Language Switcher

V2025

වුහානයේ සටන්කරුවන් ගැන ලාංකීය ශිෂ්‍යයෙක් කියන කතාව !

මෙම තොරතුරු සටහන් කරන මොහොත වන විට ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතයන් ගණන 43 දක්වා ඉහළ නංවා ගත්තා. සම්පූර්ණයෙන් මුහුදෙන් වටවූ වර්ග කි.මි. 65,610ක දූපතක් ලෙස අඩු අවධානයක් සහිත පුරවැසියන් ලෙස සහ පාලකයන් ලෙස අපි අවදානම් කලාපයකට ඇතුල් වෙන බවයි මගේ අදහස.

නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 හමුවූ වුහාන් නගරයේ සිට කි.මි. 2075ක පමණ දුරින් පිහිටි චැන්චුන් හි Northeast Normal Universityහි අධ්‍යාපනය ලබන්නෙකු ලෙස මේ වෛරසයට එරෙහි සටන පිළිබඳව යම් අත්දැකීමක් මට තියෙනවා.

අපි ඉන්නේ චීනයේ ජිලින් ප්‍ර්‍රාන්තයේ. ජිලින් ඉඳලා ශ‍්‍රී ලංකාවට කි.මි. 3000ක් විතර තියෙනව. සරලව කිව්වොත් අපිට චීනයේ වුහාන් වලට වඩා ශ‍්‍රී ලංකාවට දුරයි.

වුහාන් වලින් ‘හඳුනා නොගත්’ රෝගය හමුවන විට චීනයේම වුහාන්වලට ඈතින් උන්න අපි එක එච්චර ගණන් ගත්තේ නැහැ. අපිට විශ්ව විද්‍යාලයේ චීන භාෂාව උගන්වන චීන ජාතික ගුරුවරියන් පවා ඒ ගැන එච්චර උනන්දු වුණේ නැහැ. ජිලින් ප‍්‍රාන්තය වගේම චැන්චුන්වල අපිත් චීන ජනතාවත් ඉතාමත් සැහැල්ලූවෙන් තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතුවල යෙදුණා. විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන ගියා. සුපර් මාර්කට්, සැලූන්, කෑම ගන්න ස්ථාන ආදී හැම දෙයක්ම සාමාන්‍ය විදිහටම විවෘතව තිබුණා. පොදු ප‍්‍රවාහන සේවයත් සාමාන්‍යයි.

මගේ තොරතුරු මූලාශ‍්‍ර ගැන තියෙන විශ්වාසය අනුව වුහාන්වල පළවෙනි වෛරස් ආසාදිත රෝගියා හමුවුනේ පසුගිය නොවැම්බර් 17 වෙනිදා. එදා ඉඳන් දවසින් දවස වුහාන්වල තත්ත්වය වෙනස් වුණා. සොයාගත් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියා. ඉහළ යාම පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය වාර්තා වෙන්න ගත්තා. ඉක්මනින්ම ගණන ඉලක්කම් දෙකේ, තුනේ, හතරේ, පහේ ගානට ආවා.

ඔය අතරේ චීන බලධාරීන් ඉක්මන් ක‍්‍රියාමාර්ග ගත්තා. වුහාන් නගරය ස්ථිරවම වසා දැමුණා. වුහාන් කියන්නේ වර්ග කි.මි. 8,494ක බිමක්. ජනගහනය මිලියන 11කට වඩා වැඩියි. ලංකාවේ ජනගහනය මිලියන 21කට වඩා වැඩියි. වුහාන් අයිති වෙන හුබෙයි පළාතේ භූමිය වර්ග කි.මී. 186,000කට ආසන්නයි. ලංකාව වගේ දෙගුණයකටත් වඩා විශාලයි. ජනගහනය මිලියන 59කට කිට්ටුයි. අපේ ජනගහනය වගේ දෙගුණයකටත් වඩා වැඩියි. වුහාන් වහලා ටික දවසකින්ම චීන පාලනය හුබෙයි පළාතම වහලා දැම්මා.

වුහාන් වගේම හුබෙයි පළාතත් නිකන්ම නිවේදනයක් නිකුත් කරලා ‘වසා ඇත’ කියලා කිව්වේ නැහැ. සමහර ප‍්‍රවේශ මාර්ග හරහා තාප්ප ගැහැව්වා. මහජන චීනයේ රතු හමුදාව ඒවායේ ආරක්ෂාවට හිටියා. ඉක්මනින්ම වෛරසය මොකක්ද කියලා චීනය හොයාගත්තා. නිරෝධායනය හරියටම තිතටම කරන්න පටන් ගත්තා.

මිනිස්සුන්ගේ අපහසුතාවයන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ආ අමතර පීඩනය වගේම සැපයුම් සේවාවල පැය 24 පුරා ක‍්‍රියාත්මක සහය මැද ඒ වෙනකොට සොයා ගෙන නම තියපු ඇසට නොපෙනෙන ‘සතුරෙකුට’ එරෙහිව ‘සටන්’ කරන්න පටන් ගත්තා.

