සහෝදරයාගේ ආඩම්බරය.................

සහෝදරයාගේ ආඩම්බරය.................

hemalayaහේමලයා

අසංක ධර්ම ශ‍්‍රී

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගය දිනුවද පැරදුනද එහෙම විශ්වාස භංගයක් ගෙන ඒම පිළිබද දිසානායක සහෝදරයා සිටියේ තරමක් ආඩම්බරයකිනි. ආණ්ඩුව එකත් තමන්ගේ ඞීල් ඇතැයි කෑ ගැසූ බොහෝ දෙනාට ඉන් පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ඔහු ඒ පිළිබද සිත සිතාම ගෝල්ෆේස් පැත්තේ රවුමක් ගැසුවේ හිතේ නිදහස ගතටද විදින්නට සළසමිනි. ඈත පෙනෙන ෆෝස් සිටිය දිහා තරමක් ආයාසයෙන් බලා සිටි දිසා නායක සහෝදරයා තමන්ට හිසට ඉහළින් නැගෙන හිරුගෙන් බේරෙන්නට පොල් ගසක් යටට කිට්ටු කරන අතරේම පක්ෂයේ නායකත්වය ගැනද කල්පනාවකට වැටුණේය. ඉර එළිය මදක් අඩු වෙත්ම සෙවණැල්ලද සැගවෙන්නට ගොස් යළි මතු ආවේ දිසානායක සහෝදරයා සමග කතා බහකට මුල පුරමිනි.

ආ සහෝදරයා කාලෙකින් මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ..

දැන් අවුරුදු කිහිපයක සිට පක්ෂයේ නායකතුමා ලෙස මිස සහෝදරයා ලෙස බොහෝ දෙනා නොඅමතන නිසාම මේ නුපුරුදු ඇමතුම කාගෙන්දැයි වට පිට බැලූ දිසානායක නායකතුමාට තමන්ගේ හේමලයා ඇස ගැටුණේ එවිටය.

අපි පුලූවන් හැම වෙලාවෙම එනවා. පහුගිය ටිකේ ඉතින් කොයි තරම් වැඩද? ඒකයි එන්න බැරි වුණේ. අම්මප.

හරි හරි . දැන් ඡන්දෙකුත් ළගම එනවා නේද? කවුද මේ පාර ජ වි පෙ අපේක්ෂකයා.

මේ. ඕනේ නැති ප‍්‍රශ්න අහන්න එපා සහෝදරයා. මේ වෙලාවේ අපේ පක්ෂය ඉන්නේ ජනාධිපති, හොයන්න නෙමේ. පොදු ජනතාවගේ ප‍්‍රශ්නය ගැන බලන්න. අපිට ජනාධිපති වෙන්න උවමනාවක් නෑ. ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමයි අපේ පක්ෂයේ සැබෑ වගකීම.

ඒක හරි ඒ වුණාට ජනාධිපතිවරණෙට අපේක්ෂකයෙක් ඉන්න එපැයි.

මතකනෙ අපේ පක්ෂෙන් අපේක්ෂකයො දැපු අයට වුණ දේවල්. මේ පාරත් මොකක් හරි මිනිස්සුන්ට නොතේරෙන තේරවිල්ලක් කියලා ෂේප් වෙනවා.

ඒ කියන්නේ අපේක්ෂකයෙක් නෑ.

කවුරු හරි ඉදිරිපත් වුණොත් දානවා.

ඒ කියන්නේ පක්ෂයේ නායකයා ඉදිරිපත් වෙන්නේ නෑ.

මල්ලි. මම ඉදිරිපත් වෙලා පැරදුනාම මේ නායකකම නැතුව යනවා. අර කාන්තය බලන් ඉන්නෙම මේකට වැඬේ දෙන්න. රනිල් මහත්තයට වෙලා තියෙන වැඬේම තමයි දැන් මටත් වෙලා තියෙන්නෙ.

ලාල් කාන්ත ජනාධිපති අපේකෂක කම ඉල්ලූවොත්?

