Language Switcher

V2025

අගමැති හීනය

hemalayaගෙදර යනවාටත් වැඩි වාර ගණනක් නිතර යැවෙන ජනාධිපති නිල නිවස දැන් දයාසිරිට නුහුරු නුපුරුදු තැනක් නොවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය භාරගත් දාසිට මේ දක්වා ජනාධිපති මන්දිරයටත් නිල නිවසටත් යාම තමන්ගේ රාජකාරියේ කොටසක් කරගත් නිසාම දැන් ඒවායේ නිත්‍ය සාමාජිකයෙක් බවට ඔහු නිරායාසායෙන්ම පත්ව ඇත. කුකුළා වී පැදුරට යන්නා සේ සිදුවන මේ ගමන ගැන පක්ෂයේ තවත් අය සිටින්නේ එතරම් හිත හොදකින් නොවන බවද ඔහු දනී. රාත‍්‍රී 10 පමණ වන තුරුත් පැවති රැස්වීම අවසන් වුණේ ජනාධිපතිතුමා 10ට නින්දට යන නිසාය. ජනාධිපතිතුමාගේ නින්දේ පිහිටෙන් එළියට පැනගත් දයාසිරි නිළ රථයට දුවගෙන එන විටත් නිළ රථයේ ලයිට් දල්වා සහචරයන් බලා සිටිනු දක්නට ලැබිණ.

ලේකම් තුමා මොකෝ හදිස්සිය ?

 මේ ? 10ට විතර තමන් එක්ක කතා කරන්නේ මොකාදැයි බැලූ දයාසිරි හිතුනේ එකත් එකටම පක්ෂෙ උන් තමන්ගේ හොර අල්ලන්නට මොකෙක් හෝ එවා ඇති බවයි. නිළ රථයේ ලයිට් එළියෙන් තමන් පිටුපස සැගවුන හේමලයා දයාසිරිගේ ඇස ගැටුණේ ඒ අල්ලපනල්ලේය. මේ කතා කරන්නේ තමන්ගේ හේමලයා බව තේරුම් ගත් ඔහු ඊට නොපැකිල උත්තර දුන්නේය.

10ත් පහුවෙලා. ඒකයි හදිස්සි.

හරි ඉතිං දැන් තියෙන්නේ ගෙදර ගිහින් නිදිය ගන්නනේ?

 ගෙදර ගිහිං නිදා ගන්න කලින් තව යන්න තැන් කොච්චර තියෙනවද ? මගෙ හේමලය වෙලත් උඹ දන්නැති හැටි. එහෙම තමයි අපි වැඩ කරන්නෙ. අන්තිමට හේමලයවත් දන්නෙ නෑ.

ඒක නෙමෙයි. අර හීනෙ ලොස් වෙයි වගේ නේද?

මොන හීනෙද?

අගමැති හීනෙ.

ඒ මොකද?

නෑ දැන් වෙල්ගම කාරයත් ආපහු පක්ෂෙට ආවෙ ඕකටනේ.

වෙල්ගම ආව කියල මට මොනව වෙන්නද? ජනාධිපතිතුමා විශ්වාස කරන්නෙ මාව විතරයි. ඒකනේ මාව පක්ෂෙ ලේකම් කළේ.

එතකොට ඊළග අගමැති අපේක්ෂකයා දයාසිරි වෙන එක ස්ථිරයි.

කිරි ගහට ඇන්න වගේ. ජනාධිපතිතුමා මේ පාර ජනාධිපති අපේක්ෂකයා වුණොත් ශ‍්‍රී ලංකා එකේ අගමැති අපේක්ෂකයා දයාසිරි.

දිනයිද?

පැරදුනත් මොකෝ. ඊට පස්සේ ශ‍්‍රී ලංකා එකේ නායකයනේ.

එදා ඉදන් හිටපු ශ‍්‍රී ලංකා කාරයෝ දයාසිරි නායකයා වෙනකල් බලං ඉදියි කියලද හිතන්නේ ?

 මට උඩින් ඉදියි කියලා හිතන හැම එකාම පොහොට්ටුවට පටවනවා. නැත්නම් යූ ඇන් පී එකට යවනවා. එතකොට කවුද මට අභියෝග කරන්නේ. මාව ඉල්ලලම නායකයා කරනවා.

දුමින්දලා, අමරවීරලා නිකං ඉදියි ?

එයාලා දැනටමත් ඇම කාලා ඉවරයි. බලමුකෝ මොකද වෙන්නේ කියලා.

එතකොට අර යාලූවා සජිත් ආවොත් සපෝට් කරන කතාව බොරුවක්ද ?

ඒක බොරුවක් නෙවෙයිනේ. දැනටමත් අපේ ජනාධිපතිතුමත් සපෝට් කරන්නේ සජිත්ටනේ.

නෑ. නෑ. සජිත් ජනාධිපති අපෙක්ෂකය වුණොත් යූ ඇන් පී එකට පනින කතාව.

පිස්සුද? එහෙම පැනල දිනුවත් හම්බ වෙන්නෙ ඇමති කමක් විතරනෙ. ඒ වගේද මෙහෙම ඉදල ශ‍්‍රී ලංකා එකේ නායකයා වුණාම.

වැඩක් නෑනෙ. දැන් ශ‍්‍රී ලංකා එක්ක නෑ වගේනෙ.

ඒක නම් එහෙම තමයි. ඒත් ඉතිං ඔය පොහොට්ටුවත් වැඩි ආයුෂක් නෑනේ. මහින්ද ලොක්කා ඉන්නකල් විතරයි. එතකොට ශ‍්‍රී ලංකා එක තමයි විපක්ෂෙ.

දයාසිරි විපක්ෂ නායක ?

නිකම්ම එහෙම වෙන්න එපැයි.

එතකොට ඇමතිකමක් ගන්නේ නෑ ?

ජනාධිපතිවරණෙන් බහුතරයක් ගන්න ටීම් එකට පක්ෂයක් හැටියට සහයෝගය දෙනවා. එතකොට ඇමති කමක් ෂුවර්. ඡන්දයක් කිට්ටු කරලා ටීම් එකම අයින් වෙනවා. එතකොට දෙකම වෙනවනේ. කොහොමද මගේ ලෝයර් මොලේ.

අර පාස්කු ප‍්‍රහාරය පිටිපස්සේ විදෙස් බලවේගයක් ඉන්නවා කිව්වේ. ඇත්තටම ඒ ගැන දන්නවද?

අනේ මම නම් දන්නේ නෑ. ජනාධිපතිතුමා තමයි එහෙම කියන්න කිව්වේ.

ඒ කියන්නේ ජනාධිපතිතුමා එහෙම එකක් දන්නවා ?

ඒක නම් මම දන්නේ නෑ. අනික ඉතිං ෂීෂී කියන්නේත් විදෙස් බලවේගයක් නේ. ඒ කතාවේ වරදක් නෑනේ.

දැන් එතකොට ශ‍්‍රී ලංකා එකෙන්මද ජනාධිපති අපේක්ෂකයා එන්න ඔනේ ?

නැතුව. ඒකනේ මම හැම වෙලාවෙම කියන්නේ.

ජනාධිපතිතුමාට ආදරේටද ? පක්ෂෙට ආදරේටද ?

ඒ මොන බම්බුවකටවත් නෙවෙයි අයිසෙ මගේ තැන හදා ගන්න. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් ඒ වැඬේ අමාරුයි. ශ‍්‍රී ලංකා එකෙන් දාලා ඇන ගත්ත ගමන් මම ගොඩ. ජනාධිපති පැරදුනාට මම දිනුම්නේ.

ලේකම්තුමාගේ ප‍්‍රමාදය නිසාම රියදුරා නිල රථය මාර්ගය දෙසට හරවන්නට වූයෙන් දයාසිරිගේ හේමලයා කෙමෙන් සැගවෙන්නට විය. යළිත් වරක් මතුවෙන්නට පෙර ෆයිල් ටිකත් කිහිල්ලට ගත් දයාසිරි දුවගෙන ගොස් වාහනයට නැග ගත්තේ හේමලයාට හොරෙන් රාත‍්‍රියේ තවත් වැදගත් වැඩකට යාමට තිබූ හෙයිනි.

හේමලයා

අසංක ධර්ම ශ‍්‍රී