Language Switcher

V2025

ශ්‍රීලනිප බෙදීම් :හොරගොල්ලේ ගැටුම් ඩාර්ලි පාරට !

දේශපාලන පක්‍ෂ සියල්ලට ම ආවේණික ලක්ෂණයක් වන 'අභ්‍යන්තර බල තරගය' අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සෙසු පක්ෂවලට නොදෙවෙනි බව එහි දශක හතකට ආසන්න ඉතිහාසයෙන් පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයා වූ අගමැති බණ්ඩාරනායකගේ සහ එහි අනුප්‍රාප්ත නායිකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ බාල දියණිය චන්ද්‍රිකා කුමාරතුංග පක්ෂයෙන් කැඩී ගොස් වෙන ම දේශපාලන පක්ෂයකට මුල පුරනු ලැබීම සහ කලක් ඔටුන්න හිමි කුමරා ලෙස දේශපාලන ලෝකයේ හැඳින්වුණු, බණ්ඩාරනායක යුවළගේ එකම පුත් අනුර බණ්ඩාරනායක පක්ෂයෙන් ඉවත්ව සිය පියාට එපා වූ එක්සත් ජාතික පක්ෂයට එක්වීම මගින් එම පක්ෂය අභ්‍යන්තරයේ කලින් කලට පැවති ගැටුම්වල උච්ඡතම අවස්ථා නිරූපණය වේ.

ශ්‍රී ලනිප නිර්මාතෘ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (SWRD) ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි සටහන් වන්නේ රටේ සිව්වෙනි අගමැතිවරයා ලෙස පමණක් නොව, ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂයක් මෙන් ම එහි උරුමය සහිත අනුප්‍රාප්තික දේශපාලන පෙළපතක් ද (political dynasty) නිර්මාණය කළ දකුණු ආසියානු නායකයකු ලෙසය.

ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය හඳුන්වා දෙනු ලැබීමෙන් පසු අවධියෙහි අද දක්වා ම ශ්‍රී ලංකාවේ දේශපාලන බලය හුවමාරු වී ඇත්තේ බණ්ඩාරනායක විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1951) සහ එම ආණ්ඩුක්‍රමය යටතේ බලය දිනාගත් ඔහු ද නියෝජනය වූ පළමු දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්‍ෂය අතර හෝ එසේත් නැත්නම් එම මහා දේශපාලන පක්‍ෂ දෙක කේන්ද්‍රගතව නිර්මාණය කෙරුණු දේශපාලන සන්ධාන අතරය.

1936 දී තමාගේ නායකත්වයෙන් ආරම්භ කෙරුණු 'සිංහල මහා සභාව' නියෝජනය කරමින් 1947 දී එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කිරීමට දායක වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකගේ දේශපාලන ගමන් මාර්ගය තුළ පැවති දේශපාලන විසංවාදය ඔහු ඉතා කෙටි කාලයක් ඇතුළත එම පක්ෂයෙන් ඉවත්ව වෙනත් දේශපාලන ගමනකට මුල පිරීමට හේතු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1951) එහි ඊළඟ දිගුව විණි.

1

මහජන එක්සත් පෙරමුණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ආරම්භයේ පටන්, 2005 දක්වා වූ වසර හතළිස් හතරක දීර්ඝ කාලයක් බණ්ඩාරනායක පවුලේ නායකත්ව උරුමයට යටත්ව පැවතියේ නමුත් එම කාල පරිච්ඡේදයට අදාළ එම පක්‍ෂයේ ඉතිහාසය ද ලියැවෙන්නේ අභ්‍යන්තර බල අරගල සහිත වෘත්තාන්තයක් වශයෙනි.

1951 දී ආරම්භ කරනු ලැබ වසරක් ගතවෙද්දී, එනම් 1952 දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය දිනා ගැනීමට තරම් ශක්තිමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඉන් වසර හතරක් ඇතුළත රටේ ආණ්ඩුබලය පවා දිනා ගැනීමට සමත් වූ ඉතා කෙටි කාල පරාසයක් තුළ සමාජයේ මුල්බැස ගත් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයකි.

1948 දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව 'යමුනා සාකච්ඡා' මගින් ආණ්ඩුවක් පිහිටුවීමේ ප්‍රයත්නයක පවා නිරත වූ ශ්‍රී ලංකාවේ වාමාංශික බලවේගයට විකල්පය වෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුරෝගාමිත්වයෙන් 1956 දී නිර්මාණය කෙරුණු මහජන එක්සත් පෙරමුණ යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති බණ්ඩාරනායක සමත් විය.

