Language Switcher

V2025

පොහොට්ටුවේ අපේක්ෂකයා .......

hemalayaමාලිංගගේ සමු ගැනීමත් තමන්ගේ ඡන්ද ගොඩටම ආශිර්වාදයක් කරගත් හිටපු ජනාධිපතිතුමා ඛෙත්තාරාමෙන් එළියට පැන ගත්තේ පේ‍්‍රමදාසයා මැරිලත් ක‍්‍රිකට් තියෙනකල් මිනිහගේ නම තියෙන්න වැඩක් කෙරුවට මට එහෙම වැඩක් කර ගන්න බැරි වුණානේ යයි සිතමිනි. සිකියුරියේ මැදිහත් වීමෙන් ඉක්මණින් එන්නට මග පාදාගත් හිටපු ජනාධිපතිවරයා තමන්ට ඉදිරියෙන් යන හේමලයාගේ විශාලත්වය දැක හේමලයා එහෙම නම් තමන් කොහොම ඇත්දැයි සිතන්නට විය. පවිත‍්‍රලා, ගීතලා විතරක් නෙවෙයි පබාලා වුවද කොර වෙන හැඩිදැඩි බවක් තමන්ට ඇතැයි සිතූ ඔහු ගමන තරමක් බාල කෙරුවේ මයික් එකක්වත් අහළ පහලක තිබේදැයි විපරම් කරමිනි.

 කොහොම හරි මාලිංගගෙන් ලකුණු ටිකක් එකතු වුණා නේද?

 මෙච්චර වෙලා තමන්ගේ හිතේ විතරක් තිබුණු දේ තවත් එකෙක් හිතුවේ කොහොමදැයි හිතූ හිටපු ජනාධිපතිවරයා එකත් එකටම මාලිංගගේ වයිෆරේ දිහා කන්න වගේ බලාගෙන උන් ආරක්ෂක නිළධාරියා වන්නට ඇතැයි සිතා පිටුපස බැලීය. ඒකා පෙනෙන තෙක් මානයක නැති බව තේරුම් ගත් හිටපු ජනාධිපතිවරයා යළිත් පය ඉක්මන් කළේ අලූතින් ගත් බුලට් රූෆින් රථයට ගොඩ වීමටය.

මාලිංග කිව්වෙ ඇත්තමද?

යළිත් සුපුරුදු එකාමය. මේ කතා කරන්නේ මටත් වඩා ලොකු හේමලයා යැයි දැනගත් හිටපු ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට විය.

ඇයි බොරු කියලද හිතන්නේ. ඇත්ත තමයි. ඒලියන්තයා දාලා මාලිංගගේ අමාරුව හොද කෙරුවේ. එයත් දකුණේ මමත් දකුණේ. මොකක්ද වැරැද්ද?

නෑ නෑ මම ඇහුවේ ඒක නිකන් අර මාලිංගට කියලා හැමෝටම එන්න කියවගෙන එයාටම කියලා ලකුණු දා ගත්ත වගේ වැඩක් නේද?

 එහෙම තමයි. මාකටිං. දැන් දැක්කනේ අර මහ පොළොවෙන් ඉපදුණ කෙනාට දුන්න හූව. ඒව ප්ලෑන් .ඔන්න මගෙ ප්ලෑන් නෙවෙයි හරිය.

ජනාධිපතිවරණෙකුත් ළග එනව නේද?

ආ ඔව්. ඔව්. එනව එනව

දැන් කවුද පොහොට්ටුවේ අපේක්ෂකයා

රාජපක්ෂ

හරි හරි රාජපක්ෂ කියල දන්නවා. ඒ ඇර ඉතිං වෙන කෙනෙකුට ඔය පක්ෂෙන් ඔලූව උස්සන්න දෙන්නෙ නෑනේ. මොන රාජපක්ෂද? ගෝඨද?

ගෝඨ කියල කවුරු කිව්වත් මම තවම එහෙම කියල නෑනේ. කාටද දෙන්නෙ කියල තීරණය කරන්නෙ මම. මොකා කෑ ගැහුවත් මම කියන කෙනා තමයි අපේක්ෂකයා.

එතකොට ගෝඨට දෙන්නෙ නෑ

නෑ.

ඇයි ?

ගෝඨට දීල දිනුවොත් මගෙ ලොකු එකාට යන කල මොකක්ද?

ඒ කිව්වේ .

