Image

සජිත් ගේ දේශපාලන සතිය - සමගියේ හැකියාව පෙන්නූ “සජිත් & Team” අනුරාධපුර මෙහෙයුම

සජිත් ගේ දේශපාලන සතිය - සමගියේ හැකියාව පෙන්නූ “සජිත් & Team”  අනුරාධපුර මෙහෙයුම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 22 සහ 23 දෙදින පුරා අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. එහි තේමාව වූයේ  “එකම විකල්පය සජිත් & Team” යන්න ය. පක්ෂයේ ඉදිරිපෙළ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් එකට එක්වූ මෙම වැඩසටහන සැබෑවට ම සජිත් සහ සජිත්ගේ කණ්ඩායමේ ශක්තිය එක්තැන් කළ අවස්ථාවක් විය. 

අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ආසන 7 තුළ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 636 ම ආවරණය වන පරිදි මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ අතර, පක්ෂයේ නියෝජිතයින් ගමට ම ගොස් ජනතාව මුණගැසී සාකච්ඡා කරමින්, සංවාද කරමින් එය සිදු කිරීම ද විශේෂත්වයක් විය. මෙම වැඩසටහන සමගි ජනබලවේගයටත් අලුත් අත්දැකීමක් වූ අතර 2020 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන කාලය තුළ කොරෝනා උවදුර, ආර්ථික අර්බුදය සහ ඒ ඔස්සේ රටට මුහුණදීමට සිදුවූ තත්ත්ව ගැන මෙන් ම, ඊට මුහුණ දෙන්නට සජිත් ඇතුළු සමගි ජනබලවේගය ඉදිරිපත් කළ ප්‍රායෝගික යෝජනා ගැන ජනතාව යළි, යළිත් දැනුවත් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබුණි.

2020 වසරේ මැද භාගයේ අයි. එම්.එෆ්. යන්නැයි සජිත් කියද්දී, ගෝඨාභය ආණ්ඩුව එය ගණනකට නොගැනීම තුළ රට විශාල අර්බුදයකට යොමුවීම නතර කරලීමට නොහැකිවූ ආකාරය ඔවුන් පැහැදිලි කළේ ය.

කොරෝනා ව්‍යසනය අවස්ථාවේ වහාම එන්නත් ගෙනැවිත් ජනතාව ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙස සජිත් කියද්දී ගෝඨාභය රජය ගඟට මුට්ටි විසි කරමින්, පැණි පොවමින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකළ අයුරු සිහිපත් කරමින් ගමින් ගමට ගිය සජබ නියෝජිතයින් ඉන් අනතුරුව පෙන්වා දුන්නේ වත්මන් මාලිමා රජය යටතේ සිදුව ඇති වංචා දූෂණ ගැන ය. පසුගිය සමයේ මෙරටට ගෙනා ගල්අඟුරු නැව් 19 ම ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරුවීමත්, ඒ හරහා සිදුවූ පාඩුවේ තරම දැනට ගණන් බලා ඇති තරමට රුපියල් මිලියන 8536 ක් බවත් පෙන්වා දුන් පිරිස, මහාභාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ හොරකම සහ වරායෙන් හොර රහසේ පිටකළ කන්ටේනර් 323 ගැනත් ලුණු ඇඹුල් ඇතිව කියා දුන්නේ ය.

 

ජනතාව ම මතක් කළ අමතක නොවන පාඩම්

WhatsApp Image 2026 08 31 at 1.53. AM

සමගියේ මේ ප්‍රවර්ධන වැඩසටහනට උණුසුම් ජනතා ප්‍රතිචාරයක් තිබූ අතර බෙහෝ රැස්වීම්වල දී කථිකයින්ට අතීතයේ වූ සිදුවීම් පෙළින්, පෙළ මතක් කර දෙන්නට ජනතාව ම ඉදිරිපත් වූ අයුරු ද දැකගත හැකිවිය.

