1928 වසරේ දී ගාලු පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ නැන්දා පළමු ව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි.
දෙවනු ව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාල මහතා ගේ නවමඟ පස් වන ප්‍රමාණයේ කියැවීම් පොතට සිබිල් නැන්දා වයස අවුරුදු පහළොවේ දී චිත්‍ර ඉදිරිපත් කළා ය. වයස අවුරුදු දහනවයේ දී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිසි ඇය, වසර හැටකට වැඩි කාලයක් ළමයින් උදෙසා චිත්‍ර සහ කතා නිර්මාණය කර ඇත.

1956 එළි දුටු ඇගේ 'කුඩ හොරා' කෘතිය කතාවත් චිත්‍රත් එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළේ ය. 1965 දී 'වෙසක් පහන' කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමි වීම, 1986 වසරේ දී ජපානයේ පළ වූ හොඳ ම විදේශීය ළමා කෘතිය වශයෙන් 'කුඩ හොරා' පොත සම්මානයට භාජනය වීම හා ටෝකියෝ නුවර ළමා පුස්තකාල ආයතනය මගින් 1987 වසරේ ඉතා ම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම, හොඳ ම සැලැසුම සහිත ළමා පොත සඳහා 2003 සාක් සම්මානය ඇගේ 'දුවන රැවුළ' පොතට හිමි වීම, බොහෝ ජාතික සම්මාන දිනා ඇති ඇය අන්තර්ජාතික වශයෙන් සම්මාන ලැබූ අවස්ථාවලින් කිහිපයකි. ජපානයේ නෙකී ආසියාතික සංස්කෘතික සම්මානය 2012 වසරේ දී සිබිල් වෙත්තසිංහ කලාකාරියට හිමි වූ අතර ඒ වසරේ දී ම අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්මාන ආචාර්ය උපාධියක් ප්‍රදානය කරමින් ඇයට හරසර දැක්වූයේ ය.

ඇගේ 'කුඩ හොරා' කෘතිය ජපානය, චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 12ක පළ කර ඇති අතර තවත් බොහෝ පොත් ද වෙනත් විදේශවල ප්‍රකාශයට පත් කර ඇත. විසිදුනු පොතක් ලෙසින් පසු ව එළි දුටු 'පොඩ්ඩයි පොඩ්ඩියි' කෘතිය ද මුලින් ම පළ වූයේ 2008 වසරේ දී ජපානයේ ය. 2014 වසරේ දී ඒ කෘතිය ජපානයේ අධ්‍යාපන අමාත්‍යාංගය ළමයින් වෙනුවෙන් පළ කරන පොත් පෙළකට ද තෝරාගෙන ඇත.

සිබිල් වෙත්තසිංහ නැන්දා සිය කලා ජීවිතය ගොඩනගාගත්තේ ස්වෝත්සාහයෙනි. ගාල්ලේ ගින්තොට හැදුණු වැඩුණු සිබිල් නැන්දා ගේ කලා ජීවිතයේ අඩිතාලම ඒ රමණීය පරිසරය යි; එහි දී ලද සොඳුරු අත්දැකීම් සමුහය යි. ඇය අපේ ගැමි ගෙදරත් ගැමි වටපිටාව සහ සිරිත් විරිතුත් සමගින්, අප ගේ ම අනන්‍යතාවක් සමගින්, ලෝකයේ ප්‍රමුඛතම ළමා චිත්‍ර ශිල්පිනියක බවට පත් වූවා ය. ළමා ලෝකයෙහි සදා අනුස්මරණිය සැමරුම් රැසක් ඉතිරි කර, 2020 ජුනි 30 දින ඇය සිය දිවි සැරිය නිම කළා ය.
සිබිල් වෙත්තසිංහ නැන්දා ගේ විශිෂ්ට නිර්මාණ දැන් විසිදුනු පොත් ලෙසින්...




















newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
