Language Switcher

V2025

හමුදා ජුන්ටා පාලනයක් රටට අවශ්‍ය නෑ - මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

හමුදා ජුන්ටා පාලනයක් රටට අවශ්‍ය නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ  ජ්‍යේෂ්ට කතිකාචාර්ය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි පවසති.

රාවය පුවත්පත වෙනුවෙන් ශ්‍රීලාල් සෙනවිරත්න සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර ඇත.

එහිදී ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටීම සම්බන්ධව ද එම හිමියන් අදහස් දක්වා ඇති අතර එහිදී මෙසේ පවසා ඇත.

"තුනෙන් දෙකක් ඕනේ කියලා අර්ථකථනය කරන්නේ පහුගිය අවුරුදු පහ ඇතුලේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ තිබුණු බරපතල ගැටුම ආකාරයේ ගැටුම් ඇති නොවෙන තත්ත්වයක් හදාගන්න. මම හිතන්නේ 19 වෙනි සංශෝධනයෙන් සිදුවුණු මේ වැරැද්ද නිවැරදි කරගැනීම සඳහා කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගැනීම උදෙසා තුනෙන් දෙකක බලයක් වුවමනාය කියලා තමයි, ඊට එහා ගිය අය දැන් කල්පනා කරන්නේ. නමුත් ඒ සඳහා තුනෙන් දෙකක් ගැනීමම වුවමනා නෑනේ. පක්ෂ විපක්ෂ දෙගොල්ලම මේ ගැටලූ තේරුම් අරගෙන තියන නිසා දෙපක්ෂයටම එකතුවෙලා එවැනි වැදගත් අවශ්‍යතාවන් සකසා ගන්න පුළුවන්. තුනෙන් දෙකක අත්තනෝමතික බලයක්ම ඒ සඳහා අවශ්‍ය නෑ."

අදාළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

ගිහි සමාජය විසින් පූජ්‍ය, පූජක පක්ෂයේ ගෞරවය ආරක්ෂා කළ යුතු බවට වන අවධාරණය, හරීන් ප‍්‍රනාන්දු කාදිනල්තුමන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයත් සමග පසුගිය දිනවල නැවත මතුවුණා. ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේදී කැලණි විහාරයට මණිඅක්ඛික නාගරාජයා ධාතු වැඩම කරවූ බවට සිදුකළ ප‍්‍රචාරයක් නිසා කැලණි විහාරාධිපති හිමියන් අදටත් උසුළු විසුළු අපහාස උපහාසවලට ලක්වෙනවා. සිදුවිය යුත්තේ පූජ්‍ය-පූජක පක්ෂයේ ගෞරවය ජනතාව විසින් ආරක්ෂා කර දීමද? ඒ අය විසින්ම ආරක්ෂා කරගැනීමද?


පූජ්‍ය-පූජක පක්ෂය විදිහට අපිට කතා කරන්න තියෙන්නේ අපේ රටේ ඉදිරි පරම්පරාවට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවාද? ඒවාට ආගමික අංශයෙන් දිය හැකි සහයෝගය, අවවාද අනුසාසනා මොනවාද? වගේ කාරණා. කිතු දහම, බුදු දහම කියන්නේ ලෝකයේ විශාල පිරිසක් අදහන ආගම්. මේ ආගම්වලින් සිදුවෙන්න ඕනේ මිනිස්සුන්ගේ ප‍්‍රඥාව ගොඩනගන එක. බුද්ධියට ආමන්ත‍්‍රණය කරන එක. එහෙම නැතිව මිනිස්සුන්ගේ මෝහයට ආමන්ත‍්‍රණය කරන දේවල් නොවෙයි. අනෙක් පැත්තෙන් අද ප‍්‍රධාන පෙලේ මාධ්‍යයත් සම්පූර්ණයෙන්ම මෝහයට මග කියනවා. ඒ අය තමයි මේවා ඇදගෙන යන්නේ. මිනිසුන් ප‍්‍රඥාව කරා මෙහෙයවන ආගමික නායකත්වයන් වගේම එවැනි මාධ්‍ය කලාවක අවශ්‍යතාවත් අද ඉතාම වැදගත් වෙලා තියනවා, කාගේ කාගෙත් ගෞරවය රැකගන්න.


