Language Switcher

V2025

මෘතදේහ බහාලුම් ඉල්ලු ලිපිය : ෆැසිස්ට් යෝජනාවක් සමග මිලින්ද කරුණු පහදයි !

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හා ආරක්ෂිත  මෘත දේහ බහාලුම් 1000ක් ජාත්‍යන්තර රතු රතු කුරුස සංගමයෙන් ඉල්ලා ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ලිපිය අදාළ අතිරේක ලේකම් විසින් පිළිගෙන ඇත.
 
ඒ බව තහවුරුවක් ඇති අතර එවැනි ලිපියක් යොමුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා තහවුරු කළ බව 'ලංකා වෙබ්' අඩවිය ද වාර්තා කර ඇත.
 
එසේම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පොදුජන පෙරමුණ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ  අදාළ ලිපිය සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇත.
 
IMG 20200426 WA0000
 
නෙක්ස්ට් ජෙනරේෂන් කියන ෆැසිස්ට් වහල් අවිඥාන !
 
මෙහිදී මිලින්ද විසින් අදාළ කරුණු පැහැදිලි කිරීමට අමතරව ෆැසිස්ට් රාජ්‍යක් වෙනුවෙන් පාලක ආමන්ත්‍රණයක් සිදුකර ඇත.
 
ඊට අදාළ උපුටා දැක්වීම මෙසේය.
 
"දැන් ඇත්ත ප්‍රශ්නෙට එමු. මේ ලියුම මහජනතාව කැළඹෙන පරිදි එලියට දැම්මෙ කවුද? මම දැක්ක පිරිමි නර්ස් කෙනෙක් සහ දොස්තර කෙනෙක් කියල හදුන්වා ගන්න දෙන්නෙක් ෆේස්බුක් එකේ දාල තිබ්බ ආණ්ඩුව මිනිස්සු දාහස් වලලන්න ලෑස්ති වෙනව කියල. රාජ්‍ය බුද්ධි අංශ වහාම මැදිහත්වී මේ පුවත් මවන්නන්, ජනතාව උසි ගන්වන්නන්, බොරු ප්‍රචාර යවන්නන් ප්‍රශ්න කල යුතුයි."
(උපුටා දැක්වීම අවසන්)
 
මේ සටහන තබා ඇති ආකාරයට නම් මේ ආණ්ඩුවේ  නෙක්ස්ට් ජෙනරේෂන් එළැඹුම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, අයිතිය පිළිගන්නා තත්ත්වයක නැත. 
තොරතුරු බෙදාගන්න භීතිය ඇති කිරීම සහ තොරතුරු දැනගැනීම අධෛර්යයට පත්කිරීමේ  සැසිස්ට් වහල් බවේ මානසික ප්‍රකාශනයකි.
දියුණු දේශපාලනයක් ගැන අදහස් දක්වපු මිලින්දලා බලය ලද පසු හැසිරීම මෙහෙමය. ඒ අර්ථයෙන් පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහන්නන් පට්ට අවංකය.
පහත දක්වා ඇත්තේ මිලින්ද රාජපක්ෂ තැබූ සම්පූර්ණ සටහනය. 
 
 මෘතදේහ බහාලුම් 1000ක් ජාත්‍යන්තර රතුකුරුසෙන් ඉල්ලපු ලියුමේ ඇත්ත කතාව තේරුම් ගැනීම වැදගත්. ඒ ගැන තොරතුරු මේ ලියුම අත්සන් කරපු දොස්තර සුනිල් ද අල්විස් මහතාට කතාකරල මම හොයා ගත්ත. ඔහු තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා සැපයුම් භාර අතිරේක ලේකම්. 
 
මේ බහාලුම් 300 ක් විතර ගිය මාසයේ අමාත්‍යාංශය සතුව තිබිල. සෞඛ්‍ය බලධාරීන් තීරණයක් ගන්නවා රට පුරා රෝහල් වල සිදුවන හදුනානොගත් / ලෙඩේ තහවුරු කර නොගත් මරණ සියල්ලම මේ බහාලුම් වලට දාන්න. උදාහරණයක් විදියට නිකන් නිව්මෝනියාව හැදිල මැරුණත් දාන්නෙ මේ බෑග්වලට. ඒක වැඩි හොදට අපි ගත්ත බුද්ධිමත් සෞඛ්‍ය තීරණයක්. ඉතින් අර බහාලුම් 300 රට පුරා බෙදල ඉවර වෙනවා. අලුත් බහාලුම් ඕන වෙනවා ඊලග මාස වල බෙදන්න. ඉතින් පුරුදු විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය 1000 ක් ඉල්ලනව රතු කුරුසෙන්. මේ වෙනකොට කොරෝනා වලින් ලංකාවෙ මැරුනෙ 7 යි. 
 
‍රතු කුරුසෙ, ජාත්‍යන්තර ආධාර දෙන ආයතනයක් විදියට අමාත්‍යාංශයෙන් request letter එකක් ඉල්ලනව. අතිරේක ලේකම් දොස්තර සුනිල් ද අල්විස් මහත්තයාගේ අත්සනට මේ ලියුම එයාගෙ කණිෂ්ඨ නිළධාරින් හදල යවනවා. මේ වගේ ලියුම් දෙතුන් සීයක් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් දවසට අත්සන් කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙලාවේ ලංකාවේ බිසීම තැන. අපි මුලින්ම කතාකරද්දි මේ ලිපිය ගැන ඔහුට මතකයක් හෝ අවබෝධයක් තිබ්බේ නෑ. මේ කලබල අස්සේ ඒකත් සාධාරණයි. 
 
දැන් ඇත්ත ප්‍රශ්නෙට එමු. මේ ලියුම මහජනතාව කැළඹෙන පරිදි එලියට දැම්මෙ කවුද? මම දැක්ක පිරිමි නර්ස් කෙනෙක් සහ දොස්තර කෙනෙක් කියල හදුන්වා ගන්න දෙන්නෙක් ෆේස්බුක් එකේ දාල තිබ්බ ආණ්ඩුව මිනිස්සු දාහස් වලලන්න ලෑස්ති වෙනව කියල. රාජ්‍ය බුද්ධි අංශ වහාම මැදිහත්වී මේ පුවත් මවන්නන්, ජනතාව උසි ගන්වන්නන්, බොරු ප්‍රචාර යවන්නන් ප්‍රශ්න කල යුතුයි. 
 
මිලින්ද රාජපක්ෂ