Language Switcher

V2025

මැකොස ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නම් ව්‍යවස්ථා අර්බුදයක් නෑ : අයිවන් සාක්ෂි පෙන්වයි !

මැතිවරණ කොමසාරිස්වරයා දැන හෝ නොදැන උපරිමාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදී තිබෙන බලය  නොසලකා හැරීම මගින් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වැළකීමට තිබුණ හැකියාව අහිමි කරගෙන තිබෙන බව ජේෂ්ඨ මාධ්‍යවේදී , දේශපාලන විචාරක වික්ටර් අයිවන් පෙන්වා දෙයි.

රාවය පුවත්පත ට  "යුගයක අවසානයද ?" යන ශීර්ෂයෙන් යුතුව  ලිපියක් ලියමින් ඔහු මේ පෙන්නුම් කිරීම සිදුකරයි.

අදාළ ලිපියේ එම කොටස පහත දැක්වෙයි .

(උපුටා ගැනීම )

ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වළකා ගතහැකි පහසුම මග අධිකරණ මතය ලබාගැනීමය. ජනාධිපතිවරයා ඊට කැමති නැතිවා සේ ම පුදුමයකට මෙන් මැතිවරණ කොම්සාරිස්වරයාද අධිකරණයට යන්නට කැමති නැති බව පෙනේ. එහෙත් අධිකරණය මීට පෙර මැතිවරණ කොමසාරිස්වරයාට අවවාද කොට ඔහුට ව්‍යස්ථාවෙන් ලබාදී තිබෙන බලතල හා ස්වාධීනත්වය පෙන්වා දී නිර්භීතව තීන්දු ගැනීමට අපහසු  අවස්ථා ඇත්නම් අධිකරණ කටයුතත්ක යෙදී. අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස දැනුම් දුන්නේය. (karunatilake and another v dayananada dissanayakae, commissioner of elections and others. 1999 (1) SLR p157) මැතිවරණ කොමසාරිස්වරයා දැන හෝ නොදැන උපරිමාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදී තිබෙන නොසලකා හැරීම මගින් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වැළකීමට තිබුණ හැකියාව අහිමි කරගෙන තිබෙන්නේ යැයි කිවහැකිය. දැන් කෝච්චිය තිබෙන්නේ රේල්පාරේ නොව පිටය. යන්න හදන්නේ රේල් පාරේ නොව මහපාරේය. රියදුරා පමණක් නොව දුම්රියේ සිටින මගීන්ද රේල් පාරේ යන ගමනට වඩා මහපාරේ යන්න හදන ගමනට කැමති බව පෙනේ. දැන් වියහැකිව තිබෙන දේ වසංගතය හා ඒ ආශ්‍රයෙන් ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීමට අතිරේකව ව්‍යවස්ථා අර්බුදයකටද රට තල්ලුවීමය. ඒ නිසා රටේ සමාජ-දේශපාලන ක්‍රමය මුළුමනින් කඩා වැටෙන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

(උපුටා ගැනීම අවසන් )

ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රාවය පුවත්පතට "යුගයක අවසානයද " මැයෙන් ලියූ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

වසංගත තත්ත්වයක් ඇතිවන්නට පෙරද ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබුණේ යහපත් තත්ත්වයක නොව ජරාජීර්ණ තත්ත්වයකට පත්වී කඩා බිඳ වැටීමක් ඇතිවීමට ආසන්න තත්ත්වයකය. ඒ මත වසංගතයක් කඩා වැටීමෙන් සිදුවී තිබෙන්නේ කඩා බිඳ වැටීමේ ක්‍රියාවලියේ වේගය දෙගුණ තෙගුණ වීමය.

අර්බුදයේ ආරම්භය !

ලංකාව නිදහස, බලවත් සාමූහික උත්සාහයකින් දිනාගත් රටක් නොවීම යන හේතුව සමාජ, දේශපාලන හා ආර්ථික යන අංශවල ශක්තිමත් අඩිතාලමක් ඇතිකර ගැනීමට නොහැකිවීම කෙරෙහි බලපෑවේය. නිදහස තෑගි වශයෙන් ලැබෙන දෙයක් නොවී බලවත් සාමුහික උත්සහායකින් දිනාගන්නා දෙයක් වී නම් ඒ සඳහා සමස්ත සමාජය වර්ග, කුල, ආගම් භේද නොසලකා ඒකාග්‍ර කරන්නට සිදුවීම තුළ නූතන ලාංකේය ජාතියේ අත්තිවාරම් ශක්තිමත් ලෙස ගොඩනැගෙන්න්ට ඉඩ තිබුණා සේ ම සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවන ජාතික දෘෂ්ටියක් සේ ම රටේ කටයුතු සඳහා පොදු ජාතික ප්‍රතිපත්තියක් ද ඇතිකර ගැනීමට සමත්වන්නට ඉඩ තිබුණි.

