Language Switcher

V2025

මනාලියට 11යි : මනාලයාට 41 යි !

එකොලොස් හැවිරිදි දැරියක හතලිස් එක් හැවිරිදි පුරුෂයෙකුට විවාහ කරදීම සම්බන්ධයෙන් මැලේසියාවේ ප්‍රබල ආන්දෝලනයක් මතුවෙමින් පවතී.
විවාහ විය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය කරන ලෙස ඒ සමග ඉල්ලීම් ඉදිරිපත් වේ.

16 වෙනි විය සම්පූර්ණ වන තෙක් දැරියට සිය නිවසේ රැඳී සිටිය හැකි බවට එකඟතාව මත ඉහත කී පුද්ගලයාගේ තෙවන බිරිඳ ලෙස විවාහපත් වීමට අවසර දුන් බව දැරියගේ තායි ජාතික දෙමව්පියෝ පවසති.

තායිලන්තයේ සිදු වූ විවාහය සම්බන්ධයෙන් තමන් සතුව වාර්තා නොමැති බව පවසන මැලේසියානු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සඳහන් කරයි.

ඉහත කී විවාහය "කම්පනය දනවන සුළු සහ පිළිගත නොහැකි" බව ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසයි.

"ළමයා කැමතිම දේ එය නොවෙයි," යනුවෙන් යුනිසෙෆ් ආයතනයේ මැලේසියානු නියෝජිතවරිය මැරියන් ක්ලාර්ක් හැටින්ග් පැවසුවාය.

විවාහය පිළිබඳ දන්නා කරුණු මොනවාද?

විවාහ උත්සවයෙන් පසු වැඩිහිටි මනාලයා දැරියගේ අත අල්ලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රකාශයට පත්ව තිබිණි.

ඔහු තවත් කාන්තාවන් දෙදෙනෙක් සමග දැනටමත් විවාහ වී සිටින අතර ඔහුට අවුරුදු 5 සිට 18 දක්වා වයසේ පසුවන දරුවන් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

දැරියගේ දෙමව්පියන් මැලේසියාවේ ඊසාන දිග පිහිටි කෙලන්ටන් ප්‍රාන්තයේ රබර් කිරි කැපීමේ නිරත යුවලක් බවත් වාර්තා වේ.

දැරියගේ දෙමව්පියන් දුගී ජීවිතයක් ගෙවන අතරතුර මනාලයා සමෘධිමත් වෙළෙන්දෙකු බව මැලේසියාවේ ක්‍රියාකාරීහු පවසති.

මැලේසියාවේ පවතින නීතිය කුමක්ද?මැලේසියාව තුළ නීත්‍යානුකූලව විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 ය. අවුරුදු 16 ට අඩු දැරියන්ගේ මුස්ලිම් විවාහ සඳහා ඉස්ලාමීය ෂරියා අධිකරණවලට අනුමැතිය ලබා දිය හැක.

කෙසේ නමුත් ඉහත කී විවාහය සම්බන්ධයෙන් පළාතේ ආගමික අධිකාරිය සතුව වාර්තා කිසිවක් නොමැති බව මැලේසියානු ආණ්ඩුව පවසයි.

ආගමික අධිකරණයක අනුමැතිය නොමැති නම් ඉහත කී විවාහය නීත්‍යානුකූල නොවන අතර මනාලයාට මාස හයක් දක්වා වූ සිර දඬුවමක් නියම කළ හැකි බව කාන්තා, පවුල් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පැවසීය.

"අවුරුදු එකොළහක ගෑනු ළමයෙක් බඳිනවා කියන්නේ බාල වයස් අපරාධකරුවෙකුගේ වගේ හැසිරීමක්," යනුවෙන් ක්‍රියාකාරිනියක වන සයිඩ් අස්මි අල්හබ්ෂි ඒඑෆ්පී පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළාය.

වයස අවුරුදු 15 ට අඩු දැරියන් 16,000 දැනටමත් විවාහපත් වී සිටින බව ක්‍රියාකාරීන් පෙන්වා දෙන බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.

මැලේසියාව පසුගිය වසරේදී ළමුන්ට එරෙහිව ලිංගික අපරාධ සම්බන්ධයෙන් නව නීතියක් සම්මත කළ නමුත් ළමා විවාහ අපරාධයක් ලෙස ඊට ඇතුළත් කර නොමැත.

ළමා විවාහ පිටුදැකීම තේමා කර ගනිමින් "දැරියන් මනමාලියන් නොවේ" යන මැයෙන් ක්වාලාලම්පුර් අගනුවර පසුගිය සතියේදී සමුළුවක් පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ

සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටීගල් බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් කළ ගවේෂණයකදී හෙළි කළාය.

මුස්ලිම් විවාහ සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතියේ විවාහයට එළඹෙන කාන්තාවන්ගේ වයස් සීමාව පිළිබඳව සඳහන්වී නැති බව කාන්තා සමාජ ක්‍රියාකාරිනියක වන නීතිඥ හසා නසේහු ඉසදීන් මීට ඉහතදී පැවසුවාය.

'ක්වාසි' නමින් හැඳින්වෙන නීතියට අනුව විශේෂ ආගමික විනිසුරන්ගේ අවසරය මත වයස 12 කට අඩු ගැහැණු දරුවකු වුවද විවාහ කර දිය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියක් තමාට මුහුණ දීමට සිදු වූ වේදනාබර සිදුවීම් පිළිබඳ ඉහත කී ගවේෂණයේදී කරුණු හෙළි කළාය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීතිවිරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බලනොපැවැත්වේ.

ඉහත කී නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූ බව ක්‍රියාකාරීහු පවසති.

තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන අදාළ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක් ද දියත් කළහ.

රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන් ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමය.

මේ අතර මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව මේ වසර මුලදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් "ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම" සම්බන්ධයෙන් රටේ නීතිය බලපවත්වන්නේ කෙලෙස ද යන්න එක්සත් ජාතීන් එහිදී මතු කළ තවත් ප්‍රශ්නයකි.

(බීබීසී)