Language Switcher

V2025

හඳුනාගන්න සිරිසේන : BBC යෙන් ප්‍රශ්න 10ක් !

බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර, තමන් ජනාධිපති පදවිය දැරූ සමයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධීන්, ඔහුගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය මෙන්ම රටේ වර්තමාන දේශපාලන ප්‍රවණතා ඇතුළු කරුණු ගැන අදහස් දැක්වීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශ්න 10ක් සහ ඊට ලැබුණු පිළිතුරු පහත දැක්වේ.

01. මුලදී ජනතාව ඔබ හඳුනාගත්තේ "සරල ජනාධිපතිවරයෙක්" වශයෙන්. ඔබ දිවුරුම් දුන් අවස්ථාවේදී ප්‍රකාශයක් කළා යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අදහසක් නෑ කියලා. එහෙම කියපු ඔබ ඇයි දැන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නේ?

"මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න. නමුත් අමතක කරන්න එපා මම පක්ෂ නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. මම ජනාධිපතිවරණයෙන් විශ්‍රාම ගෙන සිටින විට මහ මැතිවරණය නිවේදනය කිරීමත් සමගම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වුණා. ලංකාවෙම ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම කැදෙව්වා. පාර්ලිමේන්තු කණ්ඩායම කැදෙව්වා. මේ සෑම කෙනෙක්ම කරපු ඉල්ලීම තමයි පක්ෂ නායකයා තනතුරක් නැතුව ඉන්න බෑ. අඩු වශයෙන් පාර්ලිමේන්තුවෙවත් සිටිය යුතුයි කියලා."

02. ජනතාවට සේවය කරන්න තියෙන කැමැත්ත, ඔබගේ ජ්‍යෙෂ්ඨත්වය, පරිණත බව මේ සියල්ල සලකන විට ඉදිරියේදී ගොඩනැගෙන ආණ්ඩුවක පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ප්‍රමාණවත් ද ? එහෙම නැතිනම් අගමැති ධූරය, කතානායක ධූරය, කැබිනට් ඇමතිකමක් වගේ දෙයක් ගැන අදහසක් තිබෙනවද ?

"මම කිසිම තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිටපු ජනාධිපතිවරයෙක්. අවුරුදු 19ක් විතර ඇමතිකම් දරපු කෙනෙක්. ඒක නිසා මම පාර්ලිමේන්තුවට එනවා. තනතුරක් දුන්නොත් ඒක කරන එක වෙනම දෙයක්. හැබැයි අහවල් තනතුර කියලා ඉලක්ක කරගෙන වැඩ කිරීම මගේ ප්‍රතිපත්තිය නෙමෙයි.

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තක්සේරුව කුමක්ද ?

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් තරග කරනවා අපේක්ෂකයෝ 37ක් විතර. මම හිතනවා 25කට වැඩිය ජයග්‍රහණය කරයි කියලා."

ඔබ ජනාධිපති ධූරයට පත්වෙලා දින කිහිපයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය භාර ගත්තා. දැන් අවුරුදු පහක් වගේ කාලයක් ගත වෙලා. ඒ තීරණය ගැන ඔබ කණගාටු වෙනවද ? එසේ නොමැතිනම් ඒ ගත්ත තීරණය හරි කියලා හිතනවද ?

"මම කොහෙත්ම මම ගත්ත තීරණයක් ගැන කනගාටු වෙන කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට මම ගත්ත තීරණවල අඩුපාඩු තියෙන්න පුළුවන්. දේශපාලන පක්ෂවල කතාවත් හරියට මිනිස් ජීවිත වගේ තමයි. ගොඩනැගෙනවා. ශක්තිමත් වෙනවා. දුර්වල වෙනවා. ඉස්සරහට යනවා. පස්සට යනවා. නවතිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක යුගයෙන් යුගය, වරින්වර ජනතා මතයත් එක්ක ඇතිවන දෙයක්. ඉතිං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අනාගතයක් තියෙනවා. ඒක මම පැහැදිළිව කියන්න ඕනා."