පූජ්‍ය-පූජක දෙපක්ෂයටම දේශපාලනය කිරීම හෝ දේශපාලකයන්ගේ අන්තේවාසිකයන්වීම ප‍්‍රධාන ආගම්වල ශාස්තෘවරයන් විසින් අනුමත කරලා නෑ නේද? එහෙම තියෙද්දි ආගමික නායකයෝ කවර ආකාරයෙන් දේශපාලනය කළත්, ඒක වැරදියි නේද?


හතරවෙනි මිහිඳු රජුගේ සෙල් ලිපියක තියන බව සඳහන් වෙනවා තමන් රජකමට පත්වුණේ භික්ෂූන් අතින් කියලා. එතන කියන්නේ හාමුදුරුවරුන්ට බලයක් තිබුණා අවශ්‍ය වෙලාවට පාලකයන් නිර්මාණය කරලා දෙන්න. විශේෂයෙන්ම රටක් අනාථ වෙනකොට, අගතිගාමී වෙනකොට, පාලකයෙක් නැති වෙනකොට. ධාතුසේන රජ්ජුරුවන්ගේ කතාවෙනුත් ඒක පැහැදිලි වෙනවා. ඒ නිසා ස්වාමින්වහන්සේලා ඉතිහාසය පුරාම කරලා තියෙන්නේ අවශ්‍ය වෙලාවෙදි මැදිහත්වෙලා රට බේරාගැනීම සඳහා පුද්ගලයන් නිර්මාණය කරලා දීම මිසක්, නූතනයේ අපි දකින දේශපාලකයන්ට කඬේ යන දේශපාලනය නොවෙයි. ඒක ඉතිහාසය තුළ පැවරුණ වගකීමක් විදිහටයි භික්ෂූන් අතින් ඉටුවෙන්නේ.


ජනාධිපතිවරයා භික්ෂූන්වහන්සේලා සමග සමීප ගනුදෙනුවක නිරතවෙමින් උපදෙස්ද ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. රාජ්‍ය පාලනයට භික්ෂූන්ගෙන් උපදෙස් ගැනීම ඉතිහාසය තුළ සාර්ථක වූ පමණින් වර්තමානයෙත් එලෙසින්ම සාර්ථක වේ යැයි කිව හැකිද?


2015දි මහින්ද රාජපක්ෂ පරාජයට පත්වෙන්න හේතුව වුණේ වුවමනා නැති තරම් භික්ෂූන්වහන්සේලා තමන්ගේ වන්දිභට්ටයෝ විදිහට පත්කරගෙන කළ, වුවමනා නැති දේශපාලනයයි. වර්තමානයෙත් මම දකින්නේ ගෝඨාභය රාජපක්ෂ වුවමනාවට වඩා සංඝයා ළංකර ගැනීම සහ වුවමනාවට වඩා ඒ අවවාද අනුශාසනා ලබාගන්න යාමෙන් යම් වෙලාවක ඔහුටත් ඉතිහාසයේ ඔහුගේ සහෝදරයාට සිදුවුණු දේ සිද්ධ වෙන්න පුළුවන් බවයි. විශේෂයෙන්ම එක්තරා කණ්ඩායමක් නිර්මාණය කරගෙන ඒ අය ළංකර ගැනීම කොහෙත්ම හොඳ නෑ.


හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම ගැන කරුණා අම්මාන් කළ ප‍්‍රකාශය මත ඔහු අත්අඩංගුවට ගත යුතුයි කියා උද්ඝෝෂණ කරන පිරිස් අතර භික්ෂූන්වහන්සේලාත් දකින්නට ලැබෙනවා. ඒ ගැන ඔබවහන්සේගේ අදහස මොන වගේද?

