කොවිඩ් 19 : වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ අවිධිමත් - රවී කුමුදේශ්

 කොවිඩ් 19 : වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ අවිධිමත් - රවී කුමුදේශ්

වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීය විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් රාවය පුවත්පතේ ඉඳුනිල්  උස්ගොඩ ආරච්චි සමග සිදුකළ සාකච්ඡාවකි.

මේ වන විට වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තිකයන්ගේ සේවය කොවිඞ් පාලන කටයුතුවලට යොදා ගෙන තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්විය හැකි ද?

වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන් විධියට අපි මේ අභියෝගය භාරගෙන සියයට සියයක දායකත්වය ලබාදෙන්න මුල සිටම සූදානමින් ඉන්නවා. දැනට අපි ප්‍රධාන රෝහල්වල රෝගීන් ඇතුළත් කිරීමේ දී ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධව සහ රෝග තත්ත්වය උත්සන්න නොවී පවත්වා ගන්න අවශ්‍ය සියලු පරීක්ෂණ අවම පහසුකම් යටතේ ඇති අවදානම් තත්ත්වයත් සමග කරනවා. මොකද අපි ඉල්ලන ලද පහසුකම් ලැබිලා නැහැ. පහසුකම් ඉල්ලුුවේ  කාර්ය මණ්ඩලයට නෙමෙයි, රෝගය නිදර්ශක හරහා බෝවීම වැළැක්වීම සඳහා විශේෂ විධික්‍රමයක් ඉල්ලුවා. දළ නිදර්ශකය විවෘත කරන්නේ නැතිව මේක කරගෙන යන්න පුළුවන් විධියේ සහ රසායනාගාරවල වාතාශ්‍රය පිරිසිදු කිරීමේ ක්‍රමවේද වැනි පොඩි ඇටවුම් පද්ධතියක් අපි ඉල්ලලා තිබුණත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කටයුතු කර නැහැ. අවම තරමේ ඒකට තාක්ෂණික ඇගයීම් කමිටුවක්වත් ඒ සඳහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙකු පත් කිරීමවත් කර නැහැ.

ඒ කියන්නේ මෙවැනි ලෝක වසංගත තත්ත්වයකදී වෛද්‍ය රසායනාගාර සේවාව සෞඛ්‍ය අංශයේ ප්‍රධාන ස්ථානයක් ගන්නා අංශයක් වුවත් ඊට හිමිවිය යුතු අවධානය හෝ ඉන් නිසි ප්‍රයෝජනය ලබා ගන්න අදාළ බලධාරීන් සූදානම් නැද්ද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලින්ම ඇති කළ අංශ තුනෙන් එකක් තමයි රසායනාගාර සේවාව කියන්නේ. ඒකට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා. ඒ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙතෙක් කල් වැඩ කරන්න දුන්නෙත් නැහැ. මෙවැනි වසංගත තත්ත්වයක් තිබියදී ඔවුන් හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව විශ්‍රාම ගැන්වූවා. ඊට පස්සේ කෙනෙක් පත් කළේත් නෑ. ඒ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරද්දී තවත් ප්‍රධානියෙක් පත් කළා, ඔහු මේ රසායනාගාර සේවාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති කෙනෙක්. මේ කාරණා ඔස්සේ රසායනාගාර සේවාව සම්පූර්ණයෙන් ම අවතක්සේරු කර නොසලකා හැර දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන්නේ වෙනත් තැනකින් රසායනාගාර සේවාව පාලනය කරන තත්ත්වයක්.

පීසීආර් පරීක්ෂණය සහ හඳුනා ගැනීමේ පරීක්ෂණය කරන්න රසායනාගාරවල වැඩ කළ පූර්ව නිපුණතාවක් ඇති අය දෙසීයක නාමලේඛනයක් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට යවලා තියනවා, ඕනෑම වෙලාවක රසායනාගාරයක් තුළ හෝ රසායනාගාරයෙන් පිටත ක්ෂේත්‍රගතව මේ පරීක්ෂණ කරන්න මේ කණ්ඩායම සූදානම් කියලා දන්වලා තියනවා. නමුත් අපිට තියෙන ගැටලුව සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම වෛරසවේදීන් කීපදෙනෙක් කියන කාරණාවන්ට අනුගත වෙමින් මේ රසායනාගාර පරීක්ෂණ නිවැරදි විධියට කරන්නේ නැතිවීම සහ අදාළ වෘත්තික කණ්ඩායම්වල උපදෙස් නොසලකා හරින්න උත්සාහ කිරීමයි. විශේෂයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අද වන තුරු අපේ වෘත්තීයවේදී ආයතනයත් එක්ක සාකච්ඡාවක් කරලා නැහැ, ඔහු ඒක උවමනාවෙන්ම මග හරිනවා.