ඒ කිව්වේ මගේ ලොකු එකා ජනාධිපති කරන්නෙ කොහොමද?

එතකොට කාටද දෙන්නේ අර ටෙන් ප‍්‍රසන්ටද?

අපොයි. එයාට නම් කොහොමත් දෙන්නෙ නෑ. එයා ඉතින් ඞීල් දෙයියනේ. එයාට දුන්නොත් හොදට තියෙයි. 2015 පැරදුණෙත් මිනිහා හින්ද තමයි.

ලොකු අයියා ?

ලොකු අයිය නම් වරදක් නෑ. ඒ වුණාට අයියා දිනුවොත් අයියගේ පුතා අපිට උඩින් යයි කියල තමයි සැක. ඌටත් ජනාධිපති උණ ගැහුවොත්.

එතකොට දෙන්න කෙනෙක් නෑනේ ?

ඇයි යකෝ විහාර මහා දේවි වාගේ මගේ ගෑණි ඉන්නේ. එයාට දෙනවනේ. මමත් ගොඩ ළමයිනුත් ගොඩ.

පක්ෂෙ පරාදයි ?

හරි. ඒක තමයි වෙන්න ඕනේ. තව අවුරුදු 10ක් වත් පැරදි පැරු ඉන්න තමයි මගෙ ට‍්‍රයි එක.

ඒ මොකද?

තව අවුරුදු 10ක් යද්දි ලොකු එකාට හොද වයස. පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක විතර පරණයි. ජනාධිපති තරගකට දාන්න පුලූවන්නේ. එතකොට ඉතින් යූ ඇන් පී එකෙත් හරි හමන් එකෙක් නැති වෙයිනේ.

මෛත‍්‍රී එක්ක එකතු වෙන්නෙ නැද්ද?

මම නම් කැමතියි. කොහෙද මේ පක්ෂෙ උන් කැමති නෑනේ. මිනිහා එක්ක එකතු වුණත් වෙන්නේ පරදින එකම තමයි. වෙන මොකක් වෙන්නද?

ඒ වුණාට දැන් පොහොට්ටුව ඇතුළෙත් කචල් නේද?

ඔවුන් මරා ගන්න තරමට මට හොදයි. එතකොට අභියෝගයක් නෑනේ. ඔවුන් එකතු වුණොත් තමයි රාජපක්ෂලාට අභියෝගයක් වෙන්නේ. ඒක හින්දා පක්ෂෙ ඇතුළේ මොකා මරා ගත්තත් මට කමක් නෑ.

අර වෙල්ගම දැන් ජාතිත් වෛරයි නේද?

වෙල්ගම හොද එකා. මම කියන දේ හොදට අහනවා.

එතකොට ඔය කරන්නේ ඔබතුමා කියන දේද?

ඒ ගැන මෙතන කියවන්න ඕනේ නෑ. ඒක අපේ වැඩක්.

අර පක්ෂ 16ක් එකතු වුණ එකේ මුස්ලිම් පක්ෂෙකුත්  ඉන්නවා නේද? කලින් මුස්ලිම් පක්ෂ එකතු කර ගන්නේ නෑ කිව්වේ ?

මම කිව්වෙ නෑනේ. ඔය විමල්ලා කෑ ගැහුවට .

ඇත්තටම මොලේ තියෙන දෙතුන් දෙනෙක් ඉද්දි ඇයි ඔය විමල්ටම කතා කරන්න දෙන්නේ ?

විමල් තමයි අපේ පාක්ෂිකයන්ට හොදට කතා කරන්න දන්නේ. මොලේ තියෙන දේශපාලකයො හිටියට මොලේ තියෙන පාක්ෂිකයෝ නෑනේ. ඒක හින්දා විමලගේ කතාවලට චූන් වෙනවා. අපිට ඡන්දෙ දෙනවා.

මේ පාර ඡන්දෙට ඩමි හදන්නෙ නැද්ද?

හදන්න දෙයක් නෑ. කොොහාමත් අපි මේ පාර ඡන්දෙට දාන්නේ ඩමියක් තමයි.

කියූ හිටපු ජනාධිපතිවරයා බුලට් රූෆින් රථයේ දොර ඇර හරි බරි ගැසී ඉද ගත්තේ තවත් හිටියොත් මූ අහන දේවල්වලට මොන මොනවා කියවෙයිදෝයි සිතමිනි.

අසංක ධර්ම ශ්‍රී