කරුණා අම්මාන් එවැනි ප‍්‍රකාශයක් නොකළ යුතුව තිබුණා. එවැනි ප‍්‍රකාශයක් කිරීමෙන් ඔහුට දේශපාලන වශයෙන් දෙමළ ජනතාවගේවත් සහයෝගය ලබාගන්න බෑ. ඔහු දේශපාලකයෙක් නම්, මේ රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්න පාර්ලිමේන්තුවට යන්න කැමති කෙනෙක් නම්, අම්පාර, දිගාමඩුල්ල ප‍්‍රදේශවල දෙමළ ජනතාවට මුහුණ දෙන්න තිබිච්ච ප‍්‍රශ්න ගැටලූ ගැන, අනාගතේ ඒවාට විසඳුම් සොයාගන්නේ කොහොමද කියන එක ගැන තමයි ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න තිබුණේ. නමුත් මේ කරලා තියෙන්නේ අවස්ථාවාදී දේශපාලනයක්. කෙසේ වුවත් මම කියන්නේ මේ සම්බන්ධව තීන්දු තීරණ ගන්න අපිට බෑ. ඒකට අධිකරණයක් තියනවා. ඒකට ඒ ගැන තීන්දු තීරණ ගන්න දෙනවා විනා මේක මැතිවරණ දේශපාලනයේ කොටසක් බවට පත්කර ගැනීම හොඳ නෑ.

කරුණාට ආයුධ දුන්නේ පේ‍්‍රමදාස බවත්, කරුණාගේ ඉතිහාසය කවුරුත් දන්නා බවත් කියමින් අගමැතිවරයා කරුණා සාධාරණීකරණය කර තිබෙනවා නේද? අගමැතිවරයා එහෙම කළාම අධිකරණයට, පොලිසියට පුළුවන් වෙයිද ස්වාධීනව මේ ගැන කටයුතු කරන්න?

අධිකරණය, පොලිසිය ස්වාධීනව කටයුතු කරනවා නම් අගමැතිතුමා මොන ප‍්‍රකාශ කළත් ඒගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් ගැටලූවක් එන්නේ නෑනේ. පේ‍්‍රමදාස දීපු ආයුධවලින් තමයි ඒ හමුදා විරුවන් මැරුවේ කියලා ඒක දේශපාලන වාසියක් බවට පත්කර ගන්නනේ අගමැතිවරයා හදලා තියෙන්නේ. ලංකාවේ මැතිවරණ වේදිකාවල ඕක බොහොම සුලබ දෙයක්.

ප‍්‍රකාශයට ඔබ්බෙන් මෙතනදි පළවී තිබෙන්නේ ඔවුන්ගේ සැබෑ හැගීමනේ. මිනීමැරිල්ලේ වීරකම ගැන කියමින් කරුණලා උතුරු නැගෙනහිර ජාතිවාදය පෝෂණය කරමින් පාර්ලිමේන්තුවට එන්න දගලනවා. දකුණේ විශ‍්‍රාමික හමුදා නිලධාරිනුත්, නැගෙනහිර මුස්ලිම් දේශපාලකයනුත් ඒ දේම වෙනස් ආකාරයකින් කරනවා. මේ විදිහට බැලූවාම මහ මැතිවරණය, හොඳම ජනතා නියෝජිතයන් තෝරාගන්නා එකක් වෙනුවට පාර්ලිමේන්තු යවන්න හොඳම ජන ඝාතකයන් තෝරන මැතිවරණයක් බවට පත්වෙලා නේද?

