ලෝකයේ ප්‍රමුඛතම සමාජ මාධ්‍ය වේදිකා වන TikTok, Instagram, Facebook, Snapchat, YouTube සහ X (Twitter) ඇතුළු සේවා වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer විසින් පසුගිය 15වන දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම තීරණය, දරුවන් ගේ මානසික සෞඛ්‍යය, සයිබර් හිංසනය, අන්තර්ජාල අපරාධ හා සමාජ මාධ්‍ය ඇබ්බැහිවීම පිළිබඳ වැඩිවෙමින් පවතින කනස්සල්ලට ප්‍රතිචාරයක් ලෙස සැලකේ.
“දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය නැවත ලබා දිය යුතු කාලය පැමිණ තිබේ” යනුවෙන් අග්‍රාමාත්‍ය ස්ටාමර් ප්‍රකාශ කර ඇති අතර, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තාක්ෂණික සමාගම්වලට පැහැදිලි සීමාවක් ඇඳ දෙන බවද සඳහන් කර ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer
මෙම නව නීති යටතේ දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් විවෘත කිරීම හෝ භාවිත කිරීම තහනම් වන අතර, එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වයස් තහවුරු කිරීමේ නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට නියමිතය. මුහුණු හඳුනාගැනීමේ පද්ධති, ඩිජිටල් හැඳුනුම්පත් සහ බැංකු හෝ විද්‍යුත් තැපැල් තොරතුරු මත පදනම් වූ වයස් සත්‍යාපන ක්‍රම මෙහිදී භාවිතා කළ හැකි බව සඳහන් වේ.
ප්‍රධාන තාක්ෂණික සමාගම්වල විරෝධය

කෙසේ වෙතත්, WhatsApp සහ Signal යනාදි පණිවිඩ හුවමාරු සේවා මෙම තහනමට ඇතුළත් නොවන බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ඒවා ප්‍රධාන වශයෙන් පවුලේ සාමාජිකයින් සහ මිතුරන් අතර සන්නිවේදනය සඳහා භාවිත වන බැවින් එම සේවාවලට විශේෂ ව්‍යතිරේකයක් ලබා දී ඇත.
Meta, YouTube සහ Snapchat ඇතුළු ප්‍රධාන තාක්ෂණික සමාගම් මෙම තීරණය විවේචනය කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි සම්පූර්ණ තහනමක් හේතුවෙන් තරුණයින් අඩු නියාමනයක් සහිත, වඩාත් අනාරක්ෂිත අන්තර්ජාල වේදිකා වෙත යොමු විය හැකි බවයි. එහෙත් බ්‍රිතාන්‍ය රජය පවසන්නේ තාක්ෂණික සමාගම්වල වාණිජ අවශ්‍යතා වලට වඩා දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛත්වය ලැබිය යුතු බවයි.
මෙම පියවර මගින් බ්‍රිතාන්‍යය ලොව ළමා අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩිම නීති ක්‍රියාත්මක කරන රටවල් අතරට එක්වෙයි. මීට පෙර Australia ද වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය සීමා හඳුන්වා දී තිබූ අතර, ප්‍රංශය, ජර්මනිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත ද සමාන නීති පිළිබඳව සලකා බලමින් සිටිති.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් ගේ අවධානයට

ශ්‍රී ලංකාවේ ද දරුවන් අතර TikTok, Facebook, Instagram සහ YouTube භාවිතය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. සයිබර් හිංසනය, අන්තර්ජාල වංචා, අසභ්‍ය අන්තර්ගතයන් සහ ඩිජිටල් ඇබ්බැහිවීම සම්බන්ධයෙන් දෙමාපියන් අතර කනස්සල්ල ඉහළ යමින් පවතින අවස්ථාවක, බ්‍රිතාන්‍යයේ මෙම තීරණය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද අවධානය යොමු කළ යුතු සංවර්ධනයක් ලෙස සැලකිය හැකිය.
ඩිජිටල් තාක්ෂණය දරුවන්ගේ අධ්‍යාපනයට සහ සන්නිවේදනයට වැදගත් මෙවලමක් වුව ද, එය ආරක්ෂිත පරිසරයක් තුළ භාවිත කිරීමට වගබලා ගැනීම 21 වන සියවසේ රටවල් මුහුණ දෙන නවතම අභියෝග අතුරෙන් එකක් බව බ්‍රිතාන්‍යයේ මෙම තීරණය නැවතත් මතක් කර දෙයි.

සටහන - Crishaantha Subhaash
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
