Language Switcher

V2025

ජනාධිපතිගේ හදිසි ගැසට් නිවේදනය තාවකාලිකව ඉවත් කරගෙන

ජනාධිපතිවරයාගේ දැනුම්දීම අනුව පාර්ලිමේන්තුව විසිරවීම දැනුම්දීමට සුදානම් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනයක් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ දැනුම්දීමකට අනුව අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

අගමැති - කතානායක ජනාධිපති නිල නිවසේ සාකච්ඡා

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙන්නේ ජනාධිපති නිල නිවසේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය අතර පැවැත්වුණු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් ය.

කරූ අගමැති කිරීමේ මෙහෙයුම අඛණ්ඩව

කෙසේ වුවත් මේ වන විටත් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත්කර ඒ වෙනුවට කතානායක කරු ජයසූරිය පත්කිරීම සඳහා ජනාධිපතිවරයා දියත් කල දේශපාලන මෙහෙයුම තවමත් ක්‍රියාත්මක බවද විශ්වාසවන්ත ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

2020 ජනාධිපතිවරණය ඉලක්ක කළ මෙහෙයුමක් !

එසේම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට කතානායක කරු ජයසූරිය අගමැති කිරීම සඳහා ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ සුදානම ඇතුව බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකුද මීට පෙර newstube.lk වෙත අනාවරණය කළ අතර පහත සබැඳියාව ඔස්සේ එය නැවත කියවන්න.

"මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න - ඒකාබද්ධ විපක්ෂය"

එජාප බහුතරය පෙන්වීමේ ලියවිල්ලත් අතරමග

මේ අතර විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් පවතින බව පෙන්වීම සඳහා වන ලියවිල්ලකට අත්සන් තැබීමේ වැඩපිළිවෙලක් අද (18) රාත්‍රියේ දියත්කරන්නට කටයුතු සුදානම් කර තිබූ බවය.

එසේම එම ලියවිල්ලට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබුණේ පුජ්‍ය අතුරලියේ රතන හිමි, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පමණක් බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

රංගේ බණ්ඩාරගේ ස්ථාවරය

තමන්ට ආනමඩුව ආසනයේ එජාප දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා පක්ෂ නායකත්වය වෙතින් කිසිඳු සහයක් නොලැබුණු බව පවසමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අදාළ ලියවිල්ලට තම අත්සන තැබීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි. එසේම තමන් පක්ෂය වෙනුවෙන් ඉදිරියේදී සහය දක්වා සිටින්නේ එජාප නායකත්ව මණ්ඩලයේ දේශපාලන වෙනස් වීමක් සිදුවීමෙන් පසුව බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී දැනුම්දී ඇති බවද වාර්තා වෙයි. මේ අතර අද (18) ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමටද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබිණ.

කෙසේ වුවත් නිලනොවන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරයා මෛත්‍රී පාර්ශවයට සහය දීමට තීරණය කර ඇති බවත් ඒ අනුව තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් අමාත්‍යවරයා සහය ලබාදීමට තීරණය කර ඇති බවය.

බහුතරය පෙන්වන්න එජාපය සුදානම්

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමේ සුදානමකින් සිටින බවත් අනතුරුව කැබිනට් සාමාජිකයින් තිහකගෙන් (30) සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පවා මේ වන විට සකස්කර අවසන් බවද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව විසුරවන ගැසට් නිවේදනයෙන් ශ්‍රීලනිපය ගැස්සෙයි

මේ අතර ජනාධිපතිවරයාගේ දැනුම්දීම මත පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනයක් සුදානම් කර තිබු බව අනාවරණය වීමෙන් පසුව තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීම සඳහා උත්සාහ කළ පාර්ශව බලවත් අපහසුතාවකට පත්ව සිටින බවද වාර්තා වෙයි.

එම පාර්ශවයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින පසුබිමේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනයක් සකස්කර තිබූ බවක් පිළිබඳ ඔවුන් කිසිවෙක් දැනුවත්ව සිට නොමැත.

