ඒ. කේ. ඩී. ඔබතුමා බලන්න ආවා දැයි රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න රනිල් ගෙන් ඇසූවේ වෙබ් අඩවිවල පළ වී තිබූ පුවතක් පෙන්වමිනි. "රනිල් හමුවූ ප්‍රබල දේශපාලනඥයා කවුද? කියලා තමයි සමාජ මාධ්‍යයේ යන්නේ,''
රනිල් නිහඬව සිටිනු දුටු ශානුක නැවත විමසී ය.
"එක්කෙනෙක් නෙමෙයි මම හමුවෙන්න දේශපාලන නායකයෝ ගණනාවක් එනවනේ," යැයි කියූ රනිල් කිසිදු හැඟීමක් පළ නොකර ඉවත බලා ගත්තේය.
ආණ්ඩුවේ යාන්ත්‍රණය ගෙනයාම සඳහා පිටින් කට්ටිය සොයමින් සිටින බව සුගීශ්වර රනිල්ට සැලකර සිටියේ ය.
"මේගොල්ලෝ තනතුරුවලට දාන්නේ පක්ෂය අනුමත කළොත් විතරයි. මෙයාට මෙයාගෙ කට්ටිය නැතිනම් දුවන්න බෑ."
රනිල් ඊට උත්තරයක් දුන්නේ ය.
ආණ්ඩුවට ටියුෂන් දුන්නේ ගෝඨාභය ද...?
දිනිත් චින්තකක රුණාරත්න
වර්තමානයේ බලා සිටිය දී රුපියල බාල්දු වෙමින් පවතී; ඩොලරය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඇත්තෙන්ම අන් කවර දෙයටත් වඩා වත්මන් සමාජය මුහුණ දී සිටින බරපතළ ම ඛේදවාචකය මෙයයි. රනිල් සමග හමුවේ දී මේ ප්‍රශ්නය මතු කළේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකක රුණාරත්නයි.මෙතරම් වේගයෙන් රුපියල බාල්දු වන්නේ කෙසේදැයි දිනිත් රනිල්ගෙන් විමසූයේ එයින් රටට අනාගතයේ දී ඇතිවිය හැකි ව්‍යසනය හොඳින්ම තේරුම් ගෙන සිටි බැවිනි.
"මගේ හිතේ මේ අය ටියුෂන් අරගෙන තියෙන්නේ ගෝඨාභය ගෙන් ද දන්නෙ නෑ."
රනිල් සැහැල්ලුවෙන් වුවත් පැවසූයේ ගැඹුරු කතාවකි.
මම බලයේ හිටියා නම් ඩොලරය 275යි
"රුපියලේ වටිනාකම අඩු වෙලා වැටුණා. කොහොමත් රුපියල බාල්දු වෙමින් තිබුණේ. හැම අවුරුද්දෙ ම එකකින් හරි ඒ කාරණය සිද්ධවෙනවා. මම අයි.එම්.එෆ් එක්ක සහයෝගයක් ඇති කරගෙන බැලුවේ රුපියල ශක්තිමත් කරන්න; උද්ධමනය සීමා කරන්න. අපි ඩොලරය 292 දක්වා ගෙනාවා. මම බලයේ හිටියා නම් 275කට ගන්න තිබුණා. මේ උදවියටත් 280කට හරි ගේන්න තිබුණා. තව බදු වැඩි කරන්න ඕන කියලා ආණ්ඩුව කියලා තියෙනවා. රුපියල ශක්තිමත් වුණොත් බදු වැඩි කිරීම ඒ තරම්ම මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඒ වගේම උද්ධමනය නැති නිසා රුපියලේ වටිනාකම තියෙනවා. මේ අය කිව්ව විදියට වැඩේ කළේ නෑ. එහෙම කළා නම් Cost Recovery ඔච්චර වැඩි වෙන්නේ නෑ. අපි බැලුවේ රුපියල ශක්තිමත් කරලා තවත් දීමනා ලබා දෙන්න. වර්තමාන යුද තත්ත්වය ඉවර වෙලා සාමාන්‍ය තැනට ආවත් ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.''
