කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න වෙත ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (මැයි 13) අවලංගු කර තිබේ.
ඒ ජනාධිපතිවරණ සමයේ පැවති ප්‍රශ්නගත සුදුවෑන් සාකච්ඡාවේ තුන්වන සැකකරු ලෙස නම් කළ හිටපු අමාත්‍යවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා නීතිපති විසින් ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගය අද යළි සලකා බැලූ අවස්ථාවේදීය.
ඉකුත් දෙසැම්බර් මස තිස් වනදා කොළඹ ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් විනිසුරුවරයා මෙම නියෝගය කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන් ද දෝෂ සහගත බවයි.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නිගමනය දෝෂ සහිත බව :
මෙම සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසුව අධිකරණය මගහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු ඇප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අවකාශ තිබූ බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න, එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටලු සහගත බව සඳහන් කළේය.
බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන් වන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළේය.
මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගයට ප්‍රකාශයට පත් කිරීමේ දී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බව ද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය ප්‍රකාශ කළේය.
නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එක හා සමාන බවට :
නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකු එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් පැවසිය.
සමස්තයක් වශයෙන් ගත් කළ මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය විසින් ඊට අදාල සිද්ධිය හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු තිලකරත්න, මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතළ ලෙස කම්පනය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බවත් සඳහන් කළේය.
ඒ අනුව සේනාරත්න ඇප මත මුදා හරිමින් ඉකුත් දෙසැම්බර් මස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප නියෝගය ඉවත දමන බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න, ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසද නියෝග කර සිටියේය.
යහපත් මාර්ගෝපදේශයක් ..!
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්, වර්තමානයේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව තුලින් යහපත් මාර්ගෝපදේශයක් සැපයීම සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.
මෙම නඩු තීන්දුව මගින් ඇප සම්බන්ධයෙන් දිවයිනෙ සියලුම මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේය.