ඔය අතරේ තමයි ලංකාව වගේම වෙනත් රටවලත් ‘චීනයේ අනතුරක්’ ගැන ප‍්‍රවෘත්ති විශේෂාංග පටන් ගත්තේ. ලංකාවේ ප‍්‍රවෘත්ති දැක්ක අපේ රටේ අපේ මව්පියෝ, ඥාති හිතවතුන් විවිධ මාර්ග හරහා දවස ගානේ අපිට කතා කළා. රැයක් දවාලක් නැතුව අපෙන් එක එක දේවල් ගැන අහන්න ගත්තා. ඒවා අහපු අපිත් බය වුණා.

ලංකාවේ අපි වගේම ලෝකය පුරා තරුණ ළමයි සිය දහස් ගණනක් චීනයේ විවිධ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවා. සමහරු ඒ සඳහා මුදල් ගෙවලා ආපු අය. සමහරු අර්ධ ශිෂ්‍යත්ව. සමහර දෙනෙක් අපි වගේ පූර්ණ ශිෂ්‍යත්ව ලබාගෙන ආපු අය. මගේ විශ්ව විද්‍යාලයේ මගේ පන්තියේ එහෙම ඉගෙන ගන්න තරුණ තරුණියෝ 20 විතර ඉන්නවා. රටවල් ගණනාවක. ලංකාවෙන් මම විතරයි. හැබැයි ඒ එක රටක එකම ළමයෙකුටවත් මේ ප‍්‍රශ්නය ගැන අහලා කව්රුවත් කතා කළේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට මාව ඒ අයට විහිලූවකටත් ලක් වුණා. සමහරු ඇහැව්වා ”ඔයාලගේ රටේ අයට වෙන වැඩක් නැද්ද?” කියලා. මේ සිද්ධි වෙන කොටත් අපේ නගරය චැන්චුන් සාමාන්‍යයි. හැම දෙයක්ම හොඳින්.

වුහාන් විශ්ව විද්‍යාලයේ අපේ මිතුරන් මේ රෝගය පැතිරෙන මුල් දවස්වල සාමාන්‍ය විදිහට අපිට කතා කළා. ටික දවසක් යනකොට එයාලා කලබල වුණා. ඒක සාධාරණයි. වුහාන් විශ්ව විද්‍යාලය වහලා හැම කෙනෙකුටම ඇතුළට පිටතට එන්න යන්න බැරි කළහම තව තවත් කලබල වුණා. එයාලගේ කෑම වතුර අඩු වුණා. හැබැයි ඉතාමත් හොඳින් සියලූම සන්නිවේදන පහසුකම් ලැබුණා. ඒ හින්ද ඒ අයට ලංකාවට, බිජිංවල ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට කතා කරන්න, පණිවිඩ දෙන්න පුළුවන් වුණා.

ඔය දවස්වල ඇත්තටම අපි සාමාන්‍ය විදිහට උන්නා. ක්ලාස් ගියා. එළිපහලියේ ඇවිද්දා. ජීවිතේ පළමු පළවෙනි වතාවට හිම පෑගුවා. මම විතරක් නෙමෙයි මගෙත් එක්ක ඉන්න නයිජීරියා, කේප් වර්ල්ඞ්, පකිස්තාන්, නැගෙනහිර ටිමෝර් ආදී රටවල් 16 විතර හැම කෙනෙක්ම සතුටින් හිටියා. අපේ ගුරුවරු කිව්වේ ඒකයි. ”බය වෙන්න එපා. අපිව විශ්වාස කරන්න. චීනය ඔයාලව බලා ගන්නවා. අපි මේ වෛරසය පරද්දනවා..” ඒක අපේ විශ්වාසය වැඩෙව්වා. එයාලා එහෙම කිව්වේ ප‍්‍රචාරක වැඩක් විදිහට නෙමෙයි. විශ්වාසයෙන්.

ඔය වෙනකොට වෛරසය චීනය ආක‍්‍රමණය කළා. වහපු තාප්පවලට හොරෙන් ඒක පැතිරුණා. හොංකොං වලටත් ගියා. හැබැයි මේ දක්වා මොන්ගෝලියාවට ගියේ නැහැ. චීනය විශ්මකර්ම වැඩ කළා. සති දෙකෙන් දහස් ගානකට පහසුකම් තියෙන රෝහල් හැදුවා. සමහර ක‍්‍රීඩා පිට්ටනි, අධිවේගී මාර්ග මැද රෝහල් හැදුවා. ඒ හැම එකක් පිටි පස්සෙම චීන දේශපාලනයයි, දේශපාලකයොයි, වෛද්‍යවරුයි, ඉන්ජිනේරුවොයි, සාමාන්‍ය චීන පුරවැසියයි දම්වැලක් වගේ බැඳිලා උන්නා.

වුහාන්වල වෙන මේ දේවල් අතර අපිට වසන්ත නිවාඩුව ආවා. අපි හිතාගෙන හිටියේ අපේ ජිවිතයේ අපි පළවෙනි වතාවට විඳින චීන වසන්ත සැණකෙළි සිරි විඳින්න. අපේ ගුරුවරු එයාලගේ ගම්රටවලට ගියා.