රනිල් වත්මන් තත්ත්වයන් ගැන දීර්ඝ විස්තරයක් ඇරැඹූයේ එලෙසිනි.
බලපත්‍රය රහිත රියදුරා
"සර්... අපි දැන් මේ තත්ත්වයෙන් ගොඩ යන්නේ කොහොමද? කොහොම හරි මේක කඩාගන්න ඕනනේ..."
වජිර රනිල්ගෙන් විමසූයේ දිනෙන් දින රට අවුල් වන නූල් බෝලයක් බවට පත්වෙමින් තිබෙන බව ඉවෙන් මෙන් වැටහුන හෙයිනි.
ටිකක් කල්පනා කළ රනිල් ඊට වෙනම විදියක උත්තරයක් ලබා දුන්නේය.
"තමන් ලයිෂන් නැති ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහනේකට නැග්ගා නම් ඉතින් කොහාටද යන්නේ කියලත් හිතන්න තිබුණා. දැන් ඉතින් කියලා වැඩක් නෑ."
ඒ පිළිතුර කිසිවකුත් සැහැල්ලුවට ගත්තේ නැත. ඒ කතාවේ තිබෙන බැරෑරුම් බව තේරුම් ගිය හෙයිනි.
නායකත්වය යනු කුමක් ද...?
මහා බැංකු අධිපති මුදල් සභාවට කිව්වා යැයි කියන, රට අසීරු තත්ත්වයක තිබෙනවා යැයි කියන කතාව ගැනත්, ඊට පසුව මහ බැංකු අධිපතිවරයා විසින් ම ඒ කතාව නිවැරදි කරමින් තමා එසේ කීවේ ලෝක තත්ත්වය ගැන සලකා බලා යැයි යන කතාව ගැන මාන්නප්පෙරුම රනිල් ගේ අවධානයට යොමු කළේය.
"ඔය ඔක්කොම කෑලි. මම මේවා තියාගෙන එකක් හැටියට ගෙනිච්චා. ඔය රෝද හතර කොහාටද යන්න ඕන කියලා මම දැනුම් දුන්නා. ඒ අනුව සුක්කානම හරියට මෙහෙයවලා ඔය රෝද හතර හරි තැනට ගෙනිච්චා. යන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම්, ගාලු පාරෙ යනවද? හයිවේ එකේ යනවද?මේ මොකවත් නිච්චි නැත්නම් කොහොමද ගමන යන්නේ. දැන් සුක්කානමකුත් නෑ. රෝද හතර යන්නේ හතර පැත්තකට. නායකයා ඉන්නේ නායකත්වය දීලා ගෙනියන්න. දැන් බලන්න... ජේ.ආර් මුළු මහවැලිය ම ඉදි කළා. ජලාශ කීයක්ද... කොච්චර විවෘත කළා ද...? වෙළෙඳ කලාප කළා. ශ්‍රී ජයවර්ධනපුර රටේ අගනුවර කළා. ඒ කියන්නේ එයාගේ නායකත්වය දීල මිනිස්සුන්ගෙන් වැඩ ගත්තා. විදුලි බලය දුන්නා. ටී.වී ගෙනාවා. ඒ වගේම ප්‍රේමදාස අවුරුදු දෙකකින් ඇඟලුම් කම්මහල් දෙසීයක් දැම්මා. ඒක තමයි නායකයෙක්ගෙ ස්වරූපය. යුද්ධය ඉවර කරනවා කියලා මහින්ද කිව්වා. ඒ වගේම ඒක ඉවර කළා. ඒ නායකත්වය නැත්නම් රට ගෙනයන්නේ කොහොමද? බින්දුවටම වැටිච්ච රට අවුරුදු දෙකෙන් හදල දෙන්නම් කියලා මම බාරගත්තා. ඒක කළා.''
