Language Switcher

V2025

උප ජනාධිපති.................

hemalayaඉර බැහැගෙන යන විට ජනාධිපතිවරයාගේ හදවත වැඩි වැඩියෙන් ගැහෙන්නට වූයේ තවත් හෝරාවක් යන්නට මතතෙන් රනිල්ව පෙරලන් යන්නට තමන් විසින් අගමැතිවරයා බවට පත් කළ මහින්ද තනිව තමන් මුණ ගැසීමට පැමිණෙන බව මතක් වීමෙනි. ඉර හැරෙන්නනටත් කලින් නිල නිවසට පැන ගත්තේ හිත එකලාසයක් කර ගන්නට වුව මේ වන විටත් පැයකට හත් අට වතාවක්ම සුළු දිය පහකරන්නට යන්නට සිදු වූයේ මොකක් හෝ තැති ගැන්මක් නිසාදෝයි කල්පනා කරමින් සිටි ජනාධිපතිවරයා රූපවාහිනීය ක‍්‍රියාත්මක කළේ තමන් අල්ලේ නටවන මාධ්‍ය නාලිකාව රටේ තත්වය ගැන කුමක් කියන්නේදැයි බලා ගන්නටය. රූපවාහිනිය ක‍්‍රියාත්මක කළ විගසම එහි ආලෝකය ජනාධිපතිවරයා පසුකර ගොස් බිත්තියට පතිත විය.

මොකද නිකන් වෙව්ලන්නේ ?

තමන් මෙච්චර බය වී සිටින බවක් ජයන්තිවත් නොදන්නා කොට මේක දැනගත් එකා මොකාදැයි දැනගන්නට ජනාධිපතිවරයා වට පිට බැලූවේ එවිටය.

මම මම මේ හේමලයා

පුටුව යටයි පාපිස්ස යටයි රූපවාහිනිය අස්සෙයි අහැම තැනම නැමී නැමී කතා කරපු එකා හොයන්නට මහන්සි වෙන ජනාධිපතිවරයා තමන්ගේ හේමලයා අ`දුර ගත්තෙ’ එවිටය.

මම වෙව්ලන්නේ නෑ. මේ ටිකක් ඒ සී එක වැඞී ඒකයි. අර ඉර එළියට පිච්චි පිච්චි හිටිය අපට මේ ඒසී යන්ත‍්‍ර එච්චර හුරු එව්වයැ.

අද පොහොට්ටු ලොක්ක එනව කිව්ව නේද?

ඒක තමයි මම මේ කල්පනා කලේ හිටං. මේක මොන ගැටයක් ගහයිද දන්නේ නෑ. හැබැයි ඕක දන්නව මම හො`ද චීත්තෙ කියලා. බලමු මොකාටද එන්න හදන්නෙ කියලා.

ජනාධිපති අපේක්ෂක කම දෙන්න කැමති වෙයිද?

යකෝ මම ඒ යකාව අගමැති කෙරුවා. ඒක කරගෙන යන්න බැරි වුණාට මට කරන්න දෙයක් නෑ. කළගුණ සලකන්න එයාලා දැන ගන්න ඕනේ.

දුන්නේ නැත්තං ?

උප ජනාධිපති කමක් හරි ඉල්ලනවා. නැත්තං මගෙ උන්ට යන කල දසාව මොකක්ද?

ඒත් ඉතිං එහෙ පාක්ෂිකයො ඉල්ලන්නේ අර ලේකම්වනේ ?

පාක්ෂිකයො ඉල්ලූවට මිනිහට එන්න වෙන්නේ නෑ. මම ඒවට ගැට දාලා තියෙන්නේි අවසානෙදි මාව තමයි එයාලට දාන්න වෙන්නේ. එහෙම වුණොත් මම ආයෙත් ජනාධිපති.

මුලින්ම ජනාධිපති වුණාම කිව්වේ ආයේ ඉල්ලන්නේ නෑ කියල නේද? මොනවද ඔය දිව දෙකේ කතා ?

මම ඉල්ලන්නෙ නෑ කිව්වෙ නෑනේ. අරන් බලන්න මම කිව්වෙ ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. මොකද මට කවදාවත් ජනාධිපති වෙන්න බලාපොරොත්තුවක් තිබුණෙත් නෑනේ.

දැන් අර එල්ලූම් ගහේ වැඬේ මොකද ?

ආ ඒකද? ඒක ක‍්‍රියාත්මක කරන්න ඔක්කොම හරි හෙට අන්ද්දා ක‍්‍රියාත්මක කරනවා.

ඒ උනාට ගොඩක් අය විරුද්ධයි නේ?

විරුද්ධනං තමා. ඒ උනාට උන්ට තේරෙන්නෙ නෑනේ මට තියෙන උවමනාව

ඇත්තටම මොකක්ද උවමනාව ?

