Language Switcher

V2025

බිලියන ගණනක ගැහිල්ලකට විරෝධය දක්වමින් වියත්මග සංජීව ICTA වෙතින් ඉල්ලා අස්වෙයි !

මෙරට ප්‍රධානතම ව්‍යාපෘති සඳහා  වසර විස්සකටත්  වඩා පැරණි විදේශ තාක්ෂණික ක්‍රම ඉහළ මිල ගණන්වලට මිලදී ගැනීමට විරෝධය පළකරමින්, රජයට අයත් මෙරට ප්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේද තිබියදී වසර විස්සක් පැරණි තාක්ෂණික ක්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියදුරු බලපත්‍ර  නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත් එය තමන් අනුමත නොකරන බවත් ඔහු කියා සිටියි.

මේ සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ්‍රී ලංකාව දියුණු කල නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

මොහුව මෙම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

මෙරට තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සියලු කටයුතු තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනට මාස කීපයකට පෙර සියලුම රාජ්‍ය ආයතන සඳහා දැනුම්දීමක්ද සිදු කරන ලද අතර ඒ අනුව අදාල ව්‍යාපෘති වලට සම්බන්ධ සියලු රැස්වීම් සඳහා එම ආයතනයේ නියෝජිතයෝ සහභාගී කර ගැනේ.

පාඨලී කියපු කතාව :  බිලියන 9 ක ගැහිල්ලක් !

මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ  හිටපු අමාත්‍ය පාඨලී චම්පික පැවසුයේ, මෑතකදී ICTA ආයතනයේ ප්‍රධානියෙක් විදියට කටයුතු කළ ආචාර්ය සංජීවට සිය තනතුරින් ඉවත්වීමට සිදුවූයේ, ජාතික හැඳුනුම්පත හරහා රුපියල් බිලියන 9 ක මහා වංචාවක් සිදුවන බව හෙළිදරව් කළ නිසා බවයි.

''මේ අය ම තමයි වියත්මඟ ආදියේ කටයුතු කළේ. අද ඒ අය පවා රට තුළ සිදුවන මහා ජාතික මංකොල්ලය දැකලා   තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා ..'' යයි පැවසු පාඨලි චම්පික රණවක,  ආණ්ඩුව තමන්ගේ සුපුරුදු කූට නාටකය නතර කර නොමැති බවත් මාධ්‍ය සංග්‍රාමයක් කරමින් ජනතාවට තර්ජන ඉදිරිපත් කරමින් කටයුතු කරමින් සිටින බවත් වැඩිදුරටත් පැවසිය.

(මූලාශ්‍රය - ද ලීඩර් )