නාකොටික් ලොක්කට ස්ථාන මාරුවක් !

නාකොටික් ලොක්කට ස්ථාන මාරුවක් !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (නාකොටික්) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් සුබසාධන කොට්ඨාශය වෙත මාරු කිරීමට පොලිස් කොමිසම විසින් නිර්දේශකර ඇත.

මෙම ස්ථාන මාරුව නිර්දේශ කර ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගිය දා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් හෙලිව් කරුණු සැලකිල්ලට ගනිමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසීය.

මෙසේ වැඩ තහනමට ලක් කරනු ලැබුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල් වරයෙකුගේ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

කුඩු කිලෝ 225ක් ගෝනිවල අසුරා ඇත්තේත් නිලධාරින්මයි

මහබාගේ පොලිස් වසමේදී ඉකුත් මැයි 14 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව කියූ හෙරොයින් කිලෝ දෙසිය විසිපහ සහල් මලුවලට අසුරා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ම බවට විමර්ශනවලදී තහවුරු වී ඇත.

මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට පෙර මාතර, බලපිටිය හා කඳානේ වූ ආරක්ෂිත නිවස්න (Safe house) තුළදී කිලෝ දහයේ සහල් ගෝනි ගලවා ඒවාට හෙරොයින් කිලෝව බැගින් වූ පාර්සල් දැමුවේත් මොවුන් බවට පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මෙම කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒමට ට්‍රෝලරය කුලියට ගෙන මුහුදට ගොස් ඇත්තෙත් ඒවා සහල් මලුවල අසුරා කුලියට ගත් ලොරියකින් මහබාගේ, වැලිසරට රැගෙනවිත් ඇත්තෙත් මොවුන්ම බව හෙළි වී ඇත.

එම හෙරොයින් තොගය මාතර සිට කොළඹට රැගෙන එන අතරේ පාර්ලිමේන්තුව පසුපස පිහිටි කිඹුලාඇල ප්‍රදේශයේදී හෙරොයින් තිබූ එක් ගෝනියක් බිමට බා ඇති බවද විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත.

මෙම කණ්ඩායමට මෙකී කුඩු තොගය ප්‍රවාහනය කර රුපියල් ලක්ෂ එකසිය තිහක් ලබාගෙන ඇති බවත් මීට අමතරව තවත් කුඩු කිලෝ අනූනවයක් මිනුවන්ගොඩ ටයිල් චමින්දට ගෙන ගොස් දුන් බවත් හෙළි වී ඇත.

මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම් මෙහෙය වූ ඩුබායිහි සිටින ගිහාන් ෆොන්සේකා සමග එක් වී මෙම කුඩු කිලෝ අනූනවය විකුණා ඇතැයි ද හෙළි වී තිබේ.

බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා විසින් ලබාදෙන කුඩු තොග මෙසේ රැගෙනවිත් බෙදාහරින මෙහෙයුමකදී මෙකී චෝදනා එල්ලවූ නිලධාරීන් සම්බන්ධ වී සිට ඇතැයි හෙළි වී තිබේ.

මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වූ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රැසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න