Language Switcher

V2025

කාදිනල් හිමියනේ දැන් ඇති නේද..? -(ගුරුදා විග්‍රහය : උපුල් ජෝශප් ප්‍රනාන්දු)

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන් පැරීසියට පහර දෙමින් පැරීසිය යුද පිටියක් කළේ 2015දීය. අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන් පැරීසියට ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු සහ ඉරාක ඔත්තු සේවා කලින්ම ප්‍රංශයට දැනුම් දී තිබූ බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කොට තිබිණි. පැරීසියට එල්ල කළ ප්‍රහාරය ප්‍රංශයේ ඔත්තු සේවාවන් නොහොත් බුද්ධි අංශවල බරපතළ වරදක් නිසා සිදු වූ බව දක්වමිනි.

JP TERROR articleLargeඉන්පසු 2015 ජූලි 14 ප්‍රංශයේ “තයිස්” නගරයේ ට්‍රක් රථයක් පදවාගත් ත්‍රස්තවාදියෙක් එහි සිටි ප්‍රදේශවාසීන් ද ඇතුළු සංචාරකයින් 86 දෙනෙක් ඝාතනය කරනු ලැබීය. හරියටම එයින් දවස් 14 කට පසු අයි.එස්.අයි.එස්.ත්‍රස්ත්‍රවාදීන් ප්‍රංශයේ තවත් නගරයක පල්ලියකට කඩා වැදී එහි පියතුමන්ගේ බෙල්ල කපා ඝාතනය කරනු ලැබිය. එයින් පසු ප්‍රංශයේ පල්ලි දොළහකට පමණ අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන් විවිධ ක්‍රම වලට ප්‍රහාර එල්ල කර ඇත.

ජූලි 26 දා පල්ලියට පහරදී පියතුමාගේ බෙල්ල කපා මරා දමපු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ අයෙකි. ඔහු අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය හරහා අන්තවාදී ඉගැන්වීම් සහ අන්තවාදී ප්‍රචාරයන් කිරීම නිසාය.

2016 මාර්තු මාසයේ ඔහුව නිදහස් කරනු ලබන්නේ ඔහුගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට තීරණය කිරීමෙන් පසුවය. ඔහු පල්ලියට ප්‍රහාර එල්ල කරන්නේ ජූලි 26 වෙනි දිනය. ඊට පෙර ඔහු සිරියාවේ ඉස්ලාම් දේවතාවකුගේ නමින් සමාජ මාධ්‍ය ජාලයක් විවෘත කොට අන්තවාදී ඉගැන්වීම් සහ ප්‍රචාරණයේ යෙදෙමින් සිට ඇත .

2016 ජූලි 21 ප්‍රංශයේ බුද්ධි අංශ දෙකක්ම මෙම දේවතාවා ප්‍රහාරයට සුදානම් වන බව ප්‍රංශ පොලිසියට දැනුම් දී ඇත.

සන්නිවේදනය වී නොතිබීම :

 හරියටම පෙබරවාරි 22 ප්‍රංශයේ එක් බුද්ධි අංශයක් දේවතාවගේ නමින් පෙනී සිටින්නේ මාර්තු මාසයේ නිදහස් කරනු ලැබූ කර්මිස් නම් වූ ත්‍රස්ත සැකකරු බවත්, ඔහු ප්‍රංශයේ පල්ලිවලට තර්ජනය කරන බවත් දැනුම් දී ඇත.

මෙම දැනුම් දීම් අනිකුත් බුද්ධි අංශ සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අතර සන්නිවේදනය වී නැත්තේ ජූලි 22 දා පටන් ගත් ප්‍රංශ වසන්ත නිවාඩුව නිසා ය. එම තොරතුරු අනෙකුත් බුද්ධි අංශවලට සන්නිවේදනය වී ඇත්තේ පියතුමා ඝාතනය කළ 26 දින උදයේය.

 මින්පසු එක දිගට ප්‍රංශ පල්ලි 12කට පමණ ප්‍රහාර එල්ල විය. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රංශ මාධ්‍ය ප්‍රංශයේ කාදිනල්වරු සහ බිෂොප්වරුන්ගෙන් ප්‍රකාශ ගන්න උත්සහ ගත්තත් ඔවුන්ට ප්‍රකාශ දෙන්න කැමැති වූයේ නැත.