එක පාරටම හැම දෙයක්ම වෙන් කළා. එක දවසක අපේ පාරවල් පාලූ වුණා. අපේ විශ්ව විද්‍යාලයේ ගේට්ටු හතරින් තුනක් වහල දැම්මා. ‘පිටවීම තහනම්’ ඒක තමයි තීන්දුව. හැබැයි ගමරට ගිය ගුරුවරු අපිට නිතර කතා කළා. සමහරු කතා කරද්දී ඇඬුවා. එයාලා හැම වෙලාවේම කිව්වේ ”බය වෙන්න එපා. චීනය ඔයාලව බලා ගන්නවා..” කියන එක.

ඔය අතර විශාල උත්සහයකින් වුහාන් වල උන්නු අපේ අය ලංකාවට ආවා. ඒ වෙනත් රටවල අය වුහාන්වල ඉන්දැද්දී. මගේ විශ්ව විද්‍යාලයේ මාත් එක්ක ලංකාවේ අය ඉන්නේ එක් කෙනයි. එයත් ඉන්නේ වෙනත් තැනක. අපිට මුණගැහෙන්න බැරි වුණා. කෝල් විතරයි. අපේ පන්තියේ සමහර දෙනෙක් නිවාඩුවට තම තමන්ගේ රටවල්වලට ගියා. අපි කිහිප දෙනෙක් ඉතුරු වුණා.

ගේට්ටු වහන්න කලින් ගෙනාපු කෑම හදාගෙන කන අතරේ විශ්ව විද්‍යාලයේ කැන්ටිම ඇරියා. තුන් වේලටම කෑම දෙන්න පටන් ගත්තා. හැබැයි සල්ලිවලට. ඇති තරම් කෑම තියෙනවා. මාසිකව අපිට චීන ආණ්ඩුවෙන් ලැබෙන ශිෂ්‍යත්ව දීමනාව අපේ බැංකු ගිණුමට එනවා. අපේ බැංකු කාඩ් එකෙන් කැන්ටිම ගනුදෙනු කරන නිසා ප‍්‍රශ්නයක් නැහැ.

දවස් කිහිපයකට පස්සේ නිවාඩුව ඉවර වුණා. නිවාඩුවට තම තමන්ගේ ගෙවල්වලට ගිය අය ඇතුළට ආවා. එතකොටයි අපි දන්නේ ඒ අයට නවතින්න තට්ටු ගොඩනැගිල්ලක 18වන තට්ටුව වෙන් කරලා තියෙනවා කියලා. එයාල හැමෝම දවස් 14ක් එතැන තිබ්බා. නිරෝධායනය කියන්නේ මොකක්ද කියලා අපි දැන ගත්තේ එතකොටයි.

මේ ඔක්කොම අතරේ අපිට උගන්නන්න පටන් ගත්තා. ඒ ඔන්ලයින් ක‍්‍රමයට. මුලින් චීන භාෂාව. දැන් වෙනත් විෂයන්. උදාහරණයක් විදිහට මට භෞතික විද්‍යාව.

මම ඉන්න ජිලින් ප‍්‍රාන්තයේ ජනගහනය මිලියන 21ක්. ප‍්‍රමාණය වර්ග කි.මි. 180,400ක්. හරියටම ලංකාව වගේ තුන් ගුණයක්. ඒ මුළු පළාතෙන්ම වාර්තා වුණේ 92යි. මිය ගියේ එකම එක්කෙනයි. මාර්තු 2වෙනිදා වෙනකොට අවසන් කොරෝනා ආසාදිත රෝගියාත් Tonghua නගරයේ වෛද්‍යකාර්ය මණ්ඩලයට Good Bye කිව්වා. අන්තිමයා පිට වුණාට දවස් කිහිපයකට පස්සේ නගරය විවෘත කරලා. හැබැයි තාමත් අපේ විශ්ව විද්‍යාලය වහලා. අපි ඇතුලේ. ඒ තමයි ශිෂ්‍යයන් පිළිබඳව චීනයේ ජාතික ආරක්ෂාව.

මේ සියල්ලම ජිලින්වල චැන්චුන්වල වෙද්දී වුහාන් විශ්ව විද්‍යාලයේ ‘හිරවුණ’ කිසිම ශිෂ්‍යයෙක් බඩගින්නේ මැරුණු බවක් අපිට ආරංචි වුණේ නැහැ. ඒ කාටවත් කොරෝනා ආසාදනය වුණේ නැහැ. වුහාන් සටන්කරුවන්ට පුළුවන් වුණා ඒ අයව ආරක්ෂා කර ගන්න.

ගැලවුණු චීනයේ ජීවත්වෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ සටහනක් මගේ රටෙත් කා අතින් හෝ ලියවෙනකම්. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න නම් චීනය වගේ මේ මොහොතේ පටන් හැම කෙනෙක්ම එකට ඉන්න වෙන බව විතරක් අවසානයේ සටහන් කරන්නම්.

20258506 720982194768802 1852448214991292578 nසචිත‍්‍ර සුභාෂණ
Northeast Normal University
චැන්චුන්, ජිලින්, චීනය

- 2020.03.22 ලංකා පුවත්පතේ ලිපියකි -