Language Switcher

V2025

MCC ගිවිසුම අත්සන් කරනවද නැද්ද : අගෝස්තු 05 ට පෙර පුළුවන් නම් කියන්න : ගෝඨාට ජවිපෙන් අභියෝගයක් !

අගෝස්තු 05වැනිදාට පෙර එම්.සී.සී. ගිවිසුම ගැන ස්ථාවරය රටට කියන ලෙස අපි ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් පවසයි.
 
ජාතික ජනබලවේගය පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ කථා කළ ප්‍රධාන මාතෘකාවක් වූයේ එම්.සී.සී. ගිවිසුමයි. තමන් බලයට ඇවිත් පැය 24කින් මේ ගිවිසුම කුණු බක්කියට දානවා කියලා රාජපක්‍ෂවරු හා ඔවුන්ගේ මැති ඇමතිවරු කිව්වා. මේක කැබිනට් එකේ අනුමත කළේ 2019 ඔක්තෝබර් 30වැනිදා. ඉන් පසු ජනතා විරෝධය ඊට එරෙහිව එන විට රජපක්‍ෂ ආණ්ඩුව තීරණය කර මෙම ගිවිසුම පරීක්‍ෂා කර බලන්න කමිටුවක් පත් කළා. එම කමිටු වාර්තාව ප්‍රමාදවී වුවද එළිදක්වන්න සිද්ධ වුණා. අපි ආණ්ඩුවට බල කළා ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් දෙන්න කියලා. ජූලි 25වැනිදා එම වාර්තාව එළිදැක්වූවා. ඉන් පසු ජූලි 01වැනදා කැබිනට් මණ්ඩලයට එය ලබාදීලා කිව්වා සති දෙකකින් තම තමන්ගේ සමාලෝචන ඉදිරිපත් කරන්න කියලා. ඉන් පසු එම සමාලෝචන කාලය 22වැනිදා දක්වා දීර්ඝ කළා. මෙසේ කල් මරන්නේ වෙන කිසිවකටත් නෙවෙයි, ඡන්දෙන් පස්සේ ගිවිසුම අත්සන් කරන්න වාතාවරණය හදාගන්න. වගකිව යුතු රජයක් නම් රජය මේ පිළිබඳව වහාම නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. 
 
MCC කොන්දේසි !

එම්.සී.සී. ගිවිසුමේ කොන්දේසිවලට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂාවට හානිවන කිසිවක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකියි. එහෙම වුවහොත් මෙම ගිවිසුමෙන් ඒක පාර්ශ්විකව ඇමරිකාවට ඉවත් විය හැකියි. ඒ වගේම ඇමරිකානු ආරක්‍ෂක අංශ හෝ නිලධාරීන් ලංකාවට පැමිණ සිදු කරන කටයුතු සම්බන්ධ ලංකා රජයට මැදිහත් විය නොහැකියි. 

2017දී මෙවැනි එම්.සී.සී. ගිවිසුමක් නේපාල රජයත් එක්ක අත්සන් කළා. ඒ එරට විදුලි නිෂ්පාදනය සම්බන්ධව. ගිවිසුම අත්සන් කරලා වසර දෙකක් ගතවෙනකල් ඇමරිකා ආණ්ඩුවෙන් ඊට මුදල් ලබාදුන්නේ නැහැ. මේ කාලය තුළ ඇමරිකාව තම රටේ ජාතික ආරක්‍ෂාවට අදාල ගිවිසුම් 16කට නේපාලයට බලපෑම් කරලා අත්සන් කළා. 

එම්.සී.සී. ගිවිසුම වෙනුවෙන් පත්කළ විද්වත් කමිටුව තම වාර්තාවෙන් කියනවා මෙය ලංකාවේ ස්වෛරීත්වයට සහ ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස හානිකර බව. ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියනවා මේ ගිවිසුමට අදාළ මූලික කෙටුම්පත් දෙකක් ගිය ආණ්ඩුවෙන් අත්සන් කරලා, ඒ නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා කියලා. නමුත් විද්වත් කමිටුව ප්‍රකාශයක් කරලා කිව්වා එහෙම අත්සන් කිරීමක් කරලා නැහැ කියලා. ඒ වගේම ආණ්ඩුවට ඕනෑම වෙලාවක පුළුවන් මේක අත්හැරලා දාන්න කියලා. 
 
ගිවිසුම අහෝසි කරන්න තුනෙන් දෙකක් ඕනද ?

මෙම ගිවිසුම් අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය නැහැ. සරල බහුතරය ඇති. අනෙක් පැත්තෙන් අත්සන් නොකළ ගිවිසුමකට 2/3ක බලයක් ඕනෑ කරන්නේ කුමකටද? මේ 2/3 ඉල්ලන්නේ ජනතාව නොමග යවලා මේ මැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කිරීමේ බලය ආණ්ඩුව අතට ගන්නයි. 