03. ඔබ ජනාධිපති කරවන්න එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගත්තා. තවත් පක්ෂ හා සංවිධාන රැසක් ඒ වටා එකතු වුණා. එකසත් ජාතික පාක්ෂිකයෝ විශාල වශයෙන් ඡන්දය දුන්නා. 2015 දී ඔබ ප්‍රකාශ කළා බැරි වෙලාවත් මේ ප්‍රතිඵලය වෙනස් වුණා නම් ජීවිත වලට අනතුරක් තිබුණා කියන කාරණය. එහෙම කියපු ඔබ ඔබේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂව අගමැති කළා?

"මගේ ප්‍රතිපත්තිවලට එහෙම්පිටින්ම විරුද්ධව මගේ අගමැතිවරයා වැඩ කළානේ ජනාධිපති වෙච්ච පළවෙනි සතියේ ඉඳලම. 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා තමයි මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කෙරුවේ. ඒ දවස් පනස්දෙකේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව, නැවත නඩු ගණනාවකින් පසුව රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති කරන්න සිද්ධ වුණා. ඒක මගේ කැමැත්තකින් නෙමෙයි. එතුමාට දිවුරුම් දෙන්න සිද්ධ වුණා. අධිකරණයට ගරු කරන්න අවශ්‍යයි. මම අකමැත්තෙන් අගමැති ධූරයට පත් කරලා මම හොඳ දෙහි කැපිල්ලක් කළා."

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවෙන් අදහස් වෙන්නේ ඔබ ඒ අවස්ථාවේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා නෑ කියන එක නේද ?

"අධිකරණ තීන්දුවක් දුන්න එක ගැන මම තර්ක විතර්ක කරන්න යන්නේ නෑ. මොකද හිටපු ජනාධිපතිවරයෙක් විධියට. මම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මගේම දූෂිත ආණ්ඩුව විසුරවල ජනතාවට බලය දෙන්න සුදුසු ආණ්ඩුවක් තෝරා ගන්න. පාර්ලිමේන්තුවේ 122ට වැඩිය රටේ ඡන්දදායකයින් සංඛ්‍යාව මට ප්‍රබලයි. ඒක මගේ දේශපාලන දර්ශනය."

04. අපි දැක්කා වංචාවට, දුෂණයට එරෙහිව ක්‍රියා කරන්න ඔබ උත්සහයක් ගත්තා. පෙර ආණ්ඩුවේ වැරදි හොයන්න පමණක් නොව ඔබ නායකත්වය දරපු ආණ්ඩුවේත් වැරදි හොයන්න ජනාධිපති කොමිෂන් සභා පත් කළා. එහිදී ඔබ අපේක්ෂා කළ දේ එලෙසම ඉටු කර ගන්න පුළුවන් වුණා ද?

"මගේ දේ මං හරියට කෙරුවා. මං කොමිෂන් සභා පහක් පත් කෙරුවා. මහ බැංකු කොමිසම, 2015ට පෙර රජයේ කොමිසම, මගේ රජයේ දුෂණ වංචා කොමිසම ඒ වාර්තා තුනම පාර්ලිමේන්තුවේ සභා ගත කරලා තියෙනවා. මහ බැංකු කොමිෂන් සභා වාර්තාව අනුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කටයුතු කෙරුවේ. අර්ජුන ඇලෝෂියස්ලා හිරේ දැම්මේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තාව හම්බ වුණේ ජනාධිපති ධූරය අවසන් වෙන්න කිට්ටුව. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් ඒක නීතිපතිවරයාට යැවුවා. අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවුවා. ඒ විදියට මගේ වැඩ සියල්ලම මම කරලා තියෙනවා කිසි දේක අඩුවක් නැතුව. පාර්ලිමේන්තුවට යැවුව ඒවා එතනින් එහා ඒගොල්ලන්ට තියෙන්නේ. ඒවා මට නෙමෙයි තියෙන්නේ.''

බරපතල වංචා සොයන කොමිසම රාජ්‍ය ආයතන 17ක සිදු වෙච්ච වංචා දුෂණ ගැන වාර්තාවක් ලබා දුන්නා. ඒකෙ එක දෙයක් තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ, ITN ආයතනයේ ජනාධිපතිවරණ සමයේදී මුදල් නොගෙවා දැන්වීම් පළ කිරීමේ සිද්ධිය. ඒ අවස්ථාවේ කොමිෂන් සභාව නිර්දේශ කරලා තිබුණා මහින්ද රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට අල්ලස් පනත යටතේ ක්‍රියා කරන්න ඕනා කියලා. මොකද ඒකට වුණේ ?