80%ක් කොවිඞ් රෝගීන්ට රෝග ලක්ෂණ නැහැ. එහෙම තත්ත්වයක් තුළ රෝගීන් හඳුනා ගන්න වෙන්නේ පරීක්ෂණ කිරීමෙන්ම පමණ යි. නමුත් මුල සිටම අවශ්‍ය ප්‍රමාණයට පරීක්ෂණ සිදුවූවා යැයි පිළිගන්න බැහැ නේද?

මෙතැනදී මූලික වශයෙන් වරද්දා ගැනීම් කීපයක් තියනවා. එකක් තමයි රෝගීන්ගෙන් 80%ක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති නිසා මේ රටට මිනිස්සු ඇතුළු කරද්දී උෂ්ණත්වය බලලා ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක ක්‍රමවේදයක් කියලා අපි කිව්වා. අවශ්‍ය නම් ගුවන් තොටුපොළේ ඉඳන්ම මේ පරීක්ෂණ කරන්න ක්‍රමවේද තියනවා කියලා අපි කිව්වා. මොකද එහෙම ක්‍රමවේද ලෝකයේ හදලා තියනවා. රැපිඞ් ටෙස්ට් එකක් වැනි එකක් කරලා ඒකෙන් සැකසහිත අයව පීසීආර් පරීක්ෂණයක් කරන්න පුළුවන්. ලෝකයේ අද බොහෝ රටවල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රසායනාගාර සේවාවක් තියනවා. ඒ කියන දේ ඇහුවේ නැතිව ඒ අයව ඇතුළු කළා. රෝග ලක්ෂණ නොපෙන්වන 80%ක බහුතරයක් ඉන්න නිසා බොහෝ කොවිඞ් රෝගීන් ඇතුළු වුණා කියලා අපි විශ්වාස කරනවා.

ඊළඟට නිරෝධායන මධ්‍යස්ථානවලදී අනිවාර්යයෙන්ම ඒ අය ආශ්‍රිතයන් නිසා අඩුම තරමේ නිරෝධායනය අවසන් කිරීමට පෙරවත් රසායනාගාර පරීක්ෂණය කළ යුතුයි කියලා අපි කිව්වා. ඒත් ඒක කළේත් නෑ. රෝග ලක්ෂණ මතුවෙන්නේ නැති අයව නිරෝධායනය අවසන් කියලා සහතිකයකුත් දීලා ගෙදර යැව්වා. ඒකෙන් 80%ක් රෝගීන් මග හැරුණා කියලා අපි විශ්වාස කරනවා.

ඊළඟට අපිට පරීක්ෂා කරන්න දුන්නේ රෝග ලක්ෂණ මතුවෙලා රෝහල්ගත වෙලා එන නිදර්ශක පමණයි. ඒ නිසා අපි දිගින් දිගටම මේ රෝගයට අදාළව 80%ක් ආසාදිතයන් මගහැරියා. ඒ නිසා ඒක තමයි අපි කරගත් මූලික වැරැද්ද කියලා අපි හිතනවා. ඒ මූලික වැරැද්ද කළේ රසායනාගාර සේවාව පාවිච්චි නොකරීම සහ ඒකට අදාළ වෘත්තීකයන් විධියට දිගින් දිගටම අපිව ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීමය, අඩුම තරමේ අපි ලිඛිතව ලබා දුන් කාරණා නොසලකා හැරීමයි.

දැනට මෙරට සිදුවන පීසීආර් පරීක්ෂණයට අමතරව රෝගීන් හඳුනාගත හැකි රැපිඞ් ටෙස්ට් වැනි ක්‍රමවේද භාවිත කළ හැකියි නේද?