බි්‍රතාන්‍යයන් ලංකාවට නිදහස දී ලංකාව අතහැර යන අවස්ථාව වනවිට පිළිගත් සංවර්ධන මිමි අනුව ලංකාව තිබුණේ ආසියානු රටවල් අතර බැබලෙන තත්ත්වයකය. ඒක පුද්ගල අදායම අනුව ලංකාව දෙවැනි වූයේ ජපානයට පමණය. අධ්‍යාපනය, සෞඛ්‍යය, යටිතල පහසුකම් යන හැම අංශයකින්ම ලංකාව සිටියේ ආසියානු රටවල් අතර පළමු ස්ථානයේ හෝ දෙවැනි ස්ථානයේය. වර්තමානයේ දියුණු රටවල් අතරට එකතු වී සිටින සියලු ආසියානු රටවල් තිබුණේ ලංකාවට වඩා බොහෝ පසුපස සිටින තත්ත්වයකය.

නූතන ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපෑ ප්‍රධානම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. ලංකාවේ ඇතිවූ විනාශකාරී ප්‍රචණ්ඩ අරගල කෙරෙහි වර්ග, කුල, ආගම් භේද බලපෑවේය. එම ගැටුම් විශාල ජීවිත විනාශයක් ඇතිකිරීමට හේතුවූවා සේ ම විශාල දේපළ හානියක් ඇති කිරීමටද හේතුවිය. එසේම එම ගැටුම් සමාජ, දේශපාලන ක්‍රමය අවුල් කිරීමට විකෘති කිරීමට හා බෙලහීන කිරීමට හේතුවිය. ලංකාව ප්‍රබල සාමූහික සමාජ උත්සාහයකින් නිදහස දිනා නොගැනීමේ ප්‍රශ්නය දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිවීම වැළකීමට හේතුවී තිබුණා සේ ම පරිණත ජාතික නායකයින් ඇතිවීමද වළකා තිබුණි. නිදහසේ සිටම රට ගමන් කරමින් තිබුණේ විධිමත් මාර්ගයක නොව අයාලයේ යන මාර්ගයකය.

ලේ වැගිරෙන යුගයකට !

1978 දී ආණ්ඩු ක්‍රමයේ ඇති කළ වෙනස්කම් නිදහසේ සිට අයාලයේ යන ගමනේ වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩු ක්‍රමයේ ඇති කළ එම වෙනස්කම් පාර්ලිමේන්තුවට තිබුණ උත්තරීතර බලය නැති කොට රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපති අතට පත් කළේය. ඒ මගින් පාලන බලයේ අධිකාරිවාදී ස්වරූපය වර්ධනය කොට පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව තමන් භාරයේ තිබෙන පොදු දේපළ කොල්ලකා ගැනීමට ඉඩ ලැබෙන ක්‍රමයක් ඇතිකර ගත්තේය. ඒ සමග ක්‍රමයෙන් රාජ්‍යය පාලනයට ලැබෙන වැදගත්කම දෙවැනි වී වස්තු කොල්ලය ප්‍රමුඛ දේ බවට පත්විය. එම තත්ත්වය රාජ්‍යයේ ආර්ථික ශක්තිය දුර්වල කරනවාට අතිරේකව සමස්ත ආයතන ක්‍රමය දූෂිත කිරීමට හේතු විය.
ඊට සමගාමීව දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිංහල දෙමළ ප්‍රචණ්ඩ කැරලි හේතු කොටගෙන කැරලිකරුවන් සේ ම කැරලි මර්දනය කළ ආරක්ෂක හමුදාවන්ද, තරගකාරී ලෙස සමාජය මත මුදාහළ අතිවිශාල කෲරත්වය මරණ බියෙන් ජීවත් වූ සමාජ මනස විකෘති කොට රෝගි කිරීමට හේතුවිය. ඒ නිසා සාධාරණව හා තර්කානුකූලව කරුණු සලකා බැලීමට සමාජයට තිබුණු හැකියාව නැති කිරීමට හෝ දුර්වල කිරීමට හේතුවිය.

ප්‍රතිසංස්කරණ නොසලකා හැරීම !

