Language Switcher

V2025

රටම දරුණු අවධානමක : මේ නාඩගම නවත්තන්න - සිවිල් සංවිධාන ජනපතිට කියන්න යයි

පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රට අරාජිකත්වයට ගමන් කරමින් ඇති බවත් එය රටේ ආර්ථිකයට මෙන්ම සමස්ථ රාජ්‍ය පද්ධතියේ දරුණු කඩා වැටීමකට ලක්වන අවධානමක් දක්වා වර්ධනය වෙමින් ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් සඳහන් කරයි.

ජනාධිපතිගේ අපේක්ෂාව අවංකද ?

උද්ගතව තිබෙන දේශපාලන අස්ථාවරත්වය පවත්වාගෙන යාමට මිස එය අවසන් කිරීමේ අවංක අපේක්ෂාවක් ජනාධිපතිවරයා වෙතින්ද පළනොවන බවත් ඒ හේතුවෙන් සමස්ථ පද්ධතියේ සිදුවන බිඳවැටීමේ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතුව තිබෙන බවත් තම සංවිධාන ඉදිරියේදී ඒ බව ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ දැනුම්දීමට කටයුතු කරන බවද සිවිල් සමාජ ක්‍රියාකාරීන් අවධාරණය කර සිටියි.

2015 ජනවාරි 08 බලපෙරලිය වෙනුවෙන් ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු මේ බව newstube.lk අමතා සඳහන් කර සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

අගමැති කවුද යන්න ප්‍රශ්නයක් නෙවෙයි

"අපිට ප්‍රශ්නයක් නෑ අගමැති වෙන්නේ රනිල්ද නිමල්ද නැත්නම් මහින්දද එහෙමත් නැත්නම් වෙනත් ඒ පාර්ශවයේම කෙනෙක්ද කියන එක. අපිට වැදගත් වෙන්නේ මේ දේශපාලන අස්ථාවරත්වය දිගින් දිගටම නඩත්තු කිරීම තුළ රට මුහුණදෙන දුෂ්කරතාවයි. ජනතාව ලක්වන පීඩනයයි. මේ වෙනකොට අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළුව සමස්ථ රාජ්‍ය පද්ධතිය අක්‍රීය වෙලා. කිසිම ඇමතිකෙනෙක් වැඩ නොකර වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නවා.

2015 බලය පෙරළුවේ මේ නාඩගම් බලන්නද?

අද අපිට මේ ආණ්ඩුවෙන් අහන්න වෙලා තියනවා අපි 2015 ජනවාරි බලපෙරලියට මහන්සි වුණේ මේ විගඩම් බලන්නද කියලා. තිබුණේ පළාත් පාලන මැතිවරණයක් මිසක් ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නෙවෙයි. ඒත් දැන් මොකක්ද මේ නටන නාඩගම. මැතිවරණ ප්‍රතිඵලය තුළ ජනතාව ආණ්ඩුවට රතු නිවේදනයක් නිකුත් කර ඇති බව පැහැදිළියි. ඒත් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව පමණද? දැන් වැඩ සිද්ධ වෙන්නේ හරියට එහෙම දෙයක් ජනතාව කියලා වගෙයි. තර්කය ඒකනම් ඉවත්වෙන්න ඕන අගමැතිවරයා විතරක් නෙවෙයි. ජනාධිපතිවරයාත් ඉවත් වෙන්න ඕන. මොකද මේ මැතිවරණයේදී ඔහු නායකත්වය දුන්න පාර්ශවයත් එජාපයට වඩා බරපතල පරාජයක් ලබා තියනවා.

ජනවරමට ගරු කරන්න

නමුත් මෙය ආණ්ඩු වෙනස් කරන්න හෝ ඒ වෙනුවෙන් වන මැතිවරණයක් නෙවෙයි. ඒ නිසා අපේ අදහස මේ ගේම් දේශපාලනය නවත්තලා දැන්වත් 2015 ජනවාරි 08 ජනවරමට අනුව කටයුතු කරන්න කියන එකයි.

විකල්ප දෙකයි : ඒ වෙනුවෙන් බලය ජනාධිපති සතුයි

එසේම දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ විකල්ප දෙකක් තිබෙන බව සඳහන් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්කෝ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමඟ ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යායුතු බවත් නැතිනම් පාර්ලිමේන්තු සැසිවාරය කල්තබා අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කරගෙන ඉදිරියට යාම සිදුකල යුතු බව පෙන්වා දෙයි. මේ විකල්ප දෙකෙන් කවරක් සිදුකිරීමට වුවත් බලය ජනාධිපතිවරයාට ඇති බවත් නීතිවේදීන් පවා මේ ගැන මේ වනවිටත් සඳහන් කර ඇති බැවින් ජනාධිපතිවරයා කඩිනම් තීන්දුවක් ගෙන මේ දේශපාලන අස්ථාවරත්වය අවසන් කළයුතු බවද ඔවුන් පෙන්වා දෙයි.