ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රහාරවලට පොලිසියත් හවුල් බවට USA වාර්තාවක්  !

ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රහාරවලට පොලිසියත් හවුල් බවට USA වාර්තාවක්  !

ක්‍රිස්තියානි හා  මුස්ලිම් බැතිමතුන්ට එරෙහිව පසුගිය අවුරුදු දෙකේ ශ්‍රී ලංකාව තුල දියත් කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්සිංහල දැඩි මතධාරී නායකයන් ඇතුළු පිරිස් අත් අඩංගුවට ගෙන තිබුනත් කිසිවකුටත් දඬුවම් කර නැතිවීම ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවී තිබේ.

ඇමරිකානු පොලිස් වධහිංසාවෙන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරුමුවට පත්වීම ලොව පුරා විරෝධතා අවුළුවා තිබෙන අවස්ථාවක එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කොට පසුගිය අවුරුද්දේ දියත් කර තිබෙන ප්‍රහාර සංඛ්‍යාව සියයකට ආසන්නය.

“ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය (NCEASL) විසින් ලේඛණ ගත කොට ඇති පරිදි 2018 වසරේ 88ක් හා සසඳා බලන විට, දේවස්ථාන වලට පහර දීම්,  දේවගැති වරුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් බියවැද්දීම සහ ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩතා, සහ දේව මෙහෙයට බාධා කිරීම් 94ක් ලේඛණගත කොට තිබේ,” යි 2019 ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

“NCEASL සහ ක්‍රිස්තියානි ධර්මදූත කණ්ඩායම් දිගටම කියා සිටින්නේ ආගමික සුළුතර කණ්ඩායම් වලට එරෙහි  ශාරීරික ප්‍රහාර හා අඩන්තේට්ටම් සඳහා පොලිසිය සහ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් ද හවුල් වන බවයි. නිලධාරීන් හා පොලිසිය බොහෝ විට ආගමික බහුතරයේ පැත්ත ගන්නා බව ක්‍රිස්තියානි කණ්ඩායම් පවසයි.”

දිගන හා පාස්කුව:

digana
පාස්කු සිකුරාදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව දියත් කෙරුණු මුස්ලිම් විරෝධී ප්‍රහාර ඇවිලවීම සඳහා ගලගොඩඅත්තේ ඥාණසාරගේ නායකත්වයෙන් යුත් බොදු බලසේනාව ආගමික සහ වාර්ගික සුළුතර ප්‍රජාවන්ට අවමන් කරමින් සිංහල බෞද්ධ බහුතරයේ ශ්‍රේෂ්ඨත්වය යනුවෙන් හඳුන්වන අදහසක් ප්‍රචාරය කිරීමට සමාජ මාධ්‍ය යොදාගත් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

හැට දෙනකු පමණ අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවත් වීඩියෝ දර්ශන වල දැක්වෙන පරිදි ඊට වැඩි විශාල පිරිසක් ප්‍රචණ්ඩ ක්‍රියා වලට සහභාගි වූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

"අත් අඩංගුවට ගත් අය අතර සිංහල ජාතිකවාදී කණ්ඩායම් නායකයන් වන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ, නව සිංහලේ ඩාන් ප්‍රියසාද් සහ දූෂණ විරෝධී පෙරමුණේ නාමල් කුමාරද වෙති."

පාස්කු ප්‍රහාරයෙන් පසු ප්‍රචණ්ඩතා සම්බන්ධයෙන් පසුගිය වසර අවසානය වනවිටත් කිසිවකුටත් දඬුවම් පමුණුවා නැති බව අවධාරණය කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, අනිසි ලෙස සැකකරුවන් නිදහස් කර යැවීම මගින් පොලිසිය "පීඩාවට පත් පුරවැසියන්ටත් පොදුවේ මහජනතාවටත් නීතිය මගින් සැලසිය යුතු සමාන ආරක්ෂාව ලබාදීම පැහැදිලි ලෙසම වළකාලූ," ආකාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් හෙළි කරගන්නා ලද බව සිහිපත් කර දෙයි.

දෙදෙනකුට මරු කැඳවමින් 28 දෙනකුට තුවාල සිදුකොට දේවස්ථාන, නිවාස, කඩසාප්පු සහ වාහන වලට හානි පමුණුවමින්  වසර දෙකහමාරකට ඉහතදී කන්ද උඩරට මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කෙරුණු ජාතිවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නැති බවත්, පසුගිය වසර අග වනවිට බොහෝ දෙනකුට වන්දි ගෙවා නැති බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2019 ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳ වාර්තාවෙන් වැඩි දුරටත් කියා සිටී.

Theleader 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න