Language Switcher

V2025

සෞම්‍ය ලියනගේ සම්බන්ධව සෞන්දර්ය විශ්වවිද්‍යාලය පජාත තීන්දුවක !

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින්ඉවත් කර තිබෙයි.

 එයට හේතුව ලෙස විශ්වවිද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, කථිකාචාර්ය වරයෙකු ලෙස තම පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය?) උපාධි සුදුසුකම ඔහු සපුරා නොමැති බවයි. විශ්ව විද්‍යාල පාලක සභාව ට මෙය සොයා ගැනීමට වසර හයක් ගත වී ඇත! ඒ කාලය තුල ඔහු පීඨාධිපති සහ මහාචාර්ය තනතුරු වලට උසස් කර ද ඇත.

සෞම්‍ය තමාගේ ආචාර්ය උපාධිය නිසි පරිධි නියමිත කාලයට සපුරා ඇත්ද නැද්ද යන්න සොයා බලා සුදුසු පරිධි කටයුතු කිරීම පාලක සභාව සතු වගකීමක් බව සත්‍යයකි. එම කටයුත්ත නිසි ක්‍රමවේදයකට අනුව සිදු කිරීමද ඔවුන් සතු වගකීමකි. එසේ වී ද නැද්ද යනු අප දන්නේ නැත.

අප දන්නා පරිදි සෞම්‍ය සිය ආචාර්ය උපාධි සුදුසු කම සපුරා ඇත්තෙකි. ඔහු ක්‍රියාකාරී අචාර්යවරයෙකි. සරත්චන්ද්‍ර යුගයෙන් පසු සරසවිය තුල පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීමට තරම් ශක්‍යතාවක් ඇති අයෙකි. විදේශීය විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන සමඟ බුද්ධිමය ගනු දෙනු කිරීමට සම්බන්ධතා ගොඩ නගා ගත්තෙකි. සෞන්දර්ය විශ්වවිද්‍යාලය මෙතෙක් පැවති කලායතන මට්ටමින් ඉහලට ඔසවා තැබීමට තරම් විභවයක් ඇත්තෙකි. ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් මෙවැනි ආචාර්ය වරුන් හමු වන්නේ කලාතුරකිනි. එවැනි උගත් ක්‍රියාකාරී බුද්ධිමත් ආචාර්ය වරුන් විශ්ව විද්‍යාල තුල රඳවා ගන්නට කටයුතු කිරීම වගකිව යුත්තන් ගේ වගකීමකි.

එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුල හමු වන්නේ එවැනි අය සරසවි තුලින් නෙරපා රටින් ද පිටුවහල් වීමට කටයුතු කිරීමයි. අප සරවියේ සිටි සමයේ කැළණි විශ්ව විද්‍යාලයේ ආරියරත්න නාරද්දගේ නම් තරුණ කථිකාචාර්ය වරෙයෙකු සිටයේය. ඔහු තම ප්‍රථම උපාධියට ප්‍රථම පංතියේ සාමාර්ථයක් ලබා උපාධිය ලබා ගත්තෙකි. තරුණ උගතෙකු ලෙස ව්ශ්වවිද්යල පද්ධතිය තුලත් ඉන් පිටතත් කැපී පෙනෙන ලෙස ඉස්මතු වෙමින් තිබුණි. එහෙත් විශ්ව විද්‍යාල පාලනයට ඔහුගේ මේ සක්‍රීය බුද්ධිමය මැදිහත් වීම රිස්සුවේ නැත. ඔහුගේ සේවය ස්ථිර නොකර ඔහු සරසවියෙන් නෙරපා දැමිණි. රැකියාවක් සඳහා බැංකු ව්භාගය ලියා සරසවිය ඉදිරිපිටම බැංකුවේ ම පත්වීම ලබා ටික කලක් සේවය කර ඔහු අතුරුදහන් විය. වසර ගණනාවකට පසු අපට ඔහු මෑතකදී හමුවන්නේ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක කීර්තිමත් මහාචාර්ය වරයෙකු ලෙසය. කැළණි විශ්ව විද්‍යාලය ඔහුගේ සේවය ස්ථීර නොකරන්නේ එවකට පීඨාධිපති වූ මහාචාර්ය එම් එච් ගුණතිලක ගේ ප්‍රථම උපාධිය දෙවන පෙළ ඉහල සාමාර්ථයක් පමණක් වීම නිසාය යන කාරණාවේ ඇත්ත නැත්ත මා දන්නේ නැත.

