වාමාංශය යනුවෙන් හඳුන්වෙන්නේ කුමන බලවේගයක් ද යන්න ගැන අර්ථ විග්‍රහයක් තිබිය යුතු යැයි සිතමි.
පොදුවේ දේශපාලනයේ දී “වාමාංශය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ කම්කරු ව්‍යාපාරය පදනම් කරගත් දේශපාලන ව්‍යාපාරයකට ය. එහෙත් පැරණි යටත්විජිත රටවල් සම්බන්ධයෙන් ගත් කල (මෙම රටවල් හැඳින්වීමේ දී දැනට දශක භාගයක පමණ කාලයක සිට “තුන්වන ලෝකයේ රටවල් ” යන්න භාවිතා කරනු දැකිය හැකිය) දේශීය ස්වාධීන ආර්ථික ප්‍රගතියක් වෙනුවෙන් පෙනීසිටින ධනපති දේශපාලන පක්ෂ අරභයා ද මේ “වාමාංශික” යන හැඳින්වීම ගතානූගතික ධනපති දේශපාලන පක්ෂවලට සාපේක්ෂව යෙදීමට දේශපාලන විචාරකයෝ පෙළඹී සිටිති.

මේ සම්බන්ධයෙන් ලංකාවේ උදාහරණයක් ගත හොත් ශ්‍රී. ල. නි. ප. යේ බණ්ඩාරනායකවාදය වාමාංශික ලෙස බොහෝ විට පුළුල් අර්ථයෙන් සලකනු දැකිය හැකි ය. (ජාත්‍යන්තර වශයෙන් මෙවන් වූ දේශපාලනඥයන් ලෙස ඉන්දියාවේ නේරු, ඉන්දුනීසියාවේ සුකර්නෝ, ඊජිප්තුවේ නසාර් ආදී නායකයන් සැලකිය හැකි ය). මෙවැනි දේශපාලකයන් හැඳින්වීමේ දී වාමාංශිකයෝ ප්‍රගතිශීලී යන වචනය පොදුවේ යෙදූහ.
රටක ආර්ථික සහ ජන සමාජය නිසි ලෙස පෙළගැස්සීම සඳහා ඉටු කළ යුතු මූලික කර්තව්‍යයන් හතර
මේ නායකයින් වාමාංශික ලෙසින් ද හැඳින්වීමට වැදගත් දේශපාලන හේතුවක් ඇත්තේ ය. එනම් තුන්වන ලෝකයේ රටවල ධනපති පන්තිය මුලික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ කිරීමට අසමත් ව සිටිම යි.
මූලික ධනේශ්වර ප්‍රතිසංස්කරණ යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් එම පන්තිය විසින් යම් රටක ආර්ථික සහ ජන සමාජය නිසි ලෙස පෙළගැස්සීම සඳහා ඉටු කළ යුතු මූලික කර්තව්‍යයන් හතරකටය. එනම්: පළමුව අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයෙන් මීදීම, දෙවනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එනම් භූමි ප්‍රාග්ධන අතිරික්තියක් නිෂ්පාදනය වන අයුරු විප්ලවකාරී පරිවර්තනයකට ලක් කිරීම, තෙවනුව දේශයේ සියලු ජාතීන්ට සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම්ව එක්සත් කිරීම හා සිව්වැනිව පරිපාලන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් කිරීම ය.
ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කර ඇති පරිදි පසුගාමි ධනේෂ්වර රටවල ධනපති පන්තියට ධනේෂ්වර ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ කළ නොහැකිය යන්න තව දුරටත් තහවුරු කරමින් මේ කිසිම රටක ධනපති පාලක පන්තියට මෙකී කර්තව්‍යය සම්පූර්ණ කිරීමේ දී සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇත. ඒ නිසා ම කම්කරු පන්තිය ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරයකට තම දේශපාලන උද්ඝෝෂණවල දී මෙකී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න මුල් කරගෙන උද්ඝෝෂණයේ යෙදීමට සිදු වීම අනිවාර්ය වේ. මේ අර්ථයෙන් ගත් කල වාමාංශික ව්‍යාපාර සහ ධනේශ්වර දේශපාලන ප්‍රගතියන් මගින් සමාජයේ සමස්ත ජනතාවට වාසියක් අත්කරදීමට වෑයම් කළ ධනපති පාලකයින් අතර සාමයක් දැකීමට යමෙකු පෙලඹීම ස්වාභාවික ය.
එසේවුවත් පසුකාලීන අත්දැකීම් පෙන්නුම් කළේ මේ ධනේෂ්වර ප්‍රගතිශීලීන් අන්තිම වශයෙන් අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයේ සේවකයින් ලෙස තම කටයුතු අවසානයකට ගෙන යන බවයි. ලංකාවේ බණ්ඩාරනායකවාදයේ පසුකාලීනව අප අත්දකින ඉරණම ම මෙයට උදාහරණ වේ. පෙර කී අන් රටවලත් එසේ ම ය. ඒ අනුව වාමාංශය යන්නට අතරමැදි අර්ථ විග්‍රහයක් නැති බවත් ඒ කම්කරු පන්ති ව්‍යාපාර මුල්කරගත් දේශපාලන ධාරාවක් මගින් පමණක් සැබෑ ලෙස නියෝජනය වන බවත් තේරුම්ගත යුතු ය.
සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවල නියමුවකු ලෙස...

