Image

“කඩවත පාතාල සිනමාව” තුළින් Arun Matheswaran ගේ "DC (2026)" දෙස බලමු

“කඩවත පාතාල සිනමාව” තුළින් Arun Matheswaran ගේ "DC (2026)" දෙස බලමු

විමුක්ති, නෝලන්, සහ Matheswaran: සිනමාත්මක සංකේත භාවිතයේ දී, විමුක්ති ජයසුන්දර බඳු දේශීය අධ්‍යක්ෂවරුන් ගේ කම්මැළි (boring) ඊනියා සංහිඳියා-සෞන්දර්යය සහ ක්‍රිස්ටෝපර් නෝලන් ගේ නිවැරදි සංකේත භාවිතය අතර ඇති පරතරය අපි හඳුනමු. නෝලන් ගේ සිනමාව තුළ සංකේතය "හරියටම හරි තැනට ඇණය ගැසුවාක් මෙන්" ස්ථානගත වේ.

Arun Matheswaran ද "DC (2026)" තුළ මෙම තියුණු ක්‍රමය භාවිතා කරන්නේ, සංකේතය හුදු කලාත්මක සැරසිල්ලක් ලෙස නොව, ප්‍රේක්ෂකයා ගේ යටිසිතට කෙළින් ම පහර දෙන සැබෑ යථාර්ථයේ බලවත් ආයුධයක් ලෙසිනි. තිරපිටපත සහ අධ්‍යක්ෂණය අතර ඇති මෙම මනා ගැළපීම, ප්‍රේක්ෂකයාව සාම්ප්‍රදායික කතාන්දරයකින් ඔබ්බට ගෙන ගොස් අඳුරු යථාර්ථයේ කෲරත්වයට කෙළින්ම යටත් කර ගනී.

dc sequel.jpg 

මනෝ විශ්ලේෂණයට අනුව ත්‍රාසය ඇතිවන්නේ කෙසේ ද…?

පද්ධතියේ බිඳවැටීම සහ අපරාධකරුවකු බිහි වෙන හැටි: සාමාන්‍ය සිනමාව තුළ අපරාධකරු යනු පද්ධතියට පිටින් පැමිණ යහපත් චරිතය මෙහෙයවන නොපෙනෙන බලවේගයකි. නමුත් "DC (2026)" විසින් අප ගේ කඩවත පාතාල සිනමාවේ මූලික නීති යම් තරමකින් තිරය මත සැබෑ කරයි. එනම්, පද්ධතිය විසින්ම අපරාධකරුවා නිර්මාණය කරනු ලබන අතර අදෘෂ්‍යමාන අපරාධකරුවා බිහිවන්නේ සිනමා ශාලාව තුළ ය.

නීතියේ අඳුරු සැබෑව (යථ/The Real): චිත්‍රපටයේ නීතිය සංකේතවත් කරන පොලිසිය, යුක්තිය පසිඳලන ආයතනයක් ලෙස නොව, පද්ධතියේ ප්‍රචණ්ඩත්වයෙන් පෝෂණය වන ආශා මත දුවන දූෂිත ක්‍රමයක් ලෙස පෙන්වයි (පද්ධතියේ බිඳවැටීම).

බලහත්කාරයෙන් ලේබල් ගැසීම (පොලා පැනීම/Interpellation): අපරාධකරු ස්වාභාවිකව බිහිවන්නේ නැත. දූෂිත නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමය විසින් ම අහිංසකයෙකු වෙත "අපරාධකරු" නැමැති ලේබලය බලහත්කාරයෙන් අලවනු ලබන අතර, එම පීඩනය විසින්ම ඔහුව පද්ධතිය ගිලදමන ප්‍රධාන අපරාධකාරයකු (ප්‍රතිවීරයෙකු) බවට පත් කරයි!

ද්වන්ධ සටනක් තුළින් ප්‍රේක්ෂකයාගේ හුස්ම හිරකරන හැටි: මෙහි එන නීතිය (පොලිසිය) සහ අපරාධකරු අතර ඇති ගැටුම සැඟවුණු, නොපෙනෙන එකක් නොවේ. එය අතිශය ප්‍රබල මුහුණට මුහුණ ගැටුමකි.

