ස ගැහිල්ල නැතිනම් එක විධායකයෙකුට දැනටමත් අධිචෝදනා‍

ජාජබය බලයට එනවිට මේ මහා බලගතු ද්විත්වය ම හිටියේ නීතියට හා යුක්තියට ඉහළිනි. එහෙත් ජාජබ ආණ්ඩුව යටතේ ඒ ‘බලගතු ද්විත්වය’ ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වෙත පමුණුවන්නට හැකියාව ලැබිණි. පළමු වතාවට හිටපු විධායක ජනාධිපතිවරයෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන තැනට නීතිය ක්‍රියාත්මක විය. ඒ බලවන්තයා නීතියට වෙට්ටු දමා ඉස්පිරිතාලේ පස්සා දොරින් පළාගිය බව සැබෑවකි. එහෙත් අතිශය ප්‍රශ්නකාරී නීතිපතිවරයා ගේ ක්‍රියාකලාපය නොවන්නට මේ වනවිට ඒ හිටපු විධායක ජනාධිපතිවරයාට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවී තිබිය යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

කිසිදා යුක්තියට සම්මුඛ නොවූ ‘ජනපති මහින්ද’ත් අල්ලස් කොමිසමේmahindaaa

දැනට ජීවතුන් අතර සිටින, හිටපු විධායක ජනාධිපතිවරුන් අතරින් ඉහළම බලවන්තයා වන මහින්ද රාජපක්ෂ ද පළමු වතාවට විමර්ශන ආයතනයක් හමුවට කැඳවන්නට හැකියාව ලැබුණේ ජාජබ ආණ්ඩුව පවතින තතු යටතේ ය. 2005 ජනාධිපතිවරණයට පෙර ‘හෙල්පින් හම්බන්තොට’ සිද්ධියට අදාළව වාරණ නියෝගයක් ගැනීමට උසාවියකට ගිය තැන් පටන් මේ මැයි මාසය දක්වා මහින්ද රාජපක්ෂ කිසියම් ම හෝ විමර්ශන ආයතනයක් හමුවට පමුණුවන්නට කිසිවකුටත් බැරි විය. එහෙත් මේ ආණ්ඩුව යටතේ එය ද සිදුවිය. හිටපු කැබිනට් ඇමතිවරයෙක් දෙන්නෙක් හිරගෙදර ය. තවත් දෙතුන් දෙනෙක් රිමාන්ඩ් පිට ය. තවත් අය නඩු පෝලිමක ය.

‘රණවිරු’ ලොක්කාත් රිමාන්ඩ්26 69c4b7369a8b1

අනෙක් මහා බලවන්ත සංස්ථාපිතය වූ සන්නද්ධ හමුදා සාමාජිකයින් ද නීතිය හමුවට පමුණුවන්නට ජාජබ ආණ්ඩුව යටතේ විමර්ශන ආයතන හා රජයේ නීති අංශ සමත් විය. ජාජබය බලයට එන විටත් සිටි රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අද මේ මොහොත වනවිටත් ඉන්නේ රිමාන්ඩ් භාරයේ ය. සුපුරුදු රණවිරු දඩයම් බෑඟිරිය ගාගෙන පැමිණි කිසිදු බලවේගයකට අද‌ වනතුරු ඔහුට අදාළ විමර්ශනවලට අත තියන්නට හැකියාවක් නොලැබිණි.

ත්‍රිත්වයෙන් දෙකක ම බලබිඳීම1000056864

ඉන් පැහැදිළිව පෙනී යන්නේ අප මේ කියන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට සාර්ථකව අභිමුඛ කිරීමට දශකයක් තිස්සේ බැරිවී තිබූ මහා බලගතු ත්‍රිත්වයේ සංස්ථාපිත දෙකක ම දළ බිඳ දමන්නට මේ වනවිටත් ජාජබ ආණ්ඩුවක් යටතේ හැකියාව ලැබී ඇති බව ය. එතරම් බලගතු සංස්ථාපිත දෙකක් ඉදිරියේ දණ නොනැමූ ආණ්ඩුවට ඊළඟට සම්මුඛ වන්නේ තෙවැනි සංස්ථාපිතයට යි‍. එහි ද ලේසිපාසු චරිතයක් නොවේ. අටමස්ථානාධිපති නම් අතිශය බලවන්ත තනතුර දරන්නා යි.