ලංකාවේ විශ්වවිද්‍යාල තුල ඉස්සරත් අදත් කටයුතු සිද්ධ වන්නේ ඔය ආකාරයෙනි. විශේෂයෙන්ම කලා පීඨවල.

සෞම්‍ය විශ්විද්‍යාලයට සම්පතකි. එවන් අයෙකු විශ්ව විද්‍යාලයෙන් නෙරපීමට තාක්ෂණික කරුණු සෙවීමට සමත් විශ්ව විද්‍යාල පාලක සභාව කල යුත්තේ සැබෑ පර්යේෂණ මහාචාර්ය වරයෙකු සේවයේ තබා ගන වැඩක් ගැනීමට කටයුතු කිරීමයි.

අශෝක හඳගම

මේ සම්බන්ධව තවත් කලාකරුවන් සහ විද්වතුන් සමාජ මාධ්‍ය තුළ සිය විරෝධය දක්වමින් සිටින අතර ඊට අදාළ සටහන් කිහිපයක් පහත දැක්වෙයි.

 සෞම්‍යගෙන් ඔබ්බට.. - මහාචාර්ය සසංක පෙරේරා 

සෞම්‍ය ලියනගේ සහෝදරයා ඔහුගේ විශ්වවිද්‍යාලයේ මෙතෙක් දැරූ ධුරවලින් මහා හදිස්සියේ නෙරපා ඇති බව අද උදේ ආරංචි වුණා. මීට හේතුව වශයෙන් පෙන්වා දී ඇත්තේ, ආචාර්ය  උපාධිය අවසන් කිරීම සඳහා ඔහුට ලබාදී තිබුණු වසර අටක කාලය තුළ එය අවසන් නොකිරීම ය.  කෙසේ නමුත්,  එය අවසන් කර පසුගිය වසර හයක පමණ කාලය තුළ විශ්වවිද්‍යාලය තුළ ඔහුගේ සේවය ස්ථිර කර ඇති අතර, නොයෙකුත් උසස්වීම් සහ තානාන්තර ද ද ඔහු වෙත ලබා දී ඇත. මෙවන් ගැටලුවක් තිබුණේ නම් මේ කරුණු කාරණා මෙලෙස සිදු වූයේ කෙසේද?   එනිසා මේ  ඊනියා අතපසුවීම වසර 6ක පමණ දිගු කාලයකට පසු විශ්වවිද්‍යාල බලධාරීන් ගේ දිව්‍යඥානයට හසු වූයේ කෙසේ ද යන්න තවමත් මට  පැහැදිලි නැත.  

 මේ තාක්ෂණික ගැටලුව සත්‍යයක් නම්, ඒ පිළිබඳ පවතින නීති රීති හා රෙගුලාසි අනුව කටයුතු කිරීම සාධාරණය. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය සමස්ථයක් ලෙසත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සුවිශේෂ වශයෙන් ගත් කලත්, එතුළ විධිමත් හා නිල රාජකාරි ඉටුකිරීමේදී නොයෙක් විට ඊර්ෂ්‍යාව හා කුහකත්වය මත පදනම් වීම විශ්වවිද්‍යාල පිළිබඳ සරල දැනුමක් ඇති අයෙකු පවා මැනැවවින් දන්නා කරුණකි. මෙනිසා සෞම්‍ය  ලියනගේ සම්බන්ධයෙන් මේ ගෙන ඇති මහා හදිසි තීරණය හා එහි නීතිමය තත්ත්වය අනිවාර්යයෙන්ම අප සියලු දෙනාගේම  සිත් තුළ සැක  සංකා ඉපදවීම සාමාන්‍ය කරුණකි. එය සාධාරණ සැකයක් ද වේ. 