දැනට රැපිඞ් ටෙස්ට් කරන එකෙන් වැරදි වාර්තා එනවා කියලා ලංකාවේ ආකල්පයක් හදලා තියනවා. නමුත් ඇත්තටම රැපිඞ් ටෙස්ට්වල වැරදි වාර්තා එන්නේ නෑ, රැපිඞ් ටෙස්ට් එක කරන ක්‍රමවේදය අනුව සමහර රටවල් වරද්දා ගෙන තියනවා. රැපිඞ් ටෙස්ට් එකෙන් සාමාන්‍ය පරිදි සරල වාර්තාවක් ආවා වුණත් ඒක කියවීමේ දී තාක්ෂණික දැනුම අවශ්‍ය වෙනවා. සමහර රටවල අදාළ වෘත්තිකයන්ට නැතිව වෙනත් අයට දීම නිසා මේක වරද්දගෙන තියනවා. රැපිඞ් ටෙස්ට් එකක් තියෙන්නේ පොසිටිව් අයව හඳුනා ගන්නයි. ඒ පරීක්ෂණයෙන් පොසිටිව් වන අය පීසීආර් පරීක්ෂණය මගින් තහවුරු කර ගන්න ඕනෑ. මේ හැම පරීක්ෂණයේ ම වැරදි තියනවා. ඒවා නිවැරදි කරගන්නේ සමෝදානික ක්‍රමයකිනුයි. අපිට දැනට තිබෙන ප්‍රධාන විවේචනය තමයි මේ තාක්ෂණය අපි එළියේ ඉඳගෙන මාධ්‍යයට සහ අනෙක් අයට කතා කළාට මේ තාක්ෂණය ගැන දැනුවත් කණ්ඩායම ගෙනල්ලා මොක්කද මේකට කරන්න පුළුවන් කියන දේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තාම කතා කරන්න බැරිවෙලා තියනවා. ඒ අය ඊට වඩා අහංකාර ස්වභාවයකින් මේක පාලනය කරන ස්වභාවයක් තියනවා. ඒ වගේම අමාත්‍යාංශයේ වැඩි දෙනෙක් මේ වන විට නිකං ඉන්නවා, කීපදෙනෙක් දොඩම්ගොඩ බදා ගත්තා වගේ සියලු වැඩ කරන්න ගිහින් මේ කටයුත්ත අනවශ්‍ය තැනකට ගෙනගොස් තියනවා.

ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරිය මේ රැපිඞ් ටෙස්ට් එකක්වත් ගෙන්වන්න දෙන්නේ නැති වුණත් මේ වන විට එම්ආර්අයි සහ ශ්‍රී ජයවර්ධනපුර රසායනාගාරයේ මේවා නිරවද්‍යතාව පරීක්ෂා කිරීමේ පරීක්ෂණ සිදු වෙනවා. මේ වගේ නිදර්ශක ගෙන්වීම පවා ජාතික ඖෂධ තත්ත්ව පාලන අධිකාරියෙන් තහනම් කරලා තියනවා නම් හෝ අවසර දී නැත්නම් ඔවුන් නිරවද්‍යතාව පරීක්ෂා කරන්නේ කොහොමද. එක තැනකින් අවහිර කළත් යම් කණ්ඩායමකට විතරක් මේකේ හැකියාව දීලා තියනවා. ඒ නිසා මේක තහනම් කරලා තියෙන්නේ හිටි හැටියේ මේකේ අවසරය කාට හෝ දෙන්න කියලා අපි සැක කරනවා. මොකද අවසර දෙද්දී ගෙන්වන්න පුළුවන් වෙන්නේ මේ අවසරය අරගෙන තිබුණු කෙනාට විතරයි. ඒ නිසා මේවායේ යම් අපහැදිලි තැන් තියනවා. ඊළඟට වෛරසවේදියෙක් පරීක්ෂණය කරන්න ඉන්න ඕනෑ කියලා කියනවා. නමුත් වෛද්‍ය සභාවේ පරීක්ෂණ කිරීම කියන කාරණය තියෙන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙක්ටයි. නමුත් මේ කියන ක්‍රමවේදයට අනුව වෛරසවේදියෙක් ඉන්න ඕනෑ වුණත් පරීක්ෂණය කරනකෙනා කවුරු වුණත් කමක් නෑ. මේ වගේ අපැහැදිලි තැන් තියනවා, ඒවා නිවැරදි විය යුතුයි.

මීට අමතරව කොවිඞ් පරීක්ෂණය සඳහා විකල්ප පරීක්ෂණ ක්‍රමවේද තිබේ ද, එවැනි ක්‍රමවේද සඳහා මෙරට තුළ තිබෙන සූදානම මොනවගේද?