‘ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්’ සහ ‘ආර්ථික විනාශයෙන් රට බේරාගත්’ ‘වීර’ ජනාධිපතිවරුන් දෙදෙනකු හමුවේ ද, මහා දැවැන්ත රණවිරුවෙකැයි බෙරිහන් දී කෑ ගැසූ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හමුවේ ද දණ නොනමා ඍජුව නැඟීසිටි ආණ්ඩුව අද මේ මොහොත වන විටත් තෙවැනි බලවේගයේ දැවැන්ත ම චීවරධාරී ප්‍රතිරූපයක් හමුවේ දණ ගසා වැඳ වැටී හමාර ය. ආණ්ඩුව පැත්තෙන් නොව, මේ රටේ යුක්තිය පසිඳලීමේ හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ පැත්තෙන් ගත්විට චීවරය ඉදිරියේ මේ ආකාරයෙන් පස්ස බිම ඇණගන්නට සිදුවීම ඇත්තෙන් ම ඛේදවාචකයකි‍.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න භික්ෂුවට එල්ලවන චෝදනාවේ සත්‍ය අසත්‍යතාවක් අප කිසිවකු අදටත් දන්නේ නැත. එය විසඳෙනු ඇත්තේ යුත්තේ අධිකරණය හමුවේ ය. එහෙත් හේමරතන භික්ෂුවට මේ මොහොතේ හිමිවී ඇති යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගයෙන් සැඟවී සිටීමේ වරප්‍රසාදය කිසිදු අපරාධ සැකකරුවකුට හිමි නොවිය යුත්තකි. භික්ෂුව නීතිය හමුවට පැමිණවීම මේ වන විට ඉවසා නොසිටිය යුතු තරමට ප්‍රමාද ය.

සමාජ කතිකාව තුළ දැනටමත් ‘පාපියෙක්’ නොවන්නේද?

මේ වනවිටත් හේමරත්න භික්ෂුව සමාජ කතිකාව තුළ ‘දැවැන්ත පාපියකු’ ලෙස හංවඩු ගැසී අවසාන බව ය, අපේ නිරීක්ෂණය. ප්‍රධාන දහරාවේ මාධ්‍ය මොනතරම් සැඟවූවත්, ආණ්ඩුව, විපක්ෂ ඇතුළු සමස්ත දේශපාලන අධිකාරිය ම පාහේ ‘මීක්’ නොකියන්නට පරෙස්සම් වී සිටියත්, ස්ත්‍රී අයිතීන්, මානව හිමිකම් බෝඩ් ලෑලි ගසාගත් මහා බලවන්ත නෝනලා මහත්තුරු කටේ කෙළ බිඳක් නොහෙලා හිටියත්, සමස්ත සමාජ කතිකාව තුළ හේමරත්න භික්ෂුව සම්බන්ධයෙන් ‘සමාජ විනිශ්චයක්’ ලියවී අවසන් නොවේද?

එක අතකින් එය අදාළ භික්ෂුවට සිදුවන අසාධාරණයක් ද වේ. අනෙක් අතින් එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ විශ්වසනීයත්වයට ද බෙහෙවින් හානිකර ය. එහෙත් මේ පූර්ව ‘සමාජ විනිශ්චයට’ ප්‍රමුඛතම හේතුව හේමරතන භික්ෂුවගේ අතිශය ප්‍රශ්නකාරී හැසිරීම යි. දෙවැනිව, ඔහුට නීතිය ක්‍රියාත්මක කළයුතු පොලීසිය ඇතුළු ආයතන පද්ධතියේත්, පොදුවේ ආණ්ඩුවේත් ඉතාම සැක සහිත ක්‍රියාවලිය යි.

නෛතික යුක්තිය ඉටුවීමට පෙර ‘සමාජ කතිකා විනිශ්චයකට’ පාර කැපුවේ මේ කාරණා නොවන්නේද?