 නමුත් මෙවන් ආචාරධර්ම විරෝධී   තීරණ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් ගත් කල, සෞම්‍ය ලියනගේ ට පමණක් සීමා වී නැත.  පසුගිය කාලය තුළ අප මැනැවින් දැක ඇති පරිදි මෙවැනි ආචාර්‍ය්ධර්ම විරෝධී සිදුවීම් සහ ගැටළු ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයකම සිදු වීය. එනමුත්,  ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාව හෝ විශ්වවිද්‍යාල පිළිබඳ උනන්දුවක් ඇති සමාජයේ අන් පුද්ගලයන් අවශ්‍ය ප්‍රමාණයෙන් උනන්දුවක් දක්වා ක්‍රියා කළ බව මා විශ්වාස කරන්නේ නැත. සෞම්‍ය ලියනගේ මේ අවාසනාවන්ත හා භයානක ක්‍රියාවලියේ වඩාත් මෑත කාලීන සහ ප්‍රසිද්ධතම ගොදුරයි. 

 ලියනගේ සහෝදරයා සම්බන්ධයෙන්ද දැනට මා දකින්නේ අතිශයින් සරල ප්‍රවණතා දෙකක් පමණි.  එනම්,  change.org සංවිධානය ඔස්සේ තමන්ට සැපපහසු අවස්ථාවල විද්‍යුත් පෙත්සමක් අත්සන් කිරීම සහ එවැනිම පහසු වේලාවක මුහුණු පොතේ හෝ ට්විටර් ගිණුමක් හරහා තමන්ගේ සිතේ ඇති දේ සයිබර් අවකාශයට මුදා හැරීම‍ය. ගැටලුව වන්නේ, මේ සියළු දේ කළ පමණින් මෙවන් අසාධාරණකම් සම්බන්ධයෙන් සමාජයෙන් සිදු විය යුතු දේ තමන් විසින් කර ඇති බවට බොහෝ දෙනා පුද්ගලිකව සතුටු වීමය. එනමුත් මෙහිදී සැබැවින්ම සිදුවන්නේ, අතිශය ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව තමාගේ සිතේ තිබෙන දේ නොයෙකුත් දෙනා සමග බෙදා ගැනීම පමණි. මැදිහත්වීමක් නොවේ. සැබැවින්ම, මෙවන් අදහස් දැක්වීම වැදගත්ය. එනමුත් එමගින් අසාධාරණයක් වී ඇති අයට හා ආයතන වෙත ලැබිය යුතු ආකාරයේ උදව්වක් හෝ මැදිහත්වීමක් ලැබේයැයි විශ්වාස කරන්න අමාරුයි. 

 ඒ නිසා, සෞම්‍ය ලියනගේ සම්බන්ධයෙන් පමණක් නොව, මෙලෙසින්ම අසාධාරණ හා හිතුවක්කාරී ක්‍රියාවන්ට නතු වූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෙනුවෙන් අප රටේ විශ්වවිද්‍යාලවල අනාගතය පිළිබඳ උනන්දුවක් ඇති සියලු දෙනාම කළ යුත්තේ, මේ ගැටලුකාරී කටයුත්තට දායක වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ට මෙන්ම, ඊට උල්පන්දම් දී ඇත්නම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුත්තන්ට ද එරෙහිව ප්‍රබල බිම් මට්ටමේ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමය. එය විශ්වවිද්‍යාල හා ඉන් පරිබාහිරවත් ක්‍රියාත්මක විය යුතුය.  එය බලවත් උද්ඝෝෂණ  ව්‍යාපාරයක් විය යුතුය.  එය නීතිමය  ව්‍යාපාරයක් ද විය යුතුය. එමෙන්ම එය සයිබර් අවකාශයේ සුවපහසු සීමාවන්ගෙන් බොහෝ ඔබ්බට යා යුතුය.

සෞම්‍ය ! ඔබ 'අබා' චිත්‍රපටයට ඇඳ සිටියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇඳගෙන යාමට උචිත ම ඇඳුම ය. සහන් කසීර වික්‍රමසිංහ -

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර ඇත. හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, ඔහු ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස පත් කිරීමෙන් පසු සපුරාලිය යුතු පශ්චාත් උපාධි සුදුසුකම නියමිත වසර 8 ක කාලය තුළ දී සිදු කර නොමැති වීම ය. 

