Language Switcher

V2025

බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට කැඳවීම ගැන : හමුදාපති කතා කරයි

බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක (military attache) ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පෙරළා මෙරටට කැඳවීමට හේතුවුයේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව පැනනැගුනු කාරණයක් නිසා බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

හමුදාපතිවරයා මේ අදහස් පළකර ඇත්තේ වන්නි ආරක්ෂක සේනා 56 වන සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ නිලධාරියා එතෙර රටක වෙනස් නීති පද්ධතියක් යටතේ රාජකාරි කරන බවත් ඒ පසුබිමේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව තමන්ද වගකිව යුතු බැවින් තමා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රියංක ප්‍රනාන්දු නිලධාරියා මෙරටට කැඳවූ බවය.

එක් එක් රටවල තිබෙන්නේ විවිධ නීති පද්ධති බවත් එසේම එක් එක් රටවල නෛතික කටයුතු පිළිබඳ අනෙක් රටවලට මැදිහත් විය නොහැකි බවත් ඒ පදනමින් ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන තීන්දුවක් ලෙස තත්ත්වය සමතයකට පත්ව පහව යනතුරු උපක්‍රමික තීන්දුවක් ගැනීම වැදගත් බවද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

එවැනි කටයුතු වලදී එය අදාළ නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන තීරණයක් මිස එය රණවිරු දඩයමක් හෝ වෙනත් වැරදි අර්ථකතන සැපයීමක් නොකළ යුතු බවත් තමන් මේ වන විට කොළඹින් බැහැරව සිටින බැවින් කොළඹ ගිය විගස ඔහු කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කරන බවද හමුදාපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා සඳහන් කර සිටියේ කවර තත්ත්වයකට වුවත් මුහුණදීමේ හැකියාව හමුදාව සතු බවත් මේ අවස්ථාවේද එම නිලධාරියා සමඟ සිට ඊට අවශ්‍ය ලෙස මුහුණදීමේ ශක්තිය හමුදාවට ඇති බවය.

ප්‍රශ්නයට හේතුව රාජතාන්ත්‍රික පුහුණුව නොමැතිකම

මේ අතර ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වතෙකු newstube.lk වෙත සඳහන් කර සිටියේ විදෙස් සේවයේ නිරතව සිටියදී මිලිටරි නිලධාරීන් පවා හැසිරිය යුතු ආකාරය පිළිබඳ පිළිගත් ආචාර ධර්ම සහ රාජතාන්ත්‍රික ක්‍රමවේද ඇති බවත් ඊට අදාළ නිසි පුහුණුවක් අදාළ නිලධාරියාට නොමැති බව මෙම සිදුවීම හරහා පෙන්නුම් කරන බවය.

යුද්ධය වෙනුවෙන් ඔහු විසින් සිදුකළ මෙහෙය සහ එහිදී ගනුලැබූ ජීවිත අවධානම තුළ හමුදා නිලධාරියෙකුට මෙවැනි හැගීමක් ඇතිවිය හැකි නමුත් නිසි පුහුණුවීමක් ඔහුට තිබුණා නම් එම ශික්ෂණය මත ඔහුට තම හැගීම් පාලනය කරගෙන සිටීමට හැකිවීමට තිබු බවද ඔහු පවසයි.

එසේම මෙවැනි කාරණා දේශපාලනීකරණය කරගත යුතු නැති බවත් සිදුවීමක් සිදුවීමෙන් පසුව ඒ නිරාකරණය කර ගැනීමට දේශප්‍රේමය, සිංහල කම වැනි ප්‍රවේශ වෙනුවට බුද්ධිමත් පරිපාලන තීන්දු කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.