Language Switcher

V2025

සාද නැති, සංචරණ නැති, අලුත් ලිංගික සහකරුවන් නැති කාලයක් !

ස්වයං-හුදෙකලා වීම තුළින් විශාල පිරිසකගේ ලිංගික හැසිරීම්වල දැවැන්ත වෙනසක් සිදුව තිබේ. එහෙත්, විශේෂඥයින් විශ්වාස කරන්නේ, මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයන් සදහට ම තුරන් කිරීම සදහා ජීවිත කාලයට ම ලැබෙන කදිම අවස්ථාවක් බවටය.

ඔවුන් පවසන්නේ, ලොක්ඩවුන් ක්‍රියාත්මක වන කාලය අතරතුර නිවසේ සිට ම ලිංගික සම්ප්‍රේෂණ ආසාදන පිළිබඳ පරීක්ෂණ (STI tests) සිදු කර ගැනීම "පවතින තත්ත්වය උඩුයටිකුරු කිරීමක්" විය හැකි බවය.

එය එසේ සිදුවනුයේ, ලොක්ඩවුන් නීතිවලට අනුගතව සිටින්නන් අලුත් සහකරුවන් සමග ලිංගික සබඳතා නොපවත්වන අතර ආසාදන සම්ප්‍රේෂණය වීමක් සිදුනොවන හෙයිනි.

"සෑම කෙනෙකුගේ ම ආසාදන පිළිබඳව අපට පරීක්ෂා කර ප්‍රතිකාර කළ හැකි නම්, තත්වය සෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වන විට පවතින තත්ත්වය උඩුයටිකුරු වේවි," ලිංගික සෞඛ්‍යය සහ එච්අයිවී පිළිබඳ බ්‍රිතාන්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ජෝන් මැක්සෝලි බීබීසී නාලිකාවේ Radio 1 Newsbeat වැඩසටහන සමග එක්වෙමින් පැවසීය.

ඔහු මෙන් ම අනෙකුත් ලිංගික සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයන් පවසන්නේ, රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් පවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය.

දැන් ම පරීක්ෂා කළ යුත්තේ ඇයි?

කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන්, බ්‍රිතාන්‍යයේ ලිංගික සෞඛ්‍ය සේවාවන්ගෙන් 54%ක් වසා දමා තිබේ. එසේ ම ලිංගික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 38%ක් NHS ජාතික සෞඛ්‍ය සේවාවේ වෙනත් අංශ වෙත මාරු කර තිබේ.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ, සායනවලට යාම අතහැර දුරකතනය ඔස්සේ හෝ වෙනත් දුරස්ථ මාර්ගයකින් රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස උපදෙස් ලැබීමය.

"මේ වසංගත කාලය තුළ සියලු දෙනා පරීක්ෂා කිරීම දිගට ම සිදුවෙනවා නම් මේක ජීවිත කාලයට ම එක්වරක් පමණක් ලැබෙන අවස්ථාවක්," නිවසේදී STI පරීක්ෂාව කළ හැකි උපකරණ නොමිලේ ලබාදෙන ආයතනයක සේවය කරන ජස්ටින් හාර්බොට්ල් පවසයි.

"එච්අයිවී වසංගතය ආරම්භ වුණ කාලයේදීවත් මේ වගේ අලුත් ලිංගික සබඳතා පවත්වන්න අවස්ථාවක් හිමි නොවුණ පැහැදිලි කාලයක් තිබුණා කියල මම හිතන්නේ නෑ.

යම් කිසිවෙකු තමන්ට එච්අයිවී ආසාදනය වී ඇති බව දැනගන්නා විට එය උපරිම මට්ටමට පැමිණ තිබිය හැකිය.

ලොක්ඩවුන් කාල සීමාවේදී එච්අයිවී ආසාදිත බව තහවුරු වුණහොත් වෙනත් පුද්ගලයින් සමග ලිංගික සබඳතා පැවැත්වීම සඳහා පවතින ඉඩකඩ අඩු වේ. එමනිසා ඔවුන්ට සෘජුව ම ප්‍රතිකාර සදහා යොමුවී වෛරසය වෙනත් පුද්ගලයින් වෙත සම්ප්‍රේෂණය වීම පාලනය කර ගත හැකිය.

"අපි හිතනවා එමගින් දැඩි ආසාදිතයින් වටා ජනතාව ළංවීම විශාල ලෙස අඩුවෙයි කියලා," එක්සත් රාජධානියේ සමරිසි පුද්ගලයින්ගේ එච්අයිවී පරීක්ෂණ සිදු කරන ප්‍රධාන ආයතනයක් වන ලන්ඩනයේ ඩීන් ස්ට්‍රීට් ක්ලිනික්හි වෛද්‍ය ග්‍රේ විට්ලොක් පවසයි.

"ඔවුන් ප්‍රතිකාර ගැනීම ආරම්භ කළොත් හෝ වෙනත් අයට ආසාදනය නොවන තත්ත්වයට පත්වුණොත් එය වෙනත් කිසිවෙකුට ආසාදනය විය නොහැකියි. ඒ කියන්නේ එච්අයිවී ඉහළ අවදානමක් සහිත පුද්ගලයින් සොයා ගැනීමට පරම්පරාවකට එක් වරක් අපට හිමි වන අවස්ථාවක් මේක."

එච්අයිවී තහවුරු වූ සැණින් ගත යුත් ඖෂධ ලබා ගැනීම සඳහා ඩීන් ස්ට්‍රීට් ක්ලිනික් වෙත පැමිණෙන ප්‍රතිශතය ලොක්ඩවුන් කාලය අතරතුර සතියකට 50 සිට සතියකට 10 දක්වා අඩු වී තිබේ.

(බීබීසී )