සෞම්‍ය ලියනගේ විසින් අදාල සුදුසුකම සම්පූර්ණ කර ඇතත් හදිසියේ නින්දෙන් අවදි වූ විශ්ව විද්‍යාල පාලක සභාවට අනුව එම පශ්චාත් උපාධි දිනය වශයෙන් ඔවුන් භාරගන්නා දිනය වසර අටක සීමා කාලය ඉක්මවා යන්නකි. පශ්චාත් උපාධියක් සඳහා ඉදිරිපත් කරන නිබන්ධනය 'සංශෝධන රහිතව සමත්' (Pass with no correction) හෝ 'සුළු සංශෝධන සහිතව සමත්' (Pass with minor corrections) ලෙස අනුමත / සමත් වේ නම් අදාල පශ්චාත් උපාධියේ දිනය ලෙස එම ප්‍රතිඵල ලද දිනය යොදා ගැනීම මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍ය භාවිතයකි. බොහෝ විශ්ව විද්‍යාලවල ප්‍රතිඵල නිකුත් කිරීම සහ උපාධි ප්‍රදානෝත්සවය අතර කාලපරතරයක් පවතින බව ද අමුතුවෙන් පැවසිය යුතු නැත. 

සෞම්‍ය ලියනගේ විසින් පශ්චාත් උපාධියේ නිබන්ධනය සමත් වූ දිනය පෙර කී වසර අටක කාල සීමාව තුළ පවතින අතර, එම උපාධිය ප්‍රදානය සිදු කළ දිනය අදාල වසර අටක සීමාව ඉක්මවා යන බව දැනගන්නට ඇත. වඩාත් වැදගත් ම කරුණ වන්නේ විශ්ව විද්‍යාල පාලක සභාව මෙයට පෙර සෞම්‍ය ලියනගේ සම්බන්ධ සියලුම සුදුසුකම් ඇගයීම්වල දී පශ්චාත් උපාධි දිනය ලෙස භාරගෙන තිබුණේ ඔහු පශ්චාත් උපාධි නිබන්ධනය සමත් වූ දිනය ය. සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය ධූරයේ සිට කථිකාචාර්ය ධූරයට සේවා ස්ථිර වන්නේ එබැවිනි. අනතුරුව ඔහුට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තනතුර, මහාචාර්ය තනතුර ද පීඨාධිපති ලෙස පත්වීම ද ලබා දෙන විට විශ්ව විද්‍යාල පාලක සභාව විසින් ඔහුගේ පශ්චාත් උපාධි සුදුසුකම පිළිගෙන තිබූ අතර හදිසියේ ම එය නුසුදුසු වන්නට හේතුව මන්දැයි විමසා බැලීම ද වටී. 

 2019 වසරේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ 'නියෝජ්‍ය උප කුලපති' ධූරයට (Deputy Vice Chancellor) අයැදුම් කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ මහාචාර්ය සෞම්‍ය ලියනගේ අතරින් සම්මුඛ පරීක්ෂණ අවසානයේ දී වැඩි ලකුණු ලබා තිබුණේ සෞම්‍ය ලියනගේ ය. අද සෞම්‍ය සුදුසුකම් සපුරා නැතැයි කියන මේ විශ්ව විද්‍යාල පාලක සභාව මගින් ම 'නියෝජ්‍ය උප කුලපති ධූරය' සඳහා මහාචාර්ය සෞම්‍ය ලියනගේ නිර්දේශ කර විශ්වවිද්‍යාල කොමිෂන් සභා අනුමැතියට යවා තිබිය දී හදිසියේ ම එවකට උප කුලපති ව (Vice Chancellor) සිටි ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකින් තනතුරෙන් නෙරපා හරින ලදි. 2019 සැප්තැම්බර් 18 දිනය යෙදූ ජනපතිගේ ලිපියක් මගින් තනතුරෙන් ඉවත් කිරීමේ දැනුම් දීම හැරෙන්නට කිසිදු හේතුවක් දක්වා නොතිබිණ. ඉන් පසුව මහාචාර්ය සෞම්‍ය ලියනගේ 'නියෝජ්‍ය උප කුලපති' ලෙස පත්කිරීමේ ක්‍රියාවලිය අත් හිටුවන ලද්දේ එය තවදුරටත් නියෝජ්‍ය උප කුලපති තනතුරේ නොමැති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීවගේ කාලයේ සිදු කළ පත්වීමක් යන පදනම ය. 

ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ උප කුලපති ධූරය (Vice Chancellor) සඳහා 2020 වසරේ දී අයැදුම්පත් කැඳ වූ අතර එහි අවසාන දිනය ලෙස 2020 ජූලි 24 දිනය සඳහන් කර තිබිණ. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ද ඒ සඳහා අයැදුම් කර තිබූ අතර අයැදුම්කරුවන් 8 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරාගන්නා දෙවැනි වටයට ද තේරී පත් විය. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ට එරෙහිව චෝදනා සහ විමර්ශන ඇරඹෙන්නේ ඔහු 2019 වසරේ 'නියෝජ්‍ය උපකුලපති ධූරය' සම්බන්ධ සිදුවීමෙන් පාඩමක් ඉගෙන නොගෙන 2020 වසරේ දී 'උප කුලපති ධූරය' ද අයැදුම් කරන්නට තීරණය කළ දා සිට ය.  

සෞම්‍ය ලියනගේ මෙල්බර්න් හි La Trobe සරසවියෙන් තම ආචාර්ය උපාධිය හැදෑරු අතර 2011 වසරේ දී The Australian Association for Theatre, Drama and Performance Studies (ADSA) මගින් හොඳම නිබන්ධනයට හිමි ත්‍යාගය පිරිනැමුණේ සෞම්‍ය ලියනගේ සම්පාදනය කළ My body taught me how to act: Towards an epistemology of actor learning and apprenticeship නම් නිබන්ධනයට ය. 

මෙරට සරසවි සංස්කෘතිය තුළ, ආචාර්යවරුන් විදේශ විශ්වවිද්‍යාල මගින් හිමි කරගන්නා ආචාර්ය උපාධි සම්බන්ධව පසුගාමී කියවීමක් පවතින බව තවදුරටත් නොරහසකි. කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇත්තේ ද ලංකාව තුළ ය. සෞම්‍ය ලියනගේ සේවය කළ නර්තන හා නාට්‍ය කලා පීඨය තුළ ම ඔහුට අමතරව ආචාර්ය තරංග දන්දෙණිය , ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සහ ආචාර්ය අනසුයා සුබසිංහ යනුවෙන් විදෙස් ආචාර්ය උපාධිලාභීන් (ඔස්ට්‍රේලියා) තිදෙනෙක් ම වේ. ලංකාවේ සරසවි සංස්කෘතියේ පරිපාලනය තුළ පවත්නා ගුරුකුල නඩත්තුව සහ ළිංමැඩි කල්ලිවාදය පිළිබඳ අවබෝධයෙන් සිටින සබුද්ධික ප්‍රජාවට මෙතැන සිදුවන්නේ 'යොන් මැරිල්ලක්'දැයි දැනගැනීමට නම් , ඉහත කී අනෙක් විදෙස් ආචාර්ය උපාධිලාභී කථිකාචාර්යවරුන්ගේ අනාගත ඉරණම දෙස සුපරික්ෂාකාරීව බලා සිටීමට හැකි ය. 

සෞම්‍ය ! ඔබ 'අබා' චිත්‍රපටයට ඇඳ සිටියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇඳගෙන යාමට උචිත ම ඇඳුම ය. 

කොළම්බු ටෙලිග්‍රාප් කර්තෘ උවිඳු කුරුකුලසුරිය තැබූ සටහන !