අනෙකුත් පරීක්ෂණ ක්‍රම සම්බන්ධයෙනුත් අපි වාර්තාවක් ලබාදීලා තියනවා. ජීව රසායනවේද පරීක්ෂණයක් විධියටත් මේක කරන්න පුළුවන්. ඒ වගේම විනාඩි 15ක දී බී්‍රෆ් කේස් එකක දාගෙන ගිහින් කරන්න පුළුවන් පොයින්ට් ඔෆ් කෙයාර් පීසීආර් යන්ත්‍රයක් තියනවා. ඒ යන්ත්‍ර කීපයක් ලංකාවේ තියනවා. දැනට ඉන්දියාවෙන් 10000ක් වුණත් ගෙන්වා ගන්න තියනවා. හැබැයි රාජ්‍යතාන්ත්‍රිකව ගෙන්වා ගන්න වෙනවා. ඊළඟට එන පියවරේ දී අපිට රෝගීන්ට අනිවාර්යයෙන් ම ඉතාම ළඟ ළඟදී මේ පරීක්ෂණය කරන්න වෙනවා. අපි මේ වෙද්දී සමාජ ව්‍යාප්තියට ළඟාවෙමින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට අපිට බුද්ධි අංශ ඒවා මේවා දාලා රෝගීන් හොය හොයා ඉන්න වැඩක් නෑ. ඒක අතහැරලා දාන්න වෙනවා. එතකොට තියන එකම ක්‍රමය වෙන්නේ රසායනාගාර ක්‍රමයක්. රෝගීන් වැඩි දෙනෙක් ආශ්‍රය නොකර, වැඩි දුරක් ඇවිදින්නේ නැතිව, සාමාජය එක්ක ගනුදෙනු නොකර, ඉතාම ළඟම තැනදී මේ පරීක්ෂණය කිරීමේ හැකියාව තියෙන්න ඕනෑ. එහෙම නැතිව කොළඹට සාම්පල් ටික ගෙනල්ලා මෙහේ ඉන්න ජීව විද්‍යාඥයින්ගේ අණසක යටතේ කරනවා කියන්නේ රටම වසංගතයේ ගොදුරක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කියන්නේ අපි රෝගියා ළඟට යන්න ඕනෑ. ඒකට හොඳම ක්‍රමය මේ පොයින්ට් ඔෆ් කෙයාර් පීසීආර් ක්‍රමවේදයයි.

රැපිඞ් ටෙස්ට්, ජීව රසායන පරීක්ෂණත් පාවිච්චි කරන්න පුළුවන්. මේවා දැන් සැලසුම් කළේ නැතිව වෛරසය සමාජ ව්‍යාප්තිය ආවාට පස්සේ රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්, කාර්ය මණ්ඩලයත් නිරෝධායනයට ලක් කරන්න වන තත්ත්වයක් ආවාට පස්සේ දැන් ගෙන්වන්න බැහැ කියලා වැඩක් නෑ. ලබන සතියේ කරන්න ඕනෑ මොකක්ද කියලා දැන් සැලසුම් කරන්න ඕනෑ. ඒ නිසා කළ වැරදි අමතක කරලා සමාජ ව්‍යාප්ති මට්ටම සඳහා දැන් සැලසුම් කරනවා නම් වහාම ඉන්දියාවේ අගමැතිට දන්වා පොයින්ට් ඔෆ් කෙයාර් වර්ගයේ යන්ත්‍ර හෝ ඇමරිකාවේ තිබෙන වර්ගය හෝ ඉක්මනින් රටට ගෙන්වන්න. එවැනි යෝජනා ජනාධිපතිවරයාට ගෙන යන්න ඕනෑ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. අපිට කරන්න පුළුවන් වෘත්තීයවේදී ආයතනයක් විධියට මේ යෝජනා ලිඛිතව යවන්නයි. ඒවාට අතරමැද දී මොකද වෙන්නේ කියලා අපි දන්නේ නෑ.

දැනට මෙරට තුළ තිබෙන රසායනාගාර, ඒවායේ කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත් ආදිය ප්‍රමාණවත් ද?