දෙමළ ජනතාව රටින් භාගයක් ඉල්ලා යුද්ධ කරන තැනට එන්නට පෙර ඔවුන්ට මේ රටේ යම්කිසි විදිහක අසාධාරණයක් සිදුවුණා. භාෂා ප‍්‍රශ්නය වගේ මුලින්ම තිබුණු ඉතා කුඩා කුඩා ප‍්‍රශ්න නොවිසඳීම නිසා, පසුව මේක ත‍්‍රස්තවාදයක් බවට පත්වෙනවා. ඒ ත‍්‍රස්තවාදය මර්දනය කිරීම තමයි අවසන් වශයෙන් යුද්ධයෙන් සිදුවුණේ. මේක නැවත ගොඩගන්න සිංහල හෝ දෙමළ හෝ කවුරු හෝ උත්සාහ කරනවා නම් ඇත්තටම ඒක වෛරය හුවමාරු කරගැනීමක් බවට පත්වෙනවා. සඳහිරු සෑය හදන්න මුල්ගල් තියන දවසෙත්, ඕකේ ධාතු නිදන් කළ දවසෙත් මම කිව්වේ මෙවැනි යුද්ධ ස්මාරකයක් පවා අපට ඕනේ නෑ කියලා. මේ යුද ස්මාරකය නිසා මේ මොහොතේ සිංහල අය සතුටු වෙයි, මේක තමයි අපි යුද්ධය නිම කිරීමේ සටහන කියලා. තව අවුරුදු සීයකින්, දෙසීයකින් හරි අනෙක් පැත්තේ බිහිවෙන පරපුර කල්පනා කෙරුවොතින් මේ තමයි අපේ වර්ගයා අවසන් කරන්න කරපු උත්සාහයේ ප‍්‍රතිඵලයක් විදිහට ගොඩනැගුව ස්මාරකය කියලා, එතකොට මොකද වෙන්නේ? යුද ස්මාරක පිහිටුවීම්, මහා පරිමාණයේ යුද සැමරුම් පහුගිය කාලයේ නැවතිලා ගියා. දැන් නැවතත් මතුවෙලා තියනවා. පාර්ලිමේන්තුව තුළටත් යුද ස්මාරක අවශ්‍ය නැහැ කියන එක ජනතාව තේරුම්ගත යුතු බවයි මගේ කල්පනාව.

ආණ්ඩුවට මහා මැතිවරණයේදි තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටිනවා. එවැනි බලයක් ලැබුණ සෑම විටම රටේ හිස එසවූයේ දුෂණය භීෂණය මර්දනය බව අපි අත්දැකීමෙන්ම දන්නවා. එවැනි පසුබිමක ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දිය යුතුද?

තුනෙන් දෙකක් ඕනේ කියලා අර්ථකථනය කරන්නේ පහුගිය අවුරුදු පහ ඇතුලේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ තිබුණු බරපතල ගැටුම ආකාරයේ ගැටුම් ඇති නොවෙන තත්ත්වයක් හදාගන්න. මම හිතන්නේ 19 වෙනි සංශෝධනයෙන් සිදුවුණු මේ වැරැද්ද නිවැරදි කරගැනීම සඳහා කිසියම් ක‍්‍රියාමාර්ගයක් ගැනීම උදෙසා තුනෙන් දෙකක බලයක් වුවමනාය කියලා තමයි, ඊට එහා ගිය අය දැන් කල්පනා කරන්නේ. නමුත් ඒ සඳහා තුනෙන් දෙකක් ගැනීමම වුවමනා නෑනේ. පක්ෂ විපක්ෂ දෙගොල්ලම මේ ගැටලූ තේරුම් අරගෙන තියන නිසා දෙපක්ෂයටම එකතුවෙලා එවැනි වැදගත් අවශ්‍යතාවන් සකසා ගන්න පුළුවන්. තුනෙන් දෙකක අත්තනෝමතික බලයක්ම ඒ සඳහා අවශ්‍ය නෑ.

සිවිල් සේවයේ ප‍්‍රමුඛ තනතුරු සඳහා පවා හමුදා නිලධාරීන් පත්කරමින්, පාර්ලිමේන්තුව තුළත් හමුදා නියෝජනයක් ඇතිකර ගැනීම සඳහා විශ‍්‍රාමික හමුදා නිලධාරීන් මැතිවරණයට ඉදිරිපත් කරමින්, රට මිලිටරි ජුන්ටාවක පාලනයකට නතුකර ගැනීමේ ප‍්‍රයත්නයක ආණ්ඩුව නිරත වෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. ඔබවහන්සේලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරන්න සහාය දුන්නේ මේ වගේ මාවතක රට ගෙනියන්නද?