"ඒවා ඉතිං මම දන්නේ නෑ. මට අයිති දේවල් නෙමේනේ ඒවා. ඒවා ඒ විෂය භාර අයිති අයගේ කාරණා."

ඒ කිවුවේ ඔබ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කැඳවනවා?

"ඔව් ඉතිං, ඒවා පාර්ලිමේන්තුවටනේ දාන්නේ. පාර්ලිමේන්තුවෙන් එහාට අමාත්‍යාංශ, ආයතන වලටයි ඒවා අයිති. ඒවා ජනාධිපතිගේ වැඩ නෙමෙයි.

කොමිෂන් සභා පත් කරලා, විශාල මුදලක් වැය කරලා, අවසානයේ ඵලක් වෙන්නේ නැතිනම් ?

"ඒක අහන්න ඕනා ඒ අයිති විෂයභාර ඇමතිවරයාගෙන්. අමාත්‍යාංශයෙන්."

05. මහ බැංකුවේ සිදුව ඇතැයි කියන වංචාව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරලා ඔබ ඒ වාර්තාත් ලබා ගත්තා. පසුගිය දවසක ඔබ ප්‍රකාශ කළ අත්සන් 21,000ක් ගහල ඔබේ පුද්ගලික කැපකිරීම. මේ තරම් කැපවීමක් කරලත් අද වෙනතුරු ඇයි ඔබ හිතන වැරදිකරුවන්ට දඬුවම් දෙන්න නොලැබුණේ ?

"මගේ කාලේ ආණ්ඩු දෙකක් තිබුණනේ. මගේ ආණ්ඩුවයි, අගමැතිගේ ආණ්ඩුවයි. අර්ජුන මහේන්ද්‍රන් රකින ආණ්ඩුවයි. අර්ජුන මහේන්ද්‍රන් හෙට අත්අඩංගුවට ගන්න කියලා ඊට කලින් දවසේ හවස මගේ ආණ්ඩුවේ ඉහළම ප්‍රභලයෙක් මේ රටම දන්නා කීර්තිමත් ජනාධිපති නීතිඥවරයෙකුගේ ගෙදරට රාත්‍රියේ ගිහිං තියෙනවා. මට බුද්ධි අංශ වාර්තා කළේ පස්සේ."

කවුද කියලා කියන්න පුළුවන්ද ?

"මං මොකටද එහෙම පුද්ගලයෙකුගේ නම් කියන්නේ?"ප්‍රහාරයට ලක් වූ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

ප්‍රහාරයට ලක් වූ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

06. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ කතාබහ මතුවෙනවා. ඇත්තටම ඔබ ඊට කළින් ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද ?"මම දැනගෙන හිටියා නම් මම ඕක වෙන්න ඉඩ තියෙනවද. ඔයා හරි ප්‍රශ්නයක්නේ අහන්නේ ? මම දන්නවනම් ඕක වෙන්න දෙනවද ?"

රටේ ජනාධිපතිවරයා ඔබ. ආරක්ෂක ඇමතිවරයා ඔබ. සේනාධි නායකයා ඔබ. පොලීසිය භාර ඇමතිවරයා. බුද්ධි අංශ තියෙන්නේ ඔබ යටතේ. බුද්ධි අංශ තොරතුරු තිබිලත් සේනාධිනායක, ජනාධිපති වෙච්ච ඔබ දැනගෙන හිටියේ නෑ කියන්නේ මොකද්ද තිබුණ හිස්තැන?

"හිස් තැන ඉතින් අද පරීක්ෂණ වලින් බොහොම පැහැදිළිව පෙනී ගිහින් තියෙනවනේ. කවුද වගකිව යුත්තෝ කියල මේ වන විට බොහොම පැහැදිලිව පෙනී ගිහිං තියෙනවා. ඒ හිටපු වගකිවයුතු අයගේ තමා සේවය තහනම් කරලා දැන් ඔය නඩු විභාග වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා තියෙනවා ඒ අයට. ඉතිං ඕක මේ බොහොම පැහැදිළියි. තව තියෙන තත්ත්වයන් ගත්තම හාරහාර කවුද මේක කියන්න තරම් මහා යටට යන්න දෙයක් නෑ. දැන් මේක පරීක්ෂණවලින් ඔක්කොම එළිවෙලා තියෙනවා කවුද වගකිව යුත්තෝ කියලා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා දැන් නඩු විභාග වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්. ඉතිං ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්, දැන් ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරීගෙන යනවා. ඒ නිසා මේක අපි මාධ්‍ය තුළ කතා කිරීමත් සුදුසු වෙන්නේ නෑ."