කථිකයින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලීන් ගැන කියද්දී රැස්ව සිටි ජනතාවට එම අදහස්වලට හූ මිටි දුන්නේ මෙලෙසය…,

“ඇයි අපිට වීවලට රු 150 දෙනවා කිව්වා, පෝර ටික දෙනවා කිව්වා, ලයිට් බිල 33% අඩු කරනවා කිව්වා, කෑමවලින්, දරුවන් ගේ ඉස්කෝලේ පොත්පත්වලින්, පෑන් පැන්සල්වලින්, බෙහෙත්වලින් වැට් අයින් කරනවා කිව්වා, තෙල් මිල අඩු කරනවා කිව්වා, සර් මුන් කිව්ව තරමක් කිව්වේ පච, අපිත් රැවටුණා, දැන් මුං ඇවිල්ලා හොරකම් කරන්නේ හැකර් කිය, කිය. මුංව ඉක්මනටම ගෙදර යවන්න ඕන” කියමින් බොහෝ අය අදහස් ප්‍රකාශ කරන අයුරු දැකගත හැකි විය.

ජනතාව ආමන්ත්‍රණය කරන්නට ගිය තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක ඒත් සමග ම කට ඇරියේ ය.

“ලොකු උන්නැහේ.., මමත් පොඩ්ඩක් කතා කරන්න ද?  ඔයාලට මතකනේ පහුගිය අවුරුදු 5 ඇතුළෙ අපේ රටට ප්‍රශ්ණ ගණනාවකට මුහුණ දෙන්න උණා. 2019 පාස්කු ප්‍රහාරය, 2020 කොවිඩ් අර්බුදය, 2022 ආර්ථික අර්බුදය. මේවා නිසා මේ රටේ කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අන්ත අසරණ වුණා මතකයි නේ.  එහෙම වෙලාවක ඒ අයට ආයෙත් බිස්නස් ටික ගොඩදාගන්න ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා ඩොලර් මිලියන 100 ක් අරන් දුන්නේ කවුද දන්නව ද? දන්නව නම් කියන්න බලන්න… දන්නේ නැ නේද? එමෙම ජාත්‍යන්තරයට කතා කරලා ඩොලර් මිලියන 100 අරන් දුන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා… දැනගෙන හිටියේ නෑ නේද ඒක.”

මැදවච්චියේ ඈත ගමක තිබූ මේ රැස්වීමේ හිටපු කිසිම කෙනෙක් ඒ බව දැනගෙන හිටියේ නැත.

“සර්, අපි දැනං හිටියේ නෑ නේ එහෙම එකක්, සජිත් මහත්තයා කරා කියලා. අපේ ගමේ ස්කෝලෙට කොම්පියුටර් හයිකරපු පන්තිකාමරයක් දුන්නා කියලා දන්නවා, ඒ වගේම මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ඉස්කොලේ ළමයින්ට බස්එකක් දුන්නා කියලත් අපි දැක්කා. ඒත් අපි ඕක දැනගෙන හිටියේ නෑ නේ.”

“ ඒකනේ තාත්තේ, සජිත් මහත්තයා සක්වල වැඩසටහනෙන් ස්මාට් පන්ති කාමර දුන්නා, බස්රථ දුන්නා, හුස්ම වැඩසටහනින් රෝහල් දියුණු කළා. ඉතිං ඒවායේ ප්‍රයෝජන ගන්නේ අපේ පක්ෂයේ අය ද, නෑ මේ රටේ අහිංසක දරුවෝ, ඒ වගේ ම අහිංසක මිනිස්සු”

එහෙම කිව්ව මහේෂ් තවත් කතා ගොඩක් කියමින් සජිත් & Team එකම විකල්පය වන්නේ කෙසේදැයි විස්තර කරද්දී ඒ පිරිස මහේෂ්ව වටකර ගත් අයුරු දක්නට ලැබුණි.

 

රෝහණට නොදන්වා සජිත් බලන්න ආ අමුත්තා

WhatsApp Image 2026 08 31 at 1.53.34 AM

මැදවච්චිය ආසන සංවිධායක රෝහණ බණ්ඩාර සංවිධාන කර තිබූ ජනරැලියට විශාල ජනකායක් පැමිණ සිටින බව දුර තියාම දුටු හර්ෂණ රාජකාරුණාට එකවරම කියවුණේ “ අප්පට සිරි සද්ද නැති වුණාට, කොහොමද බණ්ඩාරගේ වැඩ...” කියා ය.

එහෙම කියද්දීම සජිත් ප්‍රේමදාස සහ රෝහණ බණ්ඩාර ඇතුළු පිරිස ඉදිරියට කාන්තාවක් පැමිණියේ ය.