ගෝඨාභය රාජපක්ෂ හමුදා මානසිකත්වයක් සහිතව රටේ ජනාධිපති ධුරයට පත් වූ කෙනෙක්. ඔහු මීට පෙර ලංකාවේ දේශපාලනය තුළ අඩුම තරමින් ප‍්‍රාදේශීය සභාවක් හෝ නියෝජනය නොකර, එකපාරටම ජනාධිපති පුටුවට පැමිණි කෙනෙක්. එනිසා ඔහු කල්පනා කරනවා ඇති ඔහු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් වැඩකරන සමයේදි තමන්ට පැවරී තිබුණු ආයතනවල යම් ප‍්‍රගතියක් ඇතිකර ගන්න හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවලා පුළුවන් වුණා නම් ඒ ආකාරයෙන්ම හමුදාවේ සහාය අරගෙන ලංකාවේ අනෙකුත් ප‍්‍රශ්නවලටත් විසඳුම් සොයන්න පුළුවන් කියලා. කොවිඞ් මර්දනයේදී ඔහු ඒකේ සාර්ථක බව නැවත වරක් පෙන්නුම් කරලත් තියනවා. හැබැයි හැමදේකටම හමුදාව ආරෝපණය කරන්න යාම මම අනුමත කරන්නේ නෑ. මහා පරිමාණයෙන් සිද්ධ වෙලා නැතිවුණත්, ලංකාව මිලිටරිකරණය වෙමින් තිබෙනවාය කියන මතවාදය දැනටමත් ලෝකයට ගිහිල්ලයි තියෙන්නේ. මහ මැතිවරණයෙන් පසුව බිහිවන ආණ්ඩුවකින් එවැනි දිසාවකට රට යොමුවුණොත් ඒක අපි බලාපොරොත්තු නොවුණු විදිහේ ලොකු අවාසනාවක් වෙනවා.

නමුත් ඒ දේ දැනටමත් සිදුවෙමින් පවතිනවා. විදුහල්පති ධුරය පවා හමුදා නිලයක් බවට පත්කරලා. වැඩිකල් නොයා විශ්වවිද්‍යාල උපකුලපති ධුර, පීඨාධිපති ධුරවලට පවා හමුදා නිලධාරීන් පත්වෙන්න බැරිකමක් නෑ නේද?

මේකට දැනටම ලංකාවේ පරිපාලන සේවයේ විරෝධයක් මතුවෙලා තියනවා. ඉස්සරහට ඒක ඉතාම පුළුල් ලෙස පැතිරෙන්න පුළුවන්. නිලධාරීන්ගේ අඩුපාඩු තියනවා නම් ඒවා හදාගැනීමට පුහුණු කිරීම් ආදිය සිදුකිරීම රජයේ වගකීමක්. එහෙම නැතිව හැම එකම හමුදාව දාගෙන කරන්න ගියොත් ලෝකය තුළින්වත් අපට කිසියම් ආකාරයක යහපත් ප‍්‍රතිචාර ලැබෙන්නේ නෑ. රාජ්‍ය පරිපාලනය, අධ්‍යාපනය කියන්නේ වෙනම විෂයන්. හමුදාව කියන්නේ ඊට වෙනස්ම එකක්. මේ දෙක එක තැනකට එකතු කරන්න ලේසි වෙන්නේ නෑ. ලංකාවේ පරිපාලනයේ ඉහළ තැනකට එන්න මොනතරම් උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන්න ඕනෙද? එහෙම ගොඩනැගුණු නිලධාරීන් පැත්තකට කරලා එතනට හමුදා නිලධාරීන් පත්කරනවා කියන්නේ ඉතාම නරක දෙයක්.


සමහර භික්ෂූන්වහන්සේලාගේ අදහස යමක් හරියට කරන්නේ හමුදාව නිසා හමුදාවට සියල්ල බාර දිය යුතුයි කියලයි. හැමෝටම හමුදා පුහුණුවක් දිය යුතුයි. පාසල් අධ්‍යාපනයත් හමුදාව යටතට පත්කළ යුතුයි කියලත් කියනවා. මුස්ලිම් ප‍්‍රශ්නයටත් විසඳුමක් ලැබෙන විදිහට මියන්මාරයේ පන්නයේ පාලනයක් කරා රට ගෙනයාමේ අභිලාෂයක් සංඝ සමාජයේ තිබෙනවාද?