ඒ සඳහා ඔබ වගකිව යුතු නැද්ද? වගකීම භාර ගන්නවද? ඔබ හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ?

"මොන, මොනවා ගැනද?"

පාස්කු ප්‍රහාරය සම්බන්ධ වගකීම?

"පාස්කු ප්‍රහාරයට මොකටද මම වගකීම භාර ගන්නේ. වගකීම භාර ගන්න ඕනා වගකිව යුත්තොනේ."

මම මතු කළේ ඔබ රටේ ජනාධිපති. එවකට සේනාධි නායකයා. එවකට ආරක්ෂක ඇමතිවරයා.එවකට ඔබ පොලීසිය භාර ඇමතිවරයා.

"ජනාධිපති කසිප්පු අල්ලන්න යන්නෙත් නෑ, ස්ත්‍රී දුෂකයෝ අල්ලන්න යන්නෙත් නෑ. කුඩු කාරයෝ අල්ලන්න යන්නෙත් නෑ. ත්‍රස්තයෝ අල්ලන්න යන්නෙත් නෑ. ජනාධිපතිගේ තියෙන්නේ ප්‍රතිපත්ති, සැළසුම්, නියෝග සහ උපදෙස්. ජනාධිපති කියන කෙනා, සේනාධි නායකයා."

ඒ උපදෙස් නිසිපරිදි නොලැබුණ බවට නේද පහුගිය කාලේ චෝදනා එල්ල වුණේ ?

"ඒවා ඔක්කොම හරියට ජනාධිපති කරලා තියෙනවා. එතනින් පහළ මිනිස්සු තමා ඒවා කරලා නැත්තේ. මේ සියලු පරීක්ෂණ වලින් ඒවා පෙනීගිහින් තියෙනවා. ඒ පරීක්ෂණ වලින් ඒවා ඔක්කොම ඔප්පුවෙලා තියෙනවා."

මේ දක්වා ඔබ හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි වගකීමක් භාර ගත්තේ නෑ. ජනතාවගෙන් සමාව ගැනීමක් කළේ නෑ. නමුත් අපි දකිනවා ලෝකයේ වෙනත් රටවල යම්කිසි සිද්ධියක් වුණොත් විෂය භාර ඇමතිවරු ඉල්ලා අස්වෙනවා. ඒ අය ජනතාවට කණගාටුව පළ කරනවා. එහෙම කණගාටුව පළ කරන්න ඔබට මේක අවස්ථාවක් කර ගන්න පුළුවන්ද ?

"කණගාටුව පළ කරන්න දැනගෙන තියෙන්න එපෑ. ඔයා මේ අහන ප්‍රශ්නය හාරහාරා අවුස්සන්නේ මට හරිම පුදුමයි ඔයා මේ ප්‍රශ්නය හාරහාර ඇවිස්සිම පිළිබඳව. ජනාධිපතිගේ හෝ අගමැතිගේ ආරක්ෂක නිලධාරීන්ට මේ තොරතුර දීලා නැත්නම් කොහොමද ජනාධිපති දන්නෙත්, අගමැති දන්නෙත්?"

07. ඔබ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ලොකු උත්සහයක් ගත්තා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මේ රට, රටේ දරුවෝ අනාගතය බේරා ගන්න කියල ඔබ ලොකු සටනක් ගෙන ගියා. සිවු දෙනෙක් එල්ලලා මරන්න ඔබ නිර්දේශයන් පවා ලබා දුන්නා. නමුත් අවසනයේදී ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඔබට ජනාධිපති විදියට හැකියාව ලැබුණේ නෑ.?

"හිරගෙදර ඇතුළේ ඉඳගෙන, කුඩුවලට මරණිය දණ්ඩනය නියම වෙලත් කුඩු ජාවාරමේ යෙදිච්ච අයට තමයි මරණිය දණ්ඩනය තීන්දු කරලා සියලු දේවල් කළේ. මරණිය දණ්ඩනය දෙන්න ඔක්කොම වැඩ සුදානම් කරලා තියෙනකොට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ නායකයි, විපක්ෂයේ නායකයයි දෙන්නම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා මරණිය දණ්ඩනය දීම සුදුසු නැහැ කියලා. දෙන්නම ප්‍රකාශ දෙකක් කළා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් දාලා මගේ තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වන්න නියෝගයක් ගත්තා."

08. පහුගිය කාලේ කතාබහට ලක්වුණා "රෝයල් පාර්ක්" මිනීමැරුම් නඩුවේ වරදකරු නිදහස් කිරීම සම්බන්ධව. ඔහුගේ පවුල් පසුබිම, මේ සියල්ල මත අල්ලස් අරගෙනද කියලත් කතාවක් ගියා. ඇත්තටම මොකක්ද ඒකේ පසුබිම?

"අතුරලියේ රතන හාමුදුරුවෝ, ඊළඟට බද්දේගම සමිත හාමුදුරුවොත් මට ඔය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු ඉදිරිපත් කළා. අධිකරණ අමාත්‍යංශයේ කමිටුවක් තියෙනවා සිරකරුවන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන්.අර කමිටු වාර්තාවල කියනවා දැන් මොහුගේ යහපත් කල් ක්‍රියාව තුළ මොහු සමාජයට ගිහිල්ලා වැරදි කරයි කියලා හිතන්න බෑ. මොහු හිර ගෙදරමයි උපාධිය සමත්වෙලා තියෙන්නේ. දැන් පශ්චාත් උපාධිය කරන නිසා මොහු නිදහස් කිරීම සුදුසුයි කියලා ඔක්කොගෙන්ම නිර්දේශ කරලා තිබුණා. ඒ අනුව තමයි එයාව නිදහස් කෙරුවේ. ඉතිං ඔය සල්ලි ගත්තනම් මම දන්නේ නෑ කවුරු හරි ගත්තද කියලා. මම නම් සත පහක්වත් ගත්තේ නෑ.මට ඉතිං හිරේ ඉන්න මිනිහෙක් නිදහස් කරලා සල්ලි ගන්න ඕනිද?"

දැන් මේ "රෝයල් පාර්ක්" සිද්ධියේ වරදකරු පමණක් නෙමෙයි , තවත් ඒ වගේ අධ්‍යාපන කටයුතු කරපු අය පිළිබඳව වාර්තා වුණා. ඒ අය පිළිබඳවත් යම් සළකා බැලීම් කරන්න ඔබට ඉදිරිපත්වීම් ආවද ? නැද්ද ?

"තව හිටියනම් පශ්චාත් උපාධි කරන අය හිර ගෙදර සාමන්‍ය උපාධිය කරලා මම ඒත් නිදහස් කරනවා. මට හම්බුණේ මෙයා විතරයි. ඊළඟට තව හිරගෙදර එක්කෙනෙක් හිටියා උපාධියක් කරන්න ලියාපදිංචියට සල්ලි නෑ කියලා සල්ලි ඉල්ලුව. මම එයාට ජනාධිපති අරමුදලෙන් සල්ලි දුන්නා. සුබ සාධන කටයුතු කළා. නිදහස් කිරීම් කළා. ඒ වගේම මරන්න ඕනා එකා හිරෙන් ඇදල මරන්න තමයි මරණීය දන්දනයටත් මම වැඩේ දුන්නේ. මගේ තීන්දු තීරණ මම එහෙම තමා ගන්නේ."

09. ඔබ ජනාධිපතිවරණයේදී ලද ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණය කරලා බලනකොට 2015 විශාල සුළු ජාතික ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඔබ උතුරේ වැඩි වශයෙන් සංචාරය කළා. ඔබ එහිදී උතුරේ ජනතාවගේ ඉල්ලීම් මත හමුදාව අත්පත්කරගෙන තිබු ඉඩම් නැවත දෙන්න ක්‍රියා කළා.ඒ වගේම ඔබ සඳහන් කළා සංහිඳියාව ඇති කළ යුත්තේ හදවත්වල කියලා. ඔබ ජනාධිපති වූ පසු නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කළා. සංහිදියාව ගොඩනගන්න ඔබ දුන් දායකත්වය චන්ද ප්‍රතිපලයෙන් කැපී පෙනුණා. නමුත් අපි ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ ඡන්ද ප්‍රතිඵලය දිහා බැලුවහම සිංහල බෞද්ධ පදනම මුල් කරගත්ත ඡන්ද ප්‍රතිඵලයක් දකින්න ලැබුණේ. ඒ වගේම ජාතිකවාදී සංවිධාන විශාල වශයෙන් ඒ වටා එකතුවෙලා තිබුණා. ඔබතුමා දැකපු සංහිඳියා ක්‍රියාදාමය ඉස්සරහට යාම නතරවීමක් ඔබට මේකෙන් පෙන්න තියෙනවාද ? එසේ නැතිනම් මේක ඉදිරියට යා යුත්තේ කෙසේද කියලද ඔබ විශ්වාස කරන්නේ ?