අගමැති බණ්ඩාරනායක ඝාතනයත් සමඟ මහජන එක්සත් පෙරමුණ යළිත් දේශපාලන කාණ්ඩ කීපයකට බෙදී යමින් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සී.පී.ද සිල්වා නායකත්වය දුන් අතර, කලින් විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂයට නායකත්වය දුන් පිලිප් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ නමින් සිය නව දේශපාලන ගමන ආරම්භ කළේය.

'භාෂා පෙරමුණ' නියෝජනය කරමින් මහජන එක්සත් පෙරමුණට එක්ව සිටි විජයානන්ද දහනායක, බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති පදවියට අනුප්‍රාප්තව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ අත්හරිමින් 'ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' නමින් ඔහුගේම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය.

2

බෝසත් බණ්ඩාරනායක පක්ෂය

බණ්ඩාරනායක අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු බෙදීම සටහන් කරමින්, එස් .ඩී.බණ්ඩාරනායක 1960 වසරේ දී බෝසත් බණ්ඩාරනායක පක්ෂය (Bodhisathva Bandaranayake Front-1960) ආරම්භ කරමින් නව පාර්ලිමේන්තු ගමනක් ආරම්භ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ දී ඊට එක්වූ එහි පුරෝගාමියකු වන එස් .ඩී.බණ්ඩාරනායක 1952 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් නව දෙනාට අයත්වූ දේශපාලනඥයෙකි.

එස්.ඩී.බණ්ඩාරනායක 1960 මාර්තු පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කරමින් ගම්පහ ආසනය දිනා ගත්තේ ඔහුගේ බෝසත් බණ්ඩාරනායක පක්ෂයෙනි.

3

'ඉඹුල්ගොඩ වීරයා' ලෙස ප්‍රකටව සිටි එස් .ඩී.බණ්ඩාරනායක, 1960 දශකයේ මැද භාගයෙහි එන්.ශන්මුගදාසන් විසින් නායකත්වය දෙන ලද 'ලංකා කොමියුනිස්ට් පක්ෂය' (චීන පිළ) සමඟ එක්විය.

සී.පී. ද සිල්වා ශ්‍රීලනිප හැර යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ බෙදීම තීන්දු වන්නේ එම පක්ෂයේ හිටපු නායකයකු වූ සී.පී. ද සිල්වා ඇතුළු කණ්ඩායමක් 1964 දෙසැම්බර් මාසයෙහි පක්ෂයෙන් ඉවත්ව අලුත් දේශපාලන පක්ෂයකට මුල පිරීමත් සමඟය.

4

පාර්ලිමේන්තුවේ සභානායක පදවිය දැරූ සී.පී. ද සිල්වා 1964 රාජාසන කතා විවාදය පිළිබඳ ඡන්ද විමසීමේ දී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය යනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය. ඒ අනුව 1965 මාර්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වූ එම පක්ෂයට පාර්ලිමේන්තු ආසන පහක් දිනාගත හැකිවිණි.

5

අනුර-මෛත්‍රීපාල කැරැල්ල

1977 මහා පරාජයෙන් ලද දේශපාලන තුවාලවල කැළැල් මැකී යාමටත් පෙර අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සේනානායක ප්‍රමුඛ කණ්ඩායමක් සිරිමාවෝ බණ්ඩාරනායක පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන බලය අල්ලා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීමත් සමඟ එම පක්ෂය ඔවුන්ගේ පළමු බෙදීයාමේ අභියෝගයට මුහුණ දුන්නේය.

පක්‍ෂයේ පැරණි නායකයන් රැසක් එක්කර ගත් මෛත්‍රීපාල සේනානායක සහ අනුර බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රීලනිප මෛත්‍රී පිළ, මරදාන ඩාර්ලි පාරේ පිහිටි පක්‍ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමට ගෙනගිය අරගලය අධිකරණය තෙක් විහිදුනු ගැටුමක් බවට පත්විය.

එම ගැටුම සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය පිළිගත් කණ්ඩායමේ ජයග්‍රහණයෙන් අවසන් වුවද, ඉන් තවත් ගැටුමකට පදනම සැකසිණි.

