V2025

විජේවීරගේ පුතා දේශපාලනයට ?

අෑත අහසේ නිවි නිවී දිලෙන එක් පුංචි තරුවක් පායා තිබේ.

ඒ තරුවේ රන්වන් කිරණ මවුබිමට ආලෝකය ගෙනෙන්නට තවත් කල් ගතවනු ඇත. තනිවම පාර අසාගෙන, තනිවම පාර සොයාගෙන, සියක් යොදුන් දුර ගෙවාගෙන මා රුසියාවට ගියා. දුයිෂෙන්ලා, පාවෙල් කොර්චාගින්ලා පෙරලූ නැවුම් පොළොවේ සුවඳ හමන රුසියානු දේශයට සත් සමුදුරු තරණය කොට ගොස් එහි සිට මාතෘ භූමියට කිතු රැස් විහිදුවන ලංකාවේ අපේම ලේ නෑකම් ඇති ඒ තරුණ ශ්‍රී ලාංකික පුත්‍රයා, සහෝදරයා, උවිඳු විජේවීරය. උවිඳු ආදරණීය විප්ලවවාදියා වූ රෝහණ විජේවීරයන්ගේ කුඩා පුතු වන්නේය.

හය හතර දැන ගන්නටත් පෙර උවිඳුගෙන් පියාගේ උණුසුම පැහැර ගන්නා ලද්දේය. තුරුණු විය හමුදා ක¼දවුරු තුළ ගෙවී ගියේය. හැම උපන් දිනයක්ම කඳුළින් ගෙවී ගියේය. එහෙත් පියාණන්ගේ ජාන ශක්තියෙන් පොහොසත් වූ උවිඳු තනිවම දෙපයින් නැඟී සිටියේය. අද ඔහු රුසියාවේ දකුණු යූරල් ජාත්‍යන්තර රාජ්‍ය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි.

ඔහු මේ දිනවල ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙමින් සිටින්නේය. රුසියානු දකුණු යූරල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ යුරෝපා සහ ආසියා රටවල සිසුහු 28,000ක් අධ්‍යාපනය ලබති. පසුගියදා ලෝක ජනමාධ්‍ය වාර්තා කළේ ලංකාවේ උවිඳු විජේවීර යූරල් විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත්වූ බවය. ඒ 28,000ක් ලොව නන්දෙසින් පැමිණි විවිධ ජාතීන්ට අයත් මිතුරන්ගේ ඡන්දයෙනි. විශ්වවිද්‍යාලයේ ජනප්‍රියම ශිෂ්‍යයා උවිඳුය. විශ්වවිද්‍යාලයේ ළාබාලම ශිෂ්‍යයා වන්නේද උවිඳු විජේවීරය.

උවිඳු සමකළේ 1961 වසරේ රුසියාවේ මොස්කව් නුවර පැටි්‍රක් ලුමුම්බා විශ්වවිද්‍යාලයේදී සිය පියා විසින් තබන ලද වාර්තාවය. එදා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ රෝහණ විජේවීර එහි ළාබාලම ශිෂ්‍යයා වූ අතර ශිෂ්‍ය සංගමයේ සභාපතිත්වය නිතරගයෙන් දිනා ගත්තේය. ඉතිහාසය දුකින් කඳුළින් පමණක් නොව අප විමතියට හා තිගැස්මට පත්කරන ආශ්වාදනීය සාඩම්බර ප්‍රවෘත්තීන්ගෙන්ද යුක්තව ලියැවෙමින් තිබෙන්නේය.
 
බියෙන් තොරව හිස
කෙළින් තබා ගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන
පියාණනේ…”

මේ ගීතය මා උපුටා ගත්තේ උවිඳු විජේවීරගේ මුහුණු පොතේ පිටුවකිනි. දේශය අවදි කරන්නට උවිඳුගේ පියා නැති නමුත් ඔහු දුන් ආත්මශක්තිය තවත් දෙදහස් වසරකට සෑහේ. ඒ අනුව මාගේ දේශය අවදි කරන මෙන් උවිඳු පියාට කරන ආයාචනය ඉටුවනු නිසැකය. අපි උවිඳුගේ හඬට සවන් දෙමු.