සැඟව පලායාමේ ගැටලුව

සංඝ ධුරාවලිය හා බෞද්ධ කතිකාව තුළ පමණක් නොව සංස්කෘතික කතිකාව තුළ ද දිගු කලක් සැලකිය යුතු බලයක් අත්පත් කරගෙන සිටි භික්ෂුවක වශයෙන් හේමරතන කළ යුතුව තිබුණේ මේ ආකාරයෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙන් පලාගොස් සැඟවී සිටීම නොවේ. එයට ඍජුව මුහුණදීම යි. විශේෂයෙන් ම තමන් නිර්දෝෂී නම්, හේමරතන කළයුතුව තිබුණේ චෝදනාව නැගී විමර්ශන ඇරැඹුණු මොහොතේ ම ඒ ඉදිරියේ පෙනීසිටිමින් සිය නිර්දෝෂීත්වය තහවුරු කිරීමට කැපවීම යි. එසේ නොකර මේ දක්වා විවිධ වට වංගු ගසමින් සැඟවී සිටීමෙන් හෙතෙම ‘සමාජ විනිශ්චය’ හමුවේ සිය නිර්දෝෂී භාවයට ඇති හිමිකම දැනටමත් අහිමි කරගෙන නොතිබෙන්නේ ද?

ඇත්තට ම ඔහු මේ අපරාධය සිදුකර නැතුවාය යි අපි මොහොතකට සිතමු; එසේම ඉදිරියේ දී අධිකරණය හමුවේ ඔහු නිවැරැදිකරු වූවාය යි ද උපකල්පනය කරමු. එහෙත් ඔහු අද මේ මොහොත වන විටත් පුළුල් සමාජ කතිකාව හමුවේ වැරදිකරුවකු වී අවසන් නැති ද? එපමණක් නොව, ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ පුද්ගලයා ගැන කිසිදා අසා නොතිබූ අන්ධකාර අතීත කතා පවා විවෘත අවකාශවල ඇදෙමින්, හුවමාරුවෙමින් යනවා නොවේද?

හානිය ආණ්ඩුව කරා ද පැමිණ අවසන් ය

ඔබට චෝදනාවලින් හා යුක්තියෙන් සැඟවී සිටීමෙන් නිවැරැදිකරුවකු විය නොහැකි ය. ඔබ නිවැරැදිකරුනම් ඍජුව සහ වහාම ඔබේ නිර්දෝෂී භාවය වෙනුවෙන් මොන තරම් භයානක තැනක, කුමන අවාසි සහගත කොන්දේසි යටතේ වුවත් නැඟීසිටිය යුතු ය. ඔබ වැරැදිකරු නම් ඒත් ඔබ සැඟවී පලායාම වෙනුවට තෝරාගත යුත්තේ යුක්තියේ ක්‍රියාදාමය ඉදිරියේ ඍජුව සිටගැනීම ය. මොන තරාතිරමක සිටියත් ඔබ නීතියේ ආධිපත්‍යයට මුළුමනින් යටත් බැවිනි. සියල්ලට ඉහළින් යුක්තිය පැවැතිය යුතු බැවිනි.

දිගු කාලයක් ශ්‍රී ලංකා සංඝ සංස්ථාපිතයේ ඉහළ මර්මස්ථානයකත්, සංස්කෘතික කතිකාවේ සෞන්දර්ය භූමිකාවකත්, ඒ හැමටම වැඩියෙන් ඉතා දිගු කාලයක් බුද්ධ පුත්‍රයකු වශයෙනුත් පෙනීසිටීම යන කාරණා නිසා හේමරතන කරන මේ හැංගිමුත්තම, මේ වන විටත් ඔහුට කළ හැකි ඉහළ ම හානිය සිදුකර අවසන් බව අපේ නිරීක්ෂණය යි. ඒ හානිය ආණ්ඩුව කරා ද පැමිණ අවසන් ය. හානිය මෙතැනින් හෝ නවතා ගන්නවාද, උපරිමය කරා රැගෙන යනවා ද යන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ම විසඳාගත යුතු ගැටලුවකි.

සනත් බාලසූරිය

 

 

 

 

Sanath Balasooriya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න