Language Switcher

V2025

කොල්ලුපිටිය පොලිස් ප්‍රහාරය : ඇමරිකාවට වඩා ඇමරිකාව රකින ලංකාවේ පොලිසිය !

"ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව" පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජූනි 09 වන දා සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබේ.

විශේෂයෙන් පොලිසිය කාන්තාවන්ට සැලකූ ආකාරය සහ පහර දුන් ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

 112874060 7a6bb0c3 20e1 4d10 b000 88c55c96c6c9

 112874062 fcd7641d 211d 4900 aac0 abf393b2e064

බ්‍රහස්පතින්දා (ජූනි 12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, පොලිසිය අදාළ පහර දීම සිදු කර ඇත්තේ, ආණ්ඩුවේ නියෝගයක් අනුව නොවන බවය.

"අපි මර්දිත ආණ්ඩුවක් නොවේ කියන එක අපි ඔප්පු කරල තියෙනව. ඒක වෙලා තියෙන්නෙ ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් වශයෙන් මිස නියෝගයකින් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි," අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, විරෝධතාකරුවන් පළමුවෙන් පොලිසියට පහර දීම හේතු කරගෙන ඊට ප්‍රතික්‍රියාවක් වශයෙන් පොලිසිය පහර දුන් බව වීඩියෝ දර්ශනවලින් පෙනී ගොස් ඇති බවය.

 112874763 b5252495 b849 4125 95fe 5579395c22e2

කෙසේ වෙතත්, "ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ඇති බව පොලිසිය තමන්ට දැනුම් දුන් අතර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම අසලදී අත්අඩංගුවට ගැනීම සහ පහරදීම සිදු කරන ලද්දේ කිසිදු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ආරම්භ වීමටත් පෙර" බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

"ඉන් පසුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ලිප්ටන් වටරවුමට පැමිණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටියදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්, කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් එම සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූ" බව ද එම පක්ෂය පවසයි.

මේ සම්බන්ධයෙන් විමසීම පිණිස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය උත්සහ කළ ද, එය ව්‍යර්ථ විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට කාර්යාලයට නොහැකි බවය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වූ පිරිසක් විසින් පිහිටුවන ලද දේශපාලන පක්ෂයකි. ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි.

කෲරත්වය සහ වධබන්ධන ගැන ශ්‍රී ලංකා පොලිසියට චෝදනා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත පවසන්නේ, "ආණ්ඩුව ඇමෙරිකාවේ ගැත්තෙකු ලෙස ක්‍රියා කරන" බවය.

"පොලිසිය කියන්නේ රජයේ ආයතනයක්. අපිට පොලිසිය එක්ක කිසි ම ප්‍රශ්නයක් නෑ. ඔවුන් ක්‍රියාත්මක කරන්නෙ ආණ්ඩුවේ නියෝග. ඔවුන් නියෝගයකින් තොරව පහර දුන් බව කියනවා නම් ඇයි ඔවුන් ගැන විමර්ශනයක් නොකරන්නේ? මේක විරෝධතා මුලින් ම උපුටා දාන්න ආණ්ඩුව ගන්නා උත්සහයක්. ඒත් අපිව නවත්වන්න ආණ්ඩුවට බැහැ," කේඩී ලාල්කාන්ත පැවසීය.

මේ අතර, අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය අනන්‍යතාව බලවත් කර ගැනීම සඳහා අදාළ විරෝධතාව සංවිධානය කළ බවය.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ "සාමකාමී උද්ඝෝෂණයක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන" බවය.

"නිරෝධායන නීතිරීති කඩකළේ උද්ඝෝෂණය කරපු අය ද, පොලිසිය ද කියල රූපරාමු බලන ඕන ම කෙනෙකුට පේනව, මීටරයක දුර හිටපු මිනිස්සුත් එකතු කරල කූඩුවට ගෙනියන්න ඇදල දාගත්ත හැටියෙන් ගහපු හැටියෙන් නිරෝධායන නීති කඩකළේ කවුද කියල. සාමකාමී උද්ඝෝෂණයක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඇමෙරිකාවට වැඩිය ඇමෙරිකාව ආරක්ෂා කරන නිසානෙ මෙතන පොලිසියෙන් ගහන්නෙ ම්ලේච්ඡ විදිහට. එක රටක් එක නීතියක් කියන්නෙ මේකට ද?" සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා පොලිසියට චෝදනා වධදීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ කෝවිඩ්19 වසංගතය යොදාගනිමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට ශ්‍රී ලංකා පොලිසියට බරපතළ චෝදනා එල්ල වී තිබේ.

විශේෂයෙන් ම ආණ්ඩුව විවේචනය කරන පිරිස්, මාධ්‍යවේදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ක්‍රියාධරයන් 'දඩයම් කිරීම' සහ ආගමික බෙදීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රස්ත විරෝධී නීතිය සහ ඇඳිරි නීතිය යොදාගන්නා බව ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව එල්ලවන ප්‍රධාන ම චෝදනාවකි.

ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම සහ හියුමන් රයිට්ස් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද පොලිසියේ වධ බන්ධන පැනවීම් සහ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන සවිස්තර වාර්තා නිකුත්කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් 2018 අගෝස්තු මාසයේ බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රධාන විමර්ශන නිලධාරී, නීතිඥ ආචාර්ය මාරින්ග සුමනදාස කියා සිටියේ, "2017 - 2021 වර්ෂ ඉලක්ක කරගෙන 'මානව හිමිකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන," බවය.

"මෙම වැඩපිළිවෙල යටතේ ජාතික පොලිස් කොමිසමට පැවරිලා තියෙනවා 'විශේෂ ඒකකයක්' පිහිටුවලා විශේෂයෙන්ම පොලිස් වධ හිංසාවන්ට ලක්වන අය පිළිබඳ පියවර ගැනීමට."

එහෙත් එවැනි විශේෂ ඒකකයක් පිහිටුවන ලද බවක් මෙතෙක් වාර්තා වී නැත.

(බීබීසී )