“සර්, මේ මගේ අම්මා මටත් කිව්වේ නෑ අද එනවා කියලා, සර්ව බලන්න ඕන කියලා ඇවිල්ලා.”

“හරි අම්මේ අනේ බොහොම ස්තුතී ආවට, බය වෙන්න එපා මම පුතාව බලාගන්නම් හොඳේ…” කියමින් රෝහණ බණ්ඩාර ගේ මව සමග ටිකවේලාවක් කථා කළ සජිත් ඇයට ආයුබෝවන් කියා රැස්වීම් භූමියට ඉක්මනින් ගමන් කළා ය.

 

ආයෙත් වරද්ද ගන්න එපා...

WhatsApp Image 2026 08 31 at 1.53.35 AM

රඹෑව රැස්වීමට සජිත් එද්දී පැයක් පමණ ප්‍රමාද වී තිබුණි. ඊට හේතුවී තිබුණේ තවත් ප්‍රධාන ජනහමු රැසක් ආමන්ත්‍රණය කිරීමට සජිත්ට සිදුව තිබීම ය.

රැස්වීමට පැමිණ ජනතාවට ආයුබෝවන් කියා සජිත් වාඩි වනවාත් සමගම ජනතාව අතර සිටි අයෙක් කිව්වේ, “අපිට වැරදුණා සර්.. මමයි අපේ පවුලේ අයයි ජනාධිපතිවරණයේ දී ඡන්දෙ දුන්නෙ මාළිමාවට. දැන් දිවිනසා ගන්න හිතිල තියෙන්නේ. අපි පරම්පරාවෙන් ගොවියෝ, අද අපි ගැන හොයන්න කවුරුත් නෑ. අපිට වපුරන්න පෝර ටික නෑ, අපි තියෙන දේවල් උගසට තියලා කුඹුරු වැපිරුවාම අස්වැන්න විකුණ ගන්න විදිහක් නෑ. මුන්ට හෙණ හතම ගහනවා සර් අපිට කරපු දේට. අපිට වැරදුණා විතරක් නෙමෙයි. රටට ම වැරදුණා. අපේ දරුවන්ට අද කන්නත් නෑ, ඉස්කෝලේ යන්නත් නෑ. අපිට සල්ලිත් නෑ” කියා ය.

ඒ ගොවි මහතා ගේ කන්නලව්වට ඒ මොහොතේ ම ප්‍රතිචාර දැක්වූ සජිත්, මායික්‍රෆෝනය ළගට ඇවිත් කිව්වේ හරි අපූරු කතාවක් ය…

“අපි කාටත් වැරදීම් වෙනවා. ඒ ගැන දැන් දුක්වෙන්න එපා. ඒවා ගැන තේරුම් ගැනීමයි කරන්න ඕන. වරදින්නෙ හරියන්න කියල හිතන්නකෝ. අපි ඉස්සරහට හරිදේ කරමුකෝ…” යැයි සජිත් කියනවාත් සමඟම රැස්ව සිටි පිරිස ඉතා උද්‍යෝගයෙන් පළාත ම දෙදුරුම් කන තරමේ අත්පොළසන් නාදයක් ලබාදුන්නේ ය.

අනතුරුව ජනහමුව අමතන අවස්ථාවේ සජිත් ප්‍රේමදාස යළිත් 2019 සහ 2024 වැරදීම්වල ප්‍රතිඵල ගැන සිහිපත් කළේ ය.

“ඔබතුමාලා කිව්ව විදිහට 2019 දී ඔබට වැරදුණා. ආයෙත් 2024 ඔබට වැරදුණා. 2019 වැරදීමේ ප්‍රතිඵල වුණේ රට බංකොලොත් වෙච්චි එක. 2024 වැරදීමෙන් වුණේ ජනතාව ගේ ප්‍රශ්ණවලට විසඳුම් දෙනවා වෙනුවට හැමදාම බලයේ ඉන්න එයාලගේ ප්‍රශ්ණ ටිකට විසඳුම් හොයන එක. එදා පාසැල් උපකරණවල වැට් නැති කරනවා කියලා පාසැල් දරුවෝ රැවැට්ටුවා, විදුලි බිල 33% අඩු කරනවා කියලා, තෙල් මිල අඩුකරනවා කියලා, බඩුමිල අඩු කරනවා කියලා දෙමාපියන් රැවැට්ටුවා, රැකියා 35,000 දෙනවා කියලා උපාධිධාරීන් රැවැට්ටුවා, පොලී නැති ණය දෙනවා කියලා තරුණයින් රැවැට්ටුවා, මාස 6 කට වරක් පඩි වැඩි කරනවා කියලා රාජ්‍ය සේවකයා රැවැට්ටුවා. අද මේ මුළු සමාජයේ ම පුරවැසියන් හැමෝගෙ ම අසහනය සහ පීඩනය වැඩිවෙලා. අපි කිසිම වෙලාවක කරන්න බැරි දේ කිව්වේ නෑ. කරන දේ කිව්වා. කරන්න පුළුවන් දේ මිසක් බොරු කිව්වේ නෑ. අපි විපක්ෂයේ ඉඳගෙනත් ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ කියනවා. ඒක ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරනවා.”

