Language Switcher

V2025

උදුල් ප්‍රේමරත්න යනු පට්ට මෝඩයෙකි !

හිටපු අන්තරේ කැදවුම්කරු පාතාල නායකයෙකු බේරාගැනීමට ඩුබායි යයි,  පෙරටුගාමී පක්ෂයේ  නායකයෙකුගේ වැඩ මෙහෙමද ? මුන් හැමදාම කලේ අපරාධකාරයින් රකින එක...

 මේ මේ දිනවල නිතර සමාජ ජාලා හා තැන් තැන්වල අසන්නට ලැබෙන කතාවන්හි සොච්චමක්. ඔව්, උදුල් ප්‍රේමරත්න ඩුබායි ගියේය. ඒ ගායන ශිල්පී අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමටය. අමල් වරදක් කර ඇත. අමල් කළ වරද අමල්ගේ රුචිකත්වයන් හා ඔහුට අදාළ වපසරියේ බේරාගැනීම අමල්ගේ පුද්ගලික කාරණයකි. එහෙත් අමල් යනු ලංකාවේ කලා ක්ෂේත්‍රෙය් තවත් එක් සලකුණකි. ඔහුට ඔහුගෙ වටිනාකම් සම්බන්ධයෙන් තක්සේරුවක් නොතිබෙන්නට පුළුවන එහෙත් ඔහු රටට හා කලා ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය පුරුකකි. 

ගුණදාස කපුගේ යනු දැඩි මත්පැන් පානය කරන ගායකයන් අතර ප්‍රමුඛත්වයේ සිටි අයෙකු බව නොරහසකි. එහෙත් ඔහුගේ චර්යාවන් හා ජීවන පැවැත්ම ඔහුට අදාළ වුවත් දැඩිව රෝගා තුරවු අවස්ථාවන්හිදී හිතවතුන් පැවසුවේ උඹ උඹට අයිති නැති එහෙත් උඹ අපිට අයිති එකෙක් බවය.  එය අමල්ට අදාලවද එසේමය.  එහෙව් එකෙකු පිටරටකදී වැරදිකරුවෙකු බවට චෝදනා ලබා ඔහුව බේරාගැනීමට රටක පුරුවැසියෙකු ලෙස වන අයිතියට අදාළව කටයුතු කිරීම උදුල් තම වෘත්තිය ඉදිරියට දාම කරන පට්ට මෝඩකමකි.

උදුල්ගේ මේ මෝඩ ඉතිහාසය ඉතා දිගු එකකි. ඔහු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස සිටියදී රටේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අනාගත දරුවන්ගේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් වීදි සටන් මෙහෙයවා රෑ නිදි වරා තම උපාධියද කැපකොට ක්‍රියා කිරීම ඔහු ඉතිහාසයේ කරනු ලැබූ පට්ට මෝඩ ක්‍රියාවකි. 

නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට ඇති අවස්ථාවන් තිබියදී තෙවරක් සිරගතව මාස ගණනාවක් වැලිකඩ සිරකුටියක රැදෙමින් අනාගත පරපුරක් වෙත අහිමිවන අධ්‍යාපන අයිතියක් වෙනුවෙන් සටන් වැදීම ද තවත් මෝඩ ක්‍රියාවකි. 

එතැනින් නොනැවතී, සමාජය විසින් මාධ්‍යය විසින් ඇගිල්ල දිගු කොට වරදකරුවෙකු යැයි අනුමාන කරන වරදකරුවා මරණ මංචකයට යැවීමේ සිරිතට එරෙහිව කොණ්ඩයා වැන්නන් සිරගත කොට දඩුවම් ලබාදීමට කටයුතු කළ යුතුව තිබියදී ඔහු නිවැරදි කරුවෙකු කිරීමට ප්‍රයත්න දැරීම ද මෝඩ ක්‍රියාවකි. එසේම කොටදෙනියාවේ සේයා ඝාතනයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා නිදහස් කර ගැනීම සදහා දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඔහුව නිවැරදි කරුවෙකු බවට පත් කිරීමද උදුල් විසින් ගත් තවත් මෝඩ ක්‍රියාමාර්ගයකි.

