බස්නාහිර පළාත් සභාව කොළඹ මහ නගර සභාවට කෝටි 300ක් ණයයි !

බස්නාහිර පළාත් සභාව කොළඹ මහ නගර සභාවට කෝටි 300ක් ණයයි !
බස්නාහිර පළාත් සභාව, කොළඹ මහනගර සභාවට කෝටි 300 ක් ණය බව අනාවරණය විය.
 
ඒ පුරපතිනී රෝසි සේනානායක විසින් හිටපු අග්‍රාමාත්‍ය ,  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  හමුවේ සිදුකළ ප්‍රකාශයක් හරහා ය.
 
කොළඹ පුරපතිනී රෝසි සේනානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂ නගර සභා මන්ත්‍රීවරු පිරිසක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ  හමුවී එක්සත් ජාතික පක්ෂය මගින් පාලනය කරන කොළඹ මහ නගර සභාව මගින් ජනතාවට ලබාදිය හැකි සහන සේවා පිළිබඳව සාකච්ඡා කරන ලදී.
 
මෙහිදී කොවිඩ් 19 තත්ත්වය හේතු කොට ගෙන පීඩාවට පත්වුණු කොළඹ මහ නගර බල ප්‍රදේශය තුළ සිටින ත්‍රී රෝද රථ රියදුරන් සහ මහජනතාව වෙත කඩිනම් සහන ලබාදෙන ලෙස පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ 
විසින් පුරපතිනි රෝසි සේනානායක වෙත උපදෙස් දෙන ලදි. ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් අය අයකරගන්නා වූ බදු ඉවත් කිරීමටත්, වාහන නැවැත්වීමේ දී ගෙවනු ලබන ගාස්තු ඉවත් කිරීම ඇතුළු සහන රැසක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.
 
 එමෙන්ම, කොළඹ මහ නගර සභාව වෙත බස්නාහිර පළාත් සභාව මගින් කෝටි තුන්සියයක මුදල් ප්‍රමාණයක් අයවීමට ඇති බවත්, එම මුදල නොලැබුණහොත් කොළඹ මහ නගරසභාවේ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට නොහැකි වන බව පුරපතිනිය ඇතුළු මන්ත්‍රීවරු ප්‍රකාශ කර සිටියේ ඒ අවස්ථාවේ ය. එම මුදල කඩිනමින් අය කරගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ගරු නායකතුමන් විසින් කොළඹ පුරපතිනී රෝසි සේනානායක ඇතුළු මන්ත්‍රී පිරිසට උපදෙස් දෙන ලදි.
 
අවසන් වශයෙන් එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව පුරපතිනිය ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එජාප නායකත්වය වෙත  දන්වන ලද බවත් වාර්තා වෙයි . එමෙන්ම නායකත්වයේ උපදෙස් පරිදි කොළඹ නගර සභා සීමාව තුළ සිටින මහජනතාවට සාකච්ඡා කරගත් පරිදි කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බවද පුරපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන ලද බවත් එජාප මාධ්‍ය ඒකකය පවසයි.
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.