එසේ කියමින් සජිත් අවධාරණය කළේ, 2029 දී හෝ ඉදිරි පළාත් සභා මැතිවරණයක දී හෝ යළිත් වැරදීමකට ඉඩ නොතැබීම පුරවැසි ඔබේ තීරණයක් බවයි.

සජිත්ගේ කතාවට පසු තම අසුනෙන් නැගී සිටි ගොවි මහතකු කවි පදයක් කීවේ සභාව ම කුල්මත් කරමින්ය.

“අප හට කියා දුනි යායුතු හරි පැත්ත

සජබ තමයි ගොඩ යන්නට දැන් පැත්ත

රටට ම තේරිලා දැන් කර ගත් වින්නැහිය

සජිත් තමයි විසි නමයෙ දී තේරීම”

 

ගොවියන් එක මිටට සජිත් හමුවට

WhatsApp Image 2026 08 31 at 1.53.3 AM

පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව අනුරාධපුර, ඔත්තප්පුව ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ගොවි හමුවට එක්වූ සජිත් ගොවීන් සමග දීර්ඝ සංවාදයක නිරත විය.

හොරොව්පතාන ආසන සංවිධායක සාගර අමරසිංහ සංවිධාන කර තිබූ එම ගොවිහමුවට ගොවින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

“රටේ සහල් අවශ්‍යතාවය මෙට්රික් ටොන් ලක්ෂ 25යි. ඒත් මේ වෙද්දි අතිරික්ක සහල් මෙට්රික් ටොන් ගණනක් ගබඩාවල තියෙනවා. ඒ අස්සේ ආයෙත් සහල් ආනයනය කරන්න රජය කටයුතු කරනවා. සර්.. මේක ඇත්තට ම හිතා මතාම කරන මාෆියාවක්. පොඩි අපිට ෂොට් එක දෙන්න ම ද කොහෙද අනුරාධපුරේ රං බණ්ඩගේ පුතයි, වසන්තයි මේ ගේම ගහන්නේ. පහුගිය අවුරුදු දෙකේදි විතරක් ආණ්ඩුව හාල් මෙට්රික් ටොන් 380000ක් ගෙනල්ලා. ආණ්ඩුව මේ අතගහල තියෙන්නේ කෘෂිකර්මාන්තය විනාශ කරන ව්‍යාපෘතියකටද කොහෙද?.”

එහෙම ආරම්භයේ දී ම තරුණ ගොවි මහතෙකු අදහස් දැක්වී ය.

ඊට පිළිතුරු දුන් සජිත් අවධාරණය කළේ, සහල් ආනයනය වෙනුවෙන්ම ක්‍රියාත්මක සහල් මාෆියාවක් රටතුළ ක්‍රියාත්මක බව ය.