වාමාංශික පුවත්පත්වල ප්‍රභවය සලකා බැලිය යුත්තේ මේ තේරුම් ගැනීම මත සිට ය යන්න මගේ අදහස යි. ඒ අනුව මූලික ලෙස ම වාමාංශික පුවත්පත් සමස්ත දේශපාලන මූලෝපා අවධාරණය කරමින් වියුක්ත සටන් පාඨ ඉදිරිපත් කරනවාට වඩා සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවල නියමුවකු ලෙස ක්‍රියා කර ඇති බව දැකිය හැකි ය. ඇත්ත වශයෙන්ම වාමාංශික ව්‍යාපාරයේ ප්‍රභවය ලෙස 1840 ගණන්වල යුරෝපා පන්ති ව්‍යාපාරය සැලකීමේ දී ඒවා තමන් ගේ ස්වාධීන පුවත්පත් පවත්වාගෙන ගියේ ඉතාමත් කෙටි කාලයක් පමණි. ඒ යුගයේ වාමාංශික නායකයෝ බොහෝ විට පැවතුණ පුවත්පත්වල තමන් ගේ අදහස් ඇතුළත් ලිපි පළ කර ගත්හ. යුරෝපයේ වාමාංශික ගුරුවරුන් වූ මාක්ස්, එංගල්ස්, බෙබෙල්, ලිව්නෙක්ට් ආදීන් ගත්ත ද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තමන් ගේ අරගලයේ යෙදීමේ දී බොහෝ විට ආධාර කරගත්තේ ධනේශ්වර ලිබරල්වාදී පුවත්පත් සහ සඟරා ආදිය යි.
වාමාංශික පක්ෂයක ප්‍රධාන ප්‍රචාරකයා, උද්ඝෝෂකයා, සංවිධායකයා වන්නේ පුවත්පත ම ය
ඇත්ත වශයෙන් ම තමන් ගේ ම වූ පුවත්පත් කලාවක් වාමාංශික ව්‍යාපාරය විසින් ගොඩනගාගැනීමේ වෑයමක් අපට දැකිය හැකි වන්නේ රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ තුළ දී ය. ඒ: ලෙනින්, ප්ලෙකානෙව්, මාට්‍රොට් ආදින් විසින් සංවිධානය කරන ලද ‘ඉස්ක්‍රා’ පුවත්පතේ අත්දැකීම ලෙස ය.