ඒ වෙනුවට ඔවුහු ප්‍රංශයේ ජනාධිපති, අගමැති කැබිනට් ඇමතිවරු පෞද්ගලිකව හමුවී පල්ලිවලට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා සිටියහ. ඔවුහු දේවමෙහෙයන් පවත්වමින් අනෙකුත් ආගමික නායකයන් සමග එක්වී ප්‍රංශයට සාමය ප්‍රාර්ථනා කළහ.

අගරදගුරුවරයා එරට කතෝලික පුවත්පතකට පමණක් ප්‍රකාශයක් දෙමින් පවසා සිටියේ ප්‍රංශයේ කතෝලික ධර්මය දැවැන්ත තර්ජනයකට ලක් වී ඇති බවත්, එම තර්ජනයෙන් පල්ලි මුදා ගැනීමට තමන් දෙවියන්ට කන්නලව් කරන බවත්ය.

 කාදිනල් හිමිපාණන් කරනු ලැබූ ප්‍රකාශ:

melcom ms 1000px

ප්‍රංශයේ මේ කතාන්දරය මතක් වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කරනු ලැබූ ප්‍රකාශයක් නිසා ය.

“ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය ගැන අපට සෑහීමකට පත්වෙන්න බැහැ. මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක ගැන හොයාගන්න ඕනෑ. ප්‍රශ්න කිරීමක් කරලා මුදා හැරියාට සමහර අය රට අතහැරලා යන්න පුළුවන්. අපට සැකයක් තියෙනවා. මේවා පිටිපස්සේ ඉන්න උදවිය මේ වන විටත් රටින් පිටවෙලා ගිහින් ඇති කියලා. බඩු බාහිරාදිය කොහෙන්ද ගෙනාවේ..? කවුද ගෙනාවේ කියලා හොයන්න අවශ්‍ය වෙනවා. මේවාට සම්බන්ධ පොලිසියේ අය රේගු නිලධාරීන් ඉන්නවා නම් ඒ අයත් ප්‍රශ්න කරන්න ගන්න ඕන.

ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා කිව්වා. මේවාට අදාළ අයගේ සාක්ෂි ලබා ගත්තද මම දන්නෙ නෑ. මට සැකයක් තියෙනවා මේවත් අර ඉස්සර පත්කරපු කොමිසන්සභා වගේ වේවිද කියලා. මේවට සම්බන්ධ යම් යම් උසස් උදවිය රටින් පැන යනවා කියලා ආරංචියකුත් අපිට ලැබෙනවා. මේක ඉෂ්ට කළේ නැත්නම් අපට පාරට බහින්න සිද්ධ වෙනවා. අපිත් ඉස්සරහින් යනව ඒ පෙලපාලිවල. මේකට විරෝධය පළ කරන්න. අපට නිතිය අතට ගන්න නොදී ඔබ නීතිය ක්‍රියාත්මක කරන්න සැම අංශයකම..”

මේ කාදිනල් හිමිපාණන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කී කතාවය. පාස්කු බෝම්බය පුපුරා ගිය සැණින් උන්වහන්සේ චෝදනා කළේ ආණ්ඩුවටය. ඉන්පසු චෝදනා කළේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ය.

ප්‍රංශ ප්‍රහාරයේදී කාදිනල්වරු කියපු දේ..!

හැබැයි ප්‍රංශයේ කාදිනල් හිමිපාණන් සහ බිෂොප්වරු පල්ලිවලට ප්‍රහාර එල්ල වෙද්දී ප්‍රසිද්ධියේ ආණ්ඩුවට චෝදනා කරන්න ගියේ නැත. එරට බුද්ධි අංශ නොසැලකිල්ලෙන් මෙම ප්‍රහාර සිදුව ඇති බවත්, එයට එරට ආණ්ඩුව වගකිව යුතු බවත් ඔවුහු කියා සිටියහ.