ඊයේ වෙද්දී ලංකාව පුරා රසායනාගාර 10ක් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි බලාගෙන ඉන්නවා අපිට නිදර්ශක එනකම්. හැබැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදියරෙන් අදියරට වැඩි කරනවා වැනි විවිධ කතා කියනවා. එහෙම අදියරෙන් අදියර වැඩි කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ කොවිඞ් රෝගය එන්න ඉස්සරවෙලා වසර දහයක පමණ තිස්සේ ඉඳලා වෛරසවේදී රසායනාගාර 9ක් හදන්න සියලු පහසුකම් ආණ්ඩුවෙන් දීලා තියනවා. ඒ නවය ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තිබුණේ වෛරසවේදීන් නැති හින්දා පටන් ගන්න දුන්නේ නැති නිසායි. අපිට පරීක්ෂණය කරන්නත්, වාර්තා දෙන්නත් පුළුවන්. වෛරසවේදියෙකුට අවශ්‍ය නම් දුරකථනයෙන් වුණත් ඒවා බලන්නත් තිබුණා. ඒකේ ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් කරන්න දුන්නේ නැහැ. වෛරසවේදීන් ඉන්න රසායනාගාර 4ක් ඒ වන විටත් රට පුරා ක්‍රියාත්මක වුණා. ඒත් අපි ඒ රසායනාගාරවලට නිදර්ශක යැව්වේ නැහැ. මේ කොවිඞ් රෝගය එද්දීම අපිට ඕනෑ නම් පීසීආර් පරීක්ෂණ 1000ක් කිරීමේ හැකියාව තිබුණා. පළවෙනියට 1000ම බැරි නම් ඒකට විකල්ප ක්‍රමවේද තිබුණා.

දැනට ලංකාව තුළ කොවිඞ් පරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන පීසීආර් යන්ත්‍ර ප්‍රමාණවත් ද, නමුත් අවශ්‍ය ප්‍රමාණයට ඒ කටයුතු සිදුවන බව පෙනෙන්නේ නැහැ නේද?

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පීසීආර් යන්ත්‍ර දැනටත් 55ක් තියනවා. එයින් 36ක් ගෙන්වා තිබුණේ ක්ෂය රෝග බැක්ටීරියාව හඳුනා ගැනීමේ පීසීආර් පරීක්ෂණයටයි. හැබැයි කොවිඞ් වෛරසය ආව අවස්ථාවේ මේ යන්ත්‍රවල කොවිඞ් පරීක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල ගේන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයට කිව්වා. එතකොට ගණන් ගත්තේ නෑ, එම්ආර්අයි එකේ කරනවා කිය කිය හිටියා. මේක රෝග වසංගතයක් කියලා අපි කිව්වත් ඒවා ගණන් ගත්තේ නෑ. මේවා රාජතාන්ත්‍රිකව හෝ ගන්න පුළුවන් වුණත් ඒ පණිවිඩ ජනාධිපතිවරයාට යන්නේ නෑ.

දැනට තියන යන්ත්‍ර 20ක පමණ ප්‍රමාණයෙන් 10ක් පමණ පාවිච්චි කරනවා. මධ්‍යම ලේ බැංකුවේ තිබෙන යන්ත්‍ර දෙකම අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒවා ඉතාම උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍රයි. එස්ටීඩී එකේ යන්ත්‍රය පාවිච්චි කරන්නේත් නෑ, ඒවා කවුරුවත් අහන්නේවත් නෑ. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ යන්ත්‍ර 7ක් තියනවා. 7ක් තිබුණාට 7කට අවශ්‍ය සාම්පල් එන්නේ නෑ. එක යන්ත්‍රයකින් වුණත් එන සාම්පල ටික කරන්න පුළුවන්. ඒවායින් ජාතික රෝහල වැනි තැනකට ලබාදීම ඊට වඩා හොඳයි. ජාතික රෝහලට ඕනෑ නම් ඒ 7න් 2ක් දීලා ජාතික රෝහලේ පරීක්ෂණ 1000ක් විතර කරන්න පුළුවන්. ජාතික රෝහලේ අපි මේ පරීක්ෂණය පටන් ගන්න කියනවා. අද වනතුරු ඒකට අපිට අවස්ථාව දීලා නෑ. වෛරසවේදියෙක් නැතිව කරන්න එපා කියනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයටම යන්ත්‍ර එකක්වත් නෑ, කළුතර දිස්ත්‍රික්කයටම නෑ, හැකියාව සහ තාක්ෂණය තියන විශාලම ආයතනයක් වන ජාතික රෝහලටත් නෑ. 7ක් එක තැනක තියාගෙන කොච්චර වැඩි කරන්න හැදුවත් වෙන වෙන සීමාකාරී සාධක එන නිසා වැඩි කරන්න අමාරුයි. ඒවා පාවච්චි වෙන්නේත් නෑ. ඒවා පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන ඒකට අදාළ තාක්ෂණික විද්‍යාඥයන් සමග කතා කිරීමක් නැති නිසා අපිට ඒක යෝජනා කරන්නත් බෑ. අනෙක වෛරසවේදීන් කැමති නෑ මේක එක එක තැන්වල කරනවාට. ඒ අයගේ න්‍යාය පත්‍රය ඒ අය දැනට අපොයින්ට්මන්ට් ගෙන තියන තැන්වලට සහ තාවකාලික අපොයින්ට්මන්ට් ගන්න පුළුවන් පෞද්ගලික අංශයේ තැන්වල විතරක් ආවරණය වන පරිදි මේවා ගොඩගසා ගැනීමයි. ඒකට තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යටවෙලා ඉන්නේ.