පාන්දර ඇස් බාගෙට අරිනකොටම දැක්කෙ සෞම්‍යගේ ප්‍රශ්ණය​. මට ෆෝන් එකෙන් ඒව කියවා ඔක්කොම ග්‍රහණය කර ගන්නට බැරිය​. ඒත් දෙයක් කියන්න හිතුන​. දයාන්ගේ කථිකාචාර්යධුරය ජේ ආර් ගේ කාලයේදී අහිමි කිරීමටත් නලීන්ගේ කථිකාචාර්‍යධූරය ප්‍රේමදාස කාලෙ අහිමි කිරීම්ටත් විරුද්ධව මම ලිපියක් ලියා ඇත​. ඒ "ආචාර්යවරු තුලින් ගිලිහෙන ප්‍රජාතන්ත්‍රවාදය" කියාය​. මේ ඇතුලට ගැනීම්, ඉවත් කිරීම් ඔක්කොම සිදුවන්නේ විශ්ව විද්‍යාල ඇතුලේ තියෙන කුපාඩි සංස්කෘතිය ඇතුලේය​. ඔය නවකවද වගේ ඒවත් සාධාරණීය කිරීම කරගෙන පවත්වගෙන යන්නේ ඒ සඟිස්කුරුතිය යටතේය​. පලි ගැනීම, නිහඬ කිරීම, අවනත කර ගැනීම ඔය ඔක්කොම විශ්වවිද්‍යාල සංස්කෘතියේ අංගවේ. "විශ්ව විද්‍යාල ආචාර්යවරු" කියන්නෙත් වෙනමම විශ්ලේශනය කරන්න ඕනෙ සංස්ථාවක්. ඒ ගැන පස්සෙ ලියමුකො.

 නලීන් ද සිල්වාට එරෙහි වෘත්තීය විශමාචාර චෝදානා පත්‍රය කාලෝ මට එකින් එක විග්‍රකලත් මම හිටියේ නලීන්ගේ පැත්තේය​. නලීන්ට නම් තව කතිකාචාර්‍යවරුන්ට තර්ජනය කිරීම වගේ ඒවත් සාක්කි එක්ක ඔප්පුවෙලා තිබ්බෙ. ඒව වෙනම ඩීල් කරන්න ඕනෙ කියන ස්ථාවරයෙ මම හිටියෙ. මම නලීන්ගේ මතවලට එකඟ නැති පුද්ගලයෙකි. ඒත් මම නලීන් වෙනුවෙන් පෙනී හිටියෙ මගේ ලිපියෙ. විශ්ව විද්‍යාල කියන්නේ වෙනම ස්වාධීන ආයතනය. ලංකාවේ ඒවා ගැන කතා කර වැඩක් නැත​. 

 කෙසේ වෙතත්, මට අද වෙනකන් සෞමයගේ කිසිම වෘතීය විශමාචාරයක් වාර්තාවී නැත​. නලීන් වෙනුවෙන්, දයාන් වෙනුවෙන් ලියූ මට මේ පශ්චාත් උපාධි බාර දීමේ දිනයක් නිසා ඇතිවී තිබෙන ප්‍රශ්ණයක් උඩ විශ්ව විද්‍යාලය තනතුරුවලින් ඉවත් කර ඇති සෞම්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි කමක් නැත​. ඔහු කිසිම වෘත්තීය විශමාචාරයක යෙදී ඇති බවට මට කිසිම ආකරයක සාක්කියක්වත් නැත​​. කතාව එච්චරයි. සෞම්‍ය එලෙව්වොත් ලොකු පාඩුවක් වෙයි. ඔහු ආචාර්ය උපාධිධාරියෙකි, ඔහු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරටද​ පත් කරපු කෙනෙකි. මොකද මේ හදිස්සියෙ මේ වගේ සීන් එකක්?  සියල්ල සොයා බලා විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය මේ ගැන ස්ථාවරයක් වහාම ගත යුතුය​.

ආචාර්ය අනුරුද්ධ කලංසූරිය තැබූ සටහන !

මහාචාර්ය සෞම්‍ය ලියනගේව සේවයෙන් පහ කිරීමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලකසභාව කටයුතු කරමින් තිබෙන බව සැලයි. එම තීරණය ගෙන ඇත්තේ නියමිත අවුරුදු අට තුළ ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ නොකළේය යන පදනම මතය. 

සෞම්‍ය සේවයට බැඳී ඇත්තේ 2007 පෙබරවාරි 02 වෙනිදාය. ඔහු සිය ආචාර්‍ය උපාධි නිබන්ධනය 2014 සැප්තැම්බර් 30 ඕස්ට්‍රේලියාවේ ලාත්‍රෝබ් විශ්වවිද්‍යාලයට භාර දී ඇත. 