ඒත් ඔවුන් එම කරුණු කාරණා වැරදුනු තැන් සහ නිවැරදි කළ යුතු තැන් පෞද්ගලිකව ආණ්ඩුවේ නායකයන් හමුවී තේරුම් කර දුන්නා මිස එළියේ ආණ්ඩුවට දොස් කියන්න ගියේ නැත. ආරක්ෂාව දුන්නේ නැත්නම් එම ප්‍රහාර පිටුපස සිටින අය හෙළිදරව් කළේ නැත්නම් පාරට බහිනවා නීතිය අතට ගන්නවා කියා තර්ජනය කළේ නැත.

ප්‍රංශයේ මෙන් නොව පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන අති විශාලය. කාදිනල් මැල්කම් හිමිපාණන් ආවේගශීලී වී ඇත්තේ ඒ නිසා විය හැකියි. එහෙත් ආවේගශීලීවී ආණ්ඩුවත් එක්ක හැප්පි ආණ්ඩුවට තර්ජනය කරමින් මේ ප්‍රශ්න විසඳන්න බැරිය.

50434610 10156270947278687 8840805916681961472 n 0

ලංකාව සිංහල බෞද්ධ රටකි. සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩවන් හදවතවන් ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට එල්ටීටීඊ සංවිධානය බෝම්බ ප්‍රහාර එල්ල කළේය. 1987 දී එල්ටීටීඊ සංවිධානය අරන්තලාවේ භික්ෂූන් 33ක් අමු අමුවේ ඝාතනය කළේය. ඒ වේලාවේ මහනායක හිමිවරු ආණ්ඩුවට දොස් කියන්න හෝපාරට බහිනවා කියන්නත් නීතිය අතට ගන්නවා කියන්න ගියේ නැත.

උන්වහන්සේ ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානවලට ආරක්ෂාව ලබා ගත්තහ. මහනායක හිමිවරු මාධ්‍යවලට ප්‍රකාශ දුන්නෙ එල්ටීටීඊය හෙළා දකිමින් මිස ආණ්ඩුව හෙළා දකිමින් නොවේ.

දේශපාලනය කරමුද..? සිත් සුවපත් කරමුද..?

 මහනායක හිමිවරු ඒ හරහා ජාත්‍යන්තරය තුළ එල්ටීටීඊ විරෝධී මතයක් හදන්න ආණ්ඩුවට ශක්තිය දුන්නහ. මහනායක හිමිවරු මෙන් නොව කාදිනල් හිමියන්ට ජාත්‍යන්තරය සමඟ හොඳ සම්බන්ධකම් තිබේ. ජාත්‍යන්තර සම්බන්ධකම් පාවිච්චි කොට කාදිනල් හිමි ඝාතනය වූ පවුල්වල අයට ආධාර උපකාර කිරීමට එස්.අයි.එස්. ත්‍රස්ත්‍රයන් මර්ධනයට ආධාර ඉල්ලා ගත යුතුය. විනාශ වූ පල්ලි හැදීමට දැනටමත් මෛත්‍රී-රනිල් ආණ්ඩුව වැඩ පටන් ගෙන තිබේ.

හමුදාව යොදවා පල්ලි හැදීමේ වැඩපිළිවෙළ දියත් කරන්නේ ආණ්ඩුවේ කතෝලික මැති ඇමතිවරුය. අගමැති කාදිනල් හිමිට වෙඩි නොවදින රථයක් ලබා දීමට කටයුතු කර ඇත. කාදිනල්හිමිගේ සියලුම ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුව කැමැත්ත පලකොට ඇත. පල්ලිවලට උපරිම ආරක්ෂාව දී ඇත. කාදිනල්හිමිගේ ගෘහය අවට යුද ටැංකි තබා ආරක්ෂාව සළසා ඇත.

මේ නින්දිත ප්‍රහාරයට ජනාධිපති සහ ආණ්ඩුව වගකීව යුතුය. ඒ ඔවුන්ගේ නොසැලකිල්ල නිසාය. ඒ ගැන කතා කළ යුත්තේ විපක්ෂයය. කාදිනල්හිමි කළ යුත්තේ ඝාතනයට ලක්වූ පවුල්වල අයට සහන සැලසීමත් කතෝලිකයන්ගේ සිත් සුවපත් කිරීමත් ය.

(මව්රට - ගුරුදා විග්‍රහය)