එයින් පෙනෙන්නේ සෞඛ්‍ය අංශ්‍ය සතුව ධාරිතාව තිබුණත් ඒ ධාරිතාවට සරිලන ලෙස පරීක්ෂණ සිදුනොවන බව නේද?

අපි පසුගිය දින 14ක සංඛ්‍යා ලේඛන අනුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව ඒ වන විට තිබුණු රසායනාගාර නවයෙන් දිනකට ලැබුණු කළ පරීක්ෂණවල සාමාන්‍ය අගය 460යි. නවයක් එකතුවෙලා 460ක් කරද්දී පෞද්ගලික අංශයේ රසායනාගාර හතරකට 400ක් යවනවා නම් අපි ලැජ්ජාවට පත්වෙන්න ඕනෑ. එතකොට අපේ එක රසායනාගාරයක කරන පරීක්ෂණවල සාමාන්‍ය අගය 55යි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මෙච්චර ලොකු සේවා පද්ධතියක පාලකයා වෙලා ඒ එක් රසායනාගාරයක 55ක් කරද්දී පෞද්ගලික අංශයේ පොඩි රසායනාගාරයක 100ක් කරනවා කියලා ලැජ්ජා නැතිව කියනවා.

නිදර්ශක එවන්නේ නැති එක හේතුවක් විධියට අපි දකින්නේ වෛරසවේදීන් කියන අය ලංකාවේ ඉන්නේ කීපදෙනයි. ඔවුන් කොළඹ පරීක්ෂණාගාර කීපයකට හිරවෙලා ඉන්නවා. එම්ආර්අයි එකේ තුන් දෙනෙක් විතර ඉන්නවා. එතැන තුන් ගුණයකින් පරීක්ෂණ වැඩි කරන්නත් බෑ. එතැනට එච්චර අවශ්‍යත් නෑ, ඒ අය වෙන තැනකට යන්නෙත් නෑ. ඔවුන් වෙන තැනක පටන් ගන්න එකට ඉඩ දෙන්නේත් නෑ. අනෙක් කාරණය පළමු සාම්පලය යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනගාරයකට නෙමෙයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තියන රසායනාගාරයකටයි. උදාහරණයකට ජාතික බෝවන රෝග ආයතනයේ රසායනාගාරයට සාම්පල් දෙකක් විතර යද්දී සාම්පල් විස්සක් විතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනවා. මේක ඇතුලේ මොකක්හරි යම් අක්‍රමිකතාවක් වෙනවා කියන එක ගැනත් අපි සැක කරනවා. නැත්නම් කොට්ඨාස අනුව හෝ රසායනාගාරවලට යවන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මේකට විධික්‍රමයක් හදන්න ඕනෑ, එහෙම නොහැදීම උපක්‍රමයක් ද කියන සැකය අපිට තියනවා. මීට වඩා සරල දේවල්වලටත් ඉස්සර රසායනාගාර සේවාවේ සියලු වෘත්තීයවේදී ආයතන පහ රැස්වෙලා වාද විවාද කරලා එකඟතාවයෙන් තීරණ අරගෙන ඒ පහම එකට වැඩ කරනවා. අද වන විට මෙච්චර රෝග වසංගතයක් ඇවිල්ලාත් මේ වෘත්තීයවේදී ආයතන පහ එකට ගෙනල්ලා සාකච්ඡාවක් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිවෙලා තියනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ දැනට තිබෙන පහසුකම් යටතේ දිනකට පරීක්ෂණ 1500ක් පමණ කිරීමේ ධාරිතාවක් තිබෙන බව යි. මීට අමතරව පෞද්ගලික අංශය, අධ්‍යාපන අංශ වැනි වෙනත් අංශවල සහායත් ලබා ගැනීමේ අවධානය මේ වන විට යොමුවෙලා තියනවා නේද?

1500කට වඩා අපටත් කරන්න පුළුවන්. 1500 කරන්නත් රට වටේම තියන රසායනාගාර සම්බන්ධ කරගන්නේ ඇයි. අපි දිගටම අහන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුව මෙච්චර ලොකු රෝහල් පද්ධතියක් හා යාන්ත්‍රණයක් තියෙද්දී දිවයින පුරා විසිරිලා කාර්ය මණ්ඩලයක් ඉද්දී මේ ඔක්කොම පැත්තකින් තියලා අධ්‍යාපන අමාත්‍යාංශය, ආරක්ෂක අංශය, පෞද්ගලික අංශය පස්සේ යන්නේ ඇයි කියලායි. අපේ රාජකාරිය මේ ටික කරන එකයි. මේක කරලාත් බැරි වුණොත් අපි ඒ අයව ගන්නා එක වෙනම දෙයක්. ඒක සූදානම් කරල තියන එකත් වෙනම දෙයක්. නමුත් අපි අහන්නේ අපේ රසායනාගාරවල 55ක් කරද්දී පෞද්ගලික අංශයට 100ක් කරන්න දෙන්නේ මොන ආකෘතියෙන් ද කියන එකයි.

නැවත මේ කරන්නේ නාවික හමුදාවේ නිලධාරීන් අමාරුවේ දැම්මා වගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අමාරුවේ දාන්න කියලා අපි අනතුරු අඟවනවා. මොකද මේ වගේ බෝවන සුළු මානව සාම්පලයක් එක්ක වැඩ කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අය සූදානම් නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාම්පලය ගන්නා තැන ඉන්නේ හෙදියක්, ඊළඟට ඉන්න කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුහුණු, වෛද්‍යවරයා පුහුණු, රසායනාගාර කාර්ය මණ්ඩල පුහුණු, මේකේ පිරිසිදු කිරීමේ අංශයේ ඉන්න සේවකයා පවා මේ වැඬේට සූදානම් අයයි. හමුදාව යොදවද්දී අපි මේක කල් ඇතුව කිව්වා. මේ ගැන ඔවුන්ට කෙටිකාලීන ලොකු අවබෝධයක් ගන්න බැහැ. ඔවුන්ට නියෝගයක් දුන්නොත් ඔවුන් කරන්නේ ඒක ක්‍රියාත්මක කරන එකයි. ඔවුන් රෝගය බෝවෙන එක ගැන හිතන්නේ පසුවයි. නැවත ඒ දේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම තුළින් කරනවා.

මේක ලෝකයේ රටවල් කළ විධියක් තිබුණා. හැම වෙලාවේම බොහෝ රටවල කළේ පීසීආර් යන්ත්‍ර රජයේ භාරයට අරගෙන සෞඛ්‍ය සේවාව ඇතුළට ගෙනත් රෝහල්වල මේක කළා. පස්සේ කවදා හෝ දවසක අලුත් යන්ත්‍රයක් හෝ ඒ යන්ත්‍රයම ආපසු දෙන්න පුළුවන්. යන්ත්‍ර තියාගන්නත් රටේ මිනිස්සු ඉන්න ඕනෑ. එහෙම නැතිව අධ්‍යාපන අමාත්‍යාංශයට රටේ සෞඛ්‍ය කාර්යය කරන්න දෙන්න හොද නෑ. මොකද ඒ සමහර යන්ත්‍ර එක්ක සමහරු වැඩ කරන්නේ සාමාන්‍ය ශරීර සෛල හෝ ගහක සෛලත් එක්කයි. මෙහෙම වැඩ කරන තැනක කෙනෙක්ට මේ වෛරසය තමන්ට ආසාදනය වීම ගැන, උපක්‍රම පිළිබඳ පරිසරය ඇති කර හෝ ඒ අයගේ ඔළුවේත් ඒක නැහැ. ඒ නිසා ඒ ක්‍රමයත් වැරදියි. ඒ නිසා අපි දිගින් දිගටම දකිනවා සෞඛ්‍ය අමාත්‍යාංශය දෙතුන් දෙනෙක්ගේ වුවමනාව මත ප්‍රතිපත්ති තීරණ ගන්නවා. මේකට අදාළ පාර්ශ්වයන් කැඳවන්නේ නෑ.

පළමුව රෝගය තිබෙන බව තහවුරු වූ ඇතැම් අයට දෙවැනි පරීක්ෂණයෙන් රෝගය නැති බව තහවුරු වූ අවස්ථා තිබුණා. මේ තත්ත්වයට හේතු මොනවාද?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු පරීක්ෂණය කළ පසු ඒ පරීක්ෂණය පදනම් කරගෙන රෝහලට ඇතුළත් කිරීම සිදුකරන්න වෙනවා. එතකොට නැවත වතාවක් රෝගියා රෝහල් ගත කළ පසු නැවත රෝහලෙනුත් පරීක්ෂණය කරනවා. එතකොට ඒ පරීක්ෂණයෙන් වෙනත් ප්‍රතිඵලයක් ආවොත් මේ ප්‍රශ්නය බේර ගන්න බෑ. පළමුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පොසිටිව් බව වාර්තා වූ පසු රෝහලෙන් පරීක්ෂා කළ පසු නෙගටිව් වුණු කීපදෙනෙක්ම හිටියා. දෙවැනි එක තමයි සංසන්දනාත්මක පරීක්ෂණයකට හැර රෝගියෙක්ගේ ප්‍රතිකාර ක්‍රමවේදයක දී වෛද්‍ය පරීක්ෂණ කරනවා නම් එකම ආයතනයකින් කරන්න ඕනෑ. මොකද ආයතනික වශයෙන් තිබෙන ක්‍රමවේද, පරීක්ෂණ කට්ටල, ගන්නා විධික්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිකාර සඳහා පරීක්ෂණ කරනවා නම් හැම වෙලාවේ ම උපදෙස් දෙන්නේ එකම ආයතනයෙන් කරන්න කියලායි. ඒ රසායනාගාර න්‍යායන් මෙතැන කැඩෙනවා. මේක එහෙම අපිළිවෙළක් කරන්න අවශ්‍ය නෑ. ජයවර්ධනපුරට දෙන්න ඕනෑ අයිඩීඑච් එකේ කරගන්න බැරිතරම් ආවාමයි. එහෙම නැතිව අයිඩීඑච් එකට එන රෝගීන් සියල්ල ඒ රෝහලේ රසායනාගාරයට දීලා ජයවර්ධනපුරට කියන්න ඕනෑ කොළඹ දිස්ත්‍රික්කයේ රෝග ලක්ෂණ නැති නිරෝධායන ස්ථානවල පරීක්ෂණ කරන්න කියලා. එතකොට රෝගීන්ගේ පරීක්ෂාව රෝහල් ඇතුළේ කෙරෙනවා. ඒ අයට ඉතාම ලොකු අවධානයකින් ඒක කරගෙන යන්නත් පුළුවන්. වෛද්‍ය පර්යේෂණ ආයතනයට කියන්න පුළුවන් ජාතික රෝහල ඇතුළේ සහ සියලු රෝහල්වල කොවිඞ් පරීක්ෂණ සහ රිසර්ච් කරන්න කියලා. මේක වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. ලංකාවට අනුව මේ වෛරසයේ හැසිරීම ගැන අපි පරීක්ෂණ ගණනාවක් කළ යුතුයි. ඒ වගේම ජීවානුහරණයට භාවිත කරන දේවල් බිඳිති විධියට ද වැඩියෙන් වැඩ කරන්නේ නැත්නම් ස්ප්‍රේ ද, මාස්ක් මොනවා ද ගැළපෙන්නේ ආදී දේ ගැන පර්යේෂණ කළ යුතුයි. මේවා ව්‍යාපෘති වාර්තා විධියට අපි ලියලා දීලා තිබුණත් ඒවාට අවධානයක් යොමුවෙලා නැති නිසා අද වන විට රටක් ලෙස එක එක අයගේ විවේචනයට ලක් වෙලා තියනවා. මරණ අනුපාතය ඉතා අඩුවෙන් තියාගෙන කටයුතු කළත් පරීක්ෂණ කළේ නෑ කියලා අපි ලොකු වර්ගීකරණය අගට යනවා. නමුත් පරීක්ෂණ කිරීමේ ධාරිතාවත් වැඩි රටක්. මේ වෛරසය එද්දී අපේ රසායනාගාර ඒ වෙද්දී සකස් කරලා ඉවරයි. ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණාට සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් උපරිම හැකියාව තියනවා. ■

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න