 මෙකී මෝඩකම් දිගින් දිගටම උදුල් විසින් ක්‍රියාමත්මක වූ අතර එය රත්නපුර නගරයේදී ගිනි දහවලේ එදා වේල පිරිමසා ගැනීමට තමන්ගේ නිදහස පාවිච්චි කළ බට්ටිට පහරදුන් පොලිස් නිලධාරියාට ගෞරව කිරීම වෙනුවට බට්ටි නැමැති කාන්තාවට සාධාරණය ඉටු කිරීම සදහා ඇය මානව හිමිකම් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට උසි ගැන්වීම හා අවසානයේදී පොලිස් නිලධාරියා වරදකරුවෙකු කොට ඔහුට අදාළ කාන්තාවට වන්දි ලබාදීමට කටයුතු සැලැස්වීම දක්වා වූ ක්‍රියාමාර්ග ගැනීම හා මිනිස් නිදහස සුරැකීමට ගත් ක්‍රියාමාර්ගයන්ට ඇයව පෙළඹවීම ද උදුල් විසින් සිදුකළ පට්ට මෝඩ ක්‍රියා මාර්ගයකි. 

එමතුද නොව ඇඹිලිපිටියේ සාදයක් අතරතුර තරුණයෙකු මිය යාමේ සිද්ධියේදී අදාළ තරුණායාගේ පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිට පොලිස් නිලධාරීන් මාරු කිරීම හා එකී ඝාතනයේදී  පොලීසිය මත වරද පටවා තරුණයාට හා එම පවුලේ ඥාතීන් වෙත සාධාරණය ඉටු කිරීමට යාමද උදුල් විසින් ගත් පට්ට මෝඩ ක්‍රියාමාර්ගයකි. 

නීතිඥ වෘත්තිය භාවිතා කොට කාගේ හෝ නඩුවකට කතා කොට ඉන් ලැබෙන මුදලක් වවාගෙන කෑම වෙනුවට නඩුවක් කතා කිරීමට ගොස් තමන්ගේ අතේ ඇති සොච්චමත් වරද පටවාග ඇති සැකකාර පාර්ශවයන්ට බෙදාදී කන්න අදින්න බොන්න පමණක් නොව ඔවුන්ට ජීවිතය ගෙන යාමට රැකියා සොයාදී ගෙදර ගොස් බිරිඳගේ හා ඥාතීන්ගේ දොස් මුරයන්ට ලක්වීම උදුල්ගේ පට්ට මෝඩ ක්‍රියාවන්හි  තවත් එක් අවස්ථාවකි.

නීතිය ඉදිරියේ වරදකරුවෙකු කිරීමට වරදක් නොකළ පුද්ගලයන් දහස් දෙනා අසරණභාවයෙන් පෙලී, නොකළ වරද පිළිගැනීමට හා දඩුවම් විදීමට හුර කර ඇති සමාජයක  එවැනි සමාජමය තත්වයන් නිවැරදි කිරීමට කටයුතු කිරීමට යාම පවතින ක්‍රමය කනපිට පෙරලීමක් බැවින් මිනිස්සුන්ගේ මිනිස් අයිතිවාසිකම් වෙනුවට ඔහු මත පටවා ඇති දෘෂ්ටිමය පාපයන්ට කර ගැසීමට අදාළ පුද්ගලයන්ට අවස්ථාවන් අහිමි කිරීම උදුල් ප්‍රේමරත්න නම් හිටපු අන්තරේ කැදවුම්කරු හා හිටපු ජවිපෙ හා පෙරටුගාමී ක්‍රියාදරයා හා වර්තමානයේ නීතිඥවරයෙකු ලෙස සිදුකරනු ලැබූ පට්ට මෝඩ ක්‍රියාවන් ලෙස හංවඩු ගසා ඇති ම්ලේච්ඡ සමාජයක සිට උදුල් අමල් වෙනුවෙන් ඩුබායි යාම බොහෝ දෙනාට අදාළව පට්ට මෝඩ ක්‍රියාමාර්ගයකි.

කෙසේ නමුත් උදුල් දන්නා අප මෙකී මෝඩකම් මිනිස් සමාජය තුළ බොහෝ දෙනාගේ දැක්මට වඩා සත්‍යය දක්නා සුළුතරයක් නියෝජනය කරමින් මෝඩ ක්‍රියාවන්ට අනුබල දෙන්නේය..  ඒ කෙසේද යත්, උදුල් ඔබ මෙවැනි මෝඩකම් ඇති තරම් කිරීමට යෝධ බලය හා යෝධ ශක්තිය ලැබේවායි යන්නය..  දහසක් නොව දස දහසක් නුඹට අවලාද නගනු ඇත. එහෙත් අවදිව සිටින සුළුතරයක් දෙනා ඔබගේ මෝඩ ක්‍රියාවන් අනුබල දෙන්නේය. .. අවසානයේ වන ඉල්ලීම වන්නේද උදුල් මෙකි ඉතිහාස ගත ක්‍රියාවන් සිදු කිරිමට ඔබට ශක්තිය ලැබේවා යන්නය.. 

- තුසිත පතිරණ