රුපියල බාල්දු වුණේ කොහොම ද...?
දිනිත් කරුණාරත්න එහි දී පැවසූයේ වර්තමාන තත්ත්වය අනුව මොනවා කරන්නත් රුපියලේ බාල්දුව නතර කර ගත යුතු බවයි.
"යුද්ධය විතරක් ම නෙමෙයි. සැලසුමක් නැතිකමත් මේ ප්‍රශ්නවලට ගොඩක් බලපෑවා. දැන් කාර් ගේන්න මිලියන කීයක් ගියාද? ඔක්කොම කාර් එක සැරේ ගේන්න වැඩක් නෑනේ. අවුරුදු පහක කාර් හිරවෙලා තිබුණා. මේක තමන්ට උදව් කරපු ජපානේ උදවියට සල්ලි හම්බ කරගන්න අවස්ථාවක් කරලා දුන්නා නම්, දැන් ඉතින් මොනවා කරන්න ද...?''
රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.
සජබ නිෂ්ක්‍රීය වායුවක් බවට පත් වෙලා
ජී.එල් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අති සාර්ථක අයුරින් ගමන ආරම්භ කර ඉදිරියට යමින් සිටී.නාමල් තමන් ගේ කණ්ඩායම ඒකරාශී කර ගනිමින් ගමනක් අරඹා ඇත. නමුත් ප්‍රධාන විපක්ෂය ලෙස ජනතාව විසින් පත්කර එවූ සජබ දැන් කරන්නේ කුමක්ද...? විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ තුළ නිෂ්ක්‍රීය වායුවක් බවට පත්ව සිටින සජිත් ඇතුළු සජබ කණ්ඩායම එළියේ ද ඒ භූමිකාවම රඟ දක්වමින් සිටී.
"සජබට තියෙන්නේ විකල්ප තුනයි. පළමුවැන්න නාමල් ඇතුළු පොහොට්ටුව සමග එකතුවීම, දෙවැන්න ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවීම, අනෙක තමයි අනුර දිසානායක ඇතුළු මාලිමාව එක්ක එකතුවීම. ඔය කාරණාවලින් පළවෙනි දෙක සමගි ජන බලවේගය විසින් ඉටු කරාවි කියලා හිතන්න අමාරුයි. එහෙනම් තුන්වෙනි එකවත් කරන්න ඕන," යැයි රනිල් කීවේ ය.
එපා වාහෙට හොදි බෙදන වෙසක්
"වෙසක් එකටත් මේ සැරේ මොකුත් නෑ නේද...?'' යැයි රනිල් මන්ත්‍රී කණ්ඩායමෙන් විමසූයේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම පෙර සූදානමක් දක්නට නොමැති හෙයිනි.
සුගීශ්වර කීවේ මෙවර ආණ්ඩුව වෙසක් සමරන්නට යන්නේ එපා වාහෙට හොදි බෙදන්නා වගේ බවයි.
"හරිනිත් එංගලන්තෙට ගිහින් අපි අහලවත් නැති තැන්වල දේශන පවත්වනවා. ඕවා නිල ගමන්ද කියලා ඉස්සරහට හොයන්න වෙයි.''
මාන්නප්පෙරුම කීවේ සිනාසෙමිනි.
ජවිපෙ දෙබිඩි කතා
ජනපති රණවිරු සැමරුම් උළෙල අමතමින් පැවසූයේ යුද්ධය ඉතා අමිහිරි බැහැර කළ යුතු කාරණයක් බවයි. මේ කාරණය කතාබහට ලක් වූ අවස්ථාවේදී වජිර අතීත කාරණයක් සිහිපත් කළේය.