 “මගේ පියා අහිමි වුණේ මට වයස අවුරුදු එකහමාරක් පමණ වෙද්දී. ඔහුගේ මුහුණ පිළිබඳව මට තියෙන්නෙ පුංචි මතකයක්. ඔහුගේ සුවඳ මට දැනෙනවා.
 පියා ගැන, ඔහුගේ ආදරය ගැන මට කියා දුන්නේ මගේ අක්කලා දෙන්නා. මගේ බාල විය ගෙවුණේ හමුදා කඳවුරු තුළ. ගණේමුල්ල පළමු කොමාන්ඩෝ රෙජිමේන්තුව තුළත් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළත් ඉන් පස්සේ වැලිසර නාවික හමුදා කඳවුරේත් මා මෙතක් ගත කළ ජීවිතයේ වැඩි කොටස ගෙවී ගියා. මගේ ළමා දිවියේ අත්දැකීම් අපේ රටේ වෙනත් කිසිම දරුවකුට දැනෙන්න විදියක් නැහැ. ඒ ගැන දිගට කතා කරන්න මම ආස නැහැ.

රුසියාවට යන්න, රුසියානු විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ඔබට උනන්දුවක්, ආශාවක් ඇති වුණේ කොහොමද?

අපි පුංචි කාලෙ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංගී්‍රසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍යයට අයත් පොත් ගොඩක් තිබුණා. තාත්තා ඉන්දැද්දී අක්කලා පුංචි සන්ධියෙ එයාලාට පුංචි කතන්දර කියලා දීලා එයාලව කියවීමට හුරු කරලායි තිබුණේ. ඒ නිසාම අපේ ගෙදර සාහිත්‍යමය පරිසරයක් ඇති වුණා. මගේ අක්කලා දෙන්නා ගොඩාක් පොත් කියෙව්වා. ඒ ආභාෂයෙන් මමත් පොත් කියවන්න හුරු වුණා. රුසියානු සාහිත්‍යය ගැන මගේ ලොකු නැඹුරුවක් ඇති වුණා. ඒකට මාව දිරිගැන්වූවේ දොස්තොව්ස්කි, ගෝර්කි, පුෂ්කින්, ටෝල්ස්ටොයි, මිහයිල් ෂෝල හෝව් කිව්වොත් ඉතාම නිවැරැදියි. ඔවුන්ගෙන් රුසියානු සමාජය, ජන ජීවිතය මා ඉගෙන ගත්තා. අත්වින්දා.

රුසියාව ගැන මගේ ඇල්මට අඩිතාලම වැටුණේ එහෙමයි. රුසියානු යුද සාහිත්‍යය, සිනමාව ගැන මම හරිම උනන්දුවෙන් සිටියේ. කවදා හරි රුසියාවට ගිහින් උසස් අධ්‍යාපනය ලබන්න මා තුළ සිහිනයක් තිබුණා.

 සෝවියට් රුසියානු සමූහාණ්ඩුව විදේශීය සිසුන් සඳහා 1960 ආරම්භ කළ මොස්කව් ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ මගේ පියාත් ඉගෙනුම ලැබුවා. ඒ කාරණයත් මා තුළ පෙලඹවීමක් ඇති කළා වෙන්න පුළුවන්.

තුන්වැනුව අපගේ රටවල් දෙක අතර දේශපාලන ඉතිහාසයේ යම් සමානතාවක් තිබුණා. 1917 රුසියානු විප්ලවය සිදුවන අවස්ථාවේ ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්. අපි බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු සමාජ ආර්ථික හා දේශපාලනික වෙනස්කම් රාශියක් සිදු වුණා. රට ගොඩනැඟීම පිණිස එවකට සෝවියට් සංගමය අපට බොහෝ උපකාරී වූ බව මා දැන සිටියා. මේ කරුණු සියල්ල පොදුවේ සලකා බලන කල මට උසස් අධ්‍යාපනය ලබන්නට හොඳම තැන රුසියාව බව අමුතුවෙන් කිවයුතු නැහැ.

ඔබ කොහොමද රුසියානු සිහිනය සෑබෑ කරගත්තේ?

මම ඉගෙන ගන්න කාලෙම කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයට සම්බන්ධ වී රුසියානු භාෂාව ඉගෙන ගත්තා. මගේ රුසියානු භාෂා ගුරුතුමිය වුණේ ලරීසා දව්දෝවා මහත්මිය. 

ඇය රුසියාව ගැන අපේ දැනුම බොහෝ පුළුල් කළා. අපි රුසියානු කේන්ද්‍රයේ රාත්‍රි සමාජයක් හදලා නොයෙකුත් සාහිත්‍ය වැඩසටහන් කළා. රුසියානු චිත්‍රපට බැලුවා. ගීත ගායනා කළා. මට එහිදී මහාචාර්ය ඉඩඥඵබච ම්ධප හමුවුණා. ඔහු තමයි දකුණු සුරල් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ගැන කීවේ. මම මහාචාර්යවරයා පෙන්වූ මාවත දිගේ අධිෂ්ඨාන සහගතව ඉදිරියට ගියා.