මනෝ විශ්ලේෂණයට අනුව, ත්‍රාසය ඇතිවන්නේ තර්ජනයක් සැඟවී තිබීමෙන් නොව, තර්ජනය පලා යා නොහැකි තරමට, හුස්ම හිරකරන තරමට සමීප වීමෙනි. "DC (2026)" මෙම සෘජු, ප්‍රකෝපකාරී “ද්වන්ධ සටන” තිරය මත ජීවමාන කරන්නේ, කිසිදු මානසික නිදහසක් ප්‍රේක්ෂකයාට ඉතිරි නොකරමින්, දැඩි බිය සහ මානසික පීඩනය උපරිම තලයකට ගෙන එමිනි.

lokeshwi

කැමරාවේ බද්ධ-දෘෂ්ටිය (Gaze) හරහා කෲරත්වය උත්කර්ෂයට නැංවෙන හැටි: චිත්‍රපටයේ තාක්ෂණික දක්ෂතා යොමු වී ඇත්තේ හුදු අලංකාරය වෙනුවට, අපගේ කඩවත පාතාල සිනමාවේ සඳහන් වන වේදනාව මිශ්‍ර වූ උපරිම විනෝදයක් (කෲරත්වය උත්කර්ෂයට නැංවීමක්) මතු කිරීම උදෙසා ය.

කැමරාවේ අමුතු බැල්ම (Gaze): සිනමාත්මක භාෂාව තියුණු කරන කැමරාව හුදු නරඹන්නකු නොව, ප්‍රේක්ෂකයා දෙස ආපසු බලන, ඔවුන්ව අපහසුතාවයට පත් කරන නොපෙනෙන තැනක සිට බලා සිටින්නෙකු ලෙස ක්‍රියාත්මක වේ.

වේශ නිරූපණය හරහා ඇති කරන කම්පනය: චරිතවල බාහිර ස්වභාවය සහ තුවාල, හුදු වේදනා ලෙස නොව, ප්‍රචණ්ඩත්වය සහ ආකර්ෂණය වෙන්කර හඳුනාගත නොහැකි ආන්තික තත්ත්වයක් ලෙස සැබෑ ලෙසම ඉදිරිපත් කිරීමට වේශ නිරූපණය සමත් වී ඇත.

 

චිත්‍රපටයේ ලස්සන ම දර්ශනය

portrait ffe7ac20 b89b 11f0 a776 c1269fd9cf22 1

පැරණි ආදරය තවදුරටත් වලංගු නැති, “රෝස මල” වෙනුවට “තුවක්කුව” තෝරා ගැනීමට සිදු වී ඇති යුගයක අපි ජීවත් වෙමු!

ජීවී සහ අජීවී දේවල් අතර ගැටුමේදී, චිත්‍රපටයේ ලස්සනම දර්ශනය වන්නේ "තුවක්කුව සහ රෝස මලයි". කඩවත පාතාල සිනමාවට අනුව:

තුවක්කුව යනු පද්ධතියේ ප්‍රචණ්ඩත්වය සහ සැබෑව (යථ/The Real) නියෝජනය කරන ආයුධය යි.

රෝස මල යනු සම්පූර්ණයෙන් ම මියගොස් ඇති, අලුත් පරම්පරාවට අහිමි වූ පැරණි ආදර කතාව යි.

මෙම දේවල් දෙකේ ගැටුම හරහා, හුදු මතුපිටින් පමණක් ඇති සබඳතා මිස ගැඹුරු මානව සබඳතා මියගොස් ඇති වර්තමාන සමාජයේ ලේ වැකුණු යථාර්ථය සිනමාත්මකව මොහොතකට නතර කර පෙන්වීමට අධ්‍යක්ෂවරයා සමත් වේ.