එම්.සී.සී. ගිවිසුම ගැන දැන් රටේ ජනතාවගේ බලවත් විරෝධය මතුවෙලා තියෙනවා. ජනාධිපති දැන් තමන්ගේ ස්ථාවරය රටට පැහැදිළි කළ යුතුයි. අපි අභියෝග කරනවා පුළුවන්නම් මැතිවරණයට පෙර එහෙම කරන්න කියලා. ඇමරිකාවට මේ ගිවිසුම ලංකාවට අවශ්‍ය නැහැ කියලා පුළුවන්නම් ලිඛිතව දෙන්න කියලා. දැන් ආණ්ඩුවේ ඇමතිවරු එක එක බොරු කතා මේ ගැන කියනවා. නමුත් ඇමරිකානු තානාපතිවරිය කියනවා, ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුව එකඟ වුණයි කියලා. එදා ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභයයි, රොබට් ඕ බ්ලේක් දෙන්නයි එකතු වෙලා. එහෙම කළ ගෝඨාභය මෙම ගිවිසුම අත්සන් නොකරයි කියලා තිබෙන සහතිකය කුමක්ද? රටේ ජාතික ආරක්‍ෂාවට ඒ වගේම ස්වෛරීත්වයට හානිකර මේ ගිවිසුම වහාම නතර කරන්න කියලා ජාතික ජන බලවේගය හැටියට අපි බලකර සිටිනවා. මේ ගිවිසුම සැබෑවටම අහෝසි කරන්න නම් ජාතික ජන බලවේගයට ඒ සඳහා අවශ්‍ය බලයක් ලබාදිය යුතුයි. ඒ සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මෙම ඡන්දය පාවිච්චි කරන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

දැන් මේ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් ලංකාවේ පුරාවිද්‍යා වස්තූනුත් විනාශ කරන්න පටන් අරගෙන. කුරුණෑගල නගර මධ්‍යයේ තිබූ ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය ඩොසර් කරලා දාලා. මේ පුරා විද්‍යා පනතට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒක ඇප ලබාදිය නොහැකි වරදක්. මේක සිද්ධ වෙලා තියෙන්නේ වත්මන් අගමැති නියෝජනය කරන දිස්ත්‍රික්කයේ නගරාධිපති අතින්. මේ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අගුලාන පොලීසියට ගලක් ගැහුවා කියලා අර දුප්පත් කාන්තාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. බලවතුන්ට එක නීතියක්, නැති බැරි එකාට තව නීතියක්. අපි මේ ආණ්ඩුවට බලකර සිටිනවා, වහාම මේ පුරා විද්‍යා වස්තු විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. 
 
Harini Amarasuriya

රටේ මහජනතාවගේ ආරක්‍ෂාව අත්හැර දමා ජාතික ආරක්‍ෂාව ගැන කතා කිරීම විහිළුවක් : ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසූරිය

ජනාධිපතිවරණයට පෙර පොදුජන පෙරමුණේ අය කිව්වා ඔවුන් ප්‍රධාන වශයෙන් පෙනී ඉන්නේ රටේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කියලා. එහෙම කියලා තමයි ජනතාවගේ ඡන්දය ගත්තේ. ජාතික ආරක්‍ෂාව ගැන කතා කරන විට මහජන ආරක්‍ෂාව කියන එක අතහැර දමන්න බැහැ. රටේ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම ආණ්ඩුවකට අත්හළ නොහැකි වගකීමක්. නමුත් අද අපේ රටේ සාමාන්‍ය ජනතාව කොපමණ අනාරක්‍ෂිතද? පසුගිය දින තුන ඇතුළත ඉතාම ම්ලේච්ඡ ගණයේ ළමා දූෂණ 3ක් සිද්ධවෙලා තියෙනවා. ඒ දූෂණ තුනෙන්ම ඒ දැරියන් මරා දමලා තියෙනවා. සමාජය තුළ මිනිසුන්ට ආරක්‍ෂා නැතිවෙලා. 
 
කාන්තා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහිල්ලා. එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. වැලි පර්මිට් එක පරීක්‍ෂා කළා කියලා රියදුරා පොලිස් සැරයන්වරයෙක්ව යටකරලා මරණවා. අඟුලාන පොලීසිය වෙඩි තියලා ත්‍රී වීල් රථ රියදුරෙක් මරා දමනවා. මිරිහාන පොලීසිය අසලදීම ත්‍රී වීල් රථ සංගමයේ සභාපතිව පොලුවලින් ගහල මරා දමනවා. මිනිස්සු හිතුවා ගෝඨාභය බලයට පත්වූ ගමන් මේ තත්වය වෙනස් වෙයි කියලා. දැන් ඒක අමූලික බොරුවක් බව ඔප්පු වෙලා ඉවරයි. ජාතික ආරක්‍ෂාව ගැන මේ අයට නිවැරදි අර්ථකථනයක් නැහැ. තිබෙන්නේ ඉතාම පටු ආකල්පයක්. එය ඡන්ද ගරාගැනීමට කරන සූදුවක් වෙලා.