ඔය මොකෙක් හරි කුඩු කාරයෙක් එල්ලලා මිනිස්සුන්ගේන් ලකුණු ටිකක් දා ගන්න. ඔය ක-ුඩු ගහන උන්ගේ නෑදෑයෝ එහෙම ඒකට කැමතියිනේ. ඊට පස්සේ උන් හරි කියයිනේ මාව ආපහු ජනාධිපති කරන්න කියලා. තේරෙන්නේ නැද්ද ?

යූ ඇන් පී එක ඇතුළෙත් කචල් නේද?

මගෙ දේශපාලන පරිණත බව තමයි. රනිල්ට පුලූවන්ද මම එක්ක හැරෙන්නවත්.

ඒ කිව්වේ ?

යූ ඇන් පී එක ගිණි තිබ්බේ මම. ඒක පාක්ෂිකයො දන්නෙත් නෑ ඇතුළෙ උන් දන්නේත් නෑ. එහෙම ගිණි තිබ්බෙ නැත්නං මට යන්න අතක් නැති වෙනවා. පොහොට්ටුවටත් වෙන්නෙ ඒ ටිකම තමයි.

කොහොමත් ඔබතුමාට නම් යන්න අතක් නැති වෙයි නේද?

ඒ කොහොමද ? අඩුම ගානේ ඇමති කමක් හරි අරන් මම පාර්ලිමේන්තුවට යනවා. තව පවුගේ එකෙක්වත් දේශපාලනේට ඇවිල්ලත් නෑ’ ඒ එනකල් මේක අල්ලං ඉන්න ඔනෙනේ හිටං.

ඒ අනාට පක්ෂෙ ඉන්න දැවැන්තයො පොහොට්ටුවට පනිනවා නේද? අර සිරීපාදෙ යනවා කියපු ඩයල් එක එහෙම ?

ඒ යකාට කොහොම හරි ඔනේ පද්මෙ උඩට යන්නනේ. ඔහෙ යනනෙ නැතෑ. ඇත්ත තේරුම් ගත්ත එකෙක් මෙතන ඉන්නෙ නෑනේ.

ඒ කියන්නේ මෙතන ඉන්නේ ඇත්ත තේරුම් නොගත්ත අයද?

උනුත් දන්නවා. හෙට අන්ද්දා වෙද්දි තව කී දෙනෙක් යයිද කියලා තමයි මම බයේ ඉන්නේ ?

දැන් ඔය මත් ද්‍රව්‍යවලට විරුද්ධව සටන් කරපු එකේ ප‍්‍රථිපලයක් තියෙනවද?

මොකද නැත්තේ. අර පහුගිය කාලේ පත්තර කාරයො මගේ දුවට බාර් ලයිසන් තියෙනවා කියල ප‍්‍රසිද්ධ කළේ. මම මත් දුව්‍ය වලට විරුද්ධ හින්දා දැන් ඒක මිනිස්සුන්ට විතරක් නෙවෙයි ඒව ලියපු උන්ටත් අමතක වෙලා. ඒකම මදිදි ?

ඒ මිසක්. මත් ද්‍රව්‍යනම් අඩු වෙලා නෑ ? කසිප්පු බීලම තොගයක් මැරිලා තියෙන්නේ ?

හොද වැඬේ හොද වැඬේ. ඒකනේ මම කිව්වේ. එල්ලල මරන්න ඔනෙ කියලා.

මත්පැන් බලපත‍්‍ර තියෙන අයටඊළග ඡුන්දෙදි නොමිනේෂන් දෙන්න එපා කියලා හාමුුදුරුවෝ ඉල්ලූව නේද?

ඔව්. සිංහල බෞද්ධයෙක් හැටියටත්, මහපොළොවෙන් ඉපදුණු සුජාත ගොවි පුත‍්‍රයෙක් හැටියටත් මම ඒ අන්ව තමයි කටයුතු කරන්නේ.

ඒ කියන්නේ ඔබ තුමාට ඉල්ලන්න වෙන්නෙත් නෑ ?

මට ප‍්‍රශ්නයක් නෑනේ. මට බාර් නෑනේ.

ඒ් උනාට දුවට තියෙනවනේ ?

දුවට තිබ්බට මට නෑනේ.

ඒ ඔයාගෙ දුවනේ ?

හේමලයා තමන්ව බිත්තියම තද කරන බව තේරුම්ගත් ජනාධිපතිවරයා පැනපු ගමන් රූපවාහිනිය ක‍්‍රියා විරහිත කෙරුවේ අහල පහලක දුවවත් මේක අහගෙන සිටියාදෝයි විපරම් කරමිනි.

අසංක ධර්ම  ශ්‍රී