"මෙහෙමයි ඉතින් ඒක රජයේ ප්‍රතිපත්ති තුළ, ඒක රජය කටයුතු කරන ආකාරය. ඒක රජයේ කාර්යයක්. ඒ ගැන මට කතා කරන්න පුළුවන් කමක් නෑ. නමුත් ඉතින් මේ රටේ සිංහල, දමිල, මුස්ලිම් සියලු ජන කොටස් එකට සහයෝගයෙන්, සමගියෙන්, සහජීවනයෙන් සංහිඳියාවෙන් සිටීමේ වැදගත්කම මම කවදත් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්න කෙනෙක්. ඉතිං මේ රටේ අනාගතය පවත්තිනේ සියලු දෙනා සහෝදරත්වයෙන්, ගැටුමක්, අර්බුදයක් නැතුව සමගියෙන් සිටින විටයි. ඒ නිසා රටේ සංවර්ධනය පොදුවේ සිදු වෙලා ජාතීන් අතර සමගිය ඇතිවෙලා ඒ සහජීවනය ඇතිවිය යුතුයි. ඒක මගේ ප්‍රතිපත්තිය. වර්තමාන රජය තුළත් මම විශ්වාස කරනවා හෙට දවසේදී හෝ ඒ කාර්යය ඒ ආකාරයෙන් ඉෂ්ට වෙයි කියලා.

10. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔබ ජාත්‍යන්තරය සමග කටයුතු කළ ආකාරය බොහෝ රාජ්‍ය නායකයන්ගේ ඇගයීමට ලක් වුණා. 2015 ඔබ ජනාධිපති වෙනකොට 'විදුලි පුටුව', මානව හිමිකම් ගැටලු කරලියට පැමිණ තිබුණ කාලයක්. එවන් පසුබිමක් තුළ , ජාත්‍යන්තරයේ බලපෑම් තුළ ඔබ එය කළමනාකරණය කළ ආකාරය ගැන රාජ්‍ය නායකයන්ගේ ඇගයීමට ලක් වුණා. ඔවුන් ඔබගේ යහපාලන ක්‍රමවේදයට ලොකු සහයක් දැක්වුවා. එදා ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වෙච්ච කණ්ඩායම තමයි දැන් නැවතත් පාලන බලයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද ?

"මට කියන්න පුළුවන් මගේ පාලන කාලයේ මම අන්තර්ජාතික සම්බන්ධකම් ඉතා ප්‍රභල ලෙස ශක්තිමත් කළා කියලා. ලෝකයේ ඕනෑම රාජ්‍ය නායකයෙකු එක්ක කතාබහ කරපුවහම ඔවුන්ගේ හිත් දිනාගැනීමේ හැකියාවක් මට තිබුණා. ඒ තත්ත්වය තුළ ඔය ඔබ කියපු විදුලි පුටු, ජාත්‍යන්තර අධිකරණය මගේ කාලය තුළ මට පුළුවන් වුණා ඒවා ඔක්කොම නවත්වා ගන්න. විදේශ පරීක්ෂණ ඒවා ඔක්කොම නවත්තගන්න ලැබුණා. මම ඒවා ගැන සැහීමකට පත් වෙනවා. ඉතිං රටේ ජනතාව අලුත් ආණ්ඩුවක් පත්කළහම ඒ අලුත් ආණ්ඩුවේ විදියට අපි ඒ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න ඕනා. ඒ ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනා. මගේ ප්‍රතිපත්තියත් නව රජය විදියට මගේ සම්පුර්ණ සහයෝගය වර්තමාන රජයට ලබා දීම."