විජය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය

අනුර - සිරිමාවෝ පක්‍ෂ අභ්‍යන්තර ගැටුමේදී පක්‍ෂ නායිකාව වෙනුවෙන් පෙනී සිටි විජය - චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ කණ්ඩායම පසුව පක්‍ෂ අභ්‍යන්තරයේ ආරම්භ කරන ලද කැරැල්ල එම පක්ෂය නියත ලෙසම බෙදී යාමේ තීරණාත්මක දේශපාලන පියවරක් විය.

සිරිමාවෝ බණ්ඩාරනායකගේ පුරවැසි අයිතිය අහිමි කරනු ලැබීමත් සමඟ ඇය නියෝජනය කළ අත්තනගල්ල ආසනයේ උරුමය පිළිබඳ පවුලේ ආරාවුල සහ 1982 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතු වූ මතභේදය කෙළවර වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී එම පක්‍ෂයේ දැවන්තයකුව සිටි ටී.බී.ඉලංගරත්නගේ සභාපතිත්වයෙන් 'ශ්‍රී ලංකා මහජන පක්ෂය' නමින් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමෙනි.

6

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ජාතික සංවිධායක පදවිය විජය කුමාරතුංග වෙත පැවරුන අතර, එම පක්ෂය සහ පැරණි වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් එකමුතු වීමෙන් නිර්මාණය වූ 'එක්සත් සමාජවාදී පෙරමුණ' ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග කරමින් එහි විකල්ප බලවේගය බවට පත්වීමේ ප්‍රයත්නයක යෙදිණි.

විජය කුමාරතුංග ඝාතනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයන් සහ චන්ද්‍රිකා කුමාරතුංග අතර ඇති වූ මතභේද කෙළවර වුයේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් 'බහුජන එක්සත් පෙරමුණ' නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් සහිත කණ්ඩායමක් තවත් දේශපාලන පක්ෂයක් ආරම්භ කරනු ලැබීමෙනි.

'බහුජන එක්සත් පෙරමුණ' අල්පායුෂ්ක දේශපාලන පක්ෂයක් වූ අතර ඊට නායකත්වය දුන් චන්ද්‍රිකා කුමාරතුංග 1993 දී ඉන් ඉවත්ව යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූවාය.

චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප පුනරාගමනයේ ප්‍රථිඵලය වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ සහ ඔහුගේ අවෑමෙන් අනුප්‍රාප්තික නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ එකම පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක, 1951 දී සිය පියා අත්හැර පැමිණි එක්සත් ජාතික පක්ෂයට එක්වීමය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පසු කලෙක රටේ ජනාධිපතිධුරයට ද පත් චන්ද්‍රිකා කුමාරතුංග අවධිය කෙළවර වී ශ්‍රීලනිප නායකත්වය 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ අතට පත්වීමෙන් පසු එම පක්ෂය තුළ පළමු සැලකිය යුතු බෙදීම සටහන් වන්නේ මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි ඇතුළු කණ්ඩායමක් පක්‍ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ම) කණ්ඩායම වශයෙන් වෙනම දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වීමත් සමඟය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයෙහි ශක්තිමත් දේශපාලන සංවිධානයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ එම පක්‍ෂයේ ඉදිරිපෙළ නායකයකු පක්ෂය හැරයාමක් සිදු වූ නමුත් එම තරඟය ජයග්‍රහණය කළ ඔහු ජනාධිපති පදවිය මෙන්ම සිය පක්‍ෂයේ මුල්පුටුවත් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමකාලීන දේශපාලනයේ අභියෝගාත්මක බෙදීමක් සනිටුහන් වන්නේ පක්‍ෂ අභ්‍යන්තරයේ තවත් දේශපාලන පරපුරක්ව සිටි "රාජපක්ෂවරුන්ගේ" මෙහෙයුමෙන් 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ' පිහිටුවනු ලැබීමෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉහත කී ආකාරයේ බෙදීම් රැසකින් පිරුණ ඉතිහාසයක් සහිත දේශපාලන ව්‍යාපාරයකි. එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහය තුළ ප්‍රබල සහ සක්‍රීය දේශපාලන බලවේගයක් වන නමුත් එම පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණ සියල්ල දේශපාලන සන්ධාන හෝ නිතරඟ ගිවිසුම් සහිත දේශපාලන ක්‍රියාමාර්ග හරහා උදාකරගත් බව පෙනී යයි.

(බීබීසී)

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found