"රනිල් මුල සිටම යුද්ධයේ අමිහිරි බව අවබෝධ කරගෙන සිටි නිසා යුද්ධය නැතිව සාමය ගේන්න 2002 පෙබරවාරි 22 සාම ගිවිසුම අත්සන් කළා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ එළියට බැහැල දැඩි විරෝධයක් පළ කළා. ඒ සාම ගිවිසුම නිසා කෙටි කාලයක් ඇතුළත එල්ටීටීඊ සංවිධානය දෙකට කැඩුණා. ජවිපෙ විරුද්ධ නොවුණා නම් යුද්ධයක් නැතුවම ඒ ප්‍රශ්නයට විසඳුම ගන්න තිබුණා. ඒක වැළැක්වුවෙත් ජනතා විමුක්ති පෙරමුණ. අද අවුරුදු විසි හතරකට පස්සේ යුද්දෙ නැතුව සාමය හොඳයි කියලා ඔවුන්ට තේරිලා තියෙනවා. වජිර කීවේ ය.
සුගීෂ්වර ලබන සතියේ අල්ලස් කොමිසමට
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් එහි කඳවුම්කරු ජී.එල් පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එහි දී දැඩි විවේචනයක් එල්ල විය. කපිල චන්ද්‍රසේන ගේ දිව්රුම් පෙත්සම සම්බන්ධයෙන් ද කතා බහට ලක් විය.
"අල්ලස් කොමිසමට එන අය සිය දිවි නසාගන්න තත්ත්වයට ඇවිත් තිබෙනවා. මේකට පැහැදිලිව වගකියන්න ඕන කොමිසමේ සභාපති සහ කොමසාරිස්වරු.අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ ඔවුන්ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ කටයුතු කරන නිලධාරියෙක්.අල්ලස් කොමිසමේ නීතිය අනුව සභාපති සහ කොමසාරිස්වරුන්ගේ නියෝගයක් නැතිව අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධි චෝදනා පත්‍රයක් අත්සන් කරන්නටවත් හැකියාවක් නැහැ.අධි චෝදනා පත්‍ර ආදී සියල්ලක් ඉදිරිපත් කරන්නේ කොමසාරිස්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ.දැන් සිදුවෙලා තියෙන්නේ මහා පරිමාණ විකෘතියක්. අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාව පාලනය කරන පුද්ගලයා ලෙස කටයුතු කරනවා.එහෙම කරන්න බෑ කොමසාරිවරු නීතිය ඉදිරියේ වගවීම බාරගන්න ඕන. අල්ලස් කොමිසම තීරණ ගත යුත්තේ දේශපාලන හෝ කිසිම බාහිර බලපෑමකින් තොරවයි.කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි."
ජී. එල්. එහිදී දීර්ඝ කරුණු දැක්වීමක් කළේ ය.
අදාල දිවුරුම් පෙත්සම සම්බන්ධයෙන් ගත් පියවර අසා දැනගැනීම සඳහා ලිපියක් බාර දීමට සුගීශ්වර ඇතුළු කණ්ඩායමක් ලබන සතියේ අල්ලස් කොමිසමට යාමට නියමිතව තිබේ. ඊට අදාල ලිපිය කෙටුම්පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ය.
ඒකාබද්ධ විපක්ෂ සම්මන්ත්‍රණය මැයි 24 ජාඇල දී...
ඒකාබද්ධ විපක්ෂය 24 වැනිදා ජාඇල රෝයල් ග්රෑන්ඩ් පරිශ්‍රයේ සංවිධානය කර තිබෙන සම්මන්ත්‍රණය පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්, ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් දැනුවත් කිරීම වෙනුවෙන් හමුවක් අජිත් මාන්නප්පෙරුම සංවිධානය කර තිබුණි.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර ගේ ප්‍රධානත්වයෙන් ඒ හමුව සූදානම් කර තිබිණි.
මෙම සම්මන්ත්‍රණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය සහ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය දියත් කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳ එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