අභ්‍යන්තර යුද්ධය අවසන් කෙරුණු 2009 වසර අවසානය වනවිට සමාජ ක්‍රමය කැබලි වී තිබුණ අතර රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබුණි. ප්‍රචණ්ඩ කැරලි පරාජය කරන්නට රාජ්‍යය සමත් වී තිබුණද කැරලිවලින් රාජ්‍යයටද බරපතළ හානි සිදුවී තිබුණි. රාජ්‍යයේ ආයතන ක්‍රමය පැවතියේ අකාර්යක්ෂම හා දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය.
එතැන් සිට යන යහපත් ගමනක් සඳහා කැබලි වී තිබූ ජාතිය ඒකාග්‍ර කිරීමට හේතුවන හා රාජ්‍යයේ කොල්ලකාරී ස්වභාවය, අකාර්යක්ෂමතාව හා දූෂිත ස්වභාවය තුරන් කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යායුතුව තිබුණි. එහෙත් යුද්ධය ජයගත් පාලක පක්ෂය ඒ බව නොසලකා යුද ජයග්‍රහණයේ උද්දාමයෙන් පමණක් ඉදිරියට යන්න උත්සාහ කළේය. 2015 ලැබූ පරාජය ඊට ලැබුණු දඬුවම ලෙස සැලකිය හැකිය. ඉන්පසු බලයට පත්වන යහපාලන පාලක පක්ෂයද අත්‍යවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ නොසලකා ව්‍යාජ ප්‍රතිසංස්කරණ ඔස්සේ ඉදිරියට යන්නට දරන වෑයම අවසන් වූයේ හාස්‍යජනක ආකාරයකටය.

අර්බුදය මත කඩා වැටුණු වසංගතය !

එහිම ඊළඟ ප්‍රතිඵලය වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ රට සුවපහසු ලෙස පාලනය කළ හැකි තත්ත්වයක තිබෙන අවස්ථාවක නො ව, රට පූර්ණ බිඳ වැටීමකට ගමන් ගනිමින් තිබූ අවස්ථාවකදීය. නව ජනාධිපති තෝරාපත් කරගනු ලැබුවේ මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා මහජන ඡන්දයකින් වුවද එසේ තේරී පත්වූ ජනාධිපතිට විධායක බලයක් නොතිබුණි. විධායක බලය තිබුණේ පාර්ලිමේන්තුවෙන් තෝර පත් කරගත් අගමැති ප්‍රමුඛ කැබිනට මණ්ඩලයටය. එහෙත් උත්ප්‍රාසජනක දේ වනුයේ ගෝඨාභය බලයට පත් කළ ජනයා සිය නායකයාට පරම බලයක් ඇතැයි විශ්වාස කිරීමය. එහිදී ලොකු වැරදීමක් හෝ මුලාවීමක් සිදුවී තිබෙන බව පෙනේ. ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසුව ආණ්ඩු බලය තිබූ පක්ෂය බලය අතහැර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබූ ජයග්‍රාහී පක්ෂයට බලය දුන්නේය. ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩි බලයක් ලබා ගැනීමේ අරමුනින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන්කම ලැබුණු පළමු දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර නාමයෝජනා හා මැතිවරණය සඳහා දින නියම කළේය. එහෙත් ඒ සමග කරළියට පැමිණ තිබූ කොරෝනා වසංගතය නිසා මැතිවරණ කොමිසම නාමයෝජනා භාරගත්තද නියම කළ දිනට මැතිවරණය පැවැත්වීමට එකඟ නොවී මැතිවරණය කල් දැමීය. එය මැතිවරණ කොමිසමට තෝරා ගත හැකිව තිබූ හොඳම ප්‍රතිපත්තිය විය හැකි වුවත් ආණ්ඩුවේ දෘෂ්ටි කෝණයෙන් බලනවිට එය ආණ්ඩුවේ දේශපාලන අභිලාෂයන් සමග ගැළපුණේ නැත.