 ඒ හැම කටයුත්තකදීම මගේ තාත්තාගේ සෙවණැල්ල වැටී තිබුණා. මගේ පියාගේ දේශපාලන මිතුරන් පමණක් නොවෙයි පියාට ආදරය කරන මිනිසුන් ලෝකය පුරා සිටිනවා. ඔවුන් මට හැම තැනකදීම සහාය දුන්නා. උදවු කළා. ශ්‍රී ලංකා – රුසියානු මිත්‍ර සංගමය, රුසියානු මධ්‍යස්ථානය, රුසියාවේ ලංකා තානාපති කාර්යාලය මට දැක්වූ සහාය මම නිහතමානීව අගය කරනවා. කවද හරි මගේ රට වෙනුවෙන් සේවය කර ඔවුන්ට කෘතවේදීත්වය පළ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ පියා රෝහණ විජේවීරගේ දැවැන්ත සෙවණැල්ල ඔබ රුසියාවේ අධ්‍යාපනයට යොමුවීමට එක් හේතුවක් වූ බව කීවා?27971629 1796306420408998 5845541880417156400 n

ඔව් පියාගෙන් ලද ආභාසය දේශපාලනයෙන් වියුක්ත කිරීම අපහසු දෙයක්. පියාගේ ජීවන ගමන මගේ ජීවිතයට බලපෑමක් වූයේ නැතැයි කීවොත් සාධාරණ නැහැ. නමුත් මගේ රුසියානු ගමන තීරණය වුණේ දේශපාලන කටයුත්තක් හැටියට නොවෙයි. මගේ පියාගේ ලුමුම්බා සරසවියේ අධ්‍යාපන කටයුතුවලට තහංචි වැටෙන අවධියේ ලෝකයේ සමාජවාදී ක½දවුර දෙකට බෙදෙනවා. එවිට මගේ පියා තීරණය කරන්නේ චීන කඳවුර වඩා නිවැරැදියි කියලයි. එය ඔහුගේ දේශපාලන දැකීම මගේ රුසියානු අධ්‍යාපන ගමන් මඟ දේශපාලනයෙන් වියුක්ත වූ බවයි මට කියන්න අවශ්‍ය වුණේ.

ඇයි ඔබ උපාධිය සඳහා දේශපාලන විද්‍යාව විෂයයක් හැටියට තෝරා ගත්තේ?

මට වුවමනා වුණේ ‍වෛද්‍යවරයෙක්  වෙන්න. මම දන්නවා මගේ පියාට ලුමුම්බා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ විභාගයට වාඩි වෙන්න අවස්ථාව නොලැබුණු බව. වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය සඳහා මා තුළ කැමැත්තක් ජනිත වුණේ පියාට ගෞරවයක් හැටියට ඒ අභියෝගයන්ට මුහුණ දෙන්නයි. තවත් පැත්තකින් මට ඕන වුණේ හැම විටම මිනිසුන්ට උදවු කරන්න. මගේ තාත්තා දේශපාලනඥයෙක්. මගේ රටට ගොඩක් හොඳ පූර්වාදර්ශ ලබාදුන් නායකයෙක්. මිනිස්සු තාත්තට ආදරය කරන්නේ ඒ නිසයි. අවසානෙ මම තීරණය කළා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය කරන්න.

දකුණු යූරල් විශ්වවිද්‍යාලයේ ඔබේ අධ්‍යාපන කටයුතු ගැන කියනවා නම්?

මම 2015දී රුසියාවට ආවෙ. මුලදී මට රුසියන් භාෂාව අල්ලගන්න ටිකක් අමාරු වුණා.

හැම ඹ්ඥජබභපඥප එකක්ම අඥජධපඤ කරගන්න සිදු වුණා. ඒත් දෙවැනි අවුරුද්දෙ මාර්ස්ටර්ස් ලෙක්චර්වලට යද්දී තමයි මම රුසියන් භාෂාව හොඳින් අල්ල ගත්තේ. මගෙ මිතුරු මිතුරියන් ලෝකයේ නොයෙක් රටවල අය. ඒ හැම කෙනෙක්ම මට උදවු කළා. ඒ කවුරුවත් මට වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. අපි කැම්පස් එකේ ජීවත් වන්නේ එක පවුලක් වගේ. මිශ්‍ර සංස්කෘතීන් අතර ගැටෙද්දී දුෂ්කර බවකුත් තියෙනවා. මොකද වැරැදි වැටහීම් ඇතිවීමේ ඉඩකඩ වැඩියි. අද මම විවිධ ජාතීන්, විවිධ සංස්කෘතීන් ඇසුරු කිරීමට ලැබීමේ ආස්වාදය විඳිනවා.

