නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ අත්සනින් යුතුව EP/01/1/Gen අංකයෙන් 2020.03.31 දිනැතිව නිකුත් කර ඒ ලිපියක් හරහා එම පළාතේ සියලු රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප බලහත්කාරයෙන් කපාගැනීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
මේ බව සඳහන් නිවේදනයක් ලංකා ගුරු සංයමය විසින් නිකුත්කර ඇත.
එම නිවේදනය වැඩිදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවක කැමැත්ත විමසීමකින් තොරව මෙම එකිනෙක වැටුප කපා ගැනීමට යන බවත් වැටුප් කැපීමට අකමැත්ත ප්‍රකාශ කළ අයගේ ද වැටුප් කැපීම සිදුවන බවය.
මෙම බලහත්කාරී ක්‍රියාව නවතා දමන ලෙස ශ්‍රී ලංකා ගුරු සංගමය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ලිඛිත ව ඉල්ලා ඇති බවත් මෙම නිවේදනයේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධ ව ලංකා ගුරු සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.
නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප බලහත්කාරයෙන් කපාගැනීමට යයි !
නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ අත්සනින් යුතුව EP/01/1/Gen අංකයෙන් 2020.03.31 දිනැතිව නිකුත් කර ඇති ලිපියෙන් දන්වා ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සහ නැගෙනහිර පළාත් ලේකම්රු අතර පැවති සාකච්ඡාවකදී නැගෙනහිර පළාත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට එකග වූ බවත්, ඒ අනුව සියලුම සේවකයන්ගේ දිනක වැටුප අය කරන ලෙසත්ය.
රජය ප්‍රකාශ කර ඇත්තේ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ සහන සැලසීමේ අරමුදලට දිනක වැටුප ලබාගන්නේ සේවකයන්ගේ කැමැත්තෙන් පමණක් බවයි. එසේ තබියදී නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ කැමැත්ත විමසීමකින් තොරව ඔවුන්ගේ දිනක ටැටුප අයකිරිම අනීතික මෙන්ම බලහත්කාරී ක්‍රියාවකි. මේ වනවිට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සියලුම කලාප කාර්යාලයවලට දන්වා ඇත්තේ සියලුම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් කපා ගන්නා ලෙසයි. වැටුප් කැපීමට අකමැත්ත ප්‍රකාශ කළ අයගේ ද මේ අනුව වැටුප් කැපීම සිදු වේ.
මේ ආකාරයට රාජ්‍ය සේවකයන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරී ලෙස නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප කපා ගැනීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දැඩි වරෝධය පළකර සිටී. එසේම මෙම බලහත්කාරී වැටුප් කැපීම නතර කරන ලෙස ලංකා ගුරු සංගමය නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ලිඛිතව ඉල්ලා සිටී.
මේ වනවිට ජනාධිපති ලේකම්වරයා මැයි මස වැටුප පරිත්‍යාග කරන ලෙස ලිඛිතව ඉල්ලා ඇති අතර ඇමතිවරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු එම ඉල්ලීම වෙනුවෙන් පෙනී සිටීමෙන් රාජ්‍ය සේවක වැටුප කපා ගැනීමේ බලහත්කාරී වුවමනාව මනාව පෙනී යයි. දිනක වැටුප කපා ගැනීමේ දී නැගෙනහිර පළාතේ මෙන්ම සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරු සහ නිලධාරීන් කටයුතු කරන බලහත්කාරී ස්වභාවය අනුව මසක වැටුප කපා ගැනීමේ බලහත්කාරීත්වයක් ඇතිවන බවද මනාව පැහැදිලි වේ.
මෙයට,
ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්