ප්‍රචණ්ඩත්වය සමාජයෙන් තුරන් කරන්න නම් එහි ඇත්ත මූලයන් සොයාගත යුතුයි. එසේ නොමැතිව එය නතර කළ නොහැකියි. මේ විනාශකාරී දේශපාලන ගමන සහ විනාශකාරී සමාජ ක්‍රමය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා අවංකවම ඔබට වුවමනාවක් තිබේ නම් මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් මාලිමාව ඉදිරියේ කතිරය ගසා පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි. 

සියලුම වර්ගයේ ජාතිවාදයන්ට එරෙහිව එකම බලවේගය ජාතික ජන බලවේගයයි : ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික ඉක්‍රම් කාදර් 

Ickramජාතිවාදී ප්‍රවණතාවයක් නැවත හිස ඔසවමින් තිබෙන අවස්ථාවක තමයි මේ මැතිවරණය පවත්වන්නේ. අපේ රට හැම පැත්තෙන්ම පහතට වැටිලා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක එක හොර දේශපාලුවන්ට රැවටිලා පාටවලට බෙදිලා භේදබින්න වෙලා ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලකයෝ කොළ නිල් පිල් දෙකට කඬේ යනවා. ඒ යන ගමන් මේ ජාතිකත්ව තුනේම ජාතිවාදය අවුස්සලා ඡන්දෙ ගරා ගන්නවා. 
 
පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ජාතිවාදී මන්ත්‍රීවරු නොවෙයි. ජාතිවාදය තුරන් කර සියලුම ජනතාවන්ට වැඩ කිරීමේ ඇත්ත වුවමනාව තියෙන මිනිස්සු. අද ජාතිවාදයෙන් තොර එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. ඔවුන් සමග එක්වී අප කටයුතු කරන්නේ ජාතිකත්ව වෙනසකින් තොරව මේ රට ගොඩනැගීම සඳහායි. ඒ සඳහා ඔබත් අපිත් සමග එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්..!

පොදුජන පෙරමුණේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 72වැනි වගන්තියේ කියනවා පුරා විද්‍යා ස්ථාන දැඩිව ආරක්‍ෂා කරනු ලැබේ කියලා. දැන් කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැම්මට පස්සේ එහි නගරාධිපතිවරයා තම වරද වහගන්න විවිධ ප්‍රකාශ කරමින් ඉන්නවා. ඔහු කියනවා, මෙහි පුරාවිද්‍යා වටිනාකම් නැහැ කියලා. නමුත් පුරා විද්‍යා කොමසාරිස්තුමා කියනවා මෙය පුරා විද්‍යා ස්ථානයක් හැටියට නම් කරලයි තියෙන්නේ කියලා. දැන් පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ගෝඨාභය මහත්තයා ක්‍රියාත්මක වෙලාද? මහින්ද මහත්තයා ක්‍රියාත්මක වෙලාද? 

වෙන අය කෙසේ වෙතත් ජාතික ජන බලවේගය නම් රැස්වීම් පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය ආරක්‍ෂිත විධිවිධානවලට අනුවයි. තවමත් සෞඛ්‍ය නිර්දේශවලට අදාලව ගැසට් එක ක්‍රියාත්මක කරලා නැහැ. ජනාධිපතිට, අගමැතිට, ඔවුන්ගේ පක්‍ෂයේ මැති ඇමැත්තන්ට ඕන ඕන විදිහට රැස්වීම් තියාගන්න ඒක නිකුත් කළොත් අපහසු වෙනවා. සෞඛ්‍ය ඇමතිනිය අතේ පත්තුවන බොරු කියමින් යනවා. බොරු ගැසට් එකක් ගහලා ජනතාව මුලා කරලා තියෙන්නේ. 

2020 ජූනි 15 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලිපියක් යවනවා කොරෝනා වසංගතය සමයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා මැදිහත්වී වැඩ කළ කාර්ය මණ්ඩලවලට අතිකාල ගෙවන්න කියලා. ඒ තැපැල් ඡන්දෙට කලින්. දැන් තැපැල් ඡන්දෙ ඉවරයි. දැන් කියනවා එහෙම ගෙවන්න කියලා අනුමැතිය දුන්නේ නැහැ කියලා. රාජ්‍ය සේවකයන් මහ දවල් අමු අමුවේ රවට්ටලා.