Language Switcher

V2025

අගමැතිධූරයේ වෙනසක් නෑ : ජනපති - අගමැති- කතානායක හමුවේදී එකඟතාවක්

රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය අවසන් කරමින් අග්‍රාමාත්‍යධූරයේ කිසිඳු වෙනසකින් තොරව ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (18) සන්ධ්‍යාවේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී අදාළ තීන්දුව ගනුලැබූ බවද වාර්තා වෙයි.

එහිදී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ විෂයපථ වෙනස් කිරීම ඇතුළුව කරුණු ගණනාවකට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.

එසේම මෙම හමුවේදී යම්කිසි ආකාරයකින් පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමේ අභියෝගයක් පැමිණියහොත් ඊට මුහුණදීමට සුදානම්ද යනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වෙතින් විමසා ඇති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් පාර්ලිමේන්තුවේ බහුතර පෙන්වීම වෙනුවෙන් ඕනෑම මොහොතක සුදානමින් සිටින බවය.

මෙම සාකච්ඡාව සඳහා කතානායකවරයා මැදිහත්ව තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවය සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර මතුව ඇති දේශපාලන ආතතිගත තත්ත්වය සමනය කරන්න මැදිහත් වන ලෙස ආගමික නායකයින් කතානායකවරයාට කර ඇති බලපෑම නිසාය.

කෙසේ වුවත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ කතානායකවරයා අතර පැවති සාකච්ඡා අවසානයේ අග්‍රාමාත්‍යවරයා සිය නිල නිවසේ සුදානම් කර තිබු පාර්ලිමේන්තු කණ්ඩායමේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා පැමිණ ඇති අතර එහිදී අදාළ තීන්දුව පිළිබඳ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

ශ්‍රීලනිප පාර්ශවය තවමත් අගමැති සිහිනයේ

මේ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධූරයේ සිටින තුරු ආණ්ඩුවට සහය ලබානොදෙන බවට සඵත කළ ශ්‍රීලනිප මැති ඇමතිවරු අදාළ තීරණය හමුවේ බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.

එසේම එම පාර්ශවයද මේ වන විට පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පැවසුවද ඊට අවශ්‍ය අත්සන් ප්‍රමාණය ලබාගැනීමට නොහැකිවූ බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් ඔවුන් තවමත් එම උත්සාහයේ නිරතව සිටින බවද එම පාර්ශවයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ශ්‍රීලනිප උදවිය රෙදි ඇඳගෙන අගමැති රනිල් ගාවට යනවාද - ඒකාබද්ධ

මේ අතර කතානායකවරයාව දේශපාලන අතකොළුවක් බවට පත්කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් මේ වන විට ජනාධිපතිවරයාගේ හැසිරීම මුළුමනින්ම පාහේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයෙන් ඈතට යමින් ඇති ස්වභාවයක් පෙන්නුම් කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිචාරය දැනගැනීම සඳහා එහි ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරයෙකු ඇමතු අවස්ථාවේ ඔහු මේ අදහස් පළකර සිටියේය.

එසේම අගමැති නිමල්ද නැතිනම් රනිල්ද යන ප්‍රශ්නය තමන්ට අදාළ නොවන බවත් ජනාධිපතිවරයා කෙලින් තීන්දුවක් ගැනීමට නොහැකිවීම තුළ සිය සහෝදර පක්ෂයේ නායකයකු ලෙස නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයාට අගමැති වීමට නොහැකිවීම ගැන දුකක් පමණක් ඇති බවද ඔහු පැවසීය.

ජනාධිපතිට සහය දුන්න හැමෝම දැන් අනාථයි

කෙසේ වුවත් රනිල් අගමැතිව සිටින තුරු ආණ්ඩුවට එක්නොවන බව පැවසු ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ දේශපාලන කශේරුව දෙස තම කණ්ඩායම විමසිල්ලෙන් සිටින බවද එම මන්ත්‍රීවරයා පැවසීය.

එසේම ඉදිරියේ වුවද ඕනෑම අවස්ථාවක ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට තම පාර්ශවය සහය දෙන බවද පැවසු එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ නමුත් වත්මන් ජනාධිපතිවරයා මේ වන විට යහපාලන ආණ්ඩුව අමතක කර 2020 ජනාධිපතිවරණයට සුදානම් වන බවක් පෙනෙන්නට ඇති බවත් ඒ හමුවේ ජනාධිපතිවීමට පෙර ඔහු සමඟ පැමිණි පිරිස මෙන්ම ජනාධිපතිවුවාට පසු ඔහු සමඟ ගිය පිරිස යන දෙපාර්ශවයම බාල්දු වෙමින් සිටින බවය.

 සබැඳි පුවත

අගමැතිධූරයේ වෙනසක් නෑ : ජනපති - අගමැති- කතානායක හමුවේදී එකඟතාවක්

 ජනපති - අගමැති ‘ගැටුම‘ නිමයි - සුසිල් විපක්ෂයට - නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා