නාම යෝජනා අවුලක ? මැකොස නීතිපති උපදෙස් පතන්න තීරණය කරයි !

 නාම යෝජනා අවුලක ? මැකොස  නීතිපති උපදෙස් පතන්න තීරණය කරයි !

මාර්තු 17, 18 සහ 19 දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් ප්‍රකාශයට පත් කර තිබීයදී,  එම දිනයන්හි දී මහ මැතිවරණය සඳහා ඇප මුදල් ලබාගැනීම හා නාමයෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් මතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එබව සඳහන් කර ඇත්තේ, මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග අද (මැයි 02) පැවති සාකච්ජාවේ දිය.

2020 මාර්තු 16 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් බවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු විෂයබාර අමාත්‍යවරයා විසින් නියමකර ඇති බැවින්, මහ මැතිවරණය සඳහා ඇප මුදල් බාරගැනීම හෝ නාමයෝජනා බාර ගැනීම මාර්තු 16දා සිදුනොකරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එදින නිවේදනයක් මගින් දැනුම් දී තිබිණ.

මාර්තු 17, 18 සහ 19  රජයේ විශේෂ නිවාඩු !

ඒ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු විෂයබාර අමාත්‍යවරයා විසින් මාර්තු 17,18,19 අඟහරුවාදා, බදාදා හා බ්‍රහස්පතින්දා දිනයන් රජයේ විශේෂ නිවාඩු දිනයන් විය යුතු යයි මාර්තු 17 දා නිවේදනය කර සිටියේය.

කෙසේවුවද, රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශයක් කළ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සම්පාදන) චන්න පී. ද සිල්වා පවසා සිටියේ, රජය විසින් මාර්තු 17, 18 සහ 19 දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් ප්‍රකාශකොට ඇතත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමට එය බාධාවක් නොවන බවයි.

ඒ සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල විවෘතව පවතින බවද ඔහු පවසා තිබිණ.

ඒ අනුව, මහ මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම මාර්තු 17, 18 හා 19 දා දහවල් 12.30 දක්වා දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22කදී සිදු කෙරිණ.

news.lk

 ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සමක් !

charitha maitriමේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මාස තුනක් ගතවීමට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමත්, විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා එකඟ නොවීමත් නිසා ඇතිව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයට අදාල පළමුවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත.

මැයි 02 වැනිදා එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂකයෙකු වන මෛත්‍රී ගුණරත්නගේ පුත්, නීතිඥ චරිත ගුණරත්න විසිනි.

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබෙන නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එම ගැසට් නිවේදනය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ නීතිපතිවරයාව නම්කර ඇත.

ජුනි 20 ඡන්දය තියනවාද නැද්ද? තීරණය දෙසතියකින් !

මේ අතර අදාළ සියළු අංශ සමග සාකච්ඡා කර මැතිවරණය ජුනි 20 පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව තවත් සති දෙකකින් තීරණය කිරීමට පක්ෂ නියෝජිතයන් සමග අද (මැයි 02) පැවති සාකච්ඡාවේදී මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

රැස්වීමට සහභාගිවූ දේශපාලන පක්ෂ නියෝජිතයින් ගෙන් සීයයට 90ක් ම මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, මහ මැතිවරණය පැවැත්වීම සුදුසු තත්ත්වයක් නොමැති බවයි.

ජනතාව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති අවස්ථාවක මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරිමට අවස්ථාවක් නොමැති බව එම පක්ෂ අවධාරණය කර ඇත.

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ලබන ජුනි 20 දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කරන ලදී.

එහෙත් මේ වනවිට තවමත් කොරෝනා වසංගත තත්වය පහව ගොස් නැති බැවින් එවන් තත්වයක් තුළ මැතිවරණ රාජපකාරි කටයුතු මෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුද සිදු කළහොත් එය මෙම වසංගතය තව දුරටත් පැතිරීමට බලපානු ඇත.

අපේක්ෂකයින්ට මනාප අංක ලබාදීමත් කල් යයි !

මෙම තත්ත්වය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් සඳහා මනාප අංක ලබා දීම  දැන්ම සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළ බව 'සමගී ජන බලවේගයේ'  මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසිය.

මහ මැතිවරණයට අදාලව අපේක්ෂකයින්ට මනාප අංක ලබාදීම ලබන සඳුදා (04) සිදුකිරිමට නියමිතව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න