මේ දවස්වල මම ඒනන එකක් හදාගෙන යනවා ථධඡඪතඥ ර්ථීඩධදඥ වලට යොදා ගන්න. ඒකෙන් රුසියන් භාෂාව සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒකෙන් අනාගතේ මේ විශ්වවිද්‍යාලයට එන ළමයින්ට සිංහල, හින්දි, උර්දු, චීන වගේ භාෂා ඉගෙන ගත හැකි වේවි. මම හිතාගෙන ඉන්නවා ඒ තත්ත්වයට ඒනන එක දියුණු කරන්න.

ඔබ රුසියාවට පැමිණියාට පසු ඔබේ පියා අධ්‍යාපනය ලැබූ මොස්කව් ලුමුම්බා විශ්වවිද්‍යාලය බලන්න ගියාද?

පළමු වසරේ රුසියානු භාෂා අධ්‍යයනය අවසන් වීමෙන් පසු ලද නිවාඩු කාලයේ මම ඒ අනගි අවස්ථාව උදාකර ගත්තා. එය මා ලද විශාල භාග්‍යයක්. පියා ඇවිද ගිය බිම, ඉගෙනගත් පන්ති කාමර දැකීමෙන් ලොකු හැඟීමක් මා තුළ ඇති වුණා. මම ලුමුම්බා සරසවිය ඉදිරිපිට සිටගත් ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවියක පළවුණා. මා ඊට සටහනක් දැම්මා “පිය පා සටහන් ඔස්සේ” කියා.

රෝහණ විජේවීර අධ්‍යාපනය ලැබුවේ සෝවියට් දේශයේ සමාජවාදී සමාජ ක්‍රමය තුළ. අද ඔබ අධ්‍යාපනය ලබන්නේ ඊට මුළුමනින්ම වෙනස් දේශපාලන සමාජ සන්දර්භයක් තුළ. මේ වෙනස උවිඳු දකින්නේ කොහොමද?

දේශපාලනය හා සමාජ විද්‍යා විෂයයන් හදාරන ශිෂ්‍යයෙක් හැටියට මගේ අදහස අපි කිසිම දේශපාලන මතවාදයක් තුළට ලඝුවෙලා කතා නොකළ යුතුයි. අප අසා කියවා තිබූ සෝවියට් දේශයට වඩා වර්තමාන රුසියානු ෆෙඩරේෂනය හැම අතින්ම වෙනස්. මා හිතන්නේ සමාජවාදීද නැද්ද කියන ප්‍රශ්නය වැදගත් වන්නේ නැහැ. සමාජයේ කටයුතු අවංකව, සාධාරණව, යුක්ති ගරුකව සිදුවෙනවා නම් එයයි වැදගත් වන්නේ. රුසියානු අධිරාජ්‍යයේත්, සෝවියට් දේශයේත්, වත්මන් රුසියානු ෆෙඩරේෂනයේත් නැඟීම් මෙන්ම බැසීම්ද තිබෙනවා.

ඒ ඒ වකවානුවල නායකත්වය දුන් පුද්ගලයන්ගේ හැකියාවේ ස්වභාවයන් ඊට බලපානවා. මම කැමැතියි අපි වැඩිපුර දේශපාලන කරුණු කාරණා කතා නොකර සිටීම වඩා හොඳයි. රුසියානු අධිරාජ්‍යයේ වේවා, සෝවියට් දේශයේ වේවා. වත්මන් රුසියාවේ වේවා රුසියානු හදවත ස්පන්දනය වන්නේ එකම රිද්මයකින් බව අපට දැනෙනවා.

ඔබ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක්. කුමක්ද ඔබේ වගකීම?

චීනය, අප්‍රිකාව. ලතින් ඇමෙරිකාව, ආසියාව ආදී සෑම මහාද්වීපයකින්ම පැමිණි සිසුන් දස දහස් ගණනක් සමඟ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාදෙමින් මා සහෝදරත්වයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ අගනා සංස්කෘතිය ගැන මෙන්ම ලංකාව කියන්නේ මොන විදියේ මොන වගේ රටක්ද කියන එකත් ගැන තොරතුරු මම මගේ ජාත්‍යන්තර මිතුරන් සමඟ බෙදා හදා ගන්නවා.

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

 එය ඉතා සංයමයෙන් පිළිතුරු දියයුතු ප්‍රශ්නයක්. පවතින සමාජ දේශපාලන තත්ත්වය උණුසුම් නොකර මම මෙහෙම උත්තර දෙන්නම්. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ. මගේ පාසල් මෑණියන්ගේ ආදර්ශ පාඨය ‘තමාට පෙර රට’. සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම විය යුත්තේ තමාගේ දේශයට ජනතාවට යහපත් දෙයක් කිරීම. මම ඒ වෙනුවෙන් කැප වෙනවා. මගේ රට වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි.

උදේනි සමන් කුමාර

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found