එක්කෙනෙක් දෙන්නෙක් ඒ වගේ මතවාද දරන්න පුළුවන්. හැබැයි අපි රටක් හැටියට පටු මානසිකත්වයෙන් බලලා, ඒ වගේ අදහස් පළ කරලා, නායකයන්ට වැරදි උපදෙස් දෙන්න ගියොත්, ඒකේ ප‍්‍රතිඵල විඳින්නත් සූදානම් වෙන්න කියලයි මම ඒ අයට කියන්නේ. රටක් හැටියට අපිට හුදකලාව ඉදිරියට යන්න බෑ. පහුගිය අවුරුදු විසිපහක තිහක කාලපරිච්ෙඡ්දය අධ්‍යනය කරලා බැලූවොත් අපිට පේනවා ඒක. ඒ නිසා කවුරු මොනවා කිව්වත් රටක නායකයා ¥රදර්ශී වෙන්න ඕනේ සියලූ පාර්ශ්ව කළමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙනියන්න. එහෙම නැතිව සියලූදෙනාටම හමුදා පුහුණුව දීලා, හැම තැනටම හමුදාව දාලා වැඩ කරන්න ගියොත් රට මියන්මාර් තත්ත්වයට පත්වෙයි. හමුදා ජුන්ටාවක් මියන්මාරය පාලනය කළ අවුරුදු විසිපහ තුළම රට ආපස්සටයි ගියේ. රට සම්පූර්ණයෙන්ම පසුගාමී තත්ත්වයකට ඇද වැටුණා. අපි වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන රටක එවැනි තත්ත්වයක් නිර්මාණය කරනවා නම් හෝ නිර්මාණය කිරීම අනුමත කරනවා නම් හෝ එය බරපතළ අවාසනාවන්ත තත්ත්වයක්. එවැනි තත්ත්වයකට ගියොත් ඊළ`ග අවුරුදු පහේ අවසානයේදී ජනතාව ඉතා බරපතළ ආකාරයෙන් ඊට ප‍්‍රතිචාර දක්වාවි.


දෙවනගල සහ මුහුදු මහා විහාර ඉඩම් ප‍්‍රශ්නය ඊර්ෂ්‍යාව සහ කුහකකම මුල්කරගෙන මුස්ලිම් ජනතාව සතු ඉඩම් විහාරවලට පවරා ගැනීමට දැරෙන උත්සාහයක්ද කියන සැකයක් ඇතැම් පිරිස් මතුකරනවා. ඔබවහන්සේගේ නිරීක්ෂණ මොනවාද?


දෙවනගල, මුහුදු මහා විහාරය ආදිය ඇත්ත වශයෙන්ම ඵෙතිහාසික පුරා විද්‍යා ස්ථාන. මේවාත් එක්ක බැඳිච්ච විශාල ඉඩම් ප‍්‍රමාණයක් පුරාණ කාලේ තිබුණා. කාගේ කාගේ හරි වරදින් පසුකාලීනව ඒවායේ වෙනත් වෙනත් අය පදිංචිවෙලා, දැන් ඒ භූමි පුරාවිද්‍යාත්මක ස්ථානය දක්වාම සීමාවෙලා තියනවා. මේවා මහා අනවශ්‍ය ගැටුම් බවට පත්කර ගන්න හොඳ නෑ. මේවාට අයිතිවෙලා තිබුණු විශාල භූමි ප‍්‍රමාණය දැන් අත්පත් කරගන්න ගියොත් එහෙම විශාල ප‍්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අප කළයුත්තේ දැනට අයිතිව තිබෙන භූමිය වෙන්කරගෙන ඒක අනාගතයේ විනාශ නොවන විදිහට පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි.

රාවය 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found