“අපිට මතකයි 2024 දෙසැම්බර් මේ අය කිව්වා අනාගතයේ කිසි දවසක හාල් ඇටයක් පිටරටින් ගෙන්නේ නෑ. කියලා. මතකනේ වසන්ත ඇමතිතුමා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට ගිහින් ඒක කිව්ව හැටි. ඒ අවුරුද්දේ මෙට්‍රික් ටොන් 70,000 ගේන්න කැබිනට් අනුමැතිය අරගෙන හාල් මෙට්‍රික් ටොන් 167,000ක් ගෙනාවා, මේ මම හිතලා කියන දේවල් නෙමෙයි මේ ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියපුවා. මේ අයගේ සිරිතක් තියෙනවා. ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා ජනතාවට කියනවා, මේ පොඩ්ඩක් කරන්නේ කියලා, ඊට පස්සේ ඒක මහා පරිමාණයෙන් කරලා කියනවා, මාර වැඩේනේ අපි හිතුවේ මෙච්චරයි, ඒත් ඒක මෙච්චර ලොකු එකක් වුනාණේ කියලා. හාල් ගෙන්නුවත් එකයි, හොරකම් කළත් එකයි. දෙකම පොඩීයි කියලා පටන් ගන්නේ. පස්සේ ලොකුයි කියනවා. දැන් ගල්අඟුරු හොරකමත් එහෙම ම යි නේ, මුලින් නැව් 2ක් 3 ක් කියලා දැන් බැලුවම නැව් 19 ම බාලයි. 19 ම හොරා කාලා. ඩොලර් පන්නපු වැඩෙත් එහෙමයි, මුලින් ඩොලර් මිලියන 2.5 විතරයි කිව්වා දැන් ඩොලර් පන්නපුවා පැටව් ගහනවා. ඕක තමයි මාලිමාව හොරා කන විදිහ.”

 

ආණ්ඩුවේ ෆිල්ම්වලට දැන් සෙනඟ නෑ

පසුගිය 25 වැනිදා මද්දුමබණ්ඩාර, කබීර්, තිස්ස

සහ හෙක්ටර් වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වෙමින් විශේෂ සාකච්ඡාවකට මුලපිරුවේ අනුරාධපුර පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමට ය.

WhatsApp Image 2026 08 31 at 1.53.37 AM

“අපි හිතුවට වඩා හොඳින් වැඩේ කෙරුණා කියලයි මම හිතන්නේ,” යැයි කතාව ආරම්භ කරමින් මහලේකම් රංජිත් කීවේ ය.

අනතුරුව සංවාදයට එක්වූණේ තිස්ස ය.

“දැන් කාලයට අනුව අපි අපේ දේශපාලන ක්‍රමවේද වෙනස් කරන්න ඕන කියලා මේකෙ දී හොඳට ම අවබෝධ වුණා. දැන් රැළි තියලා දේශපාලනය කරන්න බෑ. අපි මිනිස්සු අතරට ම ගිහින් ඒ අය එක්ක එකට වාඩිවෙලා කතා කරන තරමට ම ජනතාව කැමතියි. හැම ගමකට ම වගේ අපේ කට්ටිය ගිහින් ජනතාව එක්ක කතා කළා. කඩපිළේ, කුඹුරෙ, පාරෙ තොටේ හැම තැනම ජනතාව මුණ ගැහුණා. ඒක අපිට හොඳ අත්දැකීමක්. ඒ වගේම මිනිස්සුත් ඒකට හරි කැමතියි. අපි මේක දිගට ම කඩන්නේ නැතුව කරගෙන යන්න ඕන.”

ඔන්න අපිනම් ලෑස්තියි. පුත්තලමේ හැමෝටම මමයි, චිත්‍රාලුයි කියලා තියෙන්න ඕන වෙලාවක ඡන්දයකට ලෑස්ති වෙන්න, ශාඛා සමිතීයි, බලමණ්ඩලයි රැස්කරලා ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් ගේ ඉඳන් ස්ටෑන්බයි කරන්න කියලා. දැනටමත් අපේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරු ටිකත් සූදානම් ඕනම කැම්පෙන් එකක් කරට අරන් කරන්න…”

එහෙම කිව්වේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ය.

“දැන් අපි අනුරාධපුරයෙන් දැක්කනේ ජනතාව ගේ ඇත්තම ප්‍රතිචාර. මේ ආණ්ඩුවේ ෆිල්ම්වලට දිගට ම මිනිස්සු මුළා කරන්න බෑ. මිනිස්සුන්ට විසඳුම් දෙන්න බැරිනම් ඒ ආණ්ඩුවලට පවතින්නත් බෑ. ඒ ප්‍රතිඵලේට මාළිමා ආණ්ඩුවටත් මුහුණ දෙන්න සිද්ධවෙන බවට ඉඟියක් තමයි අනුරාධපුර ජනතාව ගේ ප්‍රතිචාරවලින් කියැවෙන්නේ. අනිත් එක ලොක්කට ගමේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රතිචාර නියමයි නේ. මම හිතුවේ නෑ ගම මෙහෙම වෙනස් වෙලා ඇති කියලා.”