ඒකත් ප‍්‍රශ්නයක්. එතකොට නායක කමත් දෙන්න වෙනවා.

දැන් මොකද කරන්නේ?

අනේ මන්දා ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී’. අම්මප. අපේ උන්ට මොකක් හරි බෝලයක් බස්සනවා. එතකොට ඕක ෂේප්.

 මේ පාර භංගෙත් පරාදයි නේද?

ඕක ඉතිං කලින්ම දන්නවනේ.

දන්නවනම් ගෙනාවේ.

දන්න හින්ද තමයි ගෙනාවේ. ආණ්ඩුව පරදින්න නම් අපි විශ්වාසභංග ගේන්න ඕනේ නෑනේ.

ඒ වුණාට මාධ්‍යයෙන් කිව්වෙ නම් ආණ්ඩුව පරද්දන්න ගෙනාව වගේනේ.

කියද්දි එහෙම තමයි. මේ ආන්ඩුව වට්ටලා ජනතාව කබලෙන් ලිපට දාන්න කියලද අපට කියන්නේ.

එහෙනම් අහවල් මගුලකටද විශ්වාසභංගයක් හදිසියේ ගෙනාවේ.

ඒක තේරෙන්නෙ නැද්ද?

නැති හින්ද තමයි අහන්නේ.

පහුගිය ටිකේ වෙච්ච සීන් වලින් ආණ්ඩුවේ විශ්වාසේ කොොහාමත් භංග වෙලානේ තිබුණේ. රටේ මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි. ඔය පක්ෂ වල ඉන්න ලොකු ලොකු අයගේ පවා විශ්වාසේ භංග වෙලා තිබුණේ.

ඉතිං

ඉතිං කියන්නේ ඒ භංගවුණ විශ්වාසේ ආයේ හදන්න තමයි අපි විශ්වාසභංගයක් ගෙනාවේ.

ඒ කියන්නේ ආන්ඩුවට සහාය දීමක් වුණේ?

නැතුව. ඒක තමයි.

එතකොට දැන් වමේ වැඬේ ඒකද?

වම කියන්නේ මොකක්ද සහෝදරයා. දැන් ඒක පාවිච්චි කරන්නේ පස්ස පැත්ත හෝදන්න විතරයි. තව ටික කාලෙකින් ඒකත් නැති කරල තමයි මම මේ පක්ෂෙන් යන්නේ.

ඒ කියන්නේ දැන්ම යන්න අදහසක් නෑ.

මැතිවරණ පැරදුනා කියලා හරි පක්ෂෙන් සාමාජිකයෝ ගියා කියල හරි මම යන්න ඔනේ නෑනේ.

ජ විෙ පට ඇමතිකම් දෙන්න ඔනේ කියලා අගමැති තුමා කිව්වේ.

ඔව් එහෙම කතාවකුත් කිව්වා. 3ක් 4ක් දෙන්න කියලා. අපිට කාගෙවත් ඇමතිකම් ඕනේ නෑ. අපි හැමෝම ඇමතිලා වෙන දවස වැඩි ඈතක නෑ.

හැමෝම කිව්වේ?

පක්ෂෙ අය. පාර්ලිමේන්තුවේ අය.

දැනුත් ඉන්නේ 6 යි නේ.

ඊළග පාර 4ක්වත් වෙයි නේ. එතකොට අගමැතිතුමා දෙන ඇමතිකම් 4 ගත්තාම අපි ඔක්කොම ඇමතිලානේ.

කලූ වලාකුලක් ඇවිත් ඉර වහගන්ද්දී හේමලයා දිසානායක සහෝදරයාගෙන් ඈත් ව්නට විය. තව දුරටත් කල්පනාවකට බරවෙමින් සහෝදරයා ෂැංග‍්‍රිලා හෝටලය දෙසට ඇදෙන්නට වූයේ සවස තේ වෙලාවද ලංව තිබූ නිසාමදැයි ඔහුවත් දැන තිබුණේ නැත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න