අපිට 103ක් හොයන්න කිව්වා : ඉතිරි 17 ජනාධිපති දෙන්නම් කිව්වා - ශ්‍රීලනිප

එසේම ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් මන්ත්‍රීවරුන් 120ක් පෙන්වීමේ ඉලක්කයක් ඇතුව කටයුතු කළ බවත් එහිදී මන්ත්‍රීවරුන් 103ක අත්සන් එකතු කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බවත් ඉතිරි මන්ත්‍රීවරුන් 17 සැපයීමේ වගකීම ජනාධිපතිවරයා ගෙන තිබූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඒ අනුව ඔවුන් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ අපේක්ෂාවක් පැවතියා නම් මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් වෙනුවෙන් වෙහෙසීමට අවශ්‍යතාවක් නොමැති බවය.

එසේම අගමැතිවරයා කවුද යන්න හෝ පාර්ලිමේන්තුව විසුරවා යළිත් මහමැතිවරණයක් සඳහා යනවා නම් ඒ පිළිබඳ තමන්ට කිසිඳු ගැටළුවක් නොමැති බවත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට වෙනස් ප්‍රතිඵලයක් එහිදී ලැබෙයි කියා තමන් විශ්වාස නොකරන බවද ඔවුන් සඳහන් කරයි.

අගමැති කවුද යන්න අපටත් ප්‍රශ්නයක් නොවෙයි - ශ්‍රීලනිප

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එජාප සහය ලබන ආණ්ඩුවක් බිහිකරනවා නම් එහි අගමැතිවරයා වන්නේ කතානායක කරු ජයසූරියද නැද්ද යන්නද තමන්ට ප්‍රශ්නයක් නොවන බවය. තමන් මේ වන තුරු යහපාලන සම්මුති ආණ්ඩුවට සහය දැක්වුයේ මෛත්‍රී ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති වශයෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බවත් එසේ නොවන්න මේ වන විටත් තම පාර්ශවය හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යහපාලන ආණ්ඩු විරෝධී පාර්ශවය නියෝජනය කරන්නට ඉඩතිබු බවද එම පාර්ශවය සඳහන් කරයි.

ජනාධිපතිගේ වැඩ ගැන ආණ්ඩුවේ රහස් කතා

මේ අතර පවතින දේශපාලන අස්ථාවරත්වය ජනාධිපතිවරයා විසින් දැනුවත්ව පවත්වාගෙන යන්නක් බවට යහපාලන සම්මුති ආණ්ඩුව අභ්‍යන්තරයේ සංවාදයක් මතුව ඇති බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

පළාත් පාලන මැතිවරණය අවසන්වී සතියකට ආසන්න කාලයක් ගතවී ඇතත් එම ප්‍රතිඵලය පදනම් කරගෙන ආණ්ඩු වෙනසක් යෝජනා කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවත් ඒ හැර අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීමක් සම්බන්ධව කතාබහක් ආණ්ඩු අභ්‍යන්තරයේ නොපැවති බවද එහිදී අවධානයට යොමුව ඇත.

කරූ අගමැති කරන වුවමනාව කාටද ?

කතානායක කරු ජයසුරියව අග්‍රාමාත්‍යවරයා කිරීමට එජාප හෝ ශ්‍රීලනිප කිසිවෙකුට අවශ්‍යනොවූ පසුබිමක තව දුරටත් ඔහුව කේන්ද්‍ර කරගෙන අගමැති වෙනස සිදුකිරීමට ගනිමින් තිබෙන උත්සාහය ගැනද එහිදී එජාප- ශ්‍රීලනිප පාර්ශව වල අවධානයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු අභ්‍යන්තරයට තොරතුරු එවයි

කරු ජයසුරිය අගමැතිවරයා බවට පත්කිරීමට යෝජනා විය යුතු වන්නේ එජාප පාර්ශවයෙන් බවත් ඒ හැර එජාප පාර්ලිමේන්තු කණ්ඩායම හෝ කතානායක කරු ජයසුරිය පවා නොදැන ඔහුව අගමැතිධුරයට යෝජනා වීම සැකසහිත කරුණක් බවද මෙම පාර්ශව අතර සාකච්ඡා වී ඇත.

මේ පිළිබඳ එජාප- ශ්‍රීලනිප මැති ඇමතිවරුන් අතරද රහස් සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් කිහිපදෙනෙකුද අවස්ථා කිහිපයකදී තම පාර්ශවයට ලැබී ඇති තොරතුරු අනාවරණය කර ඇති බවද වාර්තා වෙයි.