එහෙම කිව්වේ කබීර්ය .

 

සජිත් හැපී වූ වීඩියෝව

WhatsApp Image 2026 08 31 at 1.53.38 AM

පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ විඩියෝවක් ගැන සජිත් ගේ විශේෂ අවධානයක් යොමු විය. එල්නිනෝ තත්ත්වයේ අහිතකර බලපෑමට පෙර සූදානම්වීම ගැන 2026 වසරේ ජුනි මාසයේ දී පාර්ලිමේන්තුවේ දී ඉතා ධනාත්මක කරණු පැහැදිලි කිරීමක් කරන සජිත්ට ආණ්ඩුවේ මන්ත්‍රී අසිත නිරෝෂණ සමච්චල් කරන වීඩියෝවක් සහ සජිත් එදා කියූ සියල්ල අද වනවිට ඇත්ත වෙමින් යන ප්‍රවෘත්ති ප්‍රකාශවල කොටස් එක්කර එම වීඩියෝව සකස් කර තිබුණි. එය දුටු සජිත් තමන්ගේ මාධ්‍ය කණ්ඩායමට දුරකථන ඇමතුමක් ගෙන කියා සිටියේ…” මම එව්වා විඩීයෝ එකක් ඒක බලන්න, අන්න ඒකේ තියෙනවා ලස්සනට එඩිට් කරලා මම එල්නිනෝ ගැන කියපු වැදගත් කරුණු වගේම එදා මම කියපුව අද මහපොලවේ සත්‍යය වීගෙන යන බවට උදාහරණ එක්කම. එළියෙන් කවුරු හරි කළත් ඒක නියමෙට කරලා තියෙනවා. කවුද බලන්න ඒවා හදන්නේ. හොඳට කථාව ගොඩනගලා තියෙනවා.”

ඒ විඩියෝවේ දී සජිත් එල්නිනෝ සඳහා පෙර සූදානම්වීම ගැනත්, ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමේ වැදගත්කම ගැනත් කියද්දී මාලිමාවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂණ කියන්නේ ඉතාම විහිළු සහගත පදනම් විරහිත කථාවක් ය.

“අපි පාසල් යන කාලයේ ඒ ලෙවල් පන්තියේදීවත් කෙල්ලෙක් සෙට් කරගන්න බැරිවුණ කොල්ලෝ, කෙල්ලෙක් සෙට් කරගන්න 9 වැනි වසරේ කොල්ලෙක් දැක්කම හද කකියන තරමේ වේදනාවක් ඇති කරගැනීම හා සමානයි දැන් විපක්ෂය එල්නීනෝ එකෙන් ආණ්ඩුවට ගහන්න උත්සාහ කිරීමත්.”

රටේම අවදානය යොමු කළ යුතු තත්ත්වයක් ගැන විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් විමසද්දී ආණ්ඩුව පාර්ශවයෙන් ලැබුණේ ඒ ආකාරයේ පිළිතුරක් ය.

කෙසේ වෙතත් දැන් දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්දැයි රටට ම අවබෝධවී හමාර ය. දැන් එල්නිනෝ උත්සන්න වීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීම වැදගත් වන්නේ, අනතුරෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ඒ ඔස්සේ අවස්ථාව සැලසෙන නිසා ය.

සමච්චල් තාවකාලිකයි, හානි දීර්ඝකාලීනයි

WhatsApp Image 2026 08 31 at 1.53.39 AM

පසුගිය වසර කිහිපය පුරා සජිත් ප්‍රේමදාස විවිධ සිදුවීම් ඔස්සේ කළ අදහස් දැක්වීම් මහපොළොවේ සත්‍ය වන බවක් පෙනෙන්නට තිබේ. මාස ගණනකට පෙර සිට, අවස්ථා ගණනාවක දී සජිත් පෙන්වා දුන්නේ ෆැසිපික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යෑම හරහා අපේ රටටත්, අපේ කාලපයටත් දැඩි එල්නිනෝ තත්ත්වක බලපෑම් එල්ලවන බවට ඕස්ට්‍රේලියානු කාලගුණ අංශ අනතුරු අඟවා ඇති බව ය.