ව්‍යවස්ථාවට අනුව නාමයෝජනාවලින් පසුව මුදල් වැය කිරීමේ බලය ජනාධිපතිට ලැබුණද, එය තුන් මාසයක කාලරාමුවකට යටත්ය. ආණ්ඩුවේ පැත්තෙන් බලන විට ආණ්ඩුවට වඩාත්ම වැදගත් වූයේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිකර ගනිමින් පාලන බලය ස්ථාපිත කරගැනීමය. එජාපය දෙකඩ වී තිබුණු තත්ත්වය තුළ පහසු මැතිවරණ ජයක් අපේක්ෂා කළ හැකිය. මැතිවරණය කල් දමන තත්ත්වයක් චිත්‍රය වෙනස් කිරීමට හේතුවිය හැකිය. ඒ නිසා මැතිවරණය කල් තබන වැඩසටහනකට ආණ්ඩුවට එකඟවීමට පුළුවන්කමක් නොතිබුණි. එවැනි දේකට එකඟ වුවහොත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්නට සිදුවේ. එවිට පාලන බලය පවත්වාගෙන යාමට සිදුවන්නේ බහුතර බලයක් නැතිවය. අනෙක් අතට කල්පසුවී පවත්වන මැතිවරණයක් කෙරෙහි වසංගතය හා ආර්ථික අර්බුද පාලනයේදී පෙන්නුම් කරන හොඳ නරකද බලපායි. ආණ්ඩුවට තෝරාගත හැකි වාසිදායකම විකල්පය වනුයේ ඉක්මන් මැතිවරණයක් ලබාගැනීමය.

උභතෝකෝටිකය !

ඉක්මන් මැතිවරණයක් සඳහා වන ආණ්ඩුවේ ප්‍රවේශය රටේ පැවති වසංගත තත්ත්වය සමග ගැළපුණේ නැත. වසංගත තත්ත්වය ඉදිරියේ ව්‍යස්ථාවේ එන කාලරාමුවට ගැළපෙන ලෙස මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොතිබුණු නිසා ඒ ආශ්‍රයෙන් ඇතිවන ගැටලු විසඳාගැනීම සදහා උපරිම අධිකරණයේ මගපෙන්වීම් ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම උපදේශය ජනාධිපතිවරයා පිළිගත්තේ නැත. ඒ වෙනුවට මැතිවරණය සදහා සුදුසු වෙනත් දිනයක් ලබාදීම කොමිසමේ වගකීමක් බව ජනාධිපති වෙනුවෙන් ජනාධිපති ලේකම් කොමිසමට යවන පිළිතුරු ලිපියක් මගින් කියා සිටියේය.

ඉක්මන් මැතිවරණයක් දිනා ගැනීම සඳහා ආණ්ඩුව යොදා ගනිමින් තිබූ උපාය මාර්ගය වූයේ වසංගත තත්ත්වය පහවී ඇති බව පෙන්වීම මගින් ඉක්මන් මැතිවරණයක් සදහා කොමිසමෙන් දිනයක් ලබාගැනීමය. අප්‍රේල් 19 වනදා වනවිට වසංගත තත්ත්වය අවසන් වන බව එත්තු ගැන්වීම සඳහා ප්‍රචාරක වැඩසටහනක්ද ක්‍රියාවට නගන ලද අතර ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීම සඳහාද ක්‍රියා කරන ලදි.

මැතිවරණ කොමිසම මැතිවරණය ගැන නැවත කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් 20 වනදා රැස්වීමට නියමිතව තිබුණි. ඒ වන විට කොමිසමේ සාමාජිකයින් අතර මතභේද ඇතිවී තිබෙන බවද පිටතට පෙනෙන්නට තිබුණි. අප්‍රේල් 19 වැනිදා. ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් වාර්තාවීමත් සමග ආණ්ඩුව ක්‍රියාවට නගා තිබුණ උපායමාර්ගික වැඩසටහනේද බිඳ වැටීමක් සිදුවිය.

අප්‍රේල් 20 වැනිදා රැස්වූ මැතිවරණ කොමිසම ප්‍රකාශිත පරණ ප්‍රතිපත්තියෙන් පිට පැන මැතිවරණය පැවැත්වෙන දිනය වශයෙන් අරමුණ තේරුම් ගැනීමට පහසු නැති දිනයක් ප්‍රකාශයට පත් කළේය. ඒ ජූනි 20 වැනිදාය. ප්‍රකාශයට පත්කර තිබෙන දිනය හා ව්‍යවස්ථාවේ නියමයන් අතර පරස්පරතාවක් පවතී. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මාර්තු 2 වැනිදාය. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව රැස්විය යුත්තේ ජූනි 2වනදා හෝ ඊට පෙරය. අනෙක් අතට වසංගතය පැතිර තිබෙන තත්ත්වය අනුව ජූනිවලදී මැතිවරණයක් පැවැත්විය නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

