ජනාධිපතිගේ සභාපතිට මාපිය විරෝධය !

ජනාධිපතිගේ සභාපතිට මාපිය විරෝධය !
ජනාධිපතිවරයා විසින් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නව සභාපති ධුරයට හිටපු විනිසුරු මෙන්ම දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපති ධුරය දැරූ උපාලි අබේරත්න පත්කිරීමෙන් පසු, ඔහු අදාළ කාර්යාලයේ වැඩ භාරගැනීමට විරෝධය පළකරමින් නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද බවට අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් වී ඇති, තරුණයන් 11 දෙනාගේ මව්වරුන් සහ පියවරුන් විසින් ලිපියක් යවා තිබේ.
 
පසුගිය 17 වැනිදා වගකිව යුතු සියලු පාර්ශ්වවලට පිටපත් සහිතව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ලිපිනයට මෙම ලිපිය යවා ඇත. මෙම කාර්යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පසුගිය සැප්තැම්බර් 30 දා එම ධුරයෙන් ඉල්ලා අස්විය. 
 
ඉන්පසු දේශපාලන පළිගැනීම් කොමිසමේදී මෙම තරුණයන් අතුරුදන් වීම පිළිබඳ නඩුවේ විත්ති පාර්ශ්වයට වාසි වන අන්දමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ, එම කොමිසමේ සභාපති ධුරය දැරූ උපාලි අබේරත්න අදාළ තනතුරට පත්කෙරිණි.
 
2009 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු මෙසේ පැහැරගෙන ගොස් තිබූ අතර, නීතිපතිවරයා විසින් මෛ නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ද ගොනු කර තිබේ. අගවිනිසුරු විසින් පත්කරන ලද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයකදී මෙම නඩුව විභාග වෙමින් පැවැතිණි. ඒ අතරතුරදී ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් කොමිසමට නඩුවේ 14 වැනි විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කරමින්, කොමිසමේ විභාගය අවසන් වන තුරු නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කිරීමට එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කළ උපාලි අබේරත්න කටයුතු කර තිබූ බවත්, එය පක්ෂපාතී හැසිරීමක් බවත් අදාළ ලිපිය මගින් එම මව්වරුන් සහ පියවරුන් විසින් පෙන්වා දී තිබේ.
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ද බරපතළ කතාබහක් ඇති වූ අතර, නීතිපතිවරයා විසින් අවධාරණය කරන ලද්දේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමට, අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ බලයක් නැති බවයි. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් පැවසුවේ කොමිසමේ මෙම හැසිරීම මගින් අධිකරණය පිළිබඳ ජනතාව අතර සැකයක් ඇති විය හැකි බවයි. කොමිසමේ කටයුතු එක් පාර්ශ්වයකට වාසි වන ආකාරයට මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම ද මේ ගැටළුව තීව්‍ර කිරීමට හේතු වන බව ද නීතිඥවරයා අවධාරණය කළේය.
 
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරන පාර්ලිමේන්තු පනත යටතේ පිහිටුවා ඇති අතර, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ විමර්ශනය සහ ඔවුන්ගේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකිරීඹට මැදිහත් වීම මෙම කාර්යාලයේ කාර්යභාරය වේ. එවැනි කාර්යාලය සභාපති ධුරයට යුක්තිය පසිඳලීමේ අධිකරණ කාර්යයට අත්තනෝමතික ලෙස මැදිහත් වූ පුද්ගලයෙකු පත්කිරීමට විරෝධය පළකරන අදාළ මව්වරුන් සහ පියවරුන්, එම තනතුරේ වැඩ භාරගැනීම හෘදය සාක්ෂියට එකඟ දැයි උපාලි අබේරත්න හිටපු විනිසුරුවරයාගෙන් ප්‍රශ්න කර සිටී.
(ලංකා ඉරිදා සංග්‍රහය - ශාලික විමලසේන )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න