ඔවුහු තම දේශපාලන සහ මතවාදී අරගලයේ ප්‍රධාන බලවේගයක් ලෙස එම පුවත්පත් සංවිධාන කළෝ ය. වාමාංශික ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලයේ දී තමාගේ ම වූ පුවත්පතක් පවත්වාගැනීමේ අවශ්‍යතාව සාක්ෂාත් කරගැනීම අනිවාර්ය සාධකයක් ලෙස අවධාරණය කරගන්නා ලද්දේ විශේෂයෙන් ම ලෙනින් විසිනි. ඔහු මේ සම්බන්ධයෙන් වූ වැදගත්කම අවධාරණය කිරීම සඳහා තමන් ගේ පොත් දෙකේ ම විශාල ඉඩ ප්‍රමාණයක් මිඩංගු කළේ ය. එම පොත් වන්නේ ‘පටන් ගත යුත්තේ කොතැනින්ද?’ ‘කළයුත්තේ කුමක් ද?’ යන කෘති ය. එම කෘති තුළ ලෙනින් වාමාංශික පුවත්පත්වල කර්තවය අවධාරණය කරමින් පෙන්නුම් කළේ වාමාංශික පක්ෂයක ප්‍රධාන ප්‍රචාරකයා, උද්ඝෝෂකයා, සංවිධායකයා වන්නේ පුවත්පත ම බව ය. වාමාංශික ව්‍යාපාරය හුදු දේශපාලන සහ ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලවල පමණක් නොව එයට ද වඩා වැදගත් ලෙස න්‍යායික අරගලයක ද නිරත වෙමින් ධනපති පාලක පෙළැන්තියක කිසිම ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් අවසන් කරගෙන යා නොහැකි බවත්, කම්කරු පන්තිය, පීඩිත ජනතාව හා ප්‍රජාතාන්ත්‍රවාදය අගයන මධ්‍යම පන්තික ජනතාව අතරත් අදහස් ගෙනයෑම සඳහා පුවත්පත් ඉටු කළයුතු මෙහෙය ගැනත් අවධාරණය කළ යුතු බව ඔහු පෙන්නුම් කළේ ය.
මල් පෝච්චිවල තිරිඟු සිටුවීමෙන් පළක් නැත

ඒ අතර ම මෙම න්‍යායික අදහස් ගෙනයෑමේ දී ජනතාව ගේ එදිනෙදා අරගලය ගැන ඒකාබද්ධ වෙමින් ඔවුන්ගේ එදිනෙදා අරගලයේ ජයග්‍රහය වෙනුවෙන් පෙනීසිටීම අවශ්‍ය බව ද ලෙනින් දැක්වී ය. ඒ අතර ම ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සලසාදීම මෙන් ම ආර්ථික වශයෙන් ස්ථාවර සැලසුමේ දී ඇති නොහැකියාව සහ ධනේශ්වර සමාජයේ ආවේණිකව පවතින දූෂණය සහ නාස්තිය ගැනත් හෙළිදරව් කළේ ය. එපමණක් ද නොව වාමාංශික දේශපාලන ක්‍රියාධරයින් දේශපාලනික සහ න්‍යායිකව පුහුණුකිරීම සඳහා පුවත්පතක ඇති වගකීම ඔහු දැඩි ලෙස අවධාරණ්‍ය කළේ ය.
ඔහු කියා සිටියේ ‘අප මල් පෝච්චිවල තිරිඟු සිටුවීමෙන් පළක් නැත’ යනුවෙනි. ඒ වෙනුවට තිරිඟු වැපිරීම සඳහා කැලෑ එළිකරන්නන්, වපුරන්නන් මෙන් ම අස්වැන්න නෙළන්නවුන් ද පුහුණු කළ යුතු බවයි. ඒ වෙනුවෙන් පුවත්පත මූලික අවියක් ලෙස යොදාගන්නා අයුරු ඔහු දැඩි ලෙස අවධාරණය කළේ ය. ඔහු මෙම උදාහරණයෙන් අදහස් කළේ හුදු සටන්පාඨ හඬනගන්නන් නොව ජනතාව අතර සැබෑ භාවිතයේ යෙදෙන්නන් වාමාංශික පුවත්පත් විසින් පුහුණු කළ යුතු බව යි. ඔහු ගේ මෙම අදහස් හා නිගමනයන් ඇතුළත් පෙර කී කෘති එළිදුටුවේ පිළිවෙළින් ඒවා 1901 දී හා 1902 දී වුවත් අදත් සැබෑ වාමාංශික ව්‍යාපාරය තුළ පුවත්පත් පවත්වාගෙන යාමේ දී මාර්ගෝපදේශ ගුරුහරුකම් ලබාගන්නා ලෙස පවතිනු දැකිය හැකි ය. ඒ අනුව සම්භාව්‍ය වාමාංශික පුවත්පත්වල මූලික න්‍යාය ධර්මයන් පෙර කී ලෙනින් ගේ අදහස් තුළින් දැකිය හැකි ය.

සටහන - චන්දිම ගුණසේකර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