ඒ නිසා ඊට මුහුණ දෙන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නට යාන්ත්‍රණයක් සකස් කරන්නැයි සජිත් අවස්ථා කිහිපයක දී ඉල්ලීම් කළේ ය. සජිත් කියූ අවධාන ම දැන් ක්‍රම, ක්‍රමයෙන් රටේ ප්‍රදේශ රැසක ජනතාව අත්විඳිමින් සිටී, පොළොන්නරුව, අනුරාධපුරය  අම්පාර, මොනරාගල, පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසක වගා නියඟයෙන් පාළු වෙමින් යද්දී, සතුන්ට ආහාරයට ගන්නට තෘණ භූමි පවා නොමැති තත්ත්වයකට ඒ ප්‍රදේශ පත්වෙමින් තිබේ. සජිත් ජුනි 12 වනදා අනතුරු ඇඟවූ තත්ත්වය ගැන නාරා ආයතනයත් අගෝස්තු මාසයේ දී අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එනම් මෙරට සාගර කලාපයේ උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යෑමේ අවධානම හරහා මෙරට මුහුදු කලාපයේ ජීවත්වන මත්ස්‍යයින් ශීත සාගර කළාප වෙත සංක්‍රමණයවීමේ ප්‍රවණතාවක් ඇතිවන බව ය.

එහි සෘජු බලපෑම මෙරට ධීවර කර්මාන්තයට බලපානු ඇති බවට සජිත් සිදුකළ හෙළිදරව්ව, අදවන විට නාරා ආයතනයේ පුරෝකථන මගින් ද තහවුරු කර ඇත.

මේ අතර ඉදිරි මහ කන්නයටත්, 2027 යළ කන්නයටත් එල්නීනෝ තත්ත්වයෙන් අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවට ද විද්වතුන් දැන්, දැන් මත පළකරමින් සිටියි. කණගාටුවට කරුණ වන්නේ, සජිත් මේ කරන හෙළිදරව් කිරීම් සහ අනාගතවාදී අදහස් එදා මෙන්ම අද දවසේ සමච්චලයට ලක් කරන විරුද්ධවාදීන් නිසා ජනතාවට විඳින්නට සිදුවන ප්‍රතිඵල ගැනය.

2019 වසරේ සජිත් මෙරට පාසැල් සිසුවියන්ගේ සෞඛ්‍ය සහ ආර්ථව දරිද්‍රතාව ගැන කථා කරද්දී කලාකාරිනියන් යොදවා සිනා සුණු ප්‍රතිවාදීන්ට 2024 වෙද්දී සනීපාරක්ෂණ තුවා නොමිලේ ලබාදීම සිදුවුණේ දෛවයේ සරදමක් ලෙසින් ය.

කෙරෝනා රටට එද්දී වහ, වහා එන්නත් ගෙනැවිත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නැයි සජිත් ඉල්ලද්දී එදා සිනාසෙමින් ගඟට මුට්ටි විසි කිරීමේ සහ පැණි පෙවීමේ කටයුතුවල නිරත වූ රජයට අවසානයේ අධික මිලට එන්නත් ගෙන එන්නට සිදුවීම දෛවයේ සරදමක් වැනි විය.

වත්මන් මාලිමා රජය යටතේ, අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ අනෝන්‍ය තීරු බදු අඩුකර ගන්නට විශේෂඥ කණ්ඩායමක් යොමු කරන්නැයි යෝජනා කළේ සජිත් ය.

එදා අනුර ජනාධිපතිවරයා ද එය අනුමත කරමින් ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අමෙරිකාවට යොමු කළ අතර, එහි ප්‍රතිඵලය වූයේ ඇමරිකාව පැනවූ අනෝන්‍ය තීරුබද්ද 30% සිට 20% දක්වා අඩු කර ගැනීමට හැකිවීම ය. එහෙත් දිට්වා ව්‍යසනයට අවස්ථාවේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්නට සජිත් කළ යෝජනාව අනුර ප්‍රතික්ෂේප කළේ “අනේ ප්ලීස් ඔයා ගේ උපදෙස් එපා” කියමින් ය.