ලංකාවේ සාමාන්‍යයෙන් අනුගමය කරන ක්‍රමවේදයට අනුව නම් ඒ අනුව ඔහු නියමිත කාලය තුළ උපාධිය සම්පූර්ණ කර ඇත. ඊට හේතුව ලංකාවේ විශ්වවිද්‍යාලවල ක්‍රමය අනුව මේජර් චේන්ජර්ස් නිර්දේශ නොවුනහොත් උපාධියේ ඉෆෙක්ටිව් ඩේට් එක වන්නේ තීසීස් එක සබ්මිට් කළ දිනය වන නිසාය. නමුත් සමහර විදේශ විශ්වවිද්‍යාලවල ඉෆෙක්ටිව් ඩේට් එක ගැන අනුගමනය කරන්නේ ඊට වෙනස් ක්‍රමයන්‍ ය. ඒ අනුව සමහර විට මයිනර් චේන්ජර්ස් කර තීසීස් එක භාර දුන් දිනය හෝ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වූ දිනය, උපාධිය සම්පූර්ණ කළ දිනය ලෙස සලකනු දැකිය හැකිය. 

මේ වෙනස්කම්වලින් සිදුවන අසාධාරණයන් වැළැක්වීම සඳහා අපේ බොහෝ විශ්වවිද්‍යාල කරන්නේ මේජර් චේන්ජර්ස් නැතිනම් සබ්මිෂන් ඩේට් එක, ඉෆෙක්ටිව් ඩේට් එක ලෙස පොදුවේ සැලකීමය. මීට පෙර විශ්වවිද්‍යාල අතර විවිධ වෙනස්කම් තිබුනත් දැන් පොදුවේ පිළිගන්නේ අවුරුදු අට අවසන් වන දිනයට මාස තුනකට පෙර සබ්මිට් කර ඇත්නම් එය නියමිත කාලය තුළ සම්පූර්ණ කිරීමක් වන බවයි. 

මා දැන ගත් පරිදි සෞම්‍ය ලියනගේගේ ප්‍රශ්නය ඇති වී හෝ ඇති කර ඇත්තේ, මේ ක්‍රමය අනුගමනය නොකර, උපාධියේ ඉෆෙක්ටිව් ඩේට් එක කුමක්දැයි ඕස්ට්‍රේලියාවේ ලාත්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් කෙලින්ම විමසීම නිසාය. ඒ අනුව ඔවුන්ගේ පිළිතුර ලංකාවේ සාමාන්‍ය ක්‍රමයෙන් වෙනස් වීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ සෞන්දර්ය බලධාරීන් එයින් වසර පහ හයකට පසුව එසේ විමසීමක් කිරීමට තීරණය කළේ ඇයිද යන්නයි. 

මා දැනගත් ආකාරයට ඊට හේතුව එහි අභ්‍යන්තර දේශපාලනයයි. එය ඉතා කණගාටුදායක තත්වයකි. 

මා දන්නා පරිදි සෞම්‍ය එහි සිටින්නවුන්ගෙන් බටහිර රටක ආචාර්‍ය උපාධියක් කළ පළමුවැන්නාය. තමන් නළුවෙකුටත් වඩා ශාස්ත්‍රඥයෙකු බව පසුගිය කාලය පුරාම ඔහු ප්‍රකට කරමින් සිටියේය. ඒ අතරම ඔහු සිටියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය, ඊට නියමිත ගුණාත්මක මට්ටමට ගෙන ඒමට වෙහෙස වෙමින් හා සටන් කරමිනි. 

පුද්ගලිකව ඔහු හොඳද නරකද කියන්නට මා දන්නේ නැත. ඔහුට සතුරන් ඇති වී ඇත්තේ කාගේ වරදින්දැයි කියන්නට දන්නේත් නැත. මා කියන්නේ කරුණු දෙකක් පමණකි. පළමුවැන්න, අනෙක් අයට ක්‍රියාත්මක නොකරන නීතියක් ඔහුට ක්‍රියාත්මක නොකරන ලෙසයි. දෙවැන්න, ඔහු වැනි සම්පතක් විශ්වවිද්‍යාලයට අහිමි කර නොගන්නා ලෙසයි. සුචරිත ගම්ලත්ට සහ නලින් ද සිල්වාට කළ අපරාධය, සෞම්‍ය ලියනගේට නොකරන ලෙසයි. 

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

Screenshot 20200925 152504

Screenshot 20200925 152522

Screenshot 20200925 152542

Screenshot 20200925 152854

Screenshot 20200925 162444