Language Switcher

V2025

බලපෙරළියට පසුව සාක්ෂි පෙරළියකින් CID ශානි අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (31) උදෑසන 7.05ට පමණ ඇල්විටිගල මහල් නිවාස, මාතා පාර, කොළඹ 8 යන ලිපිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබුණි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න  පැවසුවේ චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවය.

ශානිගේ චෝදනා !

2013 වසරේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී ගම්පහ, කළගෙඩිහේන ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බලපෙරළියෙන් පසුව සාක්ෂි වෙනස් වෙලා !

එහෙත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආයුධ සොයගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මීට පෙර ලබාදුන් සාක්ෂි අසත්‍ය බව දක්වා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර  විසින් ම එම ස්ථානයට ආයුධ දමා ඒවා ඔහු විසින්  සොයාගත්තේ යැයි කරුණු අනාවරණය කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ශානි ඔහු  අත්අඩංගුවට ගෙන ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොහොම හරි ශානි හිරේ දාන සැලසුමක් !

මේ අතර ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරව කෙසේ හෝ සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් මෙන්ම, ඔහු විසින් සිදුකරනු ලැබූ විමර්ශනයන්හි ප්‍රතිපලයක් ලෙස සිරගතවූ පුද්ගලයින් පිරිසක් ද සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වන බවය.

ඔහුව පටලවමින් එකින් එකට චෝදනා ගොනුකරන්නේ ඒ අරමුණින් යුතුව බවද පැවසේ යනුවෙන් ද එහි දැක්වෙන අතර වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අනාගතයේ බිහිවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරව සිරගත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමයක් වන "නීතීඥ සංවිධාන ජාතික එකමුතුව" විසින් මිට ඉහත දී තර්ජනය කර තිබිණ. එම සංගමයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ ඉතාම පැහැදිලිව එබව අවධාරණය කර තිබිණ.