එහි දීර්ඝකාලීන ප්‍රතිඵලය වී ඇත්තේ, 2026 මැයි 28 වනදාට දිට්වා ව්‍යසනයට වසරක් සපිරෙද්දීත් නිවාස අහිමිවූවත් තවමත් කූඩාරම්වල කල්ගෙවීමට සිදුවීම ය. එමෙන් ම හානිවූ දුම්රිය මාර්ගය පිළිසකර කර මහනුවරට දුම්රියක් ධාවනය කිරීමට නොහැකි වීම ය. එදා සජිත් කළ ලෝක ආධාරක සමුළු යෝජනාව ක්‍රියාත්මක කළේ නම් අද එම අභියෝග දෙක ම ජයගන්නට රජයට හැකියාව උදාවනු ඇත.

 

වෙහෙස නොබලා සජිත් එල්නීනෝ ගැන සාකච්ඡාවක...

WhatsApp Image 2026 08 31 at 1.53.40 AM

වෙහෙසකර දින කිහිපයකින් අනතුරුව සජිත් විපක්ෂ නායක කාර්යාලයේ දී තම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත විය.

එහිදීත් මුලින්ම කරළියට ආවේ එල්නීනෝ මත නිර්මාණය වෙමින් ඇති අවධානම ගැන ය. කාර්ය මණ්ඩල නිලධාරීන් කියා හිටියේ…, “ සර්... මේක නිකම්ම නිකම් තත්ත්වයක් නෙමෙයි… දරුණු බලපෑමක් වෙන්න පුළුවන්. අපි මේක වෙනුවෙන් ආණ්ඩුවේ අවධානය අඛණ්ඩව යොමු කරවන්න ඕන...”

එහිදී සජිත් අවධාරණය කළේ…,

“මම එල්නිනෝ තත්ත්වය ගැන මීට මාස 6කට විතර ඉස්සෙල්ලා කියද්දී ආණ්ඩුවයි, මාධ්‍යයි ඔක්කොම මට හිනා වුණා.. දැන් ඒ ගොල්ලෝ නිදාගෙන නැගිටලා වගේ ඒ මේ අත දුවනවා මම දැක්කා. මට හිනා වුණ මාධ්‍යත් දැන් හැමදාම එයාල ගේ ප්‍රවෘත්තිවල එක කොටසක් එල්නිනෝ ගැන කතා කරන්න වෙන් කරනවා. ඒක හොඳ ප්‍රවණතාවක් ජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ඕක එදා මට මඩගහන්න ඉස්සෙල්ලා තීරණය කරන්න තිබුණා. මාධ්‍ය ඉන්න ඕන පුරවැසියන්ට උඩින් මිසක්, ආණ්ඩුවේ ඔඩොක්කුවේ නෙමෙයි. දැන් හරි නිවැරදි දේ කරන එක හොඳයි. මට බැන්නත්, මට මඩ ගැහුවත්, එයාලා කරන දේ හරිනම් අපි ඒක අගය කරන්න ඕන. මම මේ දේවල් ගැන කතා කළේ මහජනතාව ගැන හිතලා. ඒත් ඒ අය එදා අපිට මඩ ගැහුවේ දේශපාලනය ගැන හිතලා. ඒත් මාස 6 කට පස්සේ ඒ අයටම සත්‍ය අවබෝධවීම ගැන මට සතුටුයි.”

සජිත් ඒ වචන ටික පිට කළේ ටිකක් සංවේදී වෙමින් බව ඒ රැස්වීමේ අසුන්ගෙන සිටි ඕනෑ ම කෙනෙකුට වැටහෙන්නට ඇත.

තවදුරටත් අදහස් දැක්වූ සජිත් කිව්වේ “ඔයාලත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ දත්ත ගැන නිරතුරුවම අවධානය යොමු කරන්න. බොහෝ රටවල් දැන් මේකට මුහුණ දෙන්න සැලසුම් හදාගෙන යනවා.  ඒත් අපේ රටේ එවැනි දෙයක් සිදුවෙන්නේ නෑ. ඒ නිසා විපක්ෂයේ හිටියත් අපි හරි, අවධානයක් යොමු කරලා ප්‍රායෝගික සැලසුමක් හදමු. අපිට පෙන්නලා දෙන්න පුළුවන් දේවල් පෙන්නලා දුන්නා. අපි විපක්ෂයේ හිටියත් මේ රටේ ලක්ෂ 220 ගැන අපිටත් වගකීමක් සහ බැඳීමක් තියෙනවා.” කියා ය.

මම | බංගල හංදියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න