 

සැබෑ ප්‍රේමය උපදින නිමේෂය

පාර්වතී තුවක්කුව අතට ගත්ත ද රෝස මල අත නොහරියි. නමුත් එක්තරා අවස්ථාවක දී රෝස මල ප්ලාස්ටික් එකක් බව පවසා වර්තමාන ප්‍රේමය පිළිබඳ ප්‍රේක්ෂකයාගේ ෆැන්ටසිය කඩා බිඳ දමයි. සැබෑ ප්‍රේමය උපදින්නේ අනෙකා කෙමෙන් කෙමෙන් වියැකී යෑම තුළ ය. පාර්වතීට අනුව ඇය ප්ලාස්ටික් රෝස මල මෙන් දිරාපත් නොවන ද්‍රව්‍යයකි. චිත්‍රපටයේ අවසාන දර්ශනයේ දී අප දකින්නේ ප්ලාස්ටික් රෝස මල තුවක්කුවේ කොකා ඇතුළේ සැතපෙන අන්දමයි. අප පිළිගැනීමට අකමැති වුව ද වර්තමාන ප්‍රේමයට අත් වී ඇති ඉරණම ද එය යි.

සංගීතය සහ ධ්වනිය ඔබව තවතවත් වේදනාවෙන් සතුටට පත් කරන හැටි: සංගීතය සහ රූපය එකට ගැළපී ගමන් කරන සාමාන්‍ය සිනමා රටාව "DC (2026)" විසින් බිඳ දමයි. ප්‍රචණ්ඩකාරී, ලේ වැකි සටන් ජවනිකාවක් අතරතුර පසුබිමින් අතිශය ශාන්ත ඉන්දියානු රාගධාරී සංගීතයක් වාදනය වීම අපගේ කඩවත පාතාල සිනමාවේ එන 'නොපෙනෙන තැනකින් ඇසෙන හඬ' සහ 'ධ්වනිය මගින් ප්‍රේක්ෂකයා අතරමං කිරීම' මනාව භාවිතා කිරීමකි. මෙම රූප සහ ශබ්ද නොගැළපීම මගින් දර්ශනයේ ඇති කෲරත්වය තවත් වැඩි කරන අතර, සිතාමතා තේරුම් ගැනීම මගහැර කෙළින් ම ප්‍රේක්ෂකයා ගේ ඇඟටම දැඩි භීතියක් සහ විනෝදයක් (වේදනාකාරී සතුට) ඇති කිරීමේ අතිශය විප්ලවීය උපක්‍රමයකි.

 

මෑතකාලීන සිනමාවේ ප්‍රබල සන්ධිස්ථානයක්

Arun Matheswaran ගේ "DC (2026)" යනු වාණිජ සීමා බිඳ දමමින්, නීතිය සහ අපරාධය අතර ඇති ගැටුමත්, රූප සහ ශබ්ද අතර ඇති වෙනසත් එකට මුසු කරමින් ප්‍රේක්ෂකයාව සෘජුවම විනිශ්චය කරන, අපගේ කඩවත පාතාල සිනමාවට නෑකම් කියන මෑතකාලීන සිනමාවේ ප්‍රබල සන්ධිස්ථානයකි.

මෙම ලිපිය ලියන ලද්දේ "DC (2026)" නැරඹීමෙන් අනතුරුව මා වසන්ත වක්කුඹුර සහෝදරයාට යැවූ හඬපටයක අන්තර්ගතය තවදුරටත් වර්ධනය කිරීමෙනි. මෙම ලිපියේ එන මනෝවිෂ්ලේෂණ න්‍යායික සංකල්ප අප වෙත මුලින් ම හඳුන්වා දී ඒ සම්බන්ධයෙන් දිගටම මග පෙන්වන දීප්ති කුමාර ගුණරත්න සහ පුෂ්පජිත් ජයසිංහ මහත්වරුන් මෙහි දී කෘතඥතා පූර්වකව මතක් කරමි. ඔවුන් දෙදෙනා යටතේ 2023 වසරේ දී “සිනමාව සහ මනෝවිෂ්ලේෂණය” පාඨමාලාව හැදෑරීමට ලැබීම අපි ලද භාග්‍යයක් ලෙස සළකමු!

 

Nilupulwi

 

 

 

Nipul Vikasitha - (eFilms)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න