 අර්බුදයක් ඇතිවීම වළකා ගතහැකි පහසුම මග අධිකරණ මතය ලබාගැනීමය. ජනාධිපතිවරයා ඊට කැමති නැතිවා සේ ම පුදුමයකට මෙන් මැතිවරණ කොම්සාරිස්වරයාද අධිකරණයට යන්නට කැමති නැති බව පෙනේ. එහෙත් අධිකරණය මීට පෙර මැතිවරණ කොමසාරිස්වරයාට අවවාද කොට ඔහුට ව්‍යස්ථාවෙන් ලබාදී තිබෙන බලතල හා ස්වාධීනත්වය පෙන්වා දී නිර්භීතව තීන්දු ගැනීමට අපහසු  අවස්ථා ඇත්නම් අධිකරණ කටයුතත්ක යෙදී. අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස දැනුම් දුන්නේය. (karunatilake and another v dayananada dissanayakae, commissioner of elections and others. 1999 (1) SLR p157) මැතිවරණ කොමසාරිස්වරයා දැන හෝ නොදැන උපරිමාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදී තිබෙන නොසලකා හැරීම මගින්  අර්බුදයක් ඇතිවීම වැළකීමට තිබුණ හැකියාව අහිමි කරගෙන තිබෙන්නේ යැයි කිවහැකිය. දැන් කෝච්චිය තිබෙන්නේ රේල්පාරේ නොව පිටය. යන්න හදන්නේ රේල් පාරේ නොව මහපාරේය. රියදුරා පමණක් නොව දුම්රියේ සිටින මගීන්ද රේල් පාරේ යන ගමනට වඩා මහපාරේ යන්න හදන ගමනට කැමති බව පෙනේ. දැන් වියහැකිව තිබෙන දේ වසංගතය හා ඒ ආශ්‍රයෙන් ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීමට අතිරේකව ව්‍යවස්ථා අර්බුදයකටද රට තල්ලුවීමය. ඒ නිසා රටේ සමාජ-දේශපාලන ක්‍රමය මුළුමනින් කඩා වැටෙන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

යුගයක අවසානය ද?

වසංගතය කඩා වැටෙන්නට පෙරත් රට තිබුණේ යහපත් තත්ත්වයක නොව ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබුණ සමස්ත දේශපාලන ක්‍රමය කඩා බිඳ වැටෙන්නට ආසන්න තත්ත්වයකය. ඒ මත වසංගතය කඩා වැටීමෙන් සිදුවී තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ කඩා බිඳ වැටීමේ ක්‍රියාදාමය වේගවත් වීමය. එය සමාජ බලපෑමෙන් සිදුවන දෙයක් නොව ක්‍රමයේ අභ්‍යන්තර රීති මත සිදුවන්නකි. නිවසක් හොඳටම ජරාජීර්ණ වූ පසු ඒ නිවසේ නිවැසියන් එම ජරාජීර්ණ වූ නිවස කඩා බිඳ නොදමා තවදුරටත් එහි වෙසෙන්නේ නම් කිසියම් අවස්ථාවකදී එය කඩා දැමීමකින් තොරව කඩා වැටෙනු ඇත්තේය. ලංකාවේ දේශපාලන ක්‍රමයට සිදුවන්නට යන්නේත් එයම විය හැකිය.

කොරෝනා වසංගතය ලංකාවේ මනුෂ්‍ය ජීවිතවලට ඇති කරන්නට යන බලපෑමේ තරම පැහැදිලි නැත. එහෙත් එය දැනටමත් සමාජ දේශපාලන හා ආර්ථිකය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම සුවිශාලය. සමාජ ක්‍රමය තිබෙන්නේ මුළුමනින් කඩා බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. රාජ්‍යය තිබෙන්නේද කොරෝනාවලට ලැබෙන ආධාරවලින් ගැට ගසාගෙන යන අසරණ තත්ත්වයකය. රජයට ආදායම් ලැබෙන සියලු ආර්ථික මාර්ග බිඳ වැටී තිබේ. පුද්ගලික අංශයේ ද ක්‍රියාකාරීත්වය විශාල ප්‍රමාණයකට හැකිළී තිබෙන අතර ලක්ෂ ගණනකට රක්ෂා අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ලංකාවේ එක යුගයක් මහජනයාගේ බලපෑම නිසා නොව අභ්‍යන්තර සාධක මත අවසානයක් කරා ගමන් ගනිමින් තිබෙන බව පෙනේ. ඉන්පසු එළැඹෙන යුගය ගෙවී ගිය යුගයට වඩා ඉදිරිගාමීද පසුගාමීද යන්න